‘ගුරු පූර්ණිමා..’ නුහුරු නමුත් සුන්දර හින්දි වචනයක්. ඇසළ පුන් පොහොයට යි හින්දියෙන් ගුරු පූර්ණිමා කියා කියන්නේ. පූර්ණත්වයට පත් වූ සඳමඬලට එහෙමත් නැත්නම් පුන් සඳට ‘පූර්ණිමා’ කියා කියනවා. ‘ගුරු’ කියන්නේ ඇත්තෙන් ම සංස්කෘත භාෂාවෙන් හින්දි භාෂාවට ලැබුණු වචනයක්. එ් වචනයේ ඉතා මිහිරි අර්ථයක් තිබෙනවා. ‘අන්ධකාරය දුරු කරන තැනැත්තා’ කියන එකයි එ් වචනයේ තේරුම. සිය ගෝලයන්ගේ ජීවිතවල අන්ධකාරය දුරුකරන නිසා ආචාර්යයන් වහන්සේට ‘ගුරු’ කියා කියනවා. කෙතරම් සුන්දර අර්ථයක් ද.?

එහෙනම් ඇයි ඇසළ පුන් පොහොයට ගුරු පූර්ණිමා කියන්නේ… එම පුන් පොහෝ දවසේ තුන්ලෝකයෙහි ම අසහාය ගුරුවරයා, අපගේ භාග්‍යවතුන් වහන්සේ, බරණැස ඉසිපතන මිගදායෙහි දී ගෝලයන්ගේ ජීවිතවල පවතින අවිද්‍යා අන්ධකාරය දුරු කරවන, ආර්ය වූ ධර්මය දේශනා කිරීම ආරම්භ කළා. එනිස යි ඇසළ පුන් පොහොයට ගුරු පූර්ණිමා කියා කියන්නේ.

ඇසළ මාසය කියන්නේ අහස වලාකුළුවලින් වැසී තිබෙන මාසයක්. ඇසළ පුන් සඳ පායා එනවිට එ් පුන් සඳ පිරිවරාගෙන අඳුරු වලාකුළු අහස් ගැබෙහි සැරිසරනවා. එ් වලාකුළුවල රජයන අන්ධකාරය පළවා හරින්නට ඇසළ පුන් සඳට පුළුවන්. ඇත්තෙන් ම සැබෑ ගුරුවරයාත් එ් පුන් සඳ වගෙයි. අනන්ත සසරේ කෙළවරක් නැති ජීවිතවල දී රැස් වූ ඝනාන්ධකාරයෙන් වැසුනු සිත් දරාගෙන යි ගෝලයන් ගුරුවරයා කරා පැමිණෙන්නේ. ඔවුන් පුන් සඳ වටා රොක්වෙන කළු වලාවන් මෙන් ගුරුවරයා වටා රොඳ බඳිනවා. එ් ජීවිතවල පවතින අන්ධකාරය දුරු කරගන්නා අදහසින්. ඇත්තෙන් ම ඔවුන්ගේ සිත් අහසේ තිබෙන එ් ඝනාන්ධකාරය දුරුකරන්නට සැබෑ ගුරුවරයාට පුළුවන්. හැබැයි එ් සඳහා සැම විට ම ගෝලයන් ගුරුවරයාට කීකරු විය යුතු වෙනවා.

ගෞරවය සහ කීකරු බව මත ම රඳා පවතින අසිරිමත් ගුරු-ගෝල සම්බන්ධතාවයෙහි දී ගෝලයන් ගුරුවරයා කෙරෙහි පියෙකු යන හැඟීම ඇති කරගත යුතු බවත්, ගුරුවරයා ගෝලයන් කෙරෙහි පුත‍්‍ර චිත්තය ඇති කරගත යුතු බවත් භාග්‍යවතුන් වහන්සේ මහා වග්ගපාළියෙහි දී දේශනා කොට වදාළා.

ඇත්තෙන් ම සැබෑ ගුරුවරයා තුළ ගෝලයන් කෙරෙහි තිබෙන්නේ මව් සෙනෙහස, පිය සෙනෙහස වැනි කරුණාවක්, අනුකම්පාවක් ම තමයි. නමුත් මව්පිය සෙනෙහස කියන්නේ සැම විටම දරුවන් ව නළවමින් කටයුතු කිරීම නො වෙයි. මව්පියන් ඇතැම් විට සැරපරුෂ වෙනවා. එ් සිය දරුවන්ට යහපත ම උදාකරන අදහසිනුයි. එය දරුවන් ද මනා කොට තේරුම් ගත යුතු යි.

අපට එක්තරා කථාවක් සිහිපත් වුණා. අතීතයේ එක් රටක අම්මෙක් සහ දරුවෙක් ජීවත් වුණා. මේ දරුවාගේ පියා කුඩා කල ම මියගිහින්. අම්ම තමයි දරුවව අමාරුවෙන් හදාවඩා ගත්තේ. නමුත් දරුවා ටිකක් අකීකරු යි. මේ දෙදෙනා ජීවත් වුණ නිවස තිබුණෙ කැලයකට කිට්ටුව යි. මේ නිසා ම දරුවා ගැන අම්මට ගොඩක් ප‍්‍රවේශමෙන් කටයුතු කරන්නට සිදු වුණා. මව් රැකවරණ මැද දරුවා ටිකෙන් ටික ලොකුමහත් වුණත් අකීකරුකමේ නම් අඩුවක් වුණේ නැහැ.

දවසක් හැන්දැ වෙලාවෙ මේ ළමයා අම්ම කියන දේ නො අසා කැලේ මැදින් ගමනක් යන්න පිටත් වුණා. අනතුරක් වෙන්න ඉඩකඩක් ඇති නිසා අම්මට අවශ්‍ය වුණා මේ දරුවව කොහොම හරි නවත්වගන්න. උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. අන්තිමේ දී අම්මට ටිකක් තරහත් ගියා. ඇය කිව්වා ‘‘කිව්ව දේ නාහා යන තෝව කොටිය ම කාපිය..” කියල.

දරුවා මේක ගණන් ගන්නෙ නැතිව පිටත් වෙලා ගියා. කැලේ මැදින් ටික දුරක් යනකොට, ඇත්තට ම මෙන්න ඉතා දරුණු ලීලාවෙන් කොටියෙක් එනවා ඉදිරියට. දැන් කොටියා සූදානම් වෙන්නේ මේ දරුවගෙ ඇඟට පැනල මරාගෙන කන්න යි. ඔහුට අම්මා කියපු කථාව මතක් වුණා. ගුණවත් දෙමව්පියන්ගෙ ශාපය ඇත්තට ම දරුවන්ට ඉතා ම තදට වදිනවා. ඔහුට තදබල බයක් ඇති වුණා.

නමුත් ඔහු අම්ම ගැන හොඳින් දන්නවා. ඔහු කොටියට ඇහෙන්න මෙහෙම කිව්වා, ”මගෙ අම්ම කටින් යමක් කීවා ද එය වෙන්න එපා, සිතින් යමක් සිතුවා ද එය ම සිදුවේවා!” කියල. එසැණින් ම කොටිය හැරිල ආපහු ගියා. මව් සෙනෙහසේ තරම, මවගේ ආශීර්වාදයේ වටිනාකම තේරුම්ගත් දරුවා ආපහු අම්මා වෙතට ම ඇවිත් ඇයට ඉතා ම කීකරුව කාලය ගතකොට ජීවිතය සාර්ථක කරගත්තා.

මේ කථාවෙන් අපට පැහැදිලි වෙන්නේ දරුවන්ව හදාවඩා ගන්නට සැරවැර කළත් දෙමව්පියන් ළග සැම විට ම තිබෙන්නේ දරුවන් කෙරෙහි මෛත‍්‍රිය සහ කරුණාව බව යි. දරුවන්ට විපතක් කරදරයක් අයහපතක් වේවා.. කියා දෙමව්පියන් සිහිනෙන් වත් සිතන්නේ නැහැ.

ගුරැවරයාත් එ් වගේ ම යි. ඔහු ගෝලයන්ට ඇතැම් විට සැර වැර පවා කරන්නේ, ඔවුන් කෙරෙහි ද්වේෂයෙන් හෝ ඉරිසියාවෙන් හෝ නො වෙයි. ඔවුන් ව යහමග ගැනීමේ අරමුණෙන් ම යි. හික්මවීමේ අරමුණෙන් ම යි. එ් බව ගෝලයිනුත් තේරුම්ගත යුතු වෙනවා. එවිට සැර ලෙස දැඩි ලෙස ලැබෙන අවවාදයට ගෝලයන් කලකිරෙන්නේ නැහැ. එය ඉතා සතුටින් භාරගන්නවා. එ් අනුව හික්මෙනවා.

ඇත්තෙන් ම නිවන් මාර්ගයේ හැසිරීමේ දී ගුරුවරයෙකුගේ රැුකවරණය, අවවාද අනුශාසනා තරම් වටිනා දෙයක් තවත් නැති තරම්. අපට අපේ වැරදි තේරෙන්නේ නැහැ. අපි බොහෝ විට සිතන්නේ තමන් නිවැරදියි කියා යි. ඇතැම් විට ගුරුවරයා වැරදියි කියා පවා අපිට සිතෙන්නට පුළුවන්. එ් තමයි කෙලෙසුන්ගේ ස්වභාවය. නමුත් සැබෑ ගුරුවරයාට ගෝලයා තුළ තිබෙන අඩුපාඩු මැනවින් පෙනෙනවා. එවිට ඔහු අනුකම්පාවෙන් එම වැරදි නිවැරදි කරගන්නා ආකාරය පෙන්වා දෙනවා. එසේ පෙන්වා දෙන ක‍්‍රමය ඇතැම් විට සැර එකක් විය හැකි යි. එය ගෝලයන් ව හික්මවන්නට ගුරුවරුන් භාවිත කරන ක‍්‍රමයක් බවත්, අපි සැමවිට ම ගුරුවරයාගේ ගෝලයන් බවත් සිත තබා ගත් විට එම දැඩි අවවාදයන්ට ගැටෙන සිතක් උපදින්නේ නැහැ.

ගුණ දහම් මත ම පදනම් වූ ජීවිතයක් ගොඩනගා ගන්නා ගමනේ දී ගුරුවරයෙකු සිටීම කෙතරම් වැදගත් ද කියන කරුණ මැනවින් ම තහවුරු වෙන තැනක් තමයි, අපගේ අසහාය ශාස්තෘන් වහන්සේ පවා ගුරුවරයෙක් නොමැතිව වාසය කිරීම දුකක් ලෙස කල්පනා කළ සිදුවීම. කළ යුතු සියල්ල සම්පූර්ණ කළ, ප‍්‍රඥවෙන් අගේ‍්‍රෂ්වර වූ අසහාය වූ අසමසම වූ එ් ශාස්තෘන් වහන්සේ පවා එසේ කල්පනා කළා නම් අප වැනි අය ගැන කවර කථා ද..?

ඇත්තෙන් ම යම් ගුරුවරයෙකු නිසා, නිවන් මග කියා දෙන මේ ආර්ය ධර්මය අපට මුණ ගැසුණා ද, තිසරණය මුණ ගැසුනා ද, එ් ගුරුවරයා කෙරෙහි කළ ගුණ සලකා නිමා කරන්නට බැහැ. එ් බව භාග්‍යවතුන් වහන්සේ විසින් ම දේශනා කොට තිබෙනවා. එසේ ම යම් සත්පුරුෂයෙක්ගෙන් මේ ධර්මය දැන ගත්තා නම්, ඉන්ද්‍රයාට පූජා පවත්වන දෙවිවරුන් මෙන්, එම ගුරුවරයාට පූජා සත්කාර කළ යුතු බව යි සුත්ත නිපාතයේ ධම්මනාවා සූත‍්‍රයේ දැක්වෙන්නේ. මෙසේ දහම කියා දුන් ගුරුවරයා හට කෙළෙහි ගුණ සලකා නිමා කරන්නටත් නො හැකි නම්, එවැනි ගුරුවරයෙකු කෙරෙහි ගැටුණු සිතක් ඇති කරගතහොත් එය අපට කෙතරම් විපත පිණිස පවතීවි ද.? එය එ්කාන්තයෙන් ශාපයක් වනු ඇති බවයි අපගේ නම් හැඟීම.

මේ යුගයේ දීත් අපට බොහෝ කලාතුරකින් පමණක් මුණ ගැසෙන, අපව සිල්වත් බවෙහි ම සමාදන් කරවන, නිවන් මගෙහි ම සමාදන් කරවන, ගුණදහම්හි ම සමාදන් කරවන, අපේ දියුණුව ම කැමති වන, අපව ධර්මයෙහි ම සමාදන් කරවන, අපට අප‍්‍රමාණ ලෙස අනුග‍්‍රහ කරන උතුම් ගුරුවරයෙක් මුණ ගැසී තිබෙනවා. එ් ගුරුවරයාව ඉතා ගෞරවයෙන් ඇසුරු කරන්න.

ගුරුවරයාගෙන් ලැබෙන අවවාදය පැදකුණු කරමින් ම පිළිගන්න. කිසිදා ගුරුවරයාගෙන් ලැබෙන අවවාදයට ගැටෙන්න යන්න එපා. එසේ ගැටුණු සිතක් මොහොතකට හෝ ඇතිවුවහොත් එය තමා තුළ ම ඇති වූ මහා පරිහානියක් ලෙස ම දකින්න. මිහිරි වේවා දැඩි වේවා ලැබෙන අවවාද සියල්ල මල් කළඹක් හිස් මුදුනේ පැලඳගන්නාක් මෙන් මහත් සතුටින් දරාගන්න. අනුගමනය කරන්න. එය ඔබේ ජීවිතයට මහා ආශීර්වාදයක් වේවි! උතුම් ආධ්‍යාත්මික ගමනක් යන්නට, නිවන් මග පරිපූර්ණ කරගන්නට මහා පිටුවහලක් වේවි! එය එසේ ම වේවා!

සටහන
දිව්‍යාංජලී සූරියබණ්ඩාර