ලෝකය විසින් සම්පාදනය කරගෙන තිබෙන ප‍්‍රමිතිකරණ නිර්ණායකයන් තුළ අප වනාහී පෙරමුණේ රැඳී සිටිනා රටක් නො වේ. ලෝකයේ කේන්ද්‍රීය රටක් බවට පත් වන්නට තරම් අප සංවර්ධනය වී නැත. ආර්ථික හා භෞතික වශයෙන් අප තවමත් දියුණු වෙමින් පවතින රටකි. එ් වනාහී ලෝකයේ අප දැනට අත්පත් කරගෙන තිබෙන ස්ථානය යි.

වසර තිහක් මුළුල්ලේ දහස් ගණනින් මිනිස් ජීවිත ද කෝටි සංඛ්‍යාත දේපළ හා ධනය ද විනාශ මුඛයට ඇද වට්ටවමින් ක‍්‍රියාත්මක වූ දරුණු ත‍්‍රස්තවාදයකින් බැට කෑ රටක් වශයෙන් අප මේ මට්ටමේ හෝ සිටීම ගැන සතුටු වනවා මිස ලෝකය තුළ අප අසංවර්ධිත රටක් වීම යනු දුක් වන්නට කාරණයක් නො වේ. රටේ ජාතික ආර්ථිකය වැඩි බරක් දරමින් යුද්ධයක යෙදෙන විට එරට තුළ කවර නම් භෞතික සංවර්ධනයක් අපේක්ෂා කරන්න ද? එ් අතීතය දන්නා අපට අප දුප්පත් හෝ අසංවර්ධිත හෝ දුර්වල හෝ රටක් ලෙස ලෝකය විසින් නම් කරනු ලැබීම ගැටලූවක් නො වේ. ගැටලූව වන්නේ පශ්චාත් යුද සමයක හිඳිමින් අප නැගී සිටින ජවය ප‍්‍රමාණවත් ද යන්න ය.

අපට එරෙහි වූ ලොව

ගරු ජනාධිපතිතුමන් ඇතුළු රාජ්‍ය නායකයන්ගේත්, හමුදාපතිවරුන් ඇතුළු රණවිරුවන්ගේත් අප‍්‍රතිහත කැපකිරීම් සේ ම බහුතර රටවැසියන්ගේ ඉවසා දරා ගැනීම් මත, ලොව ම මවිත කළ මානුෂීය මෙහෙයුමකින් අනතුරුව ලක්මව කුරිරු ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් නිදහස් කර ගැනීමේ වාසනාව අපට ලැබුණි. එ් මෙයින් පස් වසරකට පෙර ය. ත‍්‍රස්තවාදයෙන් අප නිදහස් වනවාත් සමඟ ත‍්‍රස්තවාදය හරහා ඇති වූ ආර්ථික හා සමාජයීය දුර්විපාකයන්ගෙන් රට නිදහස් වීමක් සිදු වුණේ නැත. එපමණක් නොව සියලූ ජනවර්ගයා විසින් රටේ නිදහස් ස්වෛරී වාතාවරණයක් පැවතීම සතුටින් පිළිගත්තේ ද නැත. එයට හේතු වූයේ ඇතැම් ජන කොටස් ත‍්‍රස්තවාදීන් ස්වකීය විමුක්ති නායකයන් ලෙසින් පිළිගෙන සිටීම යි. එසේ ම ත‍්‍රස්තවාදය පෝෂණය කළා වූ විදේශයන් ත‍්‍රස්තවාදයේ පරාජය අර්ථ දැක්වූයේ රටේ සුළු ජාතියට කළ පීඩාවක් ලෙස ය. මේ සියලූ දුෂ්කරතා හමුවේ රටක් වශයෙන් අප හමුවට ආ අභියෝග සුළුපටු නො වී ය.

ලෝකය විසින් ම කුරිරු ම ත‍්‍රස්තවාදීන් ලෙස නම් කරන්නට යෙදුණ පිරිසක් මානුෂීය මෙහෙයුමකින් පරාජය කළ අප ලෝකය ඉදිරියේ වීරයන් ලෙස පිළිගැනුණේ නැත. යුද්ධය එපා කියමින් ම යුද්ධයට ම උඩගෙඩි දුන් බටහිර රටවල් යුද අපරාධ සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අපට චෝදනා එල්ල කිරීම ඇරඹුවේ අප ත‍්‍රස්තවාදය පරාජය කළ පසුව ය. එ් තාක් ජීවත් වීමේ අයිතිය පවා අර්බුදයකට ලක්ව තිබුණු ඛේදනීය යුගයක අප සිටි බව ඔවුන් සලකා බැලූවේ නැත. එසේ ජාත්‍යන්තරය හරහා අපට අභියෝග එල්ල කෙරුණා මිස යුද්ධයකින් බැට කෑ රටක සමාජ ආර්ථික තත්ත්වයන් හා ජීවන මට්ටම ඉහළ නංවන්නට උපකාර කළ යුතු බව ලෝක බලවතුන් සිතුවේ නැත. අවසානයේ අප ලද මානුෂීය ජයග‍්‍රහණය පවා ලෝක බලවතුන්ගේ බලාධිකාරය පතුරුවා හැරීමේ අටියෙන් සිදු කරන මෙහෙයුම්වල ඉත්තෙක් බවට පත් විය. යුද්ධයෙන් පසු එළඹි පස් වසර මුළුල්ලේ ම අප සිටින්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වන මෙකී පීඩනයන්ට ශක්තිමත් ව මුහුණ දීමේ ක‍්‍රමෝපායන් සොයමිනි.

අපට තිබෙන අභියෝග

දේශීය වශයෙනුත්, විදේශීය වශයෙනුත් අප හමුවේ ඇති අභියෝග ගණනාවකි. මානූෂීය යුද මෙහෙයුම සම්බන්ධයෙන් ද රටේ ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් ද විදේශයන් තුළ ඇති දුර්මතයන් අප ජය ගත යුතු ය. ගෝලීය සමාජ ආර්ථික සම්ප‍්‍රදායයන් සමඟ ගනුදෙනුවක යෙදෙනා කුඩා රටක් වශයෙන් අප යහපත් විදේශ සම්බන්ධතාවයන් තර කර ගැනීම අත්‍යවශ්‍ය ය. හැරත් සිදු නො කළ වරදකට අප වරදකරුවන් බවට පත් කරලන්නට ඉඩ හැරිය යුතු ද නැත.

එසේ ම ශ්‍රී ලංකාව වාසයට සුදුසු වූ රටක් ලෙසින් ලොව තුළ පිළිගැනීමක් ඇති කළ යුතු ය. රටෙහි ඇතිවූ නොසන්සුන්තාවයන් පදනම් කරගෙන පසුගිය කාලයේ ඇමෙරිකානු තානාපතිනිය ප‍්‍රකාශ කර තිබුණේ ‘සිංහලයන් යනු මිලේච්ඡ ජාතියක්’ කියා ය. පදනම් විරහිත මෙවන් චෝදනාවන් හරහා සිදු වන්නේ මානූෂීය ගුණධර්මයන්ගෙන් හෙබි මනුෂ්‍ය කොට්ඨාශයක් ලෙසින් අප යුග යුග ගණනින් පවත්වාගෙන ආ සම්ප‍්‍රදායන්ට පහර වැදීමකි. එවැනි පහරවලින් සිදු වන හානිය සුළුපටු නො වේ. එය ආපසු හරවන්නට නම් ඊට නොදෙවෙනි ආකාරයකින් අප අපගේ ශිෂ්ට සම්පන්න භාවය තහවුරු කළ යුතු ය.

යුද්ධයෙන් බිඳ වැටුණු ජන ජීවිත සාමයේ සහ සංහිඳියාවේ විශ්වාසනීයත්වය තහවුරු වන පරිදි නැවත ගොඩ නැංවීම ද අප හමුවේ ඇති අභියෝගයකි. එක්සේසත් කළ රටක සුව පහසුවෙන් දිවි ගෙවන ජන කොට්ඨාශයක් ලෙස තම තමන් විෂයෙහි සිතා බලන්නට හැකි පසුබිමක් සියලූ දෙනාට උරුම කළ යුත්තේ එ් වෙනුවෙනි. එසේ ම පසුගාමී ව තිබූ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජවාධික ව ක‍්‍රියාත්මක විය යුතු ය. සරලව ම කියන්නේ නම් යුද ගිනි දැල් නිසා අළුව ගිය රටකට බිංදුවේ පටන් නැගිටින්නට සිදු වූ අවස්ථාවක් ලෙස මෙය සලකා රටේ ආර්ථික, සමාජයීය, දේශපාලනික, අධ්‍යාපනික, ආගමික, සංස්කෘතික සහ ආධ්‍යාත්මික පැවැත්ම පූර්ණ අවධානයකින් යුතු ව ප‍්‍රතිසංස්කරණය කළ යුතු ය.

ගෙවී ගිය පස් වසර තුළ මේ ඉලක්ක කරා යම් මට්ටමකින් හෝ ළං වන්නට අප උත්සාහ කළ බවත්, එසේ ම යම් යම් සාර්ථකත්වයන් අත්පත් කර ගන්නට අප සමත් වූ බවත් නොරහසකි. එහෙත් අප තව ම අපේක්ෂිත අරමුණු කරා ළං වී නැත. බාහිර මෙන් ම අභ්‍යන්තර බාධක ද නො සිතූ ආකාරයන්ගෙන් ඉස්මතු වීම, පශ්චාත් යුද සමයේ සංවර්ධනය සීමා කරන්නට සමත් ව තිබේ. එහෙත් අප අතීතයේ පවා රටක් වශයෙන් පසුගාමී වී නැත. එසේ ම අපට ප‍්‍රබල ව නැගී සිටින්නට බැරිකමක් ද නැත. අප සතුව නැත්තේ එක් එක් අංශයන් මනා කොට නියාමනය කරමින් ක‍්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියකි. මෙකී නියාමනය නිසි ලෙස සිදු කරන්නට අප සමත් වන්නේ නම් දස වසරක් ඉක්ම යන්නට පෙර ශ්‍රී ලංකාව සුඛිත, මුදිත, සංවර්ධිත දේශයක් කරන්නට හැකි ය. මෙවර මහාමේඝ මැද පිටුවේ ඉඩහසර වෙන් වන්නේ අප දිනූ සිංහලය සෞභාග්‍යවත් දේශයක් කරවීම උදෙසා වන සැලසුමකට ය.

සැබෑ දියුණුවේ රන් දොරටු

මේ සංවර්ධන සැලැස්ම අපගේ් පුද්ගලික මති මතාන්තරයක් නො වේ. සම්බුදුරජාණන් වහන්සේ යමක් වදාළෝ නම් එය එ් ආකාරයෙන් ම සිදු වන බවත්, අන් ආකාරයකින් නම් සිදු නො වන බවත් විශ්වාසයෙන් ම දරාගෙන සිටින ශ‍්‍රාවකයන් වශයෙන් අප මේ සිදු කරන්නේ සම්බුදු මුව මඬලින් දේශනා කොට වදහළ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය සේවනය කරමින්, සංවර්ධන අභිමතාර්ථ අත් පත් කර ගන්නා ආකාරය පෙන්වා දීම ය. එ් අසිරිමත් දම් අමාවන්ගෙන් දෙලොව දියුණුව සැලසූ අසිරිමත් ශාස්තෘත්වයට අපගේ නමස්කාරය වේවා!

සැබෑ දියුණුව වනාහී මෙලොව ද පරලොව ද යහපත සලසන්නකි. තමන්ට ද අන්‍යයන්ට ද යහපත සලසන්නකි. කිසිවෙක් නො පෙලන්නකි. එකී දියුණුව සිතුවිලි මාත‍්‍රයක් නො වේ. එය සාක්ෂාත් කළ හැක්කකි. එ් වෙනුවෙන් වුවමනා වන්නේ කළ යුතු දේ කිරීමත්, නො කළ යුතු දේ නො කර සිටීමත් ය.

නුවණින් යුතු ව නැගී සිටිමු….

සැබෑ දියුණුවට මංපෙත් විවර කරන පළමුවන කරුණ නම් රැකියාව කුමක් වුව ද එ් රැුකියාව තුළ උට්ඨාන සම්පදාවේ යෙදීම ය. ගොවියාට ද කම්කරුවාට ද ව්‍යාපාරිකයාට ද ගුරුවරයාට ද වෛද්‍යවරයාට ද ඉංජිනේරුවාට ද ආදි වශයෙන් සියලූ වෘත්තිකයනට මේ කාරණය පොදු ය.

එසේ ස්වකීය වෘත්තිය තුළ නුවණින් යුතු ව නැගී සිටීම යනු කුමක් ද? එනම්, එ් වෘත්තිය පිළිබඳ ව දක්ෂ විය යුතු ය. තමා සිදු කරන කටයුත්ත පිළිබඳ මනා අවබෝධයක්, දැනුමක් සහිත ව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතු ය. එසේ ම එ් කාර්යයෙහි ලා අලස නො විය යුතු ය. නොයෙක් ආකාරයන්ගෙන් පර්යේෂණ කරමින්, නව අත්හදාබැලීම් සිදු කරමින් එකී වෘත්තිය උපායශීලී ව අභිවෘද්ධියකට පත් කරන්නට උත්සාහ දැරිය යුතු ය. එ් සියලූ කටයුතු මනා ව කළමනාකරණය කළ යුතු ය.

මෙකී මූලධර්මයන් ඕනෑම වෘත්තියක් තුළ භාවිත කළ හැකි ය. වෘත්තීයමය වශයෙන් දියුණුවක්, සමෘද්ධියක් ඇති කිරීමට නම් මේ න්‍යායන් වෘත්තීයමය වශයෙන් යොදා ගැනීම කළ යුතු ම ය. ලොවට නව නිෂ්පාදන බිහි වන්නේ කිසිවෙකු විසින් හෝ සිදු කළ දෙය ම යළි කිරීමෙන් නො වේ. ලොව අති දියුණු කාර්මික ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනා රටවල් දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුහු මේ න්‍යායාත්මක කරුණු ප‍්‍රායෝගික භාවිතයේ යොදවන බව ය. දැනුම යල් පැන ගිය දෙයක් බවට පත් නො වී කාලානුරූපව වෙනස් වෙමින්, සංශෝධනය වෙමින් මනුෂ්‍ය වර්ගයාට යහපත සලසා දිය යුතු ය.

පාසලේදීත්, විශ්වවිද්‍යාලයේදීත් අප දරුවන්ට ඉගැන්විය යුත්තේ නුවණින් යුතු ව නැගී සිටීමෙන් උට්ඨාන සම්පදාවේ යෙදෙන ආකාරය ගැන ය. ඔවුන් දිරිගැන්විය යුත්තේ එ් වෙනුවෙන් ය. සමාජ සංවර්ධනය යනු තනි තනි ව අත්පත් කර ගත හැක්කක් නො වේ. එ් තුළ සමස්ත සමාජය ම ආවරණය වන සුවිසල් මෙහෙයුම් ජාලයක් අන්තර්ගත ය. ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ දී එ් සියලූ සමාජයීය මෙහෙයුම් ආමන්ත‍්‍රණය වන පරිදි මේ සැබෑ දියුණුවේ සිද්ධාන්ත ක‍්‍රියාවේ යෙදවීම රට කරවන්නන් විසින් මඟ නො හැරිය යුතු මහඟු කාර්යභාරයක් ය.

ඉපැයූ දේ රැකගමු…

මෙසේ නැගී සිටි වීර්යයෙන් යුතු ව, වෙහෙස මහන්සි වෙමින්, දහදිය වගුරුවමින් උපයා ගන්නා ධනය හා දේපළ සුරක්ෂිත කර ගන්නට වග බලා ගැනීම දියුණුවට උපකාරී වන්නකි. ස්වකීය වස්තු සම්පත් පාලකයන් හට පැහැර ගත නො හැකි පරිද්දෙන්, සොර බියෙන් හානි නො ලබන පරිද්දෙන්, ජලයෙන් – ගින්නෙන් හෝ අප‍්‍රිය අමනාප ඥතීන් අතට පත් වීම නිසා විනාශයට පත් නො වන පරිද්දෙන් වුවමනා කරන ආරක්ෂිත විධි විධාන සලසා ගත යුතු ය. එසේ ආරක්ෂා වන්නට දක්ෂ විය යුතු ය. එය වනාහී ආරක්ඛ සම්පදාවයි.

උපයා ගත් වස්තුව එසේ රැක නො ගන්නේ නම් එයින් නිසි ප‍්‍රයෝජන ලැබීම උගහට ය. වුවමනා ආරක්ෂක ක‍්‍රමෝපායන් සලසා නො තිබීමෙන් සැහැසියන්, වංචනිකයන්, ආක‍්‍රමණිකයන් හට බලහත්කාරයෙන් හෝ එ්වා පැහැර ගැනීමට ඉඩ සැලසෙනු ඇත. එයින් තමන් ඉපැයූ දේ ඵල රහිත වනවා සේ ම සමාජය අනතුරේ හෙළන්නන්ට උඩගෙඩි දීමක් ද සිදු වේ. එනිසා වෘත්තිය කවරක් වුව ද එ් වෘත්තියට අදාළ වන සියලූ භෝග සම්පත් මනා කොට සුරක්ෂිත කර ගන්නට කටයුතු කළ යුතු වේ.

කලණ මිතුරන් ඇසුරු කරමු…

ලොව කැපී පෙනෙන දියුණුවක් සහිත රටවල් සියල්ල ම පාහේ එකී දියුණුව වෙත ළං වී ඇත්තේ නුවණින් යුතු ව නැගී සිටීමෙන් හා ඉපැයූ සම්පත් ආරක්ෂා කර ගැනීමෙනි. එය ලෝකයේ කවර පෙදෙසක දිවි ගෙවන්නෙකුට වුව ද කළ හැකි ය. එහෙත් සැබෑ දියුණුවේ ස්වර්ණ ද්වාර විවර කරන්නට සමත් වන කලණ මිතුරු ඇසුර ලොව සියල්ලන්ට එක ලෙසින් ලැබෙන්නේ නැත. මන්ද කල්‍යාණ මිත‍්‍රයන් පහළවන්නේ සම්බුද්ධ ශාසනය ඇසුරු කර ගනිමින් ම පමණක් වන නිසා ය.

කල්‍යාණ මිත‍්‍රයා ශ‍්‍රද්ධා සම්පන්නයෙකි. එසේ ම සීල සම්පන්නයෙකි. ත්‍යාගවන්ත ය. ප‍්‍රඥවන්ත ය. මෙකී ගුණාංගයන්ගෙන් යුතු වූ කල්‍යාණ මිත‍්‍රයා ඇසුරු කරන කෙනෙකු තුළ ද වැඞී පෝෂණය වන්නේ ශ‍්‍රද්ධාවයි, සීලය යි, ත්‍යාගවන්ත භාවය යි, ප‍්‍රඥාවයි.

ශ‍්‍රද්ධා සම්පන්න වූ තැනැත්තා බුද්ධ වචනයෙන් බැහැර පිළිවෙතක නියැලෙන්නේ නැත. එනිසාවෙන් ම ඔහු විසින් අනුගමනය කෙරෙන්නේ තුන්කල් විනිවිද දුටු මහා ප‍්‍රඥවෙන් යුතු වූ අවබෝධයෙන් ම තථාගතයන් වහන්සේ වදහළ මාර්ගයයි. මෙලොව ද පරලොව ද සුගතිය සලසන එ්කායන මාර්ගය එය වන නිසා ඔහුගේ අභිවෘද්ධිය, රැකවරණය, දියුණුව පිළිබඳ සැක සිතන්නට කාරණාවක් නැත. සීලවන්තයා සමාජයට අප‍්‍රමාණව අවෛරය, අභය, සැපය දන් දෙන්නෙකි. ඔහුගෙන් සමාජයට බිය ඇති වන්නේ නැත. එවැන්නවුන්ගෙන් පිරී ගත් සමාජයක් දියුණුවට පත් වීම නිරායාසයෙන් ම සිදු වේ. පරිත්‍යාගය ද සමාජයේ මානූෂීය ගුණධර්මයන් ඉහළ නංවන අතර මානව දයාවෙන් යුතු බැඳීම් ද ඇති කරවයි. ප‍්‍රඥවන්තයා හොඳ – නරක, යහපත – අයහපත මනා කොට දකිමින් කටයුතු කරන බැවින් වැරදීම් සිදු වන ඉඩකඩ ඇහිරී යයි. කලණ මිතුරු ඇසුර නිසාවෙන් සමාජයීය වශයෙන් ඉමහත් යහපතක් සැලසෙන්නේ එනයිනි.

අය විලසට වැය….

මෙය සෑම පුරවැසියෙකු ම, සෑම පාලකයෙකු ම, සෑම වෘත්තිකයෙකු ම විසින් ක‍්‍රියාත්මක කළ යුතු ප‍්‍රතිපදාවකි. උපයන තරම ඉක්මවා වියදම් කෙරෙන විට සිදු වන්නේ ණය වීමට ය. කවර ආකාරයකින් සලකා බැලූව ද ණය යනු ගැටලූ ඇති කරවන්නකි. එනිසා වඩාත් සුදුසු වන්නේ උපයන ප‍්‍රමාණය මනා කොට දැනගෙන, තමන්ගේ වියදම් ද දැනගෙන ඉපැයීම් ඉක්මවා වියදම් සිදු නො වන පරිදි කටයුතු කිරීමයි. එනම් සමජීවිකතාවෙන් යුතු වීමයි.

දියුණු වෙමින් පවතින රටක් ලෙස අපට ශීඝ‍්‍ර සංවර්ධනයක් අපේක්ෂා කළ යුතු ව පවතින නිසා බොහෝ විට හිතමිතුරු සහ ධනවත් රටවලට ණය වීමට සිදු වන බව නොරහසකි. එය සිදු නො කළ යුතු යැයි කියන්නට හැකියාවක් මේ මොහොතේ අප සතු ව නැත. විශේෂයෙන් ම ලිපිය ආරම්භයේ දී ම අප දැක්වූ පරිදි අප වනාහී අතිශය විනාශකාරී වූ යුද්ධයකින් අනතුරුව නැගී සිටීමට වෙර දරන්නවුන් බව අප අමතක කළ යුතු නැත. එනිසා අපට යම් කාලයක් ලෝකයේ බල කේන්ද්‍රයන්ගේ බලපෑම් යටතේ කටයුතු කරන්නට සිදු වේ. එසේ ණය වන්නට සිදු වන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

එකී ණය මුදල් යෙදවිය යුත්තේ එම ණය පියවා ගත හැකි සහ ලාභ අපේක්ෂා කළ හැකි ආයෝජනයන් ලෙස ය. එසේ නො වුණහොත් ණය මුදල අපතේ යනවා පමණක් නොව ණය පියවීමට ඇති ඉඩකඩ ද ක‍්‍රමයෙන් පහළ බසී. රට තුළ ක‍්‍රියාත්මක වන සුළු හෝ දැවැන්ත හෝ සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ලේ ම මේ ඉලක්කය ද තිබිය යුතු ය.

රට තුළ ම පටන් ගනිමු….

එක් නිදර්ශනයක් ගෙන බලමු. අධික වැය දරමින් අධිවේගී මාර්ග, සංචාරක කලාප ආදිය ඉදි කිරීමේ ප‍්‍රමුඛ ඉලක්කයක් වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම ය. එහි පරමාර්ථ සඵල කර ගන්නට නම් සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් මෙයට සමගාමී ව ක‍්‍රියාත්මක කළ යුතු ය. උසස් මට්ටමින් පහසුකම් සංවර්ධනය කරන්නට යෙදුණ ද සංචාරකයන් මෙහි නො එන්නේ නම් එම ව්‍යාපෘතීන් ද ගඟට කපන ලද ඉනි බවට පත් වීම වළක්වන්නට නො හැකි ය.

එසේ නම් ශ්‍රී ලංකාව යනු මනුෂ්‍ය වාසයට හිතකර වූ, ප‍්‍රියමනාප වූ, මානව නිදහස හා මානව ගරුත්වය අගය කරන්නා වූ ජනතාවක් වෙසෙන රටක් බව අප ලෝකයට තහවුරු කළ යුතු ය. හොර, මැරකම්, වංචා ආදියෙන්, දූෂණයෙන් හෝ භීෂණයෙන්, ගෝත‍්‍රික හැසිරීම්වලින් එ් අරමුණ කරා ළං විය නො හැකි ය. ගුණධර්මයන් ම අගයන සමාජ ක‍්‍රමයක් බිහි කර ගත යුත්තේ එ් වෙනුවෙනි.

මෙය එක රැයකින් කළ හැකි දෙයක් නො වේ. ජන සමාජය ආර්ථිකව සවිමත් වී නො සිටිනවා සේ ම ආධ්‍යාත්මික ව පිරිපුන් වී ද නැත. එ් නිසා මේ කාරණය පැතිකඩයන් ගණනාවක් ඔස්සේ සලකා බලා ක‍්‍රියාවට නැංවිය යුතු වන්නකි.

වසා දමමු අපාය මුඛ….

මෙසේ සංවර්ධන අභිමතාර්ථ කරා යොමු වන අතරේ අත්‍යන්තයෙන් ම සලකා බලා වහා නතර කර දැමිය යුතු කාරණාවන් සතරකි. සල්ලාලකම, බේබදුකම, සූදුව සහ පාප මිතුරු ඇසුර මෙකී කාරණා සතරයි.
කාම සම්භෝගය සැපත කර ගත් ලෝකය තුළ සල්ලාලයන් ග‍්‍රහණය කර ගන්නා උපක‍්‍රම කොතෙකුත් ඇත. උපයන ධනය සියල්ල විනාශ කෙරෙන තැනකට කෙනෙකු එ් හරහා ඇද වැටේ. බේබදුකම ද සූදුව ද එලෙසින් ම පුද්ගලයා මෙලොව වශයෙන් ම දුකට, විනාශයට ඇද දමයි. අසත්පුරුෂ ගුණධර්මයන්ගෙන් හෙබි, අසත්පුරුෂ ස්වභාවයන් අගය කරන පවිටු මිතුරන් හරහා ද විනාශයට මෙපිට යමක් ලැබෙන්නේ නැත. සංවර්ධනය උදෙසා වන ජාතික වැඩපිළිවෙළක් තුළ ගණිකා වෘත්තිය, මත්පැන් – මත්ද්‍රව්‍ය, රේස් සහ කැසිනෝ ආදිය තිබිය නො යුත්තේ මේ සඳහා ය. මේ අපාය මුඛ සතර නො වසා අප කොතරම් සංවර්ධනය ඉලක්ක කර ගත්තත් මිහිපිට අපායක් බවට රට පත් වීම කවර මොහොතක හෝ සිදු වනු ඇත. එනිසා දියුණුවේ ස්වර්ණ ද්වාරය හැරගන්නා පළමු මොහොතේ ම අප විසින් මේ අපාය දොරටු සහමුලින් ම වසා දැමිය යුතු ය.

දස වසරකින් රට හදමු….!

රටක් වශයෙන් අප මුහුණ පා සිටින තත්ත්වය රටේ සියලූ දෙනා විසින් නිසි ලෙස දැන ගත යුතු ය. ජාත්‍යන්තර මානව හිමිකම් නැමති දණ්ඩෙන් අප පහර කන බව පාලකයන්ට සේ ම රටවැසියන්ට ද අවබෝධ විය යුතු ය. එසේ ම රට හමුවේ ඇති අභියෝගයන් තම තමන් හමුවට මතු දිනෙක පුද්ගලික අර්බුදයක් ලෙසින් ළඟා වන බව අප අමතක කළ යුතු නැත. රටේ අර්බුදයට වඩා එදා වේල වෑයමින් සරි කර ගන්නා නිවසේ අර්බුදය තමන්ට වැදගත් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එය වැරදි යැයි අපට කිව නො හැක. නමුත් නිවස සේ ම රට ද අර්බුදයෙන් ගොඩ නො ගතහොත් නිවසේ ගිනි නිවා ගත්ත ද රටේ ගිනිවලින් දැවී යාම වළක්වන්නට පුළුවන්කමක් නැත. එනිසා නිවස ලෙසින් පුද්ගලිකවත්, රට ලෙසින් පොදුවේත් අප එක ම අරමුණකට එ්කාත්මික විය යුතු ය.

අධ්‍යාපනය, සෞඛ්‍යය, දේශපාලනය, ආර්ථිකය, ආගම හා සංස්කෘතිය යන සියලූ ප‍්‍රධාන සමාජයීය මර්මස්ථානයන් ඔස්සේ සැබෑ දියුණුවේ සැලැස්ම ක‍්‍රියාවට නැංවීම අප ඇරඹිය යුතු ය. අධ්‍යාපනය තුළින් සංවර්ධනය ඉලක්ක කොට ගත්, නිපුණතා හා කුසලතා මෙන් ම ආකල්ප ද දැනුම ද පෝෂණය කළ යුතු වේ. එසේ ම වෘත්තිකයන් සියල්ලෝ එකාවන් ව නුවණින් යුතු ව නැගී සිටිමින්, උපායශීලී වෙමින්, ඉපැයූ දෙය සුරක්ෂිත කර ගනිමින් ස්වකීය උපරිමය භාවිතයේ යෙදවිය යුතු ය.

දේශපාලනය තුළ ප‍්‍රතිපත්ති වශයෙන් ක‍්‍රියාත්මක කළ යුත්තේ මෙවැනි ධාර්මික සහ සාර්ථක වැඩපිළිවෙළක් ය. පාලකයන් වෙනස් වූවා කියා එකී ජාතික ප‍්‍රතිපත්තීන් වෙනස් කළ යුතු නැත. එසේ ම එවන් යහ පාලනයක් ගොඩනගන්නට යම් පාලකයෙක් අවංක ව වෙහෙසෙන්නේ නම් එවන් පාලනයක් වෙනස් කිරීමේ හෝ අස්ථාවර කිරීමේ අවශ්‍යතාවයක් ද නැත. රටට ආදරය කරන පක්ෂ, විපක්ෂ සියලූ දෙනාගේ කාර්යභාරය වන්නේ හොඳ දෙය අගය කරමින් ක‍්‍රියාවේ යෙදවීමත්, වැරදි දෙය පෙන්වා දෙමින් එය මඟ හරවා ගන්නට උපකාර කිරීමත් ය. එය කළ හැකි නම් වසර දහයකට නො වැඩි කාලයක් තුළ අපට පෙර නො වූ විරූ සාර්ථකත්වයක් අත්පත් කර ගන්නට බැරිකමක් නැත.

අප රටට දැන් වුවමනා වන්නේ එවැනි ක‍්‍රියාන්විතයකි. ජාති, ආගම්, පාට, පක්ෂ භේදයකින් තොරව මේ අරමුණට එ්කරාශී වීම තුළ මිස, පවතින අර්බුදයන්ගෙන් නිදහස් වීමක් අපේක්ෂා කළ නො හැකි ය. යම් යම් පිරිහීම් ඇති වී තිබුණ ද අප වනාහී දුර්භාග්‍යවත් රටක් නො වේ. යහපත මුල් බැස ගන්නා, යහපත ආයුෂ ලබනා ස්වභාවයෙන් යුතු වූ ලක් මාතාව තුළ යහපත ම අස්වද්දන්නට මේ සුදුසු කාලය යි.

සියල්ලෝ අයහපතින් වළකිත්වා! අයහපත නූපදවත්වා! යහපතෙහි යෙදෙත්වා! යහපත ම උපදවා ගනිත්වා! සම්මා වායාමයෙන් යුතු ව ලක් මව ස්වයංපෝෂිත දේශයක් කරවන්නට භාග්‍යය උදා කර ගනිත්වා!!!

මහාමේඝ