පුත්තා වත්ථු මනුස්සානං
‘‘පුත්තා වත්ථු මනුස්සානං” යන සම්බුදු වදන නිතර කන වැකෙන සැදැහැති දෙමාපිය අපට මිහිපිට ඇති වටිනා ම වස්තුව දරුවන් බව නො රහසකි. ඊට හාත්පසින් වෙනස් වූ තත්ත්වයක් උදා වුවහොත් අත්විඳිය හැකි බියකරු බව විදහා දැක්වෙන මෙම කතාව ඔබට කියන්නට පවා මට සිත් නො වී ය. එය එතරම් ම ඕලාරික ය. එහෙත් මේ කුරිරු සමාජයේ එබඳු සිදුවීම් ද ඇති බවට දහමින් ඔබ දැනුවත් කිරීම මාගේ අරමුණයි.
ඇත්ත නැත්ත
ස්වකීය ලෙයින් ජනිත වූ දියණිය දූෂණයට ලක්කිරීමේ වරදට මහාධිකරණයකින් වරදකරු වී වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් විඳින මේ පුද්ගලයා වෙනුවෙන් ආරූඪ නාමයක් යොදන්නට පවා මට සිත් නො දෙයි. කතාවේ අනෙක් පැත්ත නම් ඔහු පුනපුනා කියන්නේ තමා එම වරද සිදු නො කළ බවත්, මෙම චෝදනාවට නිකරුනේ ලක් වී දඬුවම් විඳින බවත් ය. ඔහු කුමක් කියතත් ඔබ වෙත ශක්ති ප‍්‍රමාණයෙන් සත්‍යය අනාවරණය කිරීම සඳහා වන මගේ වගකීම ඉටු කිරීමට, එකට සිරබත් කන ඔහුගේ සගයන් කීප දෙනෙකුගෙන් ද, බන්ධනාගාර නිලධාරීන් කීප දෙනෙකුගෙන් ද විමසූ මට දැන ගන්නට ලැබුණේ ඔහු බන්ධනාගාරය තුළ කියන්නේ ද අධිකරණයේ දී දිගට ම කියා ඇත්තේ ද තමා නිර්දෝෂි ය යන්න වන නමුත් මට ඇති වූ සැක සංකාව ම මේ පුවත පිළිබඳ ඔවුන්ගෙන් ද පළ කෙරුණි. වැරදිකරුය යන අධිකරණයේ විනිශ්චයත්, නිර්දෝෂිය යන ඔහුගේ කතාවත් අසා මැදහත් සිතින් සමාජීය විපතක බියකරු ප‍්‍රතිවිපාක ගැන මෙනෙහි කරන්නට දැහැමි සිත් ඇති පාඨක ඔබට ආරාධනා කරමි.
අපලයක් වූ දීගය
ඔහුගේ කතාව මා වෙත දිගහැරියේ තමා 1974 වර්ෂයේ දී හිතුවක්කාර අන්දමින් කරගත් විවාහය පිළිබඳ පසුතැවිල්ල පල කරමිනි. අධ්‍යාපනය නො ලබා ම පවුලේ කර්මාන්තය වූ වඩු වැඩ ජීවනෝපාය කරගත් ඔහු තාරුණ්‍යයට පිවිසෙත් ම වැඩි වගවිභාගයකින් තොරව සරෝජනී නමැත්තිය සමග බැඳුණු විවාහය, විනාශය ළඟාකර දුන් බව කියා සිටී. විවාහ වී අවුරුද්දක් ඇතුළත දී ම කසුන් පුතා පවුලට එක් වූවත් දරුවා කුස තුළ සිටි මුළු කාලපරිච්ඡේදය පුරාවට ම ගෙදර අඬ දබර කෙළවරක් නැති විය. බිරියගේ ආරවුල්වලට මූලික සාධකය නැන්දම්මා බව ඔහු කියයි. කිරිකැටි කසුන් පුතා තමා වෙත තබා බිරිය ඇයගේ මව සමඟ ගියා ය. හැකි උපරිම අන්දමින් ඔහු තම පුතා ආදරයෙන් ඇති දැඩි කරන්නට පටන් ගෙන ඇත. කීපවතාවක් ම පවුල එකතු කරන ලද ද කලින් කල ඇතිකර ගත් ආරවුල් නිසා පවුල් ජීවිතය පලූදු වෙමින් ගොස් ඇත. මේ සමගි වීම් නිසා තවත් දරු උපතකට මඟ පෑදී 1983 වර්ෂයේ දී බිරියට දියණියක් ලැබුණි.
දියණියගේ භාරකාරත්වය
දියණියට මාස කීපයක් වෙද්දී පවුල කැඞී ගියේ කිසි දිනක ආපසු එකතු නො වන ලෙසයි. කිරිකැටි බිළින්දිය ද සමඟ සරෝජනී තම මව වෙත ගිය අතර නොබෝ කලකින් වෙනත් පුරුෂයෙකුගේ බිරිය බවට පත් විය. මේ පිළිබඳ ව නො රිස්සූ ඔහු තම දියණියගේ භාරකාරත්වය ඉල්ලා අධිකරණයේ පිහිට පැතී ය. බිරියගේ අනාචාර හැසිරීමත්, ඇය ඒ වන වින විට වෙනත් මිනිසකුගේ බිරිය වී සිටීමත්, පුතා ද තමා විසින් රක්ෂා කරණු ලබන බවත් ඔප්පු කිරීමෙන් දියණියගේ භාරකාරත්වය ලබාගැනීමට ඔහු සමත් විය. දුෂ්කරතා මධ්‍යයේ දියණිය රැකබලා ගත්තත් ඔහු වඩු වැඩකට ගිය දිනක බිරිය තම නවාතැනට පැමිණ දරුවා පැහැරගෙන ගොස් ඇත. ඉන් පසුව ද දරුවාගේ භාරකාරත්වය ලබා ගැනීම පිණිස වරින් වර පොලීසී, උසාවි ගානේ දෙපාර්ශ්වය ම රස්තියාදු වූ වකවානුවක් විය. කෙසේ හෝ දියණිය අම්මා සහ බාප්පා සමග වැඩුණි. දියණියට අවුරුදු 9ක් පමණ වෙද්දී වැඩෙමින් තිබූ දරු සෙනෙහස උතුරා ගොස් කෙසේ හෝ ඇය තමා වෙත ගත යුතු යැයි පියා සිතා ගත්තේ ය. පියා සහ පුතා සැලසුම් කළ කුමන්ත‍්‍රණයකට අනුව කසුන්, අම්මා සොයා ඇයගේ නිවසට ගියේ ය. අම්මා ද තම නංගී ද බාප්පා නිසා අම්මාට ලැබුණ තවත් දරුවන් දෙදෙනෙකු ද සහිත ආබාධිත බාප්පාගේ පවුල විඳින දුක් කන්දරාව ඔහුට ඉවසන්නට බැරි තරම් විය. නංගී ලබා ගැනීමේ චේතනාවෙන් ගියත් කිසි දිනෙක දැක මතකයේ නැති නාඳුනන අයියා ළඟට ඇය ළංවූයේවත් නැත. කලින් යොදාගත් උපායේ කොටසක් හැටියට තම පියාගේ වැරදි අඩුපාඩු මවා දැක්වූ කසුන් අම්මාගේ අනුකම්පාව දිනා ගැනීමට සමත් විය. ටික කලක් අම්මා සමග රැුඳීසිටීමට ඉටා ගත් කසුන් ඉක්මනින් ම නංගිට සමීප වූයේ ය.
නංගී පැහැර ගනී
වෙසක් සමය එළඹුණි. මේ වන විට අම්මාගේ විශ්වාසය දිනාගෙන සිටි කසුන් ඇයගේ අවසරය ඇතිව තදාසන්න නගරයේ වෙසක් සිරි නරඹන්නට නැගණිය කැටි ව ගියේ ය. නංගී වෙසක් සිරි බලන්නට සිතා පිටත් වූවත් අයියාට වුවමනා වූයේ ඇය රවටා පැහැරගෙන ගොස් තාත්තා සමග ජීවත් වීමට ය. වෙසක් බැලීම කෙසේ වෙතත් තමා ඈතට ඈතට දුර ගමනක් ගෙන යන බව වැටහුණ විට නො සන්සුන් වූ නංගී කෑ ගසා කලබල කරන්නට පටන්ගෙන ඇත. කෙසේ හෝ නංගී රවටාගෙන කසුන් තාත්තාගේ නිවසට ගෙන ගියේ ය. සැලූණු හදින් යුතු ව එහි පිවිසුණු චාරුණි නංගීට ‘‘මේ අපේ තාත්තා” යැයි තාත්තා හඳුන්වා දුන් විට ‘‘නෑ නෑ, මගේ තාත්තා ඉන්නේ අම්මාගේ ගෙදර. මට එහේ යන්නට ඕනෑ” යැයි යටිගිරියෙන් මොර දෙන්නට වූවා ය. කුඩා දැරියට තාත්තාගේ බසට අවනත වන්නට සිදු විය. ඇය තාත්තාත් අයියාත් සෙවණේ කල් ගත කරද්දී අම්මා ද ඇය සොයා පොලිසිවල පැමිණිලි ගණනාවක් දැමුවා ය. කුඩා දියණියට අම්මා සොයාගෙන යාමට අවශ්‍ය වූවත් ඇයට ඉඩක් ලැබුණේ නැත. ඇයගේ පාසල් අධ්‍යාපනය ද කඩාකප්පල් විය. තාත්තාත් අයියාත් වැඩට ගිය විට යාබද නිවෙස්වල දැරියන් සමග සෙල්ලම් කිරීමට පැන ගිය ඇය ඔවුන්ගේ දෙමාපියන් සමග තම ඛේදවාචකය ඇඬූ කඳුලින් කියුවා ය. අසල්වැසි කාන්තාවෝ කි‍්‍රයාත්මක වූහ. දිනක් වැඩ අවසන් වී ගෙදර ආ පිය පුතුට පෙනී ගියේ දැරිය අතුරුදහන් වී ඇති බවයි. පොලිසියේ පැමිණිලි වැටුණි. ඇය සෙවීමේ මෙහෙයුමක් දියත් විය. දින තුනකට පමණ පසු ඔහුට දැන ගන්නට ලැබුණේ දැරියගේ අඳෝනාව ගැන කම්පනයට පත් වූ අසල්වාසී කාන්තාවන් ඇය පොලිසියට භාර දී ඇති බවයි.
පරිවාස භාරයට
දැරිය උසාවියට යොමු විය. මවත් කැඳවිණි. මවට දරුවා දීමෙන් අනතුරක් ඇති බව ඒත්තු ගැන්වීමෙන් පසු ව පියාටත්, මවටත් ලබා නො දුන් දියණිය පරිවාස නිලධාරීන් භාරයට පත් විය. ඇය බැහැර නගරයක පිහිටි පරිවාස දෙපාර්තුමේන්තු ළමා නිවාසයක රැඳවිණි. තාත්තාත්, අයියාත් ඇය බලන්නට ඉඳ හිට එහි ගියහ. ඇය ක‍්‍රමයෙන් අම්මාගෙන් ඈත් විය. දැන් දැරිය අවුරුදු 13ක් වයස ඇති පෙනුමැති ළමයෙකි. ස්වභාවයෙන් ම දඩබ්බර කෙනෙකු වූ ඇය ඉඩක් ලද රාති‍්‍රයක නිවාසයෙන් පැන ගියා ය. අම්මා සොයාගෙන ගිය ද වැඩි දිනක් එහි සිටින්නට නො හැකි වූයේ නැවත ද අධිකරණය මාර්ගයෙන් ඇය වෙනත් ඈතක පිහිටි ළමා නිවාසයකට ඇතුළත් කිරීමෙනි. ඇය දැන් ක‍්‍රමයෙන් ලස්සනට මෝරා වැඩෙන තරුණියකි. දැන් දැන් දඩබ්බරකම් ද මෝරන්නට විය. වයස අවුරුදු 17 වෙද්දී තවත් නේවාසික දැරියක ද සමග ඇය යළිත් ළමා නිවාසයෙන් පැන ගත්තා ය.
විළිබිය නැතිකම
ඉන් පසු ව ඇය තාත්තාගේ භාරයට පත් විය. ටික කලකින් ඇයට රැකියාවක් කිරීමට අවශ්‍ය වූයෙන් කිට්ටුව පිහිටි ඇඟලූම් කම්හලක රැකියාවකට බැඳුණි. ඇයට බෝඩිමක නවාතැන් ගැනීමට ද අවශ්‍ය විය. පියා නිතර නිතර දියණිය බලන්නට ගිය අතර ඇය ද ඉඩ ලද විට තාත්තාගේ නවාතැනට ආවා ය.
මාස කීපයක් ගත වෙද්දී චාරුණි ගැබිණියක් බව අනාවරණය විය. ඇය පොලිසියට පැමිණිල්ලක් කළේ මෙවර තම පියා දිගින් දිගට ම අතවර කළ බවත්, තමා ගැබිණියක වූයේ පියා නිසා බවත් කියමිණි. පියා අත්අඩංගුවට ගෙන නඩු පැවරිණි. ඔහු පුනපුනා කියන්නේ තමා එවැන්නක් නො කළ නමුත් චාරුණි සාක්ෂි දුන් ආකාරය අනුව බිඳ හෙළිය නො හැකි ලෙස එය ඔප්පු වූ බවත්, ඒ නිසා තමාට අවුරුදු පහළොවක බරපතළ හිර දඬුවමකුත්, ඇයට රුපියල් ලක්ෂයක වන්දියකුත්, රුපියල් පහළොස්දහසක දඩයකුත් ගෙවීමට නියම වූ බව ය. වන්දි හා දඩ ගෙවීමට මුදල් නො මැති නිසා එකතු වූ අතිරේක සිර දඬුවම සමග ඔහු 19 වසරක සිර දඬුවමක් විඳිමින් සිටී.
මහා භයානක ප‍්‍රතිවිපාක ගෙන දෙන, අමූලික, මහා සාවද්‍ය බොරුවක් කියා තම පියා හිරේ විලංගුවේ දැමීමට දරුවෙකුට හැකි ද? යන්න බලවත් සැකයකි. එය එසේ මෙසේ චෝදනාවක් නො ව මිනිස්කමට පවා නිගා දෙන මහා සාපරාධි චෝදනාවක් බැවින් දියණියකගේ මුවින් එවැන්නක් පිට විය හැකි දැයි වූ මගේ විමසුමට දිව පැටලෙමින් ඔහු කීවේ එය තමාගේ අවාසනාව බවයි. කුඩා කල සිට ම ඇයට අත්විඳින්නට වූ අවාසනාවන්ත ඉරණම නිසා තමා සමග ඇති කර ගත් වෛරය නිසා මෙම අභූත චෝදනාව එල්ල කරන්නට ඉඩ ඇතැයි ඔහු කියයි. මෙබඳු චෝදනාවක දී හිමිවන දඬුවම හුදෙක් හිර දඬුවමකට පමණක් සීමා නො වන බව දන්නා අධිකරණය එය මනා ලෙස විභාග නො කොට තීරණයක් දෙතැයි සිතිය නො හැක. දියණියගේ ස්ථාවරයත්, පියාගේ කියමනත් පිළිබඳ ව මැදහත් නිගමනයකට එළඹීම අප සතු කාරියකි.
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
කිසි වරදක් නො කළ පියෙකුට මෙබඳු සාහසික චෝදනාවක් එල්ල කොට, ඔහු සිරගත කරවීමට සලස්වා, සමාජයට මුහුණ දීමට පවා නො හැකි තත්ත්වයක් උදා කළේ නම් ඇයට මෙලොව දී සැපතක් නම් උදා වේ ද? පරලොව ගැන කවර කථා ද?
ඒ පියා මෙම සාපරාධී ක‍්‍රියාව සිදු කළේ නම් විඳින දඬුවමෙන් මොහොතින් මොහොත මැරි මැරී උපදිනවා නියත ය. මුවින් කුමක් පිට වූවත් ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට සාප කරනු ඇත. මරණින් මතු ඔහු අත් විඳිය හැකි නිරා දුක ගැන මෙනෙහි කළ නො හැකි තරම් ය. බන්ධනාගාරය තුළ වුව ද ඔහු බාල ගණයේ සිරකරුවෙකි. ඔහුට අනෙක් සගයන්ගෙන් අනුකම්පාවක්, සැලකිල්ලක් නො මැත.
වසර දහනවයක් අවසානයේ මහල්ලෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැර යන ඔහුට සමාජයට මුහුණ දීමට හැකි වේ ද? නෑදෑ හිතවතෙකු ඔහුට නෑකමක් කියාවි ද? පුද්ගලයන්ගේ පිළිකුලට භාජනය වන ඔහු ශිෂ්ට සමාජය විසින් පිළිගනීවි ද? ඒ නිසා ඔහුගේ ඉදිරි කාලය කෙසේ නම් ගත වනු ඇති ද? අභාග්‍යයක තරම! ඔහුට යම් අස්වැසිල්ලක් විය හැකි ව තිබුණු කසුන් පුතා ද අද වන විට මෙලොව හැර ගොස් ය. මේ අර්බුද පැවති කාලය තුළ ම මුඩුක්කු නිවාසයක තරුණියක් විවාහ කරගත් කසුන්ට ඉතා කෙටි කලක් තුළ මුහුණ දෙන්නට වූ දුෂ්කරතා නිසා සිය දිවි නසා ගන්නට සිදු වී ඇත. මේ සිරබත් කන තාත්තා කියන කතාව ය. පියාගේ ක‍්‍රියාව නිසා කලකිරී කසුන් සිය දිවි නසා ගත්තා දැයි මට ඔහුගේ කථාව හරහා සැක මතු විය.
දැනට දියණිය විවාහයක් කරගෙන ඇති බව ඔහු කියයි. කෙසේ වුවත් ඇය බිහි කළ ඒ අසරණ දරුවා මේ සමාජයේ විෂම චක‍්‍රයට කෙසේ නම් මුහුණ දෙනු ඇති ද? තමාගේ පියා ද සීයා ද එක ම පුද්ගලයෙකු බව දැනගත් විට දරුවාගේ මානසික තත්ත්වය කුමක් විය හැකි ද? වෛද්‍ය විද්‍යානුකූලව වුව ද දරුවා කායික මානසික වශයෙන් නිරෝගී පුද්ගලයෙකු විය හැකි දැයි මට සැක සහිත ය.
මේ කිසිවකුට තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිබඳ කිසිදු දැනීමක් ලැබී නො මැත. දහමේ ආලෝකයෙන් බිඳක්වත් ලැබුණා නම් මොවුනට මේ ඉරණම අත් නො වන්නට බොහෝ ඉඩ කඩ තිබිණි.
(සියලූ නම් ගම් මන:කල්පිත ය.)
සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල
Recent Comments