සරණාගත පිරිස් ගැන ලෝකයේ නන් දෙසින් අපට අසන්නට ලැබෙනවා. ‘සිංහල – සිංහල ශබ්දකෝෂයට’ අනුව නම් සරණාගතයා කියන්නේ ‘පිහිට පතා ආ පුද්ගලයා, ආපදා යුද ආදිය නිසා උන්හිටි තැන් නැති වී යන අය, අන් දෙස පිහිට පතා යන්නා, අනාථයා, අවතැන් වූවා’ කියන අර්ථ සහිත වචනයක්…. ඔව්… ලෝකයේ අපට මුණ ගැසෙන සරණාගතයෝ එ් තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ යුද ගැටුම්, ස්වභාවික ආපදාවන්, දිළිඳුකම ආදි වූ විපත් අබියස අන් අයගේ පිහිටක් මිස වෙනත් පිළිසරණක් ඔවුන්ට බලාපොරොත්තු විය නො හැකි නිසයි… ලොව පුරා මිලියන පහළොවකට අධික ජනකායක් දිවි ගෙවන්නේ සරණාගත කඳවුරු තුළ.
නිර්වචනයන් අනුව ම පිළිගන්නවා නම්, යන්න එන්න – ඉන්න හිටින්න තැනක් තිබෙන පුද්ගලයෙක් සරණාගතයෙක් වන්නට පුළුවන්කමක් නැහැ. එ්ත්, මිනිස් හිතට අසරණ බවක්, අනාථ බවක්, පිහිටක් – පිළිසරණක් නැති බවක් දැනෙන්නේ උන්හිටි තැන් අහිමි වූ විටදි පමණක් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන සිදුවීම් බොහෝමයක් ඉදිරිපිට අපිට අප ගැන හැෙඟන්නේ ‘අනාථ භාවයට පත් වූවන්’ කියලයි….
කෙනෙක් ගිලන් වූ අවස්ථාවක ඇප උපස්ථානය පිණිස මොන තරම් පිරිස් සිටියා වුණත් රෝගය නිසා ඇති වුණ අබල දුබලකම් දැනෙද්දි, තමන්ගේ කටයුතු වෙනදා වගේ තනිව ම කර ගන්නට අපහසු බව තේරෙද්දි එ් ගිලන් තැනැත්තාට අසරණ බවක් දැනෙනවා. උපකාර පිණිස බොහෝ දෙනා සිටියදීත් අසරණකමක් සිතට දැනෙනවා නම් උපකාරයට කිසිවෙක් නැතිව, කිසිම දෙයක් කර කියා ගන්න බැරි තරමට යම් කෙනෙක් ගිලන් වුණොත් ඔහුට මොන තරම් නම් අසරණකමක් දැනෙනවා ඇති ද?
කෙනෙක් වයසට ගිහින් ජරාවෙන් බැට කනකොට… වෙනදා වගේ කන් ඇහෙන්නෙ නැති වෙන කොට… ඇස් පෙනෙන්නෙ නැති වෙන කොට… ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙන කොට… රස පහස දැනෙන්නෙ නැති වෙන කොට… ආදරයෙන් සාත්තු සප්පායම් කරලා රැක බලා ගත්ත කය පවා තමන්ට අකීකරු වෙන කොට… එ් කෙනාටත් දැනෙන්නේ අසරණකමක්….
කන්න බොන්න අඩුපාඩු වුණත් අපි අසරණ වෙනවා… සුව පහසුවෙන් ඉන්න නැති වුණත් අපි අසරණ වෙනවා… යාළු මිත‍්‍රයෝ අමනාප වුණත් අපි අසරණ වෙනවා… ආදරය විරහවකට හැරුණමත් අපි අසරණ වෙනවා… ලෙඩක්, දුකක්, මරණයක් වුණත් අපි අසරණ වෙනවා… රටේ දේශපාලන අර්බුද නම්, ආගමික ගැටුම් නම්, සමාජයීය ව්‍යසනයන් නම් එ් සියල්ල නිසාවෙනුත් අපි අසරණ වෙනවා… මේ අසරණකම්වල කෙළවරක් නො පෙනෙන තරමට ම ජීවිතයේ ගෙවී යන සෑම මොහොතක් ම සම්බන්ධ වෙන්නේ අසරණකමකට ම තමයි… එහෙම බලනකොට ස්වභාවික ආපදා, යුද ගැටුම් ආදිය නිසා අසරණ වෙලා උන්හිටි තැන් අහිමි වෙලා පිහිට සොය සොයා යන පිරිස් විතරක් නෙමෙයි සරණාගතයෝ වෙන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් පිරුණ… ප‍්‍රිය විප‍්‍රයෝගයන්ගෙන්, අප‍්‍රිය සම්ප‍්‍රයෝගයන්ගෙන් සැදුන… දුක් දොම්නස් සුසුම් හෙළීම්, හඬා වැළපීම්වලින් පිරුණ… මේ මුළුමහත් ලෝකය ම සරණාගත කඳවුරක්..!
මිල මුදල් තිබුණා වුණත්, සා පවස් නිවන ආහාර පාන ලැබුණා වුණත්, හිසට සෙවණක් සැලසුනා වුණත් එපමණකින් අප සරණ ලැබුවා වන්නේ නැහැ. මේ සියල්ල ම උසස් අන්දමින් ලබන පුද්ගලයන් පවා කිසිවක් කර කියා ගන්නට බැරිව අන්ත අසරණ වන අවස්ථාවන් උදා වෙනවා. පමණ කළ නො හැකි වස්තු සම්භාරයන් ලැබුණත් එ් අසරණකම්වලින් ගැලවෙන්නට, නිදහස් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා මිහිමත ජීවත් වන කෙනෙක් මරණයට පත් වෙන මොහොතෙදිත් තමන්ට ඉටු කර ගන්න බැරි වුණ යම් යම් බලාපොරොත්තු ගැන සිතා දුක් වෙනවා නම් එ්ක අසරණකමක් නෙවෙයි ද? සඵල කර ගන්නට උත්සාහ කළ බොහෝ දේවල් නො ලැබී ම මේ ලෝකයෙන් සමුගන්න සිදු වෙනවා නම් එ්ක අසරණකමක් නෙමෙයි ද? එහෙම බලනකොට මුළු මහත් ලෝකයේ ම සිටින්නේ අසරණයො නෙමෙයි ද?
මිනිස් ලෝකයේ ඉපදුණු අප හඹා යන්නේ නොයෙක් ආශාවන්. එ් දේවල් සිතැඟි පරිදි සන්තර්පණය කර ගන්න බැරි වීම තමයි අපිට අනාථ භාවයන් කියා සිතෙන්නේ. සුව පහසුවෙන් ජීවත් වීම කියන අරමුණ කරා ළං වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ ලෞකික වූ ඉලක්ක සපුරා ගනිමින්. ගෙයක්, දොරක්, වාහනයක්, කෑම බීම, ඇඳුම් පැලඳුම්, මිල මුදල්, කෑම බීම…. මේ දේවල් තුළිනුයි අපි සැනසීම සොයන්නේ. එ් දේවල් ලැබුණත්, නො ලැබුණත් අපි වයසට යනවා, ලෙඩ වෙනවා, යම් දිනයක මරණයට පත් වෙනවා. අපි පැතූ ලෞකික සම්පත් ලැබුණා කියා ලෙඩ දුක්, ජරාව, මරණය ඉදිරිපිට අපි පිහිට පිළිසරණ ලැබුවා වෙන්නේ නැහැ… එය ම තමයි ලෝකය හාත්පසින් ම වෙලාගෙන තිබෙන සැබෑ ම අසරණකම, අනාථ භාවය….
මරණයෙදි අපි හරි හම්බ කළ වස්තුව අපට ගෙනයන්නට බැහැ. මිනිස් ලෝකයේ සිටින තාක් ධන බලයෙන්, නිල බලයෙන් අන්‍යයන්ව මැඩගෙන බලවතෙක් ලෙස නැගී සිටින පුද්ගලයාට මරණයේ දී එ් ධනය හෝ නිලය හෝ පිහිටක් වෙන්නේ නැහැ. සිතූ පැතූ සම්පත් මිනිස් ජීවිතය තුළ ලැබුණ නිසා ‘මම මහා බලවතෙක්, පින්වතෙක්’ යන හැඟීමට වසඟ වෙලා අකුසලයේ ම යෙදෙනවා නම්, සුගතියක උපදින්නට රැුස් වූ පිනක් නැති නම්, මරණයෙන් පස්සේ ඔහුට සතර අපායේ දොරටු විවර වෙනවා ම යි… නිරය, පේ‍්‍රත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය ඔහු වෙනුවෙන් බලා සිටින කොට දැරූ නිලය, පිරී ඉතිරී ගිය ධන බලය ඔහුව එයින් නිදහස් කරවන්නේ නැහැ… මේ ජීවිතයේ උන්හිටි තැන් අහිමි වීමෙන් ඇති වන අසරණකමට වඩා මරණයෙන් පස්සේ සතර අපායේ දොරටු තුළින් ඇතුළු වීමෙන් මුහුණ දෙන අසරණකම කෝටි ප‍්‍රකෝටි වාර ගණනින් තීව‍්‍රයි…. එය නෙමෙයි ද සැබෑ ම අසරණකම, අනාථ භාවය….?
ලෙඩක් දුකක් හැදුන මොහොතට, සා පවසින් පීඩා විඳින්න වුණ මොහොතට, විරහවෙන් – ප‍්‍රිය විප්පයෝගයෙන් බැට කන මොහොතට, ජරාවෙන් – මරණයෙන් අවසඟව යන මොහොතට ඔබේත් – මගේත් ඇස් කඳුළින් තෙත් වන්නේ අසරණකම, අනාථ භාවය දරා ගන්න බැරි නිසයි… ඇතැම් වෙලාවට සිතට දැනෙන පීඩාවන්, වේදනාවන්, අසරණකම් උසුලා සිටින්නට අසමත් වන අප මුවට ගන්නා බත් පිඩ පවා ගත පිළිස්සී ඉහළට නැගෙන මහත් වූ කායික හා චිත්ත වේදනාවෙන් යුතුව ඔක්කාරය කරන, වමනය දමන අවස්ථා තිබෙනවා. හුදෙක් මේ ජීවිතයේ කාම ආශාවන් සපුරා ගන්නට නො හැකි වීම නිසාවෙන් එසේ පීඩා විඳිනවා නම් ඉපදෙන – මැරෙන සසර රෝගයෙන් පීඩා විඳිමින්, සතර අපායේ වැටෙන අනතුරින් නිදහස් නො වී, මෙවැනි ම හෝ මීට වඩා අන්ත වූ දුක්ඛ පීඩාවන් ම විඳින්නට ඉරණම ඇතිව තව දුරටත් සසරේ ඇවිද යාමට සිදු වීම ගැන සිහිපත් කොට ලේ වමනය යන තරමේ බියක් ඇති විය යුතුයි නේ ද? එහෙත් අප කාටවත් එ් සා දැඩි සසර බියක් දැනෙන්නේ නැහැ. එහි තේරුම තමයි අප මේ සසර අනතුර හඳුනාගෙන නැහැ කියන එක.
තිරිසන් සතෙකු වුණත් සොයන්නේ කන්න බොන්න දෙයක්. ඉන්න හිටින්න තැනක්. එයින් සතුන් සෑහීමට පත් වෙනවා. එහෙත් උන් ජීවත් වන්නේ සැක බිය ඇතිව ම යි. උන්ව තෘප්තියට පත් කරවන ආහාර ටික පවා භුක්ති විඳින්නේ බියෙන් ගැහි ගැහී. අනතුරට පත් විය හැකියි කියන ඉව උන් සතුයි. මේ ලෝකයේ මනුෂ්‍යයන් බොහෝමයක් එවැනි ම වූ වුවමනා එපාකම් සපුරා ගැනීම ජීවිත පරමාර්ථය කරගෙන සිටිනවා. නමුත් ඔවුන්ට එ් දේවල්වලින් සෑහීමට පත් වීමක් නැහැ. තව තවත් රැුස් කර ගැනීම ම යි අපේක්ෂාව. එයින් සන්තෘප්තියට පත් නො වී සිටිය දී ම වයසට යනවා, ලෙඩ වෙනවා, දිරාපත් වෙනවා, මැරෙනවා, ආයෙමත් එවැනි හීන වූ ආශාවන් ම ජීවිතයේ පරම අර්ථය කරගෙන දුගතියක හෝ සුගතියක උපත ලබනවා. බිය, සැක, දුක කිසිවක කෙළවරක් නැහැ. මේ කෙළවරක් නැති ගමනේ නියැළෙන තාක් අපි කවුරුනුත් සරණාගතයන් යැයි කීමේ ඇති වරදකුත් නැහැ….
කාමය වෙනුවට නෙක්ඛම්මය, ව්‍යාපාදය වෙනුවට මෛත‍්‍රිය, විහිංසාව වෙනුවට අවිහිංසාව පුරුදු පුහුණු කරවන යම් දර්ශනයක් ලොව වේ නම් ඇලීම්, ගැටීම්, මුළා වීම් නිසාවෙන් ම සරණාගත වෙමින් අප පැමිණි මේ ගමන නවතාලන්නට පුළුවන්කම එ් දර්ශනයට තිබෙනවා. කෙලෙස් තවන වීර්යයත්, කෙලෙස් තවන ප‍්‍රඥවත්, මනා කොට පිහිටුවා ගත් සිහියත් තුළ පමණයි කෙලෙස් වසඟයට යාමෙන් අසරණව, අනාථව සිටින අපට සැබෑ පිළිසරණක් බලාපොරොත්තු විය හැක්කේ. සුගති – දුගති සැරිසරා දුක්ඛ දෝමනස්සයන් උරුම කර ගනිමින් මේ යන ගමන ගැන බිය ඇති කරගෙන සුළු වූ අකුසලයේත් ආදීනවය ම දකිමින් මේ අසරණකම්වලට ධර්මය තුළින් ම පිළිසරණ සලසා ගැනීමට අප අප‍්‍රමාදී විය යුතුයි. සිහි නුවණ ඇතිව මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා, සම්බුදු සසුනත් මුණ ගැසුණ මේ අවධියේ එ් දහම නිර්මලව අප සතු වන විටත් දහමේ හැසිරෙන්නට පමා වනවා නම්…., ‘ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ – සැපයක් දැයි කකුළුව දිය කෙළියේ?’…..
සටහන
භාරත සූරියබණ්ඩාර
Recent Comments