රටක ජනතාවගේ ජීවන මට්ටම ගැන කතා කරන විට, අපට නිතිපතා ඇසෙන වචන මාලාවක් ඇත. සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, තිරසර සංවර්ධනය මෙම වචන අතර ප‍්‍රමුඛතාව ගනී.

සංවර්ධනය විවිධ ය. රටවල් වශයෙන් ගත් කල සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින, ඌන සංවර්ධිත ආදී වශයෙන් වර්ගීකරණයන් දක්නට ඇත. රටක් තුළ ජීවත් වන ප‍්‍රජාව ගැන සලකා බැලූවහොත් ඉහළ, මධ්‍යම, දුප්පත්, පෝසත්, අඩු ආදායම්, වැඩි ආදායම් ආදි වශයෙන් විවිධ වචනවලින් ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය විස්තර කරනු දැකිය හැක. අද ලෝකයේ සෑම රටක ම මෙන් ම ජනතාවගේ ද පරම ඉලක්කය වී ඇත්තේ මෙම සංවර්ධන ඉනිමගේ ඉහළ නැගීමට ය. ඌන සංවර්ධිත රටක් ඉලක්ක කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක මට්ටමට සහ අනතුරුව සංවර්ධිත මට්ටමට යාමට ය. ජනතාව වශයෙන් ගතහොත් දුප්පත් හෝ නැති බැරි මට්ටමේ සිට පෝසත් එසේත් නැති නම් ඇති හැකි මට්ටමට ළඟා වීම අප සැමගේ ඉලක්කය යි.

රටක් වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් අප සංවර්ධනය වනවා ද, ඉහළට යනවා ද යන්න මැන බලා ගැනීමට ක‍්‍රමවේදයක් ද තිබිය යුතු ය. රටේ සංවර්ධනය මැන බලන්නේ රටේ දළ ජාතික නිෂ්පාදනය නිතිපතා, ඉහළ නගිනවා ද යනුවෙන් ගණන් බලමිනි. පුද්ගලයන් වශයෙන් ගතහොත් එ්ක පුද්ගල ආදායම නිතිපතා ඉහළ නගිනවා ද යනුවෙන් ගණන් බලමිනි. එ්ක පුද්ගල ආදායම ගණනය කරන්නේ දළ ජාතික නිෂ්පාදිතය සමස්ත ජනගහනයෙන් බෙදීමෙනි. දිනකට රුපියල් 1000ක් උපයන තැනැත්තාටත්, දිනකට ලක්ෂ ගණනක් උපයන තැනැත්තාටත් මේ අනුව සමාන වටිනාකමක් ලැබේ. මෙම ගණන් බැලීම් සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද පවතින බව ද සඳහන් කළ යුතු ය. මුලින් ම අප තේරුම් ගත යුත්තේ මෙම ගණන් ආර්ථික විද්‍යාඥයන්ගේ බව ය. එසේ ම එම ගණන් හිලව් භාවිත කරමින් අප දියුණු වන රටක් ලෙස ලොවට පුරාජේරු වශයෙන් කීමට ද අපි කැමැත්තක් දක්වමු. එම නිසා මෙම ගණන් හිලව් දේශපාලන ගණන් හිලව් ලෙස ද හැඳින්වීම වරදක් නො වේ.

මෙම ලිපියේ පරමාර්ථය රටේ හෝ පුද්ගලයන්ගේ ආදායම් වර්ධනය සම්බන්ධ සංඛ්‍යා ලේඛන ගැන තර්ක කිරීම නො වේ. අප සංවර්ධනය මනින්නට භාවිත කරන ක‍්‍රමවේදය ගැන ඔබට අලූතින් සිතන්නට යම් අදහසක් ඉදිරිපත් කිරීමට ය. රටේ සංවර්ධනය සහ අපගේ සංවර්ධනය ගැන සංඛ්‍යා ලේඛනවලට වඩා ඔබ්බට අප යා යුතු නැතිදැයි ඔබට සිතන්නට ආරාධනය කිරීමට ය.

බෞද්ධයන් වන අප භෞතික වශයෙන් ලැබෙන සැප සම්පත් දෙස බැලිය යුත්තේ කෙසේ ද? ගොඩ ගසා ගන්නා මුදල් සහ සම්පත් තාවකාලික සුවයක් දෙන බව සත්‍යයක් නමුත් එ් සියල්ලට ම වඩා වැදගත් වන්නේ ආධ්‍යාත්මික සුවය බව අපි දනිමු. ‘‘සංතුට්ඨි පරමං ධනං” යනු බුදු වදන ය. මෙහි ඇති සංතුට්ඨි යන්න අප අද තේරුම් කර ගෙන ඇති ආකාරය ම විපරීතයක් නො වේ ද? අප රට සැලසුම්කරුවන් ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී ප‍්‍රමුඛතාව හිමි වන්නේ ආර්ථික ප‍්‍රතිලාභ සහ භෞතික ඉලක්කවලට ය. බටහිර න්‍යායයන්ගෙන් හිස පුරවාගත් ආර්ථීක විද්‍යාඥයන්ගේ මෙම සංවර්ධන සැලසුම් ක‍්‍රමවේදය අප එලෙස ම පිළි ගන්නවා ද? බොදු දහමින් පෝෂිත වූ රටක භෞතික ඉලක්ක පමණක් හඹා යාම තුළ අප අපගේ ජීවන ඉලක්ක සපුරා ගන්නවා යයි අපට සෑහීමකට පත් වන්නට හැකි ද?

අපගේ සංවර්ධන ඉලක්කය විය යුත්තේ ‘මෙලොව යහපත සහ පරලොව සුගතිය’ නො වේ ද? අප ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති තුළ මෙලොව යහපත මිස පරලොව සුගතිය යන ඉලක්ක පිළිබිඹු වනවා ද? මෙලොව යහපත පවා වැරදි ලෙස නිර්වචනය කර ගත් රටක පරලොව සුගතිය ගැන කුමන කතා ද? රටක සංවර්ධනය ගැන කතා කිරීමේ දී මේවා අදාළ වන්නේ කෙසේදැයි ඇතමුන් සිතන බව දනිමි.

මෙහි දී අපට මතකයට නැගෙන්නේ ලොව කුඩා ම බෞද්ධ රාජ්‍යයක් වන භුතානය යි. බටහිර රටවල් සහ ලෝක බැංකුව අපට බලෙන් කා වද්දන ලද දළ ජාතික නිෂ්පාදනය එ්ක පුද්ගල ආදායම වැනි වියළි අරමුණු වෙනුවට ආධ්‍යාත්මික දියුණුව ද රටක සංවර්ධනයේ ඉහළ ප‍්‍රමුඛස්ථානය විය යුතු බව මුලින් ම ලොවට හඬ නගා කීවේ භුතානය යි. ‘දළ ජාතික නිෂ්පාදනය’ වෙනුවට විකල්පයක් ලෙස භුතානයේ රජතුමා වූ ජිග්මේ සිංයේ වංචුක් (Jigme Singye Wangchuck)  විසින් 1972 පමණ ඈතක දී ලොවට හඳුන්වා දුන් ‘දළ ජාතික සංතුෂ්ඨිය’ සංකල්පය ගැන යළි ආවර්ජනයක් කිරීමට මෙය අවස්ථාව ලෙස සලකමි. යහපාලනය පිළිබඳව සැවොම කතා කරන අවධියක මෙම සංකල්පය යළි සලකා බැලීම ඉතා උචිත ය.

මුළුමනින් ම පාහේ බෞද්ධ ජනතාවක් (මහායාන) වෙසෙන භුතානයට නව යුගයක් විවර කළේ චංචුක් රජතුමා ය. බෞද්ධ සාරධර්ම තුළ භෞතික සංවර්ධනය පමණක් කතා කිරීම නො ගැළපෙන සංකල්පයක් බව ඕනෑම අයෙකුට පැහැදිලි ය. මෙම අදහස ඉදිරිපත් කරමින් එයින් එතුමා අදහස් කළේ භුතාන ජනතාව ආර්ථික වර්ධනයත් සමග ම බෞද්ධ ආධ්‍යාත්මික දියුණුව ද වැදගත් කොට සලකන බව කීමට ය.

ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් දළ ජාතික සංතුෂ්ඨිය සංකල්පය මෙබඳු ය. භෞතික සංවර්ධනය අපට අවශ්‍ය ය. එහෙත් එය ඵලදායී වන්නේ එ්ත් සමග ම සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනය ද සිදු වන්නේ නම් පමණකි. මේ සංවර්ධන පැති දෙක එකිනෙකට ගැළපිය යුතු අතර එකිනෙක ශක්තිමත් කරවන එ්වා ද විය යුතු ය.

භුතාන රජය මුලාරම්භයේ දී දළ ජාතික සංතුෂ්ඨිය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රධාන කරුණු සතරක් ගැන විග‍්‍රහ කළේ ය. එනම් තිරසර සංවර්ධනය, සංස්කෘතික අගයන් සංරක්ෂණය සහ ප‍්‍රබෝධනය කිරීම, රටේ ස්්වාභාවික පරිසරය සංරක්ෂණය කිරීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ය. මෙයට අමතරව දළ ජාතික සංතුෂ්ඨියට හේතු කාරක වන කරුණු සහ එ් සඳහා රජයක් විසින් වඩා විධිමත් ලෙස ක‍්‍රියාත්මක කළ යුතු අංශයන් භුතානය විසින් සවිස්තරාත්මකව හඳුනාගෙන ඇත.

සංඛ්‍යාත්මක සහ ප‍්‍රමාණාත්මක ඉලක්ක මත සංවර්ධනය මැනීමට පමණක් පුරුදු වූ ලෝකයක ආධ්‍යාත්මික දියුණුව මැනීම සඳහා කුමන නිර්ණායකයන් භාවිතා කළ යුතු දැයි ගැටලූවක් ඇතැම් බටහිර ආර්ථික විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ගෙන ඇත. ඔවුන් මතු කරන තර්කය නම් ආධ්‍යාත්මික දියුණුව සංඛ්‍යාලේඛනවලින් පෙන්වීමට නො හැකි බව ය. එම නිසා ම අධ්‍යාත්මික දියුණුව, සංවර්ධනය මැනීම සඳහා භාවිත කළ හැකි වාස්තවික දර්ශකයක් නො වන බව ය.

කෙසේ වූව ද දළ ජාතික සංතුෂ්ඨිය සංකල්පය මේ වන විට මුළු ලෝකය පුරා ම දැඩි අවධානයකට ලක්ව ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දැන් ‘ලෝක සංතුෂ්ඨිතා වාර්තාවක්’ වාර්ෂිකව සකස් කරන්නට පටන් ගෙන ඇත.
(http://www.earth.columbia.edu/sitefiles/file/Sachs%20Writing/2012/World%20Happiness%20Report.pdf)

මෙම වාර්තාවල අධ්‍යාත්මික දියුණුව මැන බලා පෙන්වීමක් ගැන එතරම් අවධානයක් නොමැති වුව ද, සංතුෂ්ඨිය වැනි ගුණාත්මක සංවර්ධන සංකල්පයක් යම් පමණකට මැන දැක්වීමට උත්සාහයන් ගෙන ඇත. එ් වක‍්‍ර දර්ශකයන් උපයෝගී කර ගනිමිනි. ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් කීප දෙනෙකු විසින් සංස්කරණය කරන ලද මෙම වාර්තාවේ ප‍්‍රථම ඡේදය ඔබගේ අවධානයට සඳහා පහත දක්වමි.

‘‘අප ජීවත් වන්නේ පරස්පරයන්ගෙන් පිරුන ලොවක ය. එක් පසෙකින් නො සිතු විරූ තාක්ෂණ විප්ලවයක් භුක්ති විඳින ලෝකයේ තවත් පැත්තක බිලියනයක පමණ ජනතාව කුසට නිසි අහරක් නොමැතිව දුකට පත්ව සිටිති. තාක්ෂණික සහ කළමනාකාරිත්ව දියුණුව නිසා නිෂ්පාදනය සිතාගත නො හැකි තරම් ඉහළ නැග ඇත. එහෙත් එම කාර්යයේ දී ස්වාභාවික පරිසරය කෘර ලෙස වනසා දමනු ලබයි. සම්ප‍්‍රදායික මිනුම් අනුව රටවල් දියුණු යැයි සලකනු ලබන නමුත් දුම් පානය, තරබාරුකම, දියවැඩියාව, විෂාදිය වැනි අහිතකර ප‍්‍රතිවිපාකවලට එහි ජනතාව ගොදුරුව ඇත. මෙවැනි පරස්පරයන් බුදුරජාණන් වහන්සේ වැනි උතුම් මානවවාදීන්ට එතරම් අමුතු දේවල් ලෙස නො පෙනෙනු ඇත. මෙම උතුම් මානවවාදීන් නිතර නිතර කී දේ නම් භෞතික දියුණුව කිසිදු විටක මිනිසාගේ ගැඹුරුම අවශ්‍යතාව නොවන බව ය. භෞතික දියුණුව අවශ්‍ය වන්නේ දුක නිමා කර ගැනීම, සමාජ සාධාරණත්වය පැතිරවීම සහ පරම සංතුෂ්ඨිය ළඟා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ය. උදාහරණයක් ගෙන බලමු. එක්සත් ජනපදය සියලූ තාක්ෂණික ආර්ථික අභියෝග ජය ගත් බව කියතත්, එහි පුරවැසියන්ගේ සංතුෂ්ඨිය ළඟා කරගෙන නැත. අවිනිශ්චිත බව, සාංකාව ඉතා ඉහළ ය. සමාජ ආර්ථික පරතරය එන්න එන්න ම වැඩි වෙමින් පවතී. සමාජ ක‍්‍රමය කෙරෙහි සහ රජය කෙරෙහි විශ්වාසය පිරිහෙමින් පවතී. පසුගිය දශක කිපයක තුළ ජාතික නිෂ්පාදනය වර්ධනය වුව ද ජීවන සංතුෂ්ඨිය කිසිදු ලෙස වර්ධනය වී නැත.”

වත්මන් ලෝකයේ පරස්පරයන් දෙස අවධානය කරමු. ආර්ථික අතින් ඉතා දිළිඳු පවුලකට යම්කිසි මට්ටමක ආදායම් වර්ධනයක් සිදු වුවහොත් එතුළින් ඔවුනගේ ජීවන මට්ටම ඉහළ යාමක් වන බව අපට පැහැදිලි ය. එම ආදායම නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් පවුලේ පෝෂණය ඉහළ නංවා ගැනීමට, ළමුන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමකට නංවා ගැනීමට හැකි ය. නිවාසවල තත්ත්වය, සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම ඉහළ මට්ටමකට ගෙනා හැකි ය. ඉහළ ජීවන මට්ටමේ සීමාවන් කිසිවකුට පෙනෙන්නේ නැති නිසා තව තවත් ආසාවන් වර්ධනය කර ගැනීම සාමාන්‍ය දෙයකි.

අනෙක් අන්තය එනම් වැඩි ආර්ථික ශක්තියක් ඇති ධනවත් පවුලක් දෙස බලමු. එවුනට ආහාර, නිවාස සහ අනෙකුත් භෞතික සම්පත් ඕනෑවටත් වඩා ඇත. එහෙත් තව තවත් ධනය උපයා ගැනීමේ ආසාව අඩු වී තිබේද? නැත. ඇත්තෙන්ම සිදු වන්නේ කෙතරම් උපයා ගත්තත් කිසි විටෙක නො සන්සිඳෙන තණ්හාවකින් පෙළීම ය. මෙම නො සන්සිඳෙන තණ්හාව තුළ සිදු වන්නේ සමාජ සාධාරණත්වය, පරිසර සංරක්ෂණය ඉක්මවා ධනය ඉපයීමේ ක‍්‍රියාවලිය යි. දියුණු යැයි කියනා රටවලට සිදු වී ඇති පරිසර අසමතුලිත බව මෙහි ප‍්‍රතිඵලයන් ය. සමස්ත වශයෙන් ගෝලීය උණුසුම් වීම, කාලගුණ විපර්යාසය මෙහි ප‍්‍රතිවිපාක ය.

අප තාමත් අපගේ දියුණුවේ ආදර්ශනය ලෙස දකින්නේ ඇමරිකාව, යුරෝපය, ජපානය වැනි කාර්මික සහ ආර්ථික අතින් දියුණු යැයි කියනු ලබන රටවල් නො වේ ද? මෙම රටවල් ම තමනට වැරදුන තැන් ගැන දැන් දැන් යළි් සිතා බලන්නට පෙළඹී ඇත්තේ තමන් ලබා ගත් භෞතික සංවර්ධනය තුළ මනුෂ්‍යයන් වශයෙන් කිසිදු තෘප්තියක් ලබා ගැනීමට ඔවුනට නො හැකි වී ඇති බැවිනි.

අංග සම්පූර්ණ ආදර්ශනයක් නො වුව ද අපට භුතානයෙන් උගෙන ගත හැකි පාඩම් ඇත. රටේ භුමි ප‍්‍රමාණයෙන් 65%කට වඩා වනාන්තරවලින් වැසුනේ වූව ද දැඩි පරිසර නීති මගින් එහි වනය ආරක්ෂා කර ගෙන ඇත. නව සංවර්ධන ව්‍යාපෘති සඳහා අප පරිසර ඇගයීම් වාර්තා ලබා ගන්නා අන්දමට ම, භුතානයේ ව්‍යාපෘති සඳහා ‘සංතුෂ්ඨිතා ඇගයීම්’ වාර්තාවක් ද ලබා ගත යුතු ය. ජනතාවගේ සංතුෂ්ඨියට ව්‍යාපෘතිවලින් හානියක් නොවන බවට තහවුරු විය යුතු ය. භුතානයේ ජාතික සැලසුම් ආයතනය හඳුන්වන්නේ ‘ජාතික සංතුෂ්ඨිතා කොමිසම’ නමිනි.

මෙම කරුණු මතු කිරීමෙන් මා අදහස් කරන්නේ අප අන්ධයන් මෙන් භුතානය අනුගමනය කළ යුතු බව නො වේ. රටක සංවර්ධන කාර්යයේ දී අධ්‍යාත්මික දියුණුව පිළිබඳව ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින් යම් පමණකටවත් සැලකිල්ල යොමු කළ යුතු බව ය. බොහෝ බටහිර රටවල් පවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා රටක ජාතික සංතුෂ්ඨිය ගැන කතා කරන අවදියක දී අප එ් පිළිබඳව නො සලකා නො හැරිය යුතු බව ය.

නව සංවර්ධන දැක්මක් සහ යහ පාලනයක් ගැන කතා කරන මෙම යුගයේ අප නව සංවර්ධන උපායමාර්ග ගැන සිතා බැලීමට මෙය කාලය නො වේ ද?

වැඩිදුර තොරතුරු – (Centre for BhtAn Studies (http://www.bhutAnstudies.org.bt/)
(භුතාන රජයේ නිල වෙබ් අඩවිය – http://www.grossnationalhappiness.com/)

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.