උණුසුම් ආගන්තුක සත්කාරයක් විඳිමින් උදෑසන ආහාරය පිණිස මම අසුන්ගෙන සිටියා. ළෙංගතු හිතවත්කම් උතුරන සිත් ඇති නිවැසියන් උණු උණුවේ පිළියෙල කළ ආහාර ප‍්‍රිය උපදවන ආකාරයෙන් පිඟානකට බෙදලා අතට ම ගෙනත් දීලා ‘‘කාලා ඉන්න” කියලා මට කිව්වා. මේ ආගන්තුක උපස්ථානය ඔවුන් සිදු කරන්නේ හරිම සතුටකින්, මනා සැලකිල්ලකින්… ඉතින් එ් අයට රැස් වෙන්නේ පිනක් ම යි….
ආහාරයත් ප‍්‍රණීතයි. අනෙක් අතට මා සිටියේත් කුසගින්නේ. එ් නිසා ආහාරය කුස තුළට යනකොට මට දැනුණේ සුවපහසු බවක්… කෑම කාලා අවසන් වෙනකොට ම එ් නිවසේ සිටි මහලූ අම්මා වීදුරුවක් සෝදලා අරගෙන උණු කර නිවා ගත් වතුර එ් වීදුරුවට පුරවලා දෝතින් ම ගෙනවිත් මට දුන්නේ සිනහමුසුව ම යි. ‘‘සුවපත් වේවා!” යි කියමින් මං එ් වතුර එක අතට ගත්තා. කුස පිරෙන ආහාරයකින් පස්සේ වුවමනා කරන දේ අතට ලැබුණාම මට සතුටු හිතුණා. සුදුසු කලට දුන්න දානයකින් එ් අම්මටත් පිනක් රැස් වුණා.
එ් වතුර වීදුරුව හෙමි හෙමින් බොන අතරෙත් මනා කොට සකසා දන් දීමේ ආනිශංසයන් ගැන මට සිහිපත් වුණා. වීදුරුවේ ඉතිරිවෙලා තිබුණේ තව වතුර උගුරු දෙක තුනක් විතරයි. එක් වර ම දිවේ මොනවා හෝ පැටළුන බව මට දැනුණා. ‘කෙන්දක්…’ කියන අදහස හිතට එද්දි ම මහා අප්පිරියාවක් දැනුණා. අසුනින් නැගිටපු මම එළියට දුවගෙන ගියේ වමනයට එන අතරෙම යි. වතුර ටික ඉක්මනින් එළියට දැම්මත් කටේ රැඳුන දේ එළියට ආවේ නෑ. මං ඇඟිල්ල කටට දාලා එ් කෙන්ද හොයන්න ගත්තා. ටික වෙලාවක් ඉහළට එන ඔක්කාරයත් එක්ක මේ වැඬේ කළාට පස්සේ කෙළ තැවරුණු ඇඟිල්ලේ රැඳුනු දෙය එළියට ගන්න මට පුළුවන් වුණා. එ්, සුදු ම සුදු කෙස් කොට දෙකක්…!
ආහාරයේ ප‍්‍රියමනාප බව එහෙම ම අතුරුදන් වුණා. මහලූ අම්මගේ සුදු පුලූන් වගේ පෙනෙන හිස මට මතක් වුණා. ආයෙ ආයෙමත් ඔක්කාරයට එන එක වළක්වා ගන්න වතුර වීදුරුවක් අරන් කට සෝදලා දැම්මත් සිදු වුණ දෙය මතක් වෙනකොට මට ආයෙ ආයෙමත් දැනුණෙ අප‍්‍රිය අමනාප බවක් ම යි… අප්පිරියාවක් ම යි…
මේ අප‍්‍රසන්න බවත් සමගින් ටික වෙලාවක් ගත වෙන කොට මට සම්බුදුරජාණන් වහන්සේගේ වචනය මතක් වුණා. ‘‘මේ කෙස් පිළිකුළයි… අප‍්‍රසන්න ස්වභාවයෙන් යුක්තයි… සතර මහ භූතයන්ගෙන් හට ගත් මේ කෙස් පුළුටු ගඳින් යුක්තයි… දිරා යන සුලූයි… මේ කෙස්, ගස්වල කොළ වගේ… ඉදුණා ම ගැලවිලා යනවා… ඉදිලා තිබිලා වැටිලා යනවා… පොළොවට වැටිලා පස් වෙලා යනවා… කෙස් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්… පඨවි ධාතුවට අයිති දෙයක්…” එ් සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචනයට නමස්කාර වේවා! එ් වචනය සත්‍යයක් ම යි. ‘එ් කෙස් පිළිකුල් සහගත ස්වභාවයෙන් යුතු ය යන වැටහීම මට තිබුණා නම් කෙස් ගැන මට තිබෙන්නෙ අප්පිරියාවක් නොවෙයි; අවබෝධයක් නේ ද?’ කියල මට හිතුණා.
ඇත්තටම එ් කෙස් ගැන ඔක්කාරයට එන තරමේ අප‍්‍රසන්න බවක් මට දැනුණේ ඇයි? ලස්සන, හෝදල පීරල සුවඳ ගන්වල තියා ගන්න කෙස් ගහක් නිසා මට අප්පිරියාවක් ආවේ ඇයි? කෙස් ගහක ඇත්තක් සිතට කියා දුන් එ් බුද්ධ වචනය සත්‍යයක් ම යි කියලා මට සිහිපත් වුණා. එ් දහම් මනසිකාරයෙන් උපන් ප‍්‍රීතියෙන් යුතුව ම මං එ් කෙස් කැබලි දෙක මුල් කරගෙන කල්පනාව මෙහෙයවන්න පටන් ගත්තා.
මේ අම්මගෙ කෙසුත් මගේ කෙස් වගේ ම කළුවෙලා තිබුණ කාලයක් තිබුණා. එ්ත් දැන් එ් කෙස් ගස් එකක් නෑර සුදු වෙලා. වෙනස් වෙලා, විපරිණාමයට පත් වෙලා. කෙස් හැළිලා ගිහින් ප‍්‍රමාණයෙන් අඩු වෙලා. ජරාවට පත් වෙලා. මගේ කෙසුත් යම් දවසක මෙහෙම වෙනවා. මේ කළු පාට කෙස් සුදු වෙන දවසක් එනවා. ජරාවට පත් වෙන දවසක් එනවා. ‘නිල්වන් කළුයි, දිගයි, ලස්සනයි’ කියලා මම හිතන මේ කෙස් සුදු පාට වෙන, ක්ෂය වෙන, වැනසෙන කාලයක් එනවා. මේ කෙස් ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනය මොන තරම් නම් සත්‍යයක් ද? සත්‍යවාදී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මේ කළු පාටට තියෙන, සුන්දරයි කියලා අපි හිතාගෙන ඉන්න කෙස් ගසක් අප ගන්න ආහාරපානයක තිබිලා මුණ ගැසුණොත් එය අපට අප‍්‍රසන්න බවක් ඇති කරවනවා ම යි. එ් පිළිකුල් සහගත බව කෙස්වලට පොදු දෙයක්. කළු ද සුදු ද තරුණ ද මහලූ ද වෙනසක් නැතිව එ් කෙස් පිළිකුල් සහගතයි. මේ කෙස් පිළිකුල උපදවන ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනය මොන තරම් නම් සත්‍යයක් ද? සත්‍යවාදී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
නිතර නිතර සෝදලා පිරිසිදු කළත් මේ කෙස්වල පිළිකුල් සහගත ස්වභාවය ඉවත් වෙන්නේ නැහැ. සුවඳවත් ෂැම්පුවලින් සෝදලා සුවඳවත් තෙල්වලින් පිරිමැද්ද කියලත් මේ කෙස්වල පිළිකුල් සහගත ස්වභාවය ඉවත් වෙන්නේ නැහැ. මේ කෙස්වලට දහඩිය දමනවා. මේ කෙස්වලින් දුගඳ හමනවා. මේ කෙස්වල කුණු එක් රැස් වෙනවා. අපි ආදරයෙන් සාත්තු සප්පායම් කරමින් බලාගත්තා කියලා කෙස්වල එ් කිලිටි ස්වභාවයන් සහමුලින් දුරු වෙන්නේ නැහැ. හැම මොහොතේ ම මේ කෙස් පවතින්නේ අපිරිසිදු වෙවී, පිළිකුල උපදවන ස්වභාවයට පත් වෙවී. මේ කෙස් පිළිකුල උපදවන ස්වභාවයෙන් යුක්තයි කියලා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනය මොන තරම් නම් සත්‍යයක් ද? සත්‍යවාදී සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ලස්සනයි, සිනිඳුයි කියලා කොයි තරම් ආඩම්බරයක් ගෙන දුන්නා වුණත් නඩත්තු කිරීම අතපසු වුණ හැටියේ මේ කෙස් ගඳ ගහනවා. පිළිකුල් සහගත උකුණන්ට මේ කෙස් වාසස්ථානයක්. මොන තරම් සුන්දරව තිබුණා වුණත් මේ කෙස්වල අප‍්‍රිය ස්වභාවයන් ඉවත් වෙන්නේ නැහැ. කෙස් කැබැල්ලක් ආහාරපානවල තිබුණොත් අපට එ් ආහාරය, පානය පවා අප‍්‍රසන්න වෙන්නේ එ් නිසයි. මේ කෙස් පිළිකුල උපදවන ස්වභාවයෙන් යුක්තයි කියලා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනය මොන තරම් නම් සත්‍යයක් ද? සත්‍යවාදී සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මේ කෙස් පිළිස්සෙනකොටත් එන්නෙ පුළුටු ගඳක්. කෙස් තැන් තැන්වල විසිරිලා තියෙනකොටත් දැකීම පවා අප‍්‍රසන්නයි. සුවඳ තැවරුවට, සුවඳ මල්වලින් සැරසුවට, සුවඳ ගගහ තියා ගත්තට, කෙස්වල පිළිකුල් සහගත බව වෙනස් වෙන්නේ නෑ. එ් එ් මොහොතට අපි එ් ඇත්ත ස්වභාවයන් සඟවාගෙන, ලෝකය කෙස් ගැන කියා දුන් පිළිවෙළකට දකිමින් ජීවත් වීමක් පමණයි කරන්නේ. කයේ ඇත්ත තේරුම් ගන්න අපි මේ කෙස් ගඳ ගහනකල් ම ඉන්න ඕනෙ නෑ නේ ද? කළු කෙස් සුදු වෙනකල් ම ඉන්න ඕනෙ නෑ නේ ද? වැඩුණු කෙස් හැලිල යනකල් ම ඉන්න ඕනෙ නෑ නේ ද? එ් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන්න උත්තම දහමක් අපට විවෘත වෙලයි තියෙන්නේ. කයේ ඇත්තම දැකල ලෝකය අවබෝධ කර ගන්න දහම් මඟ විවර කරවපු කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේලාට නමස්කාර වේවා!!!
මමත් එ් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය එ් අකාරයෙන් ම අදහා ගන්නවා. ඔව්… පස් වෙලා යන ස්වභාවයෙන් යුතු මේ කෙස් පිළිකුලයි… මේ පිළිකුල් සහගත කෙස් දිරා, වැහැරිලා, සුදු වෙලා, හැළිලා අනිත්‍ය භාවයට පත් වෙලා යනවා. මේ කෙස් අනිත්‍යයි. එ් අනිත්‍ය වූ කෙස් මම නො වෙයි. මගෙ නො වෙයි. මගෙ ආත්මය නො වෙයි….
සාදු! සාදු!! සාදු!!!
‘‘ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාටයි. බඹරුන්ගෙ පාට වගේ. කැරලි ගැහිලා උඩට හැරිලා තිබුණා. එ් වුණාට දැන් ජරාවට පත් වෙලා ගිහින් හණ වැහැරි වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගෙ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. එ් වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින් හා ලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගෙ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
ලස්සනට, පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනවා. අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා එ් කෙස් ගැලවිලා ගිහින් තැනිත් තැන ඉතුරු වෙලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගෙ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
කළු කෙස් වැටිය ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුව ම හරි ම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් එ් කෙස් ගලවල දාල තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගෙ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
(අම්බපාලි රහත් තෙරණිය වදාළ ථේර ගාථා)
සටහන
ඉඳුනිල් වික‍්‍රමසූරිය
Recent Comments