මෙලොව උපන් කවර සත්වයෙකු වුව ද කැමති වන්නේ තමාගේ ජීවිතයට සැප උදා කරගැනීමට ය. සියලූ දේ අතරින් අග‍්‍ර ම දෙය සොයා ගොස් එය තමා වෙත අත්පත් කරගැනීමට අප වෙහෙසෙන්නේ එහෙයිනි. ආහාර ගැනීමට හෝටලයකට ගොඩවන ඔබේ අතට ‘මෙනුපතක්’ ලැබෙන්නේ ආහාර වට්ටෝරුවෙන් ඔබ කැමති ම ආහාරය තෝරාගැනීමට ය. ඇඳුමක් හෝ පැලඳුමක් තෝරාගැනීමට කඩයකට ගොඩවන ඔබට හොඳ ම ඇඳුම තෝරාගෙන ඉන් එළියට එ්මට කොතරම් වේලාවක් ගත වේ ද? ගුවන්විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් සඳහා ඉඩකඩක් වෙන් වන්නේ ද ඔබේ කනට සුන්දර ම දෙය සොයනා බව ඔවුන් දන්නා නිසා ය.

අපි සෑම විට ම අපගේ ජීවිතයට ලොව අග‍්‍ර ම දෙය ළඟා කරගැනීමට වෙහෙසෙන්නෙමු. ඉඳහිට චිත‍්‍රපට ශාලාවකට එන හොඳ යැයි සිතන සිනමා නිර්මාණය ඔබ කෙසේ හෝ නරඹනවා ම ය. ඔබ කැමති ම සංගීත කණ්ඩායම වාදනය කරන සංගීත සන්දර්ශනය ඔබ මඟහැර නො ගන්නේ ම ය. වාර්ෂිකව පැවැත්වෙන සැණකෙළිය නැවත පැවැත්වෙන දිනය වනතුරු ඔබ සිටින්නේ ඇඟිලි ගනිමිනි. ඔබ කිසිසේත් ම ඔබේ ජීවිතයට ළඟා කරගන්නට තිබෙන සොඳුරු අවස්ථා මඟ හැරගන්නේ නැත.

හිමිදිරි පාන්දර අවදිව, රැකී රක්ෂාවල නිරත වෙමින් රාත‍්‍රි මහා වෙහෙසකින් ගෙට ගොඩ වන්නේ හොඳ ම ආහාරවල, හොඳ ම ඇඳුම්වල, හොඳ ම නිවසක, හොඳ ම වාහනයක, හොඳ ම තනතුරක සිහිනය සැබෑ කරගැනීමේ අභිලාෂයෙනි. මේ අරගලයේ යෙදී සිටින අපට සැබෑ වශයෙන් ම ලොව අග‍්‍ර ම දෙය අහිමි ව යන බව ඔබ දන්නවා ද? සැබෑ ම සොඳුරු අවස්ථා ඔබෙන් ගිලිහී යන බව ඔබට දැනුණා ද?

මිනිස් දිවියක් ලැබ, මුනි දහමක් ශ‍්‍රවණය කරන්නට අවස්ථාවක් ලද අප මෙලොව සිටින වාසනාවන්ත ම පිරිස යැයි කීමට මම නො පැකිලෙමි. නමුදු නිධානයක් ඇති භූමියක නිවසක් තනාගෙන සිටින යම් දුගී පුද්ගලයෙක් ‘‘මමයි මෙලොව ධනවතා” යැයි කීමෙන් ඵලක් නැත. මන්ද ඔහු ධනවතෙක් වන්නේ නිධානය හිමි කරගත් දිනට ය. එසේ ම, ධර්මයෙන් ඵල නෙළා ගැනීමෙන් මිස අපගේ වාසනාව ගැන උදම් ඇනීමෙන් ඵලක් නැත. කෙළවරක් නො පෙනෙන සසර පුරාවට අපගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස අප ව රවටමින් සසර පුරා රැුගෙන ආ බව නිතර සිහි කළ යුතු ය. මේ ගැල ඇදගෙන යන ගොනුන් නිරාහාරකර, හෙම්බත්කර මෙයින් නිදහස් විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ පාසාදික සූත‍්‍රයේ දී පෙන්වා වදාළ අයුරින් සතර සතිපට්ඨානය, සතර සම්‍යයක් ප‍්‍රධාන වීර්යය, සතර ඍද්ධිපාද ආදි වශයෙන් ධර්මය ජීවිතයට ගළපාගත යුතු ය.

අප මේ ගත කරන්නේ අතිශය දුර්ලබව ලද මොහොතක් බවත්, ඊළඟ මොහොතේ දී එය අපට අහිමි වන්නට ඉඩ ඇති බවත්, අප වෙනුවෙන් සතර අපා දොරටු තවමත් විවරව තිබෙන බවත් සිහි කරන පුද්ගලයා මෙම භයංකාර සසරින් එතෙර වීමට කැමති වන්නේ ම ය.

හිස ගිනි ගත් අයෙක් තප්පරයකුදු අත්නොහැර එම ගින්න නිවීමට උත්සාහ ගන්නාක් සේ අප ද මෙයින් නිදහස් වීමට නම් තප්පරයකුදු අත්නොහැර ජීවිතය නුවණින් විමසිය යුතු ය.

ඔබට දුකක්, දොම්නසක් ඇති වුණ මොහොතක් සිහි කරගන්න යැයි යමෙක් පැවසුවහොත් සිතුවම් පෙළක් සේ එවන් මොහොතවල් ඕනෑ තරම් සිහියට නැගේ. අපගේ ගෙවුන ජීවිතයේ එතරම් ම තිබුණේ දුක් වූ අවස්ථා ය. එවන් අවස්ථාවල දී එ් දුක දුරු කරගැනීමට කල්පනා කළ ආකාරය ඔබට මතක ද

ඔබ කාමරයට වැදී හැකිතාක් හඬන්නට ඇත. කවුරුන් හෝ ළඟටවිත් ඔබේ දුක විමසනතුරු ම ඔබ හඬන්නට ඇත. ‘‘දුක් වෙන්න එපා. කවුරු නැතත් මං ඉන්නවා ඔයාගෙ දුකේදි.” යැයි පැවසූ විට ඔබේ හැඬුම තරමක් අඩු වන්නට ඇත. ඔබව දුකට පත්කළ පුද්ගලයෙක් වේ නම් ඔහුට ද බැණ වදිමින් ඔබේ ගුණ කියන විට ඔබේ හැඬුම තව දුරටත් අඩුවී යන්නට ඇත. පසු ව ඔබ ඔබේ හිස අත ගෑ පුද්ගලයාව වර්ණනා කළා නො වේ ද? නමුත් යළි යළි එවන් සන්තාපයන් ජීවිතයට පැමිණෙද්දී ඔබේ හිස අත ගාන්නට කවුරුන් හෝ ඔබ ළඟට පැමිණෙන්නේ යැයි නිශ්චිතව ම ඔබට කිව හැකි ද?

ඔබ අතහැර ගත්තේ සොඳුරු මොහොතකි. ඔබට එය කදිම අවස්ථාවක් කරගන්නට තිබුණි. ඔබ කාමරයට වැදී දොර වසාගත් විට පිරිසෙන් වෙන් වීමේ සොඳුරු හුදෙකලාවක් ඔබට හිමි වේ. ඉන් ප‍්‍රයෝජන ගෙන ඔබට තිබෙන්නේ ඇස් දෙකෙන් එළියට පැන ගන්නට දඟලන කඳුළු හටගන්නට හේතුව විමසීම ය. ස්පර්ශය ප‍්‍රත්‍ය කොටගෙන හටගන්නා දුක් සහගත විඳීමක් නිසා එම දුක හටගත් බවත්, ස්පර්ශය වෙනස් වී යාමත් සමග දුක් සහගත විඳීම ද වෙනස් වී යන බවත් ඔබ නුවණින් විසන විට යමෙක් පැමිණ හිස අත ගාන විට ඇතිවන සුවයට වඩා බලවත් සුවයක් ඇති වනවා නො අනුමාන ය. භාග්‍යවතුන් වහන්සේ අප හට සැනසෙන්නට යැයි වදාළ මුනි දහමේ ප‍්‍රතිඵලය නිවීම ම ය.

ඔබ රෝගාතුරව රෝහල්ගත වූ දිනයක් සිහිකර බලන්න. රෝගීන් බැලීමට වෙන්කර ඇති කාලය එනතුරු ඔබ ඔරලෝසුව දෙස බලා සිටියි. කවුරුන් හෝ ඔබ ව බලන්නට එන විට ඔබ සතුටට පත් වේ. එසේ එන පිරිස වැඩිවන තරමට ඔබේ සතුට ද වැඩි ය. නමුදු ඔබ රෝහල්ගත වූ මොහොත මින් ඔබ්බට ගිය, ඔබේ ජීවිතයේ සොඳුරු ම මොහොතක් බවට පත් කරගන්නට ඔබට අවස්ථාව තිබුණි. අවාසනාවට ඔබ එය අත හැරගත්තා නො වේ ද?

ඔබේ වාට්ටුවේ සිටින අනෙක් රෝගීන් දෙස බලා ඔබට ජීවිතය නුවණින් විමසන්නට පුළුවන. එවිට, අපට පරිහරණය කරන්නට ලැබී ඇත්තේ ලෙඩවන කයක් බව අවබෝධ වනු ඇත. ශ්‍රී ලංකාව ගත් කල මේ මොහොත වනවිට රෝගීන් කී දෙනෙකු රෝහල්වල ඇති ද? යම් පිරිසක් රෝහලෙන් නිවෙස් බලා යනවිට තවත් එවන් ම පිරිසක් නැවත රෝහල්ගත වේ… එසේ නම් මාගේ නිරෝගිකම ගැන කුමක් සිතන්න ද? කළ යුත්තේ කය ලෙඩ වුව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට සිත ලෙඩකර නො ගැනීම ය.

එදා පටාචාරා තෙරණින් වහන්සේ සැතපෙන්නට කුටියට වඩින්නට පෙර දෙපා සෝදා ගැනීමට වතුර වත්කළා ය. එවිට එ් වතුර ටිකක් දුර ගලා ගොස් පොළොවට උරා ගත්තේ ය. ඊළඟ වතුර ටික වත්කරන විට එය පෙරට වඩා දුරක් ගමන් කොට පොළොවට උරා ගත්තේ ය. තෙවන වතාවේ දී වත්කළ වතුර බොහෝ දුරක් ගොස් පොළොවට සිඳී ගියේ ය. මෙය නුවණින් විමසූ ඇය, ‘මිනිසුන් මිය යන්නේ ද මේ ආකාරයට ම ය. සමහරු කුඩා වයසේ දී ද තරුණ වයසේ දී ද ඇතැමෙක් මහලූ වයසේ දී ද මරණයට පත් වෙති.’ යන් කරුණ දුටුවා ය. තමාගේ කුඩා දරුවනුත්, තම ස්වාමියාත්, මහලූ වයසේ සිටි දෙමව්පියෝත්, එක ම සොහොයුරාත් දින දෙකක් තුළ මිය යාමේ දුක දරාගත නො හැකිව උන්මන්තක වූ ඇය අවසානයේ ජීවිතය ජය ගත්තේ කුඩා මොහොතක් අත්නොහැර නුවණින් විමසීමෙනි.

දන්තිකා නම් රහත් තෙරණිය ජීවිතය අවබෝධ කරගත්තේ ඇත් ගොව්වෙක් හෙණ්ඩුවකින් ඇතෙකුව මෙල්ල කරන අයුරු දැක වීරිය කිරීමෙනි. ඇයටත් සිත නම් වූ නො දැමුණු ඇතු දමනය කළ සමාධියෙන් යුතුව වීතරාගී වීමට හැකි විය. නමුත් අප…. බොහෝ දුර බැහැර ගොස් දමනය කළ අලි ඇතුන් බලා සතුටු වෙමු. එ් කිසි ම මොහොතක අපට අපගේ සිත ද එ් අයුරින් හීලෑ කරගත යුතු යැයි සිතී තිබේ ද?

එකල විසූ එක් කුල කතක් ධර්මය අවබෝධ කරගත්තේ මැල්ලූමක් රොස්වන ආකාරය දැකීමෙනි. පසු ව ඇය පැවිදිව අරහත් භාවය ලැබුවා ය. අප අතින් කී වරක් මැල්ලූම් රොස් වන්නට ඇති ද? එවන් මොහොතක් පවා අත්නොහැර නුවණින් විමසමින් ජීවිතයට පිළිසරණ සලසා ගත්තේ ප‍්‍රඥවන්ත පුද්ගලයන් පමණ ම ය.

‘‘බාබර් උන්නැහේ එදා මා ළඟට පැමිණුනේ මගේ කෙස් කපන්ටයි. එ් වෙලාවෙ කණ්ණාඩිය අතට අරන් මං ශරීරය දිහා බැලූවා. මට ශරීරය පෙනුණෙ තුච්ඡ දෙයක් විදියට. දැන් මගේ අවිද්‍යා අන්ධකාරය දුරු වුණා. වැරහැලි ඔක්කෝම ඉරලා දැම්මා. ආයෙත් නම් මට පුනර්භවයක් නෑ.”
(වීතසෝක තෙරුන් වදාළ ථේර ගාථා)

දිනකට කී වතාවක් කණ්ණාඩිය ඉදිරියට ගිය ද මෙවන් පරිවර්තනයක් අප තුළ සිදු නො වන්නේ ඇයි? කණණාඩියේ වරදින් ද? දහමේ වරදින් ද? කාලයේ වරදින් ද? නැත. ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය… වරද අප අත ම ය. අපට හිමිවන වටිනා සෑම මොහොතක් ම අත්නොහැර නුවණින් විමසීමට අප අදක්ෂ වීම ය.

ඉදින්…. ලාභයක් ලබන විට, අලාභයට මුහුණ දීමට සූදානමින් සිටී නම්… කීර්තිය ලැබෙන විට අපකීර්තියට ද මුහුණ දීමට අප සූදානම් නම්… ප‍්‍රශංසාව ලැබෙන මොහොතේ දී නින්දාව ද යම් මොහොතක උරුම බව දැන සූදානමින් සිටී නම්… සැපේ දී එයට නො ඇලී දුකට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටී නම්…. ඔබගේ ජීවිතයට ළඟාවන සෑම මොහොතක් ම සොඳුරු ය.

මෙසේ, දුක් කම්කටොළු, බාධක, හිරිහැර මැදින් ගලා යන සෑම මොහොතක් ම අත්නොහැර නුවණින් විමසන්නට පුරුදුවන ඔබට මරණ මංචකයේ දී හිස අත ගාන්නට යමෙක් එනතුරු මඟ බලා සිටින්නට වුවමනා නැත. එසේ හෙයින් ජීවිතයේ එළඹෙන සෑම මොහොතක් ම ඔබගෙන් ගිලිහී නො යන සොඳුරු මොහොතක් ම වේවා!

සටහන
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරීනී
තේජා දිල්රුක්ෂි දයාරත්න