‘‘මේ යුගයේ කිසිම රැකියාවක් කරන්න බැහැ, අඩුම තරමින් පන්සිල් එක පදයක් වත් නො කැඞී…..”

වර්තමාන සංකීර්ණ සමාජයේ ප‍්‍රධාන ජීවන මාර්ගයක්වන කෘෂිකර්මාන්තයේ යෙදෙන එක් ගොවි මහතෙකු මා සමග කී කතාවකි මේ. ඇත්තෙන්ම එය එසේ විය යුතු ද? වර්තමානයේ දී ගිහි අපට ධාර්මිකව ජීවත් වීමට ඉඩ කඩක් ඇත්තේ ම නැද්ද?

නිවනට ඇති එ්කායන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස් වැනිව විග‍්‍රහ වන්නේ සම්මා ආජීවය, එනම් ධාර්මික දිවි පැවැත්ම ය. එය අයත් වන්නේ ශීලයට ය. සම්මා වාචා සහ සම්මා කම්මන්තය ද ඇතුළත් ශීලයට ය. සම්මා ආජීවය යනු කුමක්ද? එය තේරුම් ගැනීමට වඩා පහසු එක් ක‍්‍රමයක් නම් එහි විරුද්ධාර්ථය වන මිච්ඡා ආජීවය කුමක්දැයි විග‍්‍රහ කරගැනීම ය.

බුදුරජාණන් වහන්සේ ගිහියන් විසින් නො කළ යුතු මිච්ඡා ආජීවයන් පහක් ගැන වදාළහ. එනම්, ආයුධ වෙළඳාම, වහල් (මිනිසුන්) වෙළඳාම, සත්ව ඝාතන ව්‍යාපාර, මත්ද්‍රව්‍ය ව්‍යාපාර සහ විෂ වර්ග ව්‍යාපාරය යි (වාණිජා සූත‍්‍රය – අං. නි.).

අද තත්ත්වයන් යටතේ දහම් පද මායිම් කෙරෙන්නේ නැත. මත්පැන් වෙළඳාම වැරදි වුව ද, වර්තමානයේ දී බලපත‍්‍රයක් ලබා ගැනීමෙන් පසු එය නීත්‍යානුකූල වෙළඳාමක් ලෙස කරන්නට පුළුවන. එලෙස නීතියෙන් ගැලවී යාමට හැකි වුව ද ආගමානුකූලව එය සම්මා ආජීවයක් වන්නේ නම් නැත.

එසේ නම් සම්මා ආජීවය යනු කුමක්ද? අරි අටැඟි මගෙහි ශීල කොටසට අයත් වන හෙයින් සම්මා වාචා, සම්මා කම්මන්ත මෙන් ම සම්මා ආජීවය ද ගිහියාගේ නිත්‍ය ශීලය වන පංච ශීලයට සම්බන්ධ ය. එනම් සතුන් මැරීම, සොරකම, කාම මිථ්‍යාචාරය, බොරු කීම සහ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය. එ් අනුව සම්මා ආජීවය යනු පංච ශීලය හානි කරනොගෙන යහපත් ජීවන මාර්ගයක් සලසා ගැනීම ය. තමනට සහ අනුන්ට කිසිදු අන්දමේ හානියක් නො කර තම ජීවන මාර්ගය සලසා ගැනීම ය.

ඉතා සරලව සඳහන් කරනවා නම් සම්මා ආජීවයෙහි යෙදෙන්නා තම ශීලයෙහි අනිවාර්ය ගුණාංගයන් වන කරුණාව සහ මෛත‍්‍රිය ඉක්මවා යාමක් නො කළ යුතු ය. ඔබ ජීවන මාර්ගයේ යෙදෙන ආකාරය ඔබට සහ අනෙකුත් අයට දුකක්, අගතියක් ඇති කරවන මාර්ගයක් නො විය යුතු ය. ඇතැමුන් මෙය වර්තමානය සමග නො ගැළපෙන්නේ යැයි තර්ක කරනු අසන්නට ලැබේ. වත්මන් ආර්ථික ක‍්‍රමයට ගැළපෙන්නේ යැයි කියමින් තැබෑරුමක වෙළඳ සේවකයකු, මත්පැන් කම්හලක සේවකයකු ලෙස සේවය කිරීම බෞද්ධයෙකුට ගැළපෙන්නේ නැත.

සම්මා ආජීවය යනු මතුපිටින් පෙනෙන ධාර්මික රැකියාවක් පමණක් නොවන බව අප තේරුම් ගෙන තිබීම වැදගත් ය. ධාර්මික යැයි පෙනෙන රැකියාව තණ්හාව සහ කෑදරකම මුල් කරගෙන අධාර්මික රැකියාවක් කරගැනීම පිළිබඳව උදාහරණ වත්මනෙහි බහුල ය. වෛද්‍ය වෘත්තිය උසස් රැකියාවක් වූව ද, පෞද්ගලිකව ලෙඩුන් පීඩාවට පත් කර ඔවුන් සූරා කන්නේ නම් එබඳු අය වැරදි ජීවන මාර්ගයක් ගත කරන අය වෙති. වෙළඳාම සාධාරණ වෘත්තියක් වූව ද, කිරුම් මිනුම්වලින් සහ අගය අඩු භාණ්ඩ විකිණීමෙන් පාරිභෝගිකයා සූරා කන්නේ නම් එය අධාර්මික ජීවන මාර්ගයකි.

සම්මා ආජීවය යනු මූලික වශයෙන් පංච ශීලය මනාව පිළිපැදීම බව ඉහත සඳහන් කරුණු අනුව පැහැදිලි ය. එහි දෙවන කොටසට ඇතුළත් තවත් වැදගත් අංගයක් වන්නේ යහපත් ජීවන ක‍්‍රමයෙන් ලබා ගන්නා සංතුෂ්ඨියයි.
x යහපත් ජීවන මාර්ගයක් ඇත්තකුට මුලින් ම ඇති වන්නේ අත්ථි සුඛයයි. එනම් ‘තමාට ඇතැයි’ යන සුඛයයි. යහපත් රැුකියාවක්, ආදායම් මාර්ගයක් ඇතැයි යන සංතුෂ්ඨියයි.
x දෙවැන්න භෝග සුඛයයි. එනම් උපයා ගන්නා ධනය භාවිත කිරීමේ සුඛයයි. තම පවුලේ සහ ඥාතී හිතමිත‍්‍රාදීන්ගේ යහපතට, දානාදි පුණ්‍යක‍්‍රියා සඳහා යෙදවීමේ සුඛයයි.
x තෙවැන්න අනන සුඛයයි. එනම් තමන් කිසිවකටත් ණය නොමැති බවින් ඇති වන අභිමානය සහිත සුඛයයි.
x සිව්වැන්න අනවජ්ජ සුඛයයි. එනම් තම ජීවන මාර්ගය ගැන කිසිවකුගෙනුත් අපවාදයන් නො අසා කයින්, වචනයෙන් සහ මනසින් වරදක් නො කරමින් සිටීමේ සුඛයයි.
(අනන සුත‍්‍රය – අංගුත්තර නිකාය)

යහපත් ජීවනය අවශ්‍ය වන්නේ ලෝකයට පෙන්වීමට නො වේ. යහපත් රැකියාවක් කරන බව, දානාදී පුණ්‍යක‍්‍රියා කරන බව ලෝකයාට දැන්වීමට නො වේ. තමන් තුළ ඇති වන සංතුට්ඨිය සඳහා ය. ආර්ය අෂ්ටාංගික මගට පිළිපන් අයෙකු ලෙස තම ධර්ම මාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා ය.

අල්ප වූ ආශාවන්වලින් යුක්ත වීම සහ ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් ලෙස බුදු දහම උගන්වයි. පරිභෝජනයේ දී මෙන් ම නිෂ්පාදනයේ දී ද මෙම උතුම් ගුණාංග අනුගමනය කළ යුතු වේ. වර්තමාන සමාජ – ආර්ථික අර්බුදය හැඳින්වීම සඳහා විද්වතුන් භාවිතා කරන වචනයක් වන්නේ පරිභෝජනවාදය (consumerism) යන්න ය. එනම් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා පරිභෝජනය කරන්නට අප තුළ ඇති අතෘප්තිකර ආසාව සහ එම ආසාවන් ඉටු කරගැනීමේ දී සිදු කරනු ලබන සූරා කෑම ය. අවශ්‍ය ප‍්‍රමාණවලට වඩා නිෂ්පාදනය කරන බවත්, එනිසා ම අධිකව පරිභෝජනය කරන්නට පෙළඹී ඇති බවත්, මේ පිළිබඳ විවාදවල දී කියැවේ. මතක තබා ගත යුතු කරුණක් වන්නේ, එක්තරා ඇති හැකි පිරිසක් මෙලෙස ලෝක සම්පත් අධික ලෙස පරිභෝජනය කරන අතර ආහාර නොමැතිකමින් දිනපතා කුසගින්නේ මිය යන දහස් ගණන් ලොව තවත් පෙදෙස්වල සිටින බව ය.
අධික පරිභෝජනය යනු අත්‍යවශ්‍ය පරිභෝජනය නො වේ. එය මාධ්‍ය සහ වෙළඳ ප‍්‍රචාරණවලින් අප වෙත බල කරනු ලබන පරිභෝජනයකි. එලෙස ඇති කරනු ලබන අනවශ්‍ය අවශ්‍යතා නිසා පරිභෝජනය කරන්නන් එ් සඳහා මුදල් ඉපයීමට අයථා ක‍්‍රමවලට පෙළඹේ. වත්මන් සමාජයේ අපට දක්නට ලැබෙන අයථා ජීවන ක‍්‍රමවල මූලාරම්භය මෙම අසීමිත පරිභෝජන අවශ්‍යතාවන් නිසා සිදු වන්නකි.

අපගේ අවසාන අරමුණ විය යුත්තේ ආධ්‍යාත්මික ප‍්‍රීතිය සහ විමුක්තිය බව සැබෑවකි. එහෙත් එ් සඳහා එක්තරා ප‍්‍රමාණයක භෞතික සහ ආර්ථික සුරක්ෂිත බවක් තිබිය යුතු බව පිළි ගත යුතු ය. එය වත්මන් පරිභෝජනවාදය විසින් අප තල්ලූ කර ඇති අසීමිත ආසාවන් සහිත ජීවන ක‍්‍රමය නො වේ.

යමෙකු තම පවුල පෝෂණය සහ ඥාති මිත‍්‍රාදීන්ට සැලකීම සඳහා ධාර්මිකව ඉපැයීමට කටයුතු කළ යුතු ය. තම මූලික අවශ්‍යතා අතික‍්‍රමණය කරමින් අසීමිත ධනය රැුස් කිරීමේ පරම අරමුණ ඇතිව කටයුතු කරන්නේ නම් එය ධාර්මික ඉපයීමක් වන්නේ නැත. තම දහදිය මහන්සියෙන්, යහපත් සිතුවිලි ඇතිව සාධාරණ සහ යහපත් මාර්ගයන්ගෙන් ධනය ඉපයිය යුතු ය. ඔවුනට කිසිවකුගේ දොස් නො අසා අනවජ්ජ සුඛය විඳිය හැකි වන්නේ එවිට ය.
යහපත් ජීවන මාර්ගයක් ලෙස රැුකියාවක්, කර්මාන්තයක් අප හඳුනා ගන්නේ කෙලෙස ද යන්නට අපට කාලාම සූත‍්‍රයෙන් පිටිවහලක් ලබා ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ එහි දී කාලාමයන්ට පහදා දෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය ආදියෙන් තොර වූ යමෙක්, සත්ව ඝාතනයේ නො යෙදීමෙන්, අන්සතු දේ නො ගැනීමෙන්, අන් අඹුවන් සොයා නො යාමෙන්, බොරු නො කීමෙන් යුතුව සිටී නම් එම ක‍්‍ර‍්‍රියාවන් කුසල් උපදවන, දොස් නො අසන්නට ලැබෙන (අනවජ්ජ*, නුවණැතියන් විසින් පසසනු ලබන, දීර්ඝ කාලයක් යහජීවනය සහ සතුට උපද්දවන එ්වා බව ය.

නැවත නැවතත් අපට පැහැදිලි වන්නේ යහපත් ජීවන මාර්ගය යනු ලෝභය, ද්වේෂය, මෝහය තුරන් කිරීම අරමුණු කරගත් ශීලය සම්පූර්ණ කරගැනීමේ වැඩපිළිවෙළක් බව ය.

යහපත් ජීවනය සඳහා ගැළපෙන රැකියා මාර්ග, කර්මාන්ත සම්බන්ධයෙන් බුදු දහම හඳුනා ගන්නා රැුකියා, කර්මාන්ත නම්,
x කෘෂි කර්මාන්තය (මත්පැන් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා ගස් පැළෑටි වැවීම හැර)
x සත්ව පාලනය (මස් පිණිස නො වේ)
x රාජ්‍ය සේවය
x වෙළඳාම (අනුමත නො කළ වෙළඳාම් හැර)

වර්තමානයේ ඉහත වර්ගීකරණයට අයත් නොවන රැුකියා සහ ජීවන මාර්ග දහස් ගණනක් හඳුනා ගන්නට පුළුවන. එ්වා සම්මා ආජීවයට අයත්දැයි අප විග‍්‍රහ කරගත යුත්තේ කාලාම සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේගේ නිර්ණායකයන්ට අනුව ය. එනම්, යහපත් ජීවන මාර්ගය, ලෝභය, ද්වේෂය සහ මෝහය තුරන් කරන වැඩපිළිවෙළකට සම්බන්ධ විය යුතු බව ය. ඔබ ධනය උපයා ගත් ආකාරය සම්බන්ධව බාහිර පුද්ගලයන් හෝ ඔබේ හෘදය සාක්ෂිය චෝදනා නො කරන තත්ත්වයට පත් කරගත යුතු ය. එය ආර්ය අෂ්ටාංගික මාර්ග අංගයක් බැවින්, විමුක්තිය කෙරෙහි යොමු වූ අංගයක් වේ.

කෘෂිකර්මය යනු ධර්මානුකුල ජීවිකාවක් සඳහා ඇති කර්මාන්තයක් බවට කිසිදු සැකයක් නැත. දුරාතීතයේ පටන් අප කෘෂිකාර්මික රටක් වූ නිසාවෙන් ද යළිත් එ් ඉපැරණි කෘෂිකර්ම රටාව බිහි කිරිම ගැන කතිකාවතක් ඇති වී තිබෙන නිසාවෙන් ද එ් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. බුද්ධ කාලයේ දී ද කෘෂිකර්මය උසස් ම කර්මාන්තයක් විය.

‘‘ශ‍්‍රද්ධාව මගේ බිජුවටයි. තපස වැස්සයි. ප‍්‍රඥාව මගේ නගුල සහ වියගහයි. ලජ්ජාව නගුලිසයි. සිත බාන් වැලයි. සිහිය හී වැල සහ කෙවිටයි….”
(කසී භාරද්වාජ සූත‍්‍රය – සුත්ත නිපාතය)

ධර්මාවබෝධය සඳහා ගිහියන්ට ධර්ම දේශනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ බොහෝ විට උපමා කරගත්තේ ඔවුනට තේරුම් ගත හැකි එදිනෙදා ජීවිතයේ දී දැකිය හැකි කරුණු ය. මෙහි දී උන් වහන්සේගේ අවබෝධය කෙතක සිදුවන ක‍්‍රියාවලිය තුළින් උපමාකර පෙන්වති. එනම් එකල කෘෂිකර්මය අතිශයින් අවිහිංසක කර්මාන්තයක් වන්නට ඇත. එසේ නො වේ නම් උන් වහන්සේ තමන් වහන්සේව කෙතක සිදු වන ක‍්‍රියාවලියකට උපමා කරගන්නේ නැත.

නවීන යැයි කියාගන්නා කෘෂිකර්මය පැමිණෙන්නට පෙර අපගේ පැරැුන්නන් වීවලට ‘බුද්ධ භෝගය’ වශයෙන් හඳුන්වන ලද්දේ එය එ් සා ධාර්මික ජීවන මාර්ගයක් වූ නිසා ය.

කෘෂිකර්මාන්තය සම්මා ආජීවයක් බව සත්‍ය වුව ද වර්තමානයේ එ් ස්වභාවය බැහැර වී ඇති බව අප බොහෝ කලක සිට සාකච්ඡුා කරන මාතෘකාවකි. මෙය මෙලෙස විය යුතු නැත. වාණිජ අපේක්ෂාවන් ඉහ වහගිය කෘෂිකර්මය අප වැළඳ ගත්තේ වඩ වඩාත් නිෂ්පාදනයත්, එ් හරහා ලාභයත් වැඩි කරගැනීම පමණක් පරම චේතනාව කරගෙන, තණ්හාව සහ ආසාව මුල් කරගෙන ය. පරිභෝජනවාදී ආර්ථික ක‍්‍රමවේදයක් විසින් කරනු ලබන පෙළඹවීම් තුළ ය. එහි ප‍්‍රතිඵල අප අද භුක්ති විඳින්නේ සමස්ත ජාතිය ම රෝගීන් බවට පත් කරගෙන ය. පංච ශීලය රැුක ගත නො හැකි පසුබිමක් සදාගෙන ය.

සාකල්‍යයෙන් ම ධාර්මික වූ හෙළ ගොවිතැනක් අපට තිබුණි. පරිසර හිතකාමී ලෙසත්, සෞඛ්‍යයට හානි නොවන ලෙසත්, අවිහිංසක ලෙසත් ගොවිතැන් කොට බිහි කළ ස්වයංපෝෂිත සශ‍්‍රීක සමාජයක් අපට තිබුණි.
පරිභෝජනවාදය වැළඳගත් අපි නවීන කෘෂිකර්මයේ නාමයෙන් එය ප‍්‍රතික්ෂේප කළෙමු. යළි එම ගොවිතැන ඉස්මතු කරගෙන, සිදු වීමට යන ව්‍යසනයෙන් මිදීමට අදිටන් කරගැනීමට මේ සුදුසු ම කාලයයි.

ධාර්මික වෘත්තීන් තුළින් ඉපැයීම් සිදුකරමින්, අනවජ්ජ සුඛයෙන් යුතුව දිවි ගෙවන්නට අප සියලූ දෙනාට වාසනාව උදා වේවා!!!

සටහන
හැපීගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස් අපට SMS කරන්න
071 555 66 66