ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි ගමක අම්ම කෙනෙකුට ලස්සන පොඩි පුතෙක් හිටියා. මේ පුතාගෙ තාත්තා කළේ කුලී වැඩ. අම්මත් පුළු-පුළුවන් විදිහට මහන්සි වෙලා දවස ගෙවා ගන්න ක‍්‍රම හදා ගත්තා. වත්තෙ පිටියේ එළවළු පලතුරු පලා වර්ග වවා ගත්තා. මහන්සියෙන් ගෙවත්තෙ ම කොණකට වෙන්න පුංචි ළිඳක් කපා ගත්තා. කොහොම කොහොම හරි මේ ලස්සන පුංචි පුතාට දුක් නො දී හදා ගන්න හැකි හැම දෙයක්ම මෙයාල කළා.

‘‘මේ තමයි මගෙ ජීවිතේ…” කිය කියා අර පුතා ව හාදු දිදී තමයි හදා-වඩා ගත්තෙ. පුංචි පුතා උකුළෙ තියන් නැළෙව්වේ ‘‘මගේ පුතා – මගේ රජා…” කියලා. දරුවා හඬද්දි අම්මා භය වෙනවා. පපුවට තුරුලූ කරන් කිරි දෙනවා. ‘‘අනේ පුතා, ඔයා ඉක්මනට ලොකු වෙන්න. ලොකු වෙලා රජ වෙන්න.” ආදරෙන් බත් ගුලි කර කර කවනවා. කවි පද කිය කිය නළවනවා. රෑට නින්දක් නෑ. ඇයි? දවල් තිස්සෙ නිදන් හිටපු පුංචි පුතා ? තිස්සෙ අවදියෙන් සෙල්ලම් කරනවා. හුරතල් වෙනවා. අර අම්මා නිදි නැහැ. පුතා එක්ක ආදරෙන් සෙල්ලම් කරනවා. ටිකකට නින්ද ගියත් ගැස්සිලා නැගිටිනවා. පුංචි පුතා හොඳින් නේ ද කියලා බලනවා.

ටික ටික කාලෙ ගෙවිලා ගියා. අර පුතා දැන් ලොකුයි. අර අම්මයි, තාත්තයි දැන් වයසයි. එ් පුතත් රැකියාවක් කරන්න ගත්තා.

තව ටික කලක් ගත වුණා. අර අම්මා තාත්තා හරී ම වයසයි. ඇස් අන්ධ වෙලා ගියා. තමන්ගෙ කටයුතු පවා කර ගන්න එක අපහසු වුණා. නමුත් අර පුතා එ් අම්මටයි, තාත්තටයි තමන්ගෙ අතින් ම උපස්ථාන කළා. ආදරෙන් සැලකුවා. කැත කුණු අයින් කළා. නාවලා පිරිසිදු කළා. උයලා කන්න දුන්නා. පිරිසිදු පැන් බොන්න දුන්නා. පි‍්‍රය වචනයෙන් කථා කළා. කිසි ම අපහසුවක් වෙන්න දුන්නේ නැහැ. අම්මටයි, තාත්තටයි මේ වගේ පුතෙක් හදපු එක ගැන මහා සතුටක් දැණුනා.

එ් අම්මයි, තාත්තයි හිතුවෙ එ් පුතාගෙ සතුට ගැන ම යි. තමන් තව ටික දවසකින් මැරිලා යන බව එ් වයසක දෙමව්පියෝ හිතන්න ගත්තා. එ් නිසා හැමදාමත් ‘පුතාට දැන් ආවාහ විවාහ වෙන්න කාලෙ හරි’ කියලා මතක් කරන්න ගත්තා. එක එක කරුණු කියන්න ගත්තා. පුතාගෙත් තරුණ වයස නිසා පුතත් එ් ගැන හිතන්න ගත්තා. ලස්සන, හොඳ ගැහැනු දරුවෙක් හොයන්න ගත්තා. හොයපු විදිහෙ කෙනෙක් ව ම මුණගැහුනා. ලස්සනයි, හොඳයි, වැඩපළට දක්ෂයි. ලස්සනට කථා කරනවා. අම්මටයි, තාත්තටයි තමන්ගෙ ම දෙමව්පියන්ට වගේ සලකනවා කිව්වා. පණ වගේ සොයා බලනවා කිව්වා. කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැහැ කිව්වා.
ඉතින් තව මොනව ද අඩු? හැමෝ ම බොහොම සතුටට පත් වෙලා විවාහය කරවලා දුන්නා….

ගෙදරට ගෙනත් ටික දවසක් අම්මටයි තාත්තටයි හොඳට සැලකුවා තමයි… නෑව්වා, කැව්වා, පෙව්වා තමයි… ටික කාලෙකින් ම එපා වෙලා ගියා. අර පුතාට අම්මාගෙයි තාත්තගෙයි වැරදි කියන්න ගත්තා. ‘‘ගෙදර අපිරිසිදු කරනවා, මේක හරියන වැඩක් නෙවෙයි” කිව්වා. ‘‘මං ගෙවපු කරදර නැති ජීවිතේ හීනයක් වගේ” කිව්වා. ‘‘මාව ගෙනත් දුක් දෙනවට ඔහෙට හොඳක් වෙන්නෙ නැහැ.” කිව්වා. ‘‘මම ගෙදර යනව යන්න” කිව්වා. අර පුතාට දැන් කර ගන්න දෙයක් නැහැ. කැමැත්තෙන් ම කර ගත්ත විවාහෙ, දැන් දාලා යන්න හදනවා. දරාගන්න අමාරුයි… ‘‘අපි මොකද කරන්නෙ?” කියලා ඇහුව. අම්මවයි තාත්තවයි මරලා දාන්න කථා කර ගත්තා.

දවසක් අම්මාවයි, තාත්තාවයි කරත්තෙ දාගෙන ගමනක් යමු කියලා කැලේකට අරන් ගියා. මඟට ගිහින් කිව්වා, ‘‘අනේ අම්මෙ, තාත්තේ… මේ කැලේ මහා භයානක හොරු රංචුවක් ඉන්නවලූ… අපිව අහුවුණොත් අපිව මරාදාලා හරි වස්තුව හොයයි. අම්මයි, තාත්තයි අන්ධ නිසා කරදරයක් කරන එකක් නැහැ. අපි මේ ටික මඟ ඇරලා ඉන්නම්. හොරු ගියාට පස්සේ ඇවිත් අම්මලාව එකතු කරන් යන්නම්…” කියලා. අනේ, අර අම්මයි, තාත්තයි අංශුමාත‍්‍රයකින්වත් සැක කළේ නෑ. මේ පුතයි, ලේලියි හොරු ගහනව වගේ බොරු රඟපෑමක් කළා. අර අහිංසක අම්මටයි තාත්තටයි ඇටකටු කුඩු වෙන්න ගැහුවා. එ් ගහද්දි ගහද්දිත් අර අම්මයි තාත්තයි කියපු එක ම දෙයක් තිබුණ, ‘‘අනේ අපේ පුතාට නම් කරදරයක් වෙන්න එපා, අනේ පුතේ ඔයා බේරිලා යන්න, ඔයා අපේ ගැන හොයන්න එපා. ඔයා බේරිලා යන්න, අනේ අපේ පුතා සියලූ දෙවියෝ රැක ගනීවා…” ආනන්තරීය පාප කර්මයක් කළ එ් පුතා මරණයෙන් පස්සේ නිරයෙ උපන්නා.

මේ ගොතපු කථාවක් නෙවෙයි. ලෝකෙට දුර්ලභව ම පහළ වෙන සම්බුදුරජාණන් වහන්සේනමකට අගසව් වෙන්න පෙරුම් පුරපු මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ අතීත ජීවිතයක කථාව තමයි එ්. සංසාරෙ ගමන අපි හිතන තරම් සුන්දර නැහැ. උන් වහන්සේ මහා ඍද්ධි බල සම්පන්න වුණ, මහා පුණ්‍ය තේජසින් යුක්ත වුණ අවසන් අත්භවයේ පවා පිරිනිවනට පෙර ඇටකටු කුඩු වන තුරු ම පහර දීම්වලට ලක් වුණා. එ්, එදා දෙමව්පියන්ට කළ විපතේ අකුසල විපාක විදිහට…

හැමෝම දන්න කථාවක් මේ විදිහට ආයෙ මතක් කරන්න හිතුණෙ අද කාලෙ ගොඩක් අයට අමතක වුණු කථාවකට පෙරාපර සන්ධි ගළපන්න. අද අපිට හුඟක් පේනවා පුතාලා, දුවලා කොච්චරක් හිටියත් වයසට ගිහින් අනන්ත දුක් විඳින අම්මලා, තාත්තලා. ‘එ් එ් අයගෙ කර්ම විපාක වෙන්න ඇති’ කියලා අපිට මේ කථාව අහක දාන්න බැහැ. මොකද, අපි හැමෝම කර්මය තමන්ගෙ දෙය කරගෙන ඉන්න හින්දා…

ගමේ ගෙදර අම්මා තනිව ම ඉද්දි නගරයට ඇවිත් උසස් රැුකියා කරන දුවලා පුතාලා ඉන්නවා. සතියකට පාරක් විතර ගෙදරට කථා කරලා අම්මා ගැන හොයනවා. නමුත් එ් අයත් විවාහ වෙලා අම්මලාගෙන් වෙන් වුණාට පස්සෙ, එ් අයත් අම්මලා තාත්තලා වුණාට පස්සෙ, ‘අපිට අම්මා, තාත්තා ඉන්නව නේ ද…’ කියල එයාලට අමතක වෙනවා.

හැමදාම උදේ, හවස කන පුරාවට බණ ඇහෙන රටේ කාත් කවුරුවන් නැති විදිහට පාළු වුණු ගෙවල්වල මැරුණු වයසක අම්මලා කුණු වෙනවා. තමන්ගෙ ම අක්කගෙ කකුල කපලා, ආයෙ බද්ධ කරන්න බැරිවෙන්න කැලේ ගෙනියලා හංගන මල්ලිලා අද ලෝකෙට පහළ වෙලා. එ් බුදු නෙතින් දුටු ‘හෙට දවසේ ’…, ඔබටත් මටත් ඉපදෙන්න සිද්ධ වෙලා.

මොකක් ම හරි වාසනාවකට, කරපු මහා පිනකට අපි සිංහලේ ඉපදිලා. ලෝකෙට හරි දුර්ලභයි කියපු කල්‍යාණ මිත‍්‍රයන් පහළ වෙලා. කලාතුරකින් ඇහෙන පිරිසිදු ධර්මයත් දැන් මුණගැහිලා. එ් වුණාට දැන් ඔක්කොම හරි ද? අපි දැන් බේරිල ද?

මුලින් ම කියපු මුගලන් මහරහතන් වහන්සේගෙ අතීත කථාව ගන්න ඕන මෙන්න මෙතනටයි. මේ ලෝකෙට දුර්ලභව පහළ වුණු, කාටත් වඩා අපිට මහා සෙනෙහසක්, කරුණාවක් දක්වපු අපගේ බුදුරජාණන් වහන්සේ තමයි එ් වගකීම දෙන්නේ.

‘‘පින්වත් මහණෙනි, එක ම දෙයක් අත්හැර දමන්න, එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. එ් එක ම එක දේ මොකක්ද? පින්වත් මහණෙනි, ලෝභය නම් වූ එක ම දෙය අත්හරින්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. යම්කිසි ලෝභයකින් ඇලූනොත් එ් අයට යන්න වෙන්නේ දුගතියට තමයි. නමුත් ඔය කාරණය විදර්ශනා ප‍්‍රඥවෙන් දකින කෙනා එ් ලෝභය අත් හැරලා දාන්නේ, අවබෝධයෙන් ම යි. එ් විදිහට ලෝභය අත්හැරලා දාපු අරිය උතුමන් ආයෙ කවදාවත් මේ ලෝකෙට එන්නෙ නැහැ.

පින්වත් මහණෙනි, ද්වේෂය අත්හැර දමන්න,.. මෝහය අත්හැර දමන්න… ක්‍රෝධය… ගුණමකු බව… මාන්නය… අත්හැර දමන්න… මාන්නය අත්හැරීමෙන් ඔබ අනාගාමි වන බවට මම ඇපවෙනවා…”
අපේ හිතේ කෙලෙස් තියෙනකල් ම අපිට අනුන් එක්ක සමඟියෙන් ඉන්න අමාරු වෙනවා. කෙලෙස් යටපත් කර ගනිමින් ධර්මය ජීවිතයට පුරුදු කර ගැනීමෙන් අපට මේ ලෝකෙ යහපත්ව ඉන්න පුළුවන් වෙනවා. ධර්මය තියෙන්නෙ අහලා කියවලා දැනන් ඉන්න විතරක් නෙවෙයි. තමා තුළින් අත්දකින්න ඕන දෙයක් ධර්මය කියන්නේ. එ් නිසා අද ලෝකෙ හැම නිවසක ම හැම කෙනෙකුට ම සතුටින් ඉන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ ඔන්න ඕක තමයි. ධර්මය ඇහුවට විතරක් මදි. අහන ධර්මය පුරුදු කරන්න ඕන.

ගොඩක් දුවලා පුතාලා තරුණ වයසට එද්දි එ් අයගෙ හිත් එක එක දේවලට යට වෙලා යන්න ගන්නවා. ලෝකෙට පේන්න ලස්සනට, සල්ලිකාර විදිහට ඉන්න හිතෙනවා එ් අයට. අමුතු අමුතු ආශාවන්ට හිත යට වෙලා යන්න ගන්නවා. එ් මානසික මට්ටමින් එ් අය ගොඩක් අකුසලූත් කර ගන්නවා. විශේෂයෙන් ම විවාහයකින් පස්සෙ තමන් අලූතින් එකතු වෙන ගෙදර අම්මා, තාත්තා කෙරෙහි අකරුණාවන්ත ස්වභාවයක් තමයි අද තරුණ පිරිසේ දකින්නට තියෙන්නේ. බෑණලා, ලේලිලා කරන මේ නොතකා හැරීම් ගැන දුවලා, පුතාලටත් එ් තරම් ගාණක් නැහැ. එ්ත්, තරුණ අපට මෙන්න මේ විදිහට හිතන්න පුළුවන් නම් එ්ක අපට බොහෝ අකුසල්වලින් අත්මිදෙන්නට උපකාරයක් ම යි.

‘දැන් මෙහෙම හිටියට මගෙත් මේ කෙස් සුදුවෙලා යන දවස ළඟ ළඟ ම එනවා, මගේ මේ ඇඟ තරබාරු වෙලා, ජෙලි වගේ වෙලා, කොන්ද පවා කුදු වෙලා, කැත වෙලා යන දවස ළඟ ළඟ ම එනවා… මේ තරුණ වයස කියන්නෙ මහා කාලයක් පවතින දෙයක් නෙවෙයි. තව අවුරුදු 10-15ක් කියන්නෙ ඉක්මනට ම ගෙවිලා යන කාලයක්. අද මෙහෙම වයසට ගිහින් පිළිකුල් විදිහට හිටියත් මේ වයසක අම්මත් මම වගේ හිටපු කාලයක් තිබුණා. අද මේ වගේ පිරිසිදුව උන්නත් මටත් මෙහෙම අපිරිසිදුව ඉන්න වෙන කාලයක් ළඟ ළඟ ම එනවා. පුංචි ළමයෙක් වෙලා හිටි මට ලොකු ළමයෙක් වෙන්න මහා කාලයක් ගියෙ නැහැ. ලොකු ළමයෙක් වෙලා උන්න මට තරුණ කෙනෙක් වෙන්න මහා කාලයක් ගියෙ නැහැ. එ් වගේ ම තමයි අද තරුණ වෙලා ඉන්න මම වයසක කෙනෙක් වෙන්න මහා කාලයක් යන්නෙ නැහැ. කර්මය දායාදය කරන් ඉන්න, කර්මය ස්වකීය දෙය කරන් ඉන්න මම අද කියන කරන දේ ආයෙම උරුම කරගෙනයි ඉන්නෙ. එ් නිසා අද වයසට ගියපු මේ වයසක අයට හොඳට උපස්ථාන කළ යුතුයි. උපකාර කළ යුතුයි. පිළිකුල් නො කළ යුතුයි… මේත් අම්මා කෙනෙක්. මේත් තාත්තා කෙනෙක්… මමත් අම්මා කෙනෙක් වෙන කාලෙ ළඟ ළඟ ම එනවා. මමත් තාත්තා කෙනෙක් වෙන කාලෙ ළඟ ළඟ ම එනවා. මගෙ ම කියලා දරුවෙක්ගෙ හුරතල් බලන කාලයක් මටත් ළඟ ළඟ ම එනවා. මගෙ දරුවො මට නො සලකන එකට මම කැමති නැහැ. මගේ දරුවන්ගෙන් මට සැලකිලි නො ලැබුණොත් මගේ හිතට අපහසුවක් දැනෙනවානේ… එ් නිසා මම මේ අම්මලාගෙ හිත සනසන්න ඕන. ආදරෙන් සලකන්න ඕන.’

මේ ආකාරයෙන් එ් දෙමව්පියෝ ගැන හිතන්න පුළුවන් වුණොත් ඔය දෙමාපිය දූ දදරු ආරවුල් බොහෝමයක්, එකිනෙකාට වන හිත් රිදවීම් බොහොමයක් අඩු වේවි…. ඒ වගේම මව්පියොත් තමන්ගෙ දරුවො ගැන වගේ ම බෑණා, ලේලි ගැනත් අනුකම්පාවෙන්, සාධාරණව බලන්න පුරුදු වෙන්න ඕන.

‘මම දැන් මරණෙට ළං වුණු කෙනෙක්… මගේ මරණය ළඟ ළඟ ම එනවා. අද හරි, හෙට හරි, තව ටික දවසකින් හරි, කොහොම හරි මම මැරිලා යන්න ඉන්නෙ. එ් මැරිලා යන්න ඉන්න මට මේ මගේ දරුවා, මේ මගෙ දරුවගේ දරුවා කියලා අල්ල ගන්න දෙයක් නැහැ. කොහේ කොහොම හිටියත් මේ හැම දෙයක් ම දාලා මට යන්න වෙනවා. යන දවසට අරන් යන්න පිනක් විතරයි කර ගන්න ඕන. මේ දරුවො එක්ක රණ්ඩු සරුවල් වෙලා මට වැඩක් නැහැ. මම මේ හැමෝට ම මෛත‍්‍රී කරනවා. මේ හැමෝ ම සුවපත් වෙනවා නම් කොච්චර හොඳයි ද? මම කර ගත්තු විපාක තමයි මම දැන් උරුම කරන් ඉන්නෙ. එ් නිසා තව තව අකුසල් කර ගන්න හොඳ නැහැ. හැමදේම හරි ම ඉක්මනට වෙනස් වෙලා යනවා. මේ ? දවල් හරි ම වේගෙන් ගෙවිලා යනවා. ජීවිතේ ඉක්මනට ම මරණය කරා තමයි අරගෙන යන්නෙ. එනිසා දැන් බණ භාවනා කරන් පාඩුවේ ඉන්න ඕන කාලෙ. දරුවගේ දරුවා බලා ගන්න එක මට වදයක් නෙවෙයි, කරදරයක් නෙවෙයි. මේ දරුවා වුණත් ඇස්, කන්, නාසා ආදි ආයතන සමඟ උපන් කෙනෙක්, එ් ඇස් වුණත්, අනිත්‍යයි. එ් ඇස් වුණත් වයසට යනවා.’
මේ ආකාරයෙන් දෙමව්පියොත් ධර්ම මනසිකාරයකට පුරුදු වුණා නම් අද තියෙන ප‍්‍රශ්න හුඟක් හරියයි කියලා අපිට හිතෙනවා.

කාට වුණත් අන්තිමේ දී පිහිටට තියෙන්නේ ධර්මය විතරයි කියලා කාට කාටත් සිහිවෙනවා නම්, මේ ලෝකේ කොයි තරම් සුන්දර වෙයි ද? අනෙකාව යට කරලා තමා ඉස්මතු වෙන්න යන්නෙ නැතුව සුදුසු කෙනාට සුදුසු තැන දීලා හැම තිස්සෙ ම තමා තුළින් ධර්මය ගළපලා බලන්න පුළුවන් නම් මේ ලෝකය හරි ම සුන්දර වෙයි නේ ද? අපි මෙහෙම හිතුවට හැම විටම මෙහෙම වෙන්නෙ නැහැ කියලා ඔබත් දන්නවා, මමත් දන්නවා… මේ උත්සාහය එක්කෙනෙක්ව හරි යහපතක් කරා යොමු කර ගැනීමටයි. ආයෙ ආයෙත් මේ ලෝකෙ ම පත පතා හිටියොත් මේ ලැබිලා තියෙන වාසනාව පවා අපෙන් හරි ඉක්මනට ම ගිලිහිලා යන්න පුළුවන්. එ් නිසා ලැබුණු මොහොතේ වටිනාකම ගැන තීරණය කරලා මේ ජීවිතයත් – පරලොව ජීවිතයත් යහපත් කර ගන්න කල්පනා කරමු. තාම ඔබත් ගැලවිලා නැහැ. මමත් ගැලවිලා නැහැ. ‘අපි නම් දැන් හරි’ කියලා හිතෙන්න පුළුවන්, එ් වුණාට ඇත්තටම ‘අපි හරි ද?’ කියලා ආයෙ සැරයක් හොඳට හිතලා බලන්න කියලා මතක් කරනවා. හැබැයි මෙහෙම කාරණාවකුත් තියෙනවා. ඔය වයසට ගිහින් ගෙදරට වෙලා ඉන්න අම්මා, තාත්තා තමයි ඔබේ සුගතියේ දොරගුලූ හැරිය අය. ඔබ ව ලෙහෙසියෙන් ම දෙව්ලොව යවන අය. එ් නිසා එ් ගැනත් වෙනම ම හිතන්න ඔබට හිත් පහළ වේවා!

සියලූ දෙමව්පියන්ටත්, සියලූ දරුවන්ටත් මේ උතුම් ධර්මය ම පිහිට පිළිසරණ වේවා…! අපි සියලූ දෙනාටම සියලූ යහපත වේවා…!

රැස්වූ මේ පිනෙන් මගේ ආදර අම්මාටත් ධර්මාවබෝධය ම වේවා!

සටහන
නදීක විපුලගුණ