කිසිදු ආකාරයකින් වෙනස් නො වී, සදාකාලිකව පවතින්නේ යැයි කියන්නට කිසිවක් අප උපන් ලෝකයේ නැත. ගතවන සෑම ඇසිල්ලක් පාසා ම ලෝකයේ සියලූ දෙය වෙනස් වෙමින් පවතී. එලෙස සිදුවන වෙනස්කම් අපට කිසිදා තේරුම් ගන්නට නො හැක. එතරම් වේගයෙන් අනිත්‍ය ධර්මය ක‍්‍රියාත්මක ය. එහෙත් එ් වෙනස සෑම මොහොතක ම සිදුවෙමින් පැවති දෙයක් මිස අද ඊයේ පටන්ගත්ත කරුණක් නො වන්නේ ය. ලෝකය තේරුම් නො ගන්නා කාරණය මෙය ම ය. සියලූ දේ අනිත්‍ය වී යන බව නොපිළිගන්නා නිසා ම අනිත්‍ය වූ ලෝකයට අපි දැඩි සේ ඇලී, බැඳී වාසය කරන්නෙමු. බාහිර, අභ්‍යන්තර සියල්ල අප හමුවේ නැසී වැනසී යන්නේ වුව ද එහි ගැබ් වූ අනිත්‍යතාවය නම් ධර්මතාවය අප පසක් කරගන්නේ නැත.

එය පසක් කරගන්නා ක‍්‍රමය දේශනා කරන්නෙ බුදුරජාණන් වහන්සේ ය. ‘දුක’ බවට පත් වන්නේ අනිත්‍ය දෙයයි. මෙලොව දුක කියා දෙයක් පැනවිය හැක්කේ නිත්‍ය වශයෙන් ගත හැකි දෙයක් නොමැති නිසා ය. අප ‘මම, මගේ’ කියා, ‘මගේ ආත්මය’ කියා බලමින් එ් තුළ බැසගෙන සිටිය දී ම සියල්ල අනිත්‍ය වී යයි. යම් දෙයක් අනිත්‍ය වන්නේ අප හිත හදා ගන්නා තුරු බලා හිඳ නො වේ. අප එ් තුළ ඇලී ගැලී සිටිය දී ම එ් දේ අනිත්‍ය වී යයි. ඉතින් නො පෙනෙන මේ අනිත්‍යය දකින්නට හැකි උතුම් ම ක‍්‍රමය භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරා ඇත. ”අනිත්‍ය දේ දුකක් ම යි අත් කර දෙන්නෙ, දුක් දේ අනාත්මයි හෙවත් තමාගේ වසඟයේ පවත්වාගත නොහැකි යි” කියන පිළිගැනීම ඇති කරගත යුතු ය. එම පිළිගැනීමට පැමිණි කෙනාගේ ප‍්‍රඥව මෝරන කලෙක එම කරුණ සත්‍යයක් ම වශයෙන් වැටහෙනු ඇත. එසේ තමාගේ වසඟයේ නැති දේවල් විපරිණාමයට පත් වනවිට එ්වා ”මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි” වශයෙන් පිළිගැනීමට අප පැමිණිය යුත්තේ ය.. යම් කලෙක අපව මිථ්‍යා ලෝකයෙන් නිදහස් කරන්නෙ එම පිළිගැනීම ය.

ඔබ ආසම කරන ඇඳුමක් ගැන සිතන්න. එ් ඇඳුම ඔබට අප්පිරියා වී, එපා වන්නට, ඉවතට දමන්නට කොතරම් කාලයක් ගත වේ ද? ඔබේ ඇඳුම් අල්මාරිය මොහොතකට ඇර බලන්න. වසර 5 කට, 10 කට ඉහත දී ගත් ඇඳුම් පවා එහි තිබෙන්නට පුළුවන. එයට හේතුව එ් ඇඳුම කෙරෙහි ඇති ආශාව තවමත් ඔබේ සිතින් ඉවත් වී නැති නිසා ය. ඔබගේ මංගල දිනයේ අඳින ලද සාරිය ඔබ තවමත් සුරක්ෂිතව තබාගෙන සිටිනවා නේ ද? එ් ඔබ එ් මතකයට පවා තවමත් ප‍්‍රිය කරන නිසා ය. එ් නිසා ම ජීවිතය ඇති තුරු ම කිසිවෙකුටත් නො දී එය ප‍්‍රවේශම් කිරීමට ඔබ පෙළඹේ…. නමුත් ඔබේ එ් ආශාව, කැමැත්ත එ් ඇඳුම කෙරෙහි තිබිය දී ම එයට හානි සිදුවන්නට බැරි ද? සොරෙක් විසින් එය පැහැර ගන්නට පුළුවන. එසේත් නැති නම් අල්මාරියෙහි තිබිය දී ම කාවුන් විසින්, මීයන් විසින්, කැරපොත්තන් විසින් කා දමන්නට පුළුවන. නැති නම් කහට පැල්ලමක් හෝ වැදී අපවිත‍්‍ර වන්නට පුළුවන. අප ආශාවෙන් බැඳී සිටින සියල්ල ම අපට අහිමි වන්නේ එ් අයුරිනි. අප එ්වාට කැමැත්තෙන් ඇලී සිටින තාක් මුළාවෙමින් එ්වා සිතින් අල්ලාගෙන වාසය කරන්නේ ය. නමුත් එ්වා වෙනස් වන විට දුකක් නො වේ ද හට ගන්නේ..? ඉතින් අනිත්‍ය දේ දුකක් ම යි නේ ද?

අප කළ යුත්තේ මේ ස්වභාවය අවබෝධ කර ගැනීමයි. එවිට අනිත්‍ය දෙය අනිත්‍ය වී යද්දී, දුකක් සන්තාපයක් හට ගනීවි ද? අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් සිතාගෙන සිටින විට නො වේ ද එය අනිත්‍ය වී යද්දී දුක් දෝමනස්සයන් හට ගන්නේ? අප පරිහරණය කරන සියලූ දෑ නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්ත බව එ්වා අනාත්ම බව ධර්මය තුළින් අවබෝධ කරගත යුතු ය. නමුත් එ් සඳහා අප සූදානම් වන විටත් බොහෝ දේ අපට අහිමි වෙමින් පවතී. ‘කෙසේ හෝ අනිත්‍යය අවබෝධ කළ යුතුයි’, ‘මං හෙට සිට මේ අනිත්‍ය නුවණින් විමසනවා’ යැයි සිතමින් අපි සැලසුම් සකස් කරමින් සිටිමු. නමුත් මේ මොහොතේ ද අපේ ආයුෂ ගෙවී අනිත්‍ය වෙමින් පවතී. අපේ අවයව මොහොතකට පෙර තිබුණාට වඩා තරමක් හෝ දිරා ගොස් ය. ශක්තිය, ජවය, කල්පනා ශක්තිය, නුවණින් විමසීමේ හැකියාව, ආදි පෙර ජීවිතයේ රැුස් කළ පින නො වෙයි ද මේ ගෙවී යන්නේ? අප සූදානම් වන තුරු ලෝකය නතර වී බලා සිටින්නේ නැත. ලෝකය අනිත්‍ය වෙමින් පවතී. කළ යුතු දෙය කල් දමන්නට නම් මොහොතකවත් ඉඩක් නැත. හිසට ගිනි ඇවිළුන කෙනෙක් එ් ගින්න නිවීමට ගන්නා තරමට වැඩි වෙහෙසක් දැන් දැන් ම මේ අනිත්‍ය දෙයට මම මගේ මගේ ආත්මයැයි කියා බැඳී සිටින ස්වභාවය නැති කිරීමට දහම නුවණින් විමසීමට ගත යුතු ය. නමුත් එය අරඹන්නේ කෙසේ ද?

ඇසි පිය වත් හැර නැති කිරිකැටි දරුවා තරමක් වැඩිමහලූ වී බඩ ගා ගෙන යන, දණ ගා ගෙන යන, පියවර තබන මොහොතේ දී අපි සන්තෝෂයට පත් වන්නෙමු. එ් දරුවා ජරාවට පත්වී යන බව අපට සිතේ ද? එම දරුවාගේ දත් වැඩෙන විට, කෙස් වැඩෙන විට, බත් කටක් හපා කනවා දකින විට සියල්ලන්ට ද එ්වා පවසමින් අපි උදම් අනන වාර කොතෙක් ද? සැබෑව නම් කුමක්ද? එ් දරුවා උපන් මොහොතේ සිට ළං වන්නේ ජරා මරණයට ය. උත්සවාකාරයෙන් සාද පවත්වා උපන්දින සැමරුව ද වසරින් වසර එ් දරුවා මනුෂ්‍යයකු වශයෙන් මෙලොව ජීවත් වීමට ලද ආයුෂ ගෙවා දමයි. ඉන් අදහස් කරන්නේ ඔහු අප හා සිටීමට නියමිත කාලයෙන් වසරක් අඩු වූ බවයි. අප සාද පවත්වන්නේ එ් සඳහා ය. එක් වරම දකින අසන දෙයක අනිත්‍යය දකින්නට හැකි ප‍්‍රඥවක් නැති අපි කළ යුත්තේ ජීවිතයක් ජරා මරණවලට ඇදී යන ආකාරය හෙවත් දුක ගැන විමසීම නො වේ ද? ඉපදුණ සත්වයා ජරාවට පත් වීම ද ලෙඩවීම ද මරණය ද අප තුළින් ම දකින්නට උත්සාහ වුණහොත් කලෙක දී අනිත්‍ය ධර්මය දැකීමට අපට හැකි වනු ඇත. එවිට ඔහු අනිත්‍ය ලෝකය දෙස බලමින් අත්පොළසන් දුන්න ද සිනාසුන ද ප‍්‍රීතිමත් වුව ද කාමයට පැටලූන සිතින්, මුළා වුණ සිතින් කාමය ඇසුරු නො කරන්නෙක් වනු ඇත.

කොතෙක් හොඳින් ඇස් පෙනුන ද නුවණින් විමසන තාක් මේ කරුණ කිසිවෙකුට නො පෙනේ. තමා අනිත්‍ය විසින් යට කරගෙන තිබිය දීත්, ‘මා නැසී වැනසී යන ධර්මතාවයන් සමඟ ජීවත් වන, නැසී වැනසී යන අයෙක්’ යයි සිතන්නට කිසි කෙනෙක් කැමති නැත. නමුදු අප කැමති වුව ද අකමැති වුව ද අනිත්‍ය ලෝකයේ අබ ඇටයකදු තරම් දෙයක් නිත්‍ය වන්නේ නම් නැත…

ඔබ දුර බැහැර ගෙවා ගෙන සීත කඳුකරයේ දිය ඇලි බැලීමට ගිය දිනයක් සිහි කරන්න. රථයක නැගී ගී කියමින්, අත්පොළසන් දෙමින්, සංගීත භාණ්ඩ වාදනය කරමින් ඔබ ගියේ කුමක් බැලීමට ද? එ් අසවල් දිය ඇල්ල යයි ඔබ කියාවි. ඇත්තෙන්ම එ් දිය කඳ සොබාදහම තුළ ඇති කරන්නේ අපූරු සුන්දරත්වයකි. ලෝකයේ අනිත්‍යය ගැන වැටහීමක් ඇති පුද්ගලයා ද එහි ගොස් මේ සුන්දරත්වය විඳිනු ඇත. ඔහුගේ විඳීමේ මුළාවක් නැත. කාමයෙන් මුසපත් වීමක් නැත. ඔහු තුළ බැසගත් අනිත්‍ය ධර්මය විසින් සන්සිඳීමෙන් යුතු ස්වභාව ධර්මයේ ආශ්වාදයක් ඔහුට ලබා දෙනු ඇත.

නිවි නිවී පත්තුවන තොරණක් දෙස බලා හිඳ සතුටුවන නොදරුවන් සේ අපි ඇති වී නැති වී යන ලෝකය දෙස බලා ඔල්වරසන් දෙන්නෙමු. තොරණෙහි නා නා වර්ණයෙන් දිලෙන බල්බයන් හා එහි මැවෙන සුන්දර රටා මිසක එහි තිබෙන්නේ විටෙක නිවී තවත් විටක පත්තු වන බුබුළු සමූහයක් බව නොදරුවාට කිසි දිනක පෙනෙන්නේ නැත. නමුත් ඔහු වැඩි මහලූ වත් ම එ් පිළිබඳ සොයන්නට කැමති වෙයි. ඔහු තොරණෙහි විදුලි බුබුළු දෙස බලා නො ඉඳ එහි පිටුපසට වැදී එය ක‍්‍රියාත්මක වන සැටි හොඳින් පිරික්සා බලයි. එවිට ඔහු සිදුවන්නේ කුමක්දැයි දැන ගනියි. ඉන් පසු නැවත තොරණ දෙස බලන විට ඔහුට එහි ඇත්තේ නිවි නිවී පත්තුවන විදුලි බුබුළු සමූහයක එකතුවක් බව මනා වැටහීමක් ඇත.

ධර්මය නො දත් අප ද දකින දේ තුළ මුළාවක් අත් කරගෙන ඇති බව ධර්මය ඉගෙන ගන්නා විට වටහා ගනියි. විදුලි බුබුළු ක‍්‍රියාත්මක කරනා අයුරු නො දන්නා නොදරුවාට ද පසුව එ්වා ක‍්‍රියා කරන ක‍්‍රමය ඉගෙන ගත් වැඩිහිටියාට ද තොරණේ රසය විඳින්නාට හැකි වන්නා සේ අපට ධර්මය තුළින් මුළා නො වුණු සුන්දරත්වයක් අත්කර දෙනු ඇත.

යම් රුවැත්තියක දෙස බැලූ බැල්මට අපට පෙනෙන්නේ නිල්වන් සුන්දර කෙස් කළඹකි. මුතුවන් බබළන දත් දෙපළකි. ඉඳුනිල් වන් නෙත් යුගලකි. දේදුනුවන් ඇහි බැම යුගලකි. නමුත් එ් රූප රස විඳින අපේ ම ඇස අනිත්‍ය යැයි අප හඳුනාගෙන නැත. තමාගේ ඇස තමා වසඟයේ නැති බව අවබෝධ කළ කෙනෙකුන් විසින් බාහිර රූපයක සුන්දරත්වය දකිනු ඇත. එ් මුළා නො වුණු සිතින් ම ය. ලෝකය ලස්සනයි කියන දෙයට ඔහු ද ලස්සනයි කියනු ඇත. නමුත් ලස්සනක් තුළ පංචකාමයේ මුළාවීම ඔහුගේ සිතේ නැත.

නම්බු නාම වෙනුවෙන්, පදවි තානාන්තර වෙනුවෙන්, බල තල වෙනුවෙන් ඇන කොටා ගන්නා ලෝකයක් බිහිව තිබෙන්නේ මේ සෑබෑ තතු අවබෝධ කර ගැනීමට උත්සාහ නො ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින්, එකිනෙකා පරයා නැගී සිටින්නට වෙර දරන්නේ මේ සැබෑව නො දකින තාක් පමණි. අප යම් දවසක අනිත්‍ය ලෝ දහම අවබෝධ කර ගනී ද මේ ලොවට සාමය උදා වන දිනය ද එදින ය. ලොව සියලූ අර්බුදයන් පවතින්නේ අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් ගෙන මුළා වී සිටින තාක් පමණි.

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයත්, උතුම් මනුෂ්‍ය ජීවිතයත් මූණ ගැසුණ මේ දුර්ලභ මොහොතේ ජීවිතයේ මායාවට හසු නො වී එහි යථාර්ථය දකිමින් උතුම් රහතන් වහන්සේලා නිවී සැනසී ගිය එ් අමා නිවනින් සැනසෙන්නට අනිත්‍ය දහම විමසන්නට අප සියලූ දෙනාට ම සිත් පහළ වේවා!

සටහන
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරීනී
තේජා දිල්රුක්ෂි දයාරත්න