සූර්යරාජයා තමන්ට පැවරුන වගකීම නිසි ලෙස ඉටු කොට සඳු හා එ් පිරිවරාගත් තරු රාශීන්ට අහස් කුස භාර කර සැඟව යන මොහොතේ ලෝකය කෙතරම් නිසසල ද? ලෝකය කෙතරම් සොඳුරු ද? කෙතරම් අන්ධකාරයක ගිලූන ද හැල හොල්මනක් නැති රාත‍්‍රියක සුන්දරත්වය නො විඳින්නෙකු සිටිත් ද?

දිවා කාලය පුරාවට අව් රශ්මියට දැවෙන, දහඩියෙන් පෙෙඟන ගත නිවී යන්නේ එ් අඳුර මුසු වූ හෝරා කිහිපයේ ආරම්භයත් සමග ය. මහ පොළව හා සිරස්ව හිඳ නො නවතින ජීවන අරගලයක යෙදෙන මේ කය අඳුර ගෙවී යන තුරු පමණක් තිරස් කර විවේකයක් ලබා දෙන්නට ලෝකයෙන් ඉඩ හසර ලැබී ඇත. පිරිසෙන් වෙන්වී හුදෙකලා වන්නට ලැබෙන්නේ ද අප සයනට වී තනිවන, අපට නො දැනී ම ගෙවී යන එ් හෝරා කිහිපයේ දී ම ය. එහෙයින් ය අපට රාත‍්‍රිය එතරම් ම සුන්දර වන්නේ. එ් ඔබ මා අත් විඳින රාත‍්‍රියේ, හුදෙකලාවේ, අන්ධකාරයේ සුන්දරත්වයයි. ඉන් ඔබ්බට ගිය විට කවියෙකු දකින ලෝකය තුළ රාත‍්‍රිය වර්ණනාවට ලක් වන්නේ ඉතා ඉහළිනි. සුන්දර රාත‍්‍රියක් තුළ කවියෙකුට හොරෙන් සේපාලිකා මලකට පිපෙන්නට ඉඩක් නැත. කණමැදිරියෙකුට ඉගිලෙන්නට ඉඩක් නැත. තරුවකට හෝ වලාකුළක සැඟවෙන්නට ඉඩක් නැත. එ්, සොඳුරු රාත‍්‍රියේ සෑම සියුම් සුන්දරත්වයක් ම කවියෙකු තම පන්හිඳට හසු කරගන්නට දක්ෂ වන හෙයිනි. සැබෑවකි, රාත‍්‍රිය සැබවින් ම සුන්දර ය…..

එ් නමුදු රාත‍්‍රියක සුන්දරත්වය සැබෑවට අත් විඳි අයෙක් වෙත් නම් එ් ඔබ මා සරණ ගිය තුන් ලෝකාග‍්‍ර අපගේ සම්බුදුරජාණන් වහන්සේ ම ය; උන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ ම ය. රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් බරින් නිදහස්ව සමාහිත සිතින් යුතුව රැුයක් පහන් කරන්නට උරුමකම් කී උන් වහන්සේලා දකින අන්ධකාරයේ සුන්දරත්වය හා රාගය, ද්වේෂය, මෝහය මුසු වූ අප දකින සුන්දරත්වය කෙසේ නම් සසඳන්න ද? කෙසේ නම් ගළපන්න ද? බුද්ධ දේශනා කෙරෙහි අපගේ අවධානය යොමු වන්නේ නම්, රාත‍්‍රියෙහි සැබෑ ඵල නෙළා ගත්තේ ද එ් භාග්‍යවතුන් වහන්සේත්, එ් ආර්ය වූ ශ‍්‍රාවකයනුත් පමණකැයි අපට පසක් වනු ඇත….

අප දකින සුන්දර වූ රාත‍්‍රිය අප නිසා ම අසුන්දර වන්නට වැඩි වේලාවක් ගත වන්නේ නැත. එක් රාග සහිත සිතිවිල්ලකින්, එක් ද්වේෂය මුසුවූ සිතිවිල්ලකින් මහා මූසල රාත‍්‍රියක් බවට එය පත් වනු ඇත. වර්තමානය වන විට ඉහත එකී සුන්දර අන්ධකාරය තුළ සිදුවන අසුන්දර දේ බොහෝ ය. උදේ සිට වෙහෙස මහන්සිව නිවසට එන තම ආදර පියාට තුරුලූ වී නිදාගන්නා දරුවන් එ් රාත‍්‍රියේ පියාගේ ම ඇඟිලි තුඩුවලට සිරවී මිය ගොස් ය. සොඳුරු සංගීතයෙන් සුසැදි සන්දර්ශනයනට ගොඩ වදින යහළුවන් දෙදෙනෙකුගෙන් පසු දින ගෙදර එන්නේ එක් යහළුවෙක් පමණි. දිනපතා එළි දකින පුවත්පත් පුරාවට ලියවෙන ලිපි ශීර්ෂ බොහොමයක් සමන්විත වන්නේ අපි මොහොතකට පෙර කියූ එ් සොඳුරු අන්ධකාරයේ සිදු වූ අසුන්දර කථා ප‍්‍රවෘත්ති සම්බන්ධයෙනි.

මීට දශක තුන හතරකට පෙරාතුව මේ සොඳුරු දීපය තුළ රාත‍්‍රිය කොතරම් සුන්දර වන්නට ඇති ද? පුංචි නිවෙස්වලින් එළියට විහිදෙන කුප්පි ලාම්පු ආලෝකය හැරුන විට තිබෙන්නට ඇත්තේ පාරක තොටක පුද්ගලයෙකුගේ අතක රැුඳුන හුලූ අත්තක ආලෝකයකි. ඉඳ හිට ගෙයකින් ඇසෙන රේඩියෝ ශබ්දය ද වැඩි වෙලාවක් නො පවතින්නට ඇත. එහි විකාශය මධ්‍යම රාත‍්‍රියට පෙර නිමා වන බැවිනි. අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් වී ඇත. තොරතෝංචියක් නැති රූපවාහිනී ශබ්දය රාත‍්‍රිය පුරාවට තම බල පරාක‍්‍රමය කෙතරම් පතුරුවාගෙන ඇත්ද යත් කුඩා දරුවෙකු හඬන හඬක්වත් නො ඇසෙන තරම් ය. දරුවෙකුට කිරි පැණි ඉල්ලන්නටවත් හඳ පෙන්වන්නට ගෙමිදුලට බසින්නට රාත‍්‍රී කාලයේ මව්වරුන්ට ඉඩකඩක් නැත. අනාගතයේ කවීන්ට කවීත්වය ද අහිමි කරවන තරම් භයානක රාත‍්‍රියකට අපට උරුමකම් කීමට වන බව නම් පැහැදිලි ය. සන්සිඳුන සිත් මඬලක අසිරිය සිහිනෙන් පමණක් දකින්නට වන දිනක රාත‍්‍රිය පහන් කරන්නට සිදු වනුයේ කොතැන කොයි මොහොතේ අනතුරක් සිදු වේදැයි නිදි වර්ජිතව බියෙන් සැකෙන් ගැහෙමින් ය.

එදා… උරුවේල කාශ්‍යපයන් සහ භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණ එ් සොඳුරු අඳුර මනසින් ස්පර්ශ කරන්නට හැකි නම්.. එය කෙතරම් සුන්දර වන්නට ඇත්දැයි අපට සිතා ගත නො හැකි ය. එ් උත්තමයන් වහන්සේලාට කුඩා පහන් ආලෝකයෙන් එකිනෙකාගේ ඡායාව හැරෙන්නට රූපයවත් නිසි ලෙස නො පෙනෙන්නට ඇත. එවන් අඳුරක පළමුව මුණගැසුණ නමුත් අප භාග්‍යවතුන් වහන්සේගේ ප‍්‍රඥාලෝකය විහිදුවන එ් මිහිරි වදන් හමුවේ පසු කලෙක උරුවේල කාශ්‍යපයන් සියලූ කෙලෙස් බරින් නිදහස් වූ සේක. කෙළවරක් නො පෙනෙන, අනන්ත දුක් ගැහැට විඳිමින් පැමිණි අති දීර්ඝ සසරින් එතෙර වන්නට උදාවූ එවන් රාත‍්‍රියකට සොඳුරු රාත‍්‍රියක් යැයි නො පවසා පවසන්නට වෙනත් යමක් තිබේ ද?

එදා.. පටාචාරා තෙරණිය සමාහිත සිතින් යුතුව තම දෙපා සෝදාගෙන සැතපෙන්නට කුටියට වැදී, පහනෙහි පහන් තිරය පහළට ඇද තිබූ එක ම ආලෝකය ද නිවා දමා අන්ධකාරයේ සැතපෙන්නට සූදානම් ව රාග, ද්වේෂ, මෝහ නමැති ගිනි පුලිඟු නිවා දමා ප‍්‍රඥාව නමැති මහා ආලෝකය උපදවාගත් එ් අන්ධකාරයට සොඳුරු අන්ධකාරයක් යයි නො පවසා කුමක් පවසන්න ද?

එදවස එක්තරා දෙවියෙක් කුමාර කාශ්‍යප තෙරණුන් වහන්සේ හමුවට පැමිණ රාත‍්‍රී කාලයේ දුම් දමන, දහවල් කාලයේ ගිනි ගන්නා තුඹසක් ගැන කරුණු විමසා සිටියේ ය. එ් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන විට එයට පිළිතුරු වශයෙන් උන් වහන්සේ වදාළේ..

‘‘පින්වත් භික්ෂුව, ‘තුඹස’ කියලා කියන්නේ මේ ශරීරයට කියන තවත් නමක්. මව්පියන් නිසා හටගන්න, බත් මාළුපිනිවලින් හැදෙන වැඩෙන, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් කරන, බිඳී යන ස්වභාවයට අයිති සිරුරටයි තුඹස කියලා කියන්නේ..

පින්වත් භික්ෂුව ? තිස්සේ හිත හිතා ඉන්නවා, කල්පනා කරකර ඉන්නවා, දවල් කාලෙ කරන්ට ඕන දේවල් ගැන. එ්කට තමයි ? තිස්සෙ දුම් දානවා කියලා කියන්නේ..

පින්වත් භික්ෂුව ? තිස්සේ හිත හිතා ඉඳල, කල්පනා කරකර ඉඳලා දවල් කාලෙදි සිතින් කයින් වචනයෙන් කටයුතු කරනවා. ඕකට තමයි කියන්නෙ දවල් කාලෙ ගිනි ගන්නවා කියලා.” (වම්මික සූත‍්‍රය)

බත් මාළුපිනිවලින් හැදුන ශරීරය නමැති තුඹස රාත‍්‍රි කාලයේ ඇඳ මත හාන්සි කර අපිදු සුවසේ සිටිමු. නමුදු ඉන් දුම් දමන බවක් අපට සිහිපත් නො වන්නේ නම් එය කෙතරම් අභාග්‍යක් ද?

භාග්‍යවතුන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ට දේශනාකොට වදාළේ සිංහ සෙය්‍යාවෙන්, උට්ඨාන සංඥාවෙන් යුතුව රාත‍්‍රි නින්දට යන ලෙස ය. එනම් දකුණු ඇලයට හැරී සිහියෙන් යුතුව පසුදා අවදිවන සංඥාව සිතෙහි දරාගෙන නිදාගන්නා ලෙස ය. උඩුබැලි අතට නිදාගැනීම උන් වහන්සේ කාම සෙය්‍යාව ලෙසත්, වැතිරී මුනින් අතට නිදා ගැනීම පෙරේත සෙය්‍යාව ලෙසටත් වදාළ සේක. කාම සෙය්‍යාව සහ පෙරේත සෙය්‍යාව ප‍්‍රතික්ෂේප කළ උන් වහන්සේ සිංහ සෙය්‍යාව ම අනුදැන වදාළ සේක. නින්ද සඳහා මෙවන් ඉරියව් පවා උන් වහන්සේ අපට දේශනා කොට වදාළේ තුඹසෙන් දුම් නො නගින ලෙසට සංවර වීම සඳහා ය..

වර්තමාන සමාජයේ සිදුවන සියලූ ම මනුෂ්‍ය මූලික ව්‍යසනයන් ගත් කල එ් බොහොමයක් සැලසුම්ගත වන්නේ ද, එ් සදහා කෙටුම්පත් සැකසෙන්නේ ද අඳුරු වූ රාත‍්‍රිය තුළ නො වේ ද? මිනී මැරුම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ ආදිය සාර්ථක කරගැනීමට නිදි වර්ජිතව සැලසුම් සකස් කරති. මෙසේ සකස් කරන සැලසුම ක‍්‍රියාවට නංවන තාක් තුඹසින් දුම් දැමුව ද එය කිසිවකුටත් පෙනෙන්නේ නැත. එය ක‍්‍රියාවට නංවන විට ද කිසිවෙකුටත් එය නො පෙනෙන්නට රහසේ සාර්ථකව කිරීමට හැකියාව ඇත. නමුදු…. කිසි දිනකවත් ඉන් ලැබෙන විපාකයෙන් තමාට ගැලවී සිටින්නට නම් නො හැක්කේ ම ය.

එබැවින් උදාවන සෑම රාත‍්‍රියක් ම සුන්දර රාත‍්‍රියක් බවට පත් කරගැනීමට අප දක්ෂ විය යුතු ය. විඩාව නිවා ගැනීමට සොබාදහමෙන් ලැබෙන අඳුරු වුව ද සොඳුරු මොහොතක් සේ බුදුරජාණන් වහන්සේට මල් පහන් පුජා කිරීමෙන් ආරම්භ කළ හැකි ය. ඉන් පසු සුළු වේලාවක් හෝ ලෝක සත්වයාට මෙත් සිත පතුරුවන්නට අපගේ කාලය වෙන් කරගන්නට හැකි නම් කොතරම් අගනේ ද? දවසින් හරි අඩක් ම කාමයන් උදෙසා වෙහෙසුන කල අපගේ සිල් පදවලට සිදු වූ යම් අනතුරක් වේ දැයි එ් පිළිබඳ ප‍්‍රත්‍යවේක්ෂා කර බැලීමට සුළු වේලාවක් හෝ වෙන් කරගන්නට හැකි නම් අපගේ සිත් රාත‍්‍රිය සේ ම නිසංසල වනු ඇත.

අර්ථවත් සොඳුරු රාත‍්‍රියකට උරුමකම් කීමට අප වාසනාව ලදහොත් අපගේ සිල් පද හොඳින් ආරක්ෂා වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ සුනිමල දහම ඉගෙනගැනීමෙන්, එ් දහම තුළ හැසිරීමෙන් කෙළවරක් නො පෙනුන සංසාරයෙන් එතෙර වීමට භාග්‍ය උදා කරගත හැකි වනු ඇත. අඳුරින් ඵල නෙළාගෙන ආලෝකය ස්පර්ශ කිරීමට හැකි වනු ඇත. දුම් නො නගින්නා සේ ම, එ් හේතුවෙන් ගිනි ද නො ගන්නා තුඹසක හිමිකරුවන් වන්නට අප හැමට ම භාග්‍ය උදාවේවා!

සටහන
තේජා දිල්රුක්ෂි දයාරත්න