‘‘අම්මේ…. මොකක්ද කමත කියන්නේ?”

මවෙතින් ප‍්‍රශ්නය නො අසා තනියෙන් පිළිතුරක් සොයා ගන්නට ගත් උත්සාහය අසාර්ථක වූ පසු ඇය මගෙන් එසේ ඇසුවේ, මා නිසැකව ම එයට පිළිතුර දන්නා බවට තිබූ විශ්වාසයෙනි.

‘‘පුතේ… ඉස්සර කුඹුරෙන් ගොයම් කපලා ගොඩ ගහන්නේ කමතේ. එ්ක හරියට පුංචි පිට්ටනියක් වගේ එකක්. එ්කේ ගොයම් ගොඩ ගහලා මී හරකුන්ගෙන් තමයි පාගන්නේ. පස්සේ කාලේ කමතේ ට‍්‍රැක්ටර්වලිනුත් කොළ පෑගුවා. දැන් කමතට අරන් යන්න දෙයක් නෑනෙ පුතේ. යන්ත‍්‍ර සූත‍්‍ර තියෙන නිසා කුඹුරේ දී ම සේරම වැඩ ඉවරයි. දැන් කමත් නෑ”

මගේ සිත ඈත අතීතයට ගියේ මගේ ඇරයුමකින් තොරව ය. මල්ලිලාත්, මමත් කමතේ කයියට වැඩ කරන අයගේ කොලූ ගැටවුනුත් පිදුරු ගොඬේ නටන්නේ අම්මලාගේ කෑ ගැසීම ගණනකට නො ගෙන ය.

‘‘ඇඟවල්වල කාටූ ගෑවුණාම කහනවා, වැවට පැනලා නාගෙන ම ගෙදර පලයල්ලා.”

එ් යෝජනාවට අපි කොහෙත් ම කැමති ය. වතුරට පැන ඇතිතාක් දියබුං ගසා, ඇස් ගොරකා මද ගානට රතු පැහැ වන තුරු දිය නා, ගොඩට එන්නේ, කාගේ හෝ වැඩිහිටියෙක් කෝටුවක් ගෙන වෑ කන්ද දිගේ එන අයුරු දුටු විට ය.

වැව, වෑ කන්ද, එරමිනියා ගාල, කරඹ පඳුරු, ඇටඹ ගස්, නියරවල්, වතුර ගලන වක්කඩවල්… එ් සුන්දර තැන් මගේ දරුවාට අහිමි කර ඇත්තේ කා විසින්දැයි මම පුටුවට බර දී කල්පනා කළෙමි.

වක්කඩෙන් පැන දුවන තිත්ත පැටව් අල්ලන්නට කොතරම් ප‍්‍රිය වුව ද එදා අප තුළ තිබූ පර පණ නො නැසීමේ ස්වයං ශික්ෂණය අපගේ දෙමව්පියන්ගෙන් අපට උරුම වූවකි. යහළුවන්ගේ ගෙවල්වල සෙල්ලම් කිරීමට යාමට අපට තහංචි තිබුණේ නැත. ලැබුණු එක ම අවවාදය ‘‘රෑ වෙන්න කලින් ගෙදර වරෙන්” යන්න ය. එයට ද අපි කීකරු වුණෙමු. එරමිනියා ගාල් තුළ කුරා කුහුඹුවකුගෙන්වත් අපට හිරිහැරයක් වූ බවක් මතක නැත. එ් සියල්ල අත්විඳිමින් ගුරුන් සිත නො රිදවා පාඩම් වැඩ කටයුතු ද හොඳින් කළෙමු.

අද මගේ දරුවාගේ ආරක්ෂාව තර කර ඇත. එ් වන සතුන්ගෙන් ප‍්‍රවේශම් වන්නට නොව, මනු සතාගෙන් ප‍්‍රවේශම් වීම සඳහා ය. මගේ දරුවාගේ ආරක්ෂක භටයා වන්නේ පාසැල් වෑන් රථයේ රියැදුරු ය. පාසැල් වෑන් රථය උදෙන් ම දොරකඩට විත් නාද කරන තුරු බලා සිටින අපේ දරුවන්ට අද ඇති සුන්දර ම ලෝකය එයයි. එ් තුළ උසුළු විසුළු කරමින්, පාසලේ ගේට්ටුව අසලට යන තුරු ගත කරන පුංචි විනාඩි විස්සක පමණ කාලය හැරෙන්නට ඔවුන්ට දකින්නට සොඳුරු ලොවක් නැත.

පාසැල ඇරෙනවාත් සමග ම නිල ඇඳුමින් ම බාහිර පන්තියට යා යුතු ය. නිවසට පැමිණි වහා ම ඇඟ පත සෝදාගෙන පාසැලේ හා බාහිර පන්තියේ වැඩ අවසන් කළ යුතු ය. නොවරදවා බැලිය යුතු රූපවාහිනී පැය නරඹා නින්දට වැටෙන අපේ දරුවෝ හෙට අවදි වන්නේ ද වෙනසක් නැති කාල සටහන ගෙවා දැමීමට ය.

අපේ අහිංසක දරුවන් සදාකාලිකව ම අවදි නොවන නිද්‍රාවක පසුවන්නේ යැයි මට සිතේ. ඔවුන්ට හිමිව ඇති ශීඝ‍්‍රගාමී ලෝකය තුළ කරුණාවෙන් අන්‍යයන් දෙස බලන්නට, මෛත‍්‍රිය වපුරන්නට, පන්සිල් සුරකින්නට, ගුණදම් රකින්නට… මේ කිසි දෙයකට ඉඩක් නැත. පාසැල් විෂය නිර්දේශය තුළ ඇති ගණිතය, විද්‍යාව, ඉංග‍්‍රීසි හා තාක්ෂණය හැරෙන්නට, ඉතිහාසය, සාහිත්‍යය, බුද්ධ ධර්මය වැනි විෂයන් දරුවෙකුගේ දක්ෂතාවය මනින විෂයන් නොවන මට්ටමට පත් වී තිබේ. ‘‘සකස්කඩ නො කිවූ කට උගේ කට හුඹස් කට…” එ් තත්ත්වය අද කණපිට හැරවී ඇත. මෙවන් රටාවක් තුළ මා අනාගත ලෝකය වෙනුවෙන්, වර්තමානයේ ගොඩ නගමින් සිටිනුයේ කුමන දරුවෙක් ද?

වෛද්‍ය විද්‍යාවෙන් ඉදිරියට යන මගේ දරුවා, මෙලොව එළිය දකින්නටත් පෙර මව් කුස දී ම කුඩා කළල විනාශ කර දමන වෛද්‍යවරයෙක් වුවහොත්…, ගණිතය විෂයෙන් ඉහළට ම ගොස් ඉංජිනේරුවකු වන මගේ දරුවා, සුළු කරුණකට හෝ අකම්පිතව මුහුණ දෙන්නට බැරිව ගෙල වැලලා ගෙන මිය ගියහොත්…, තාක්ෂණ විෂයෙන් පරතෙරට ම යන මගේ දරුවා අතින් අන් සියලූ පරිගණක විනාශ කර දමන වෛරසයක් නිපදවුණහොත්… මේ සියලූ අවදානම් මා අත ඇති බව මට සිතුණි. මෛත‍්‍රිය, කරුණාව, පරාර්ථකාමී බව, කෙළෙහිගුණ දන්නාකම, රට ජාතිය කෙරෙහි ගෞරවාදරයෙන් යුතු බව ඇති දරුවෙකු මා මේ රට වෙනුවෙන් දායාද කළ යුතු ය. ලොව පවතින රටාව තුළ මේ කරුණ සිදු කිරීම ලෙහෙසි කටයුත්තක් නොවනු ඇත. ඇයගේ බාහිර පන්ති නවතා දැමීමෙන් මට එය කළ නො හැකි වනු ඇත. යහළුවන් සමග වක්කඩෙහි සෙල්ලම් කරන්නට යැව්ව ද අද එහි ඇති කෘමිනාශක විසින් තිත්ත පැටවුන් පන්නා දමා ඇත. කරඹ කඩන්නට වන රොදකට තියා, සෙනඟ පිරුණු මහ මඟවත් දරුවන් යවන්නට නො හැකි කුරිරු ලොවක් මේ වන විට බිහි වී හමාර ය. මා නැවතත් වර්තමානයේ ම සිරකාරියක් බවට පත් විය.

රෑ හඳ ඇති යාමයේ ලොකු අම්මාට පොල් අතු වියා දෙන්නට ගිය හැටි මට හොඳින් මතක ය. එකල පොල් අත්තකට ලොකු අම්මාට රුපියලක් ලැබෙයි. මගේ ද උපකාරයෙන් පොල් අතු සියයක් වියා රු. 100ක් උපයා ගන්නා ඇය මට රු. 2ක් දෙන්නට අමතක නො කළා ය. එ් කාසිය කිසිදු වග විභාගයකින් තොරව මගේ කැටයට වැටෙයි. ලොකු අම්මාට සියඹලා පොතු ඇර දී, ඉරටු සුද්ද කර දී ලැබෙන කාසිවලින් එම කැටය කෙසේ හෝ පුරවා ගතිමි. අලූත් වාරය සඳහා සුදු ගවුම මැසෙන්නේ එම මුදලිනි.

එසේ නම් මම ද දරුවාගේ අතේ කාසියක් තැබිය යුතු ද? නමුත් මගේ දරුවා සුළු මුදලකින් සෑහීමකට පත් වේ ද? ඇගේ අවම ලංසුව රු.50ක් වනු ඇත. නොබෝ කලකින් ඇය එම මුදල් එකතු කර ජංගම දුරකථනයක් මිලදී ගනු ඇත. ඉන් පසු එකී දුරකථන සම්බන්ධතාවයට මුදල් ලබා දීමට මා බැඳී සිටිනු ඇත.

කාලය බොහෝ වේගයෙන් වෙනස් වී ඇත. අපගේ අහිංසක දරුවන් එම ඩිජිටල් ලෝකයෙහි ත‍්‍රස්තවාදයට හසු වී හමාර ය. කෙසේ හෝ මෙය යථා තත්ත්වයට පත් කළ යුතුව ඇත. එය දෙමාපිය, වැඩිහිටි අප සැමගේ ම වගකීම ලෙස දරා ගත යුතු ය. තමාගේ දරුවා ලෙසට අන් සියලූ දරුවන් රකින්නට යුතුකමක් අප සතුව ඇති බව සිතිය යුතුව ඇත. එසේ නො වුණහොත් මිනී මරණ වෛද්‍ය පුතුන්, එල්ලී මැරෙන ඉංජිනේරු පුතුන්, පගා ගන්නා ලිපිකරු පුතුන්, අයුක්තිය දිනවන නීතිඥ පුතුන් මිසක අපට අනාගතයේ දී ලැබෙන අන් දෙයක් නොමැති වනු ඇත.

එසේ නම් ආරම්භ කළ යුත්තේ කොතැනින් ද? අපගේ නිවසින් ම ය. තමාගේ දරුවාගෙන් ම ය. පළමුව ඔබගේ නිවසෙහි ඇති රූපවාහිනියෙහි දුරස්ථ පාලකය ඔබ අතට ගැනීමට ඔබට සිදු වනු ඇත. ඔබේ දරුවාගේ අහිංසක මනස විකෘති කරන හෝරා කිහිපයෙන් දරුවා ගලවාගෙන එ් වෙනුවට එ් මනස සුවපත් කරන සුන්දර කතා බහක යෙදෙන්නට ඔබට හැකි ය. දරුවා සමග අහස බලන්න, පුන් සඳ මෝරා එන පුන් පෝදා ගැන කියා දෙන්න, එ් සඳ කිරණට පිපෙන මල් බුදු සමිඳුන් උදෙසා බව කියා දෙන්න, බුදු සමිඳුන් දෙසූ මග ගැන කියා දෙන්න, එවිට එ් තුළ දරුවාට ඇති ආරක්ෂාව ඔහුට පසක් වනු ඇත.

මේ රට දැය ආගම ඔවුන්ගේ ම උරුමයන් බව කියා දෙන්න. එසේ ම මේ රට දැය ආගම රැක ගත් විරුවන්ගේ කතා කියා දෙන්න. එවිට රූපවාහිනී වීරයන්ට ඔච්චම් කරන්නට ඔවුන්ට සිදුවනු ඇත. මිනිසත් බව ලබා ඉපදුණ පින ගැන කියා දෙන්න, ඉන්දියන් සාගරය විසින් රැක සිටින මේ ලක් දෙරණෙහි අගය කියා දෙන්න, එවිට එය රැුක ගැනීමෙහි වගකීම ඔවුන් හිස මත දරා ගනු ඇත.

අහස උසට නැගී රන්වන් රැුස් විහිදෙන කොත් අදටත් අපට ඉතිරිව ඇත්තේ කුමන අනුහසින්දැයි දැනෙන්නට හැෙඟන්නට පටන් ගන්නා දරුවෙක් බිහි කරන්නට අපට හැකි වුවහොත්…. අප සැබෑ දරුවෙකු බිහි කළා වන්නේ ය. එවිට සුඛිත මුදිත දේශයක් උදෙසා නිති පන්සිල්, පොහොය අටසිල් රකින දරු පරපුරක් අපට දකින්නට හැකි වනු ඇත.

‘‘පින් මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු……..”

ඔබේ දරුවා පුන් සඳක් කිරීමේ වගකීම අද ඔබ සිතට ගන්නේ නම්, රූපවාහිනියෙන්, ජංගම දුරකථනයෙන්, අන්තර්ජාලයෙන් ඔබේ දරුවා මුදවා ගැනීමේ පළමු වෙඩි මුරය ඔබේ නිවසින් ඇරඹිය යුතු ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සොඳුරු දරුවෙකු ඔබට හිමි වන බව නොඅනුමාන ය.

තව නොබෝ කලකින් බටහිර රටවල විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශය තුළට කරුණාව, මෛත‍්‍රිය වැනි විෂයන් ඇතුළත් කිරීමට එරට විද්වතුන්ට සිදු වනු ඇත. එම විෂයන් ඉගැන්වීමට සුදුසුකම් ඇති එක ම දරුවන් වෙසෙන ලංකාවේ අපේ දරුවන් සොයාගෙන මේ පුංචි දහම් දිවයිනට එන්නට ඔවුන්ට සිදුවනවා ඇත.

මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
තේජා දිල්රුක්ෂි දයාරත්න