ශ්‍රී ලංකාද්වීපයේ මධ්‍ය කඳුකරයේ කොතක් බඳුව අහසට නැඟුණු සමන්ත කූට පර්වතය මුදුනේ, තමන් වහන්සේගේ වාම පාද ලාඤ්ඡනය බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළේ ශ‍්‍රී සම්බුද්ධ ශාසනය හා බුදු දහම මේ පින්බර දිවයිනේ ස්ථාපිතව පන්දහසක් කල් සුරැකිව පවත්නා බව අවබෝධ කොට ගත් හෙයිනැයි සිතමි. බුදු දහම පවත්නා ආසියා මහද්වීපයේ කවරම දේශයක වත් සිරිපා පහස ලද මෙබඳු උතුම් ගිරි ශිඛරයක් නො දක්නා විරූ ය. සමනොළ ගිරි හෙවත් ශ‍්‍රී පාද කන්ද ලෝකයේ සෑම ආගමිකයෙකුගේ ම පුදබිමක් බවට පත්ව තිබීම බෞද්ධ ජනකායගේ නිහතමානී අබිමනට හේතුවක් වෙයි.
මෙම අති උතුම් සිද්ධස්ථානයේ පූජනීය වටිනාකමත්, එහි ස්වභාවික සෞන්දර්යයේ අගයත් ආස්වාදනය කළ ජනතාවගේ මුවින් නිතැතින් ම කවි ගී කියවුණේ වෙහෙස, මහන්සිය සන්සිඳවා ගැනීමේ අරමුණින් පමණක් නොව දයාව, කරුණාව, මෙත් සිත සියලූ ලෝ සතුන් වෙත පතල කර හැරීමේ පුණ්‍ය චේතනාව ද පෙරදැරි කොටගත් හෙයිනි. ශ‍්‍රී පාද පද්මය වැඳ පහළට බසින පිරිස වෙත එහි නගින බැතිමතුන් විසින් :
‘‘වඳින්ට යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් ආසිරි පතන විට ම, ‘‘වැඳලා බහින ඔය නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් පිළිතුරු දීම, සිරිපා හිමේ දී සියලූ ජනයා මානව දයා හිතවාදී හැඟුමින් පිරිපුන් එකම මිනිස් වර්ගයක් ලෙස සැලකීමක් වැන්න. එය වූ කලී මහා කාරුණිකයාණන් වහන්සේගේ සදහම් පණිවිඩය සමන්ත කූට පර්වත පරිසරය තුළින් දෝංකාර දී මුළු මිහිතලය සිසාරා පැතිර යාමක් සේ සැලකිය හැකි ය. සමනොළ ගිරි නැඟීම, ‘සිරිපා කරුණා කිරීම’ යන පොදු වදනකින් හඳුන්වනු ලබන්නේ එහෙයිනි.
සෑම වසරක් ආරම්භ වනවාත් සමග ම එකම කාල වකවානුවක දී සැදැහැති ලාංකික ජනකාය සිරිපා වඳිමින් තම පූජෝපහාරය බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන අතර සාහිත්‍ය කලාකාමී සද්ජනයා ඈත අතීතයේ සිට ම කවි ගී පද බඳිමින් – ගයමින් සමනොළ ගිර පුද බිමට සිය උතුම් ගෞරවය දැක්වූහ. පුරාණ ජන කවියෙකු විසින් පබඳින ලද ‘තුන් සරණය’ කාව්‍යයේ එන කවි ගායනය කරමින් වන්දනාකරුවන් සිරිපා කරුණා කරන්නේ බුද්ධං සරණේ සිරස දරාගෙන ය. බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපා සටහන ලක් දෙරණ සිරස මුදුනේ පිහිටා ඇති අයුරු එ් ශ්‍රේෂ්ඨ ජන කවියා අපට සිහිපත් කර දුන්නේ මෙපරිද්දෙනි:
බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිව්රු දරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන
‘හිමගත වර්ණනාව හෙවත් සිරිපා වැඳීම’ නම් කාව්‍ය රචනා කළ ජන කවියාගේ කවි අදත් සිරිපා වන්දනාවේ යන බැතිමතුන් මුවින් නැගෙන අයුරු අපි අසමු:
‘අපේ බුදුන් අපි වඳින්ඩ
සමන් දෙවියෝ පිහිට වෙන්ඩ
නළල තබා ගොස් වඳින්ඩ
පෙරළි පෙරළි අපි වඳින්ඩ
සාදු සාදු නිවන් යන්ඩ
උත්තම සිරිපා වඳින්ඩ’
රන් පන්හිඳ ගෙන සුරතින් බුදු ගුණ රන්පොත ලියූ පුරාණ හිමගත වර්ණනාව පබැඳු කවියා ද ‘පුරාණ සමනොළ වන්දනා කාව්‍යය’, ‘සමනොළ ශ‍්‍රී පාද වැඳීම සහ සමන්ත කූට වරුණ’ ලියු ජන කවියා ද ශ‍්‍රී පාද පද්මයට සිය කාව්‍යෝපහාරය පුද කළේ අදින් අවරුදු හාරසියයකටත් ඉහත දී ය.
කෝට්ටේ යුගයේ සන්දේශ රචනා කළ කවීන්ගේ වැනුම් අතර ද සමනොළ ගිර පිළිබඳ වර්ණනා දැක්ක හැකි ය. සැළලිහිණි සන්දේශය ලියු තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ වැනුම එ් අතර වෙසෙසින් කැපී පෙනේ;
සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැුඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
සමන් දෙවිඳුන් සුරඟනන් සමග පැමිණ ශ‍්‍රී පාද පද්මයට පරසතු මල් පුජා කිරීම සිහි ගන්වන්නේ නිශ්ශංකමල්ල රජු දවස දෙවඟනන් මල් නෙළාගෙන සමනොළ ගිර වෙත ගිය මඟ ඔස්සේ ගොස් ශ‍්‍රී පාද ස්ථානය සොයා ගැනීම පිළිබඳ පුවතයි.
පූර්වයෙහි සඳහන් කළ පරිදි සමනොළ ගිර තරණය කිරීමේ දී ජන කවීන් සිය හද තුළ ජනිත බුදු බැතිය පල කළ ආකාරය වියත් කවීන්ට වඩා බෙහෙවින් ම හෘදයාංගම වෙයි.
මං පැද අඟුල බැස යමි ගෙත්තම්පාන
පින් මඳ අයට සීමා පවුරකි එතන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරි පතුල වැඩියා සමනොළ මුදුන
අතීත යුගයේ දී සිරිපා වන්දනා කිරීම සඳහා හිමේ නැඟීමට පිටත්ව ගිය සැදැහැවතුන් දින සති මාස ගණන් පේවී සූදානම් වුයේ පුණ්‍ය චේතනාව හෙවත් ශ‍්‍රද්ධාව පෙරදැරි කොටගෙන ය. එසේ පිළිවෙත් සපුරා නො යන අයට ගෙත්තම්පානෙන් ඔබ්බට යා නො හැකි බව ය ඉහත කවියෙන් පැවසෙන්නේ.
එසේ ගද්‍ය පදය සාහිත්‍යකරුවන්ගේ වැනුම්වලට පාත‍්‍ර වෙමින් අතීතයේ සිට ශ‍්‍රී පාද පද්මය පූජෝපහාරවලට ලක්වූවා සේ ම සිංහල ගීත සාහිත්‍යයෙන් ද වරින්වර පිදුම් ලද්දේ ය. ‘මුනි නන්දන සිරිපාදෙ වඳිම් සමනොළ කන්දේ – විහිදෙන මෝක්ෂ සුගන්දේ’,‘‘සිරිපා වඳිමු මුනිගේ’, ‘ශ‍්‍රී පාද හිමේ දෙයියන්ගේ රටේ මේ ශාන්ත උදේ’ ආදි වශයෙන් පැවති සිරිපා බැති ගී අතරට එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේ දී අතිශය සුන්දර පද කැටයමකින් උපශෝභිත වුත්, ශ‍්‍රාවක ජනයාගේ සිත නිවා සනසාලන බුද්ධාලම්බන ප‍්‍රීතිය දනවන්නා වූත් ස්වර සංගතීන් හා නාද රටාවන්ගෙන් පිරිපුන් ගීතයක් ගුවන් ගැබ සිසාරා පැතිර ගියේ ය. එ් වූ කලී 1967 දී තිරගත කළ ‘රන්සළු’ සිනමා සිත්තම වෙනුවෙන් මහගම සේකර සූරීන් විසින් රචනා කරන ලද, පණ්ඩිත් අමරදේව සූරීන් ගායනා කළ ‘‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ” යන ගීතය යි.
පාලි ගාථා හා පිරිත් අතරින් නැඟී එන ස්වර සංගතීන් එම ගීතයේ සංගීත ආකෘතිය සාධනය කර ගැනීමේ දී ඉවහල් කොට ගත් අයුරු අමරදේව සූරීන් පැහැදිලි කොට තිබේ. එම ගීතයේ පද රචනය පමණක් වුව ද ගීතයක් ලෙසින් ගලා යන ආකාරය අසිරිමත් ය.
‘‘සිරිපා පියුමේ – රොන් සුණු තැවරේ
ගිමන් නිවන පවන් හමා එ්
නිවී පහන් වී ළය සැනහේ
නිවන් දොරට මඟ පානා
සමනොළ රන්කොත මුදුනේ
බැන්ද වියන් සේ….
අරුණු වලා රන් සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවඳේ
කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ….
මහා රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳුවැටි අතරේ
සිරිපා පියුමේ – රොන් සුණු තැවරේ”
මේ අපුරු ගීතය ගැයූ අමරදේවයන්ගේ උදානය රසික ජනයාගේ ප‍්‍රසාද මාධූර්යය උදෙසා මෙසේ උපුටා දක්වමි:
‘‘මහගම සේකර විසින් රචිත පහන් සිතිවිලි රැුගත් මේ ගීතය, ස්වර ගැන්වීමේ දී ගීතයේ ප‍්‍රස්තුතාර්ථයට ගැළපෙන සංගීතමය ආවේශයක් ලබන අටියෙන් සිංහල බොදු හැඟුම් පුබුදුවන නාද රූප සොයා ගිය ගමනේ ඵල විසින්, සැහැල්ලූ කරලා, සැහැල්ලූ සිතින්, සැහැල්ලූ ගතින් සමනොළ නඟින බැතිමතුන් මුවින් ගිලිහෙන, ‘බුද්ධං සරණේ සිරස දරාගෙන’ යන තුන්සරණේ නාද මාලාවන්ගේ ආහාසය පරිපුර්ණ ගීයක් කරා විහිදුවාලීමි. මෙපරිද්දෙන් මනෝභාව රඳවමින් ජන ආර ඔස්සේ ම පරිසමාප්ත ගීතයක් නිර්මාණය කර ගැනිමේ මං සැලසිණි.”
(නාද සිත්තම් – අමරදේව 93-94 පිටු)
බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ උතුම් පහස ලැබූ සමනොළ ගිරි මුදුන හා පවන් රොදින් පාවී යන වලාරොද ආශ‍්‍රිත අවට පරිසරය මුළු මහත් ගීතයේ ම පසුබිම ලෙස චිත‍්‍රණය වී තිබේ. ගිමන් නිවන පවන් රොද හමා එන්නේ සිරිපා පියුමේ රොන් සුණු තවරාගෙන ය. බෝසතාණන් වහන්සේ මවු කුසින් බිහිවූ දා සිඟිති පා පිළිගන්නේ මිහි මතින් පැන නැගුණු පියුම් සතකිනි. එහෙයින් ‘සිරිපා පියුම’ යන යෙදුම සමනොළ ගිර මත පිහිටි සිරිපා සටහන උදෙසා හැඳින්වීම අතිශය උචිත ය. ගීතයේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් නො කොට සිරිපා පියුම යයි යෙදීම එහි පූජනීය අගය වැඩි වීමට හේතුවක් වෙයි. සිරිපා පියුම රැුඳි කඳු මුදුන පිස හමන පවනින් භව ගිමන් නිවී සිත් පහන් වී ළය සැහැල්ලූ වී යයි.
‘නිවන් දොරට මඟ පානා
සමනොළ රන්කොත මුදුනේ
බැන්ද වියන් සේ
අරුණු වලා රන්සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවඳේ’
සිරිපා පියුම රැඳි ගිරි හිස රන් කොතක් වැන්න. නිවන් දොරට මඟ පෙන්වන එ් රන්කොතෙහි පැටලී වෙලී යන රන්සළු වන් අරුණු වලා දිස් වන්නේ අහසේ බැඳි වියන් ලෙසිනි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැනුදු මහා පෙළහර පාන සමනොළ ගිර ඉහළ අහස තලය දකින කවරෙකුගේ හද වුව ද ලොව්තුරු සුවඳේ කිමිද නැහැවී යාම නියත ලෙස සිදුවන්නකි.
දැහැනකට සමවැදුණකුගේ කෙලෙස් මල පහව ගිය සිතෙහි ගලන නිෂ්කාමී හැඟුම් ධාරා පරිද්දෙන් කවි සිතේ උනන නික්ලේශී සිතුම් මධුර ගායන ස්වරයත් සමග එ්කාත්මිකව බැඳී නිසංසලේ ගලා යන අයුරු මනරම් ය.
‘හද සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහා රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳුවැටි අතරේ’
රන් හුයක ඇමිණූ මුතු මෙන් බැඳී සුසංගතව එකිනෙක ලූහුබැඳ දිවෙන වදන්වැල් සිහිපත් කරවන්නේ පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ සමනොළ ගිරට වැඩම වූ එ් අති උතුම් දිනයයි. සමනොළ රන්කොත මුදුණේ සිරිපා ලාඤ්ඡුනය තබා වදාළ බුදුරජාණන් වහන්සේ එ් අසල සුවිසල් ගිරි ලෙනෙහි දිව විහරණය කොට රහතන් වහන්සේලා පන්සිය නම සමඟ ඍද්ධියෙන් දීඝවාපියට හා සේරුවාවිලටත්, එතැනින් අනුරාධපුරයටත් වැඩම වූ අයුරු ‘‘මහා රහතුන් වැඩි මඟ ඔස්සේ වලා අතුළ කඳුවැටි අතරේ” යන ගායන හඬ සවන් පත්හි වැකෙන විට ම හැඟී යන්නේ ය; මනසින් දකින්නේ ය.
ගීත නිබන්ධක මහගම සේකරයන් ‘සිරිපා පියුමේ’ නම් ගීතය සඳහා වූ අත්දැකීම් ලබන්නට ඇත්තේ ගැමි බෞද්ධ ජීවන පිළිවෙතින් ලබා ගත් හික්මීමත්, අරුණෝදයේ සමනොළ ගිර හිස අවට සුන්දර දර්ශනය නැරඹීමෙන් ලබාගත් ආස්වාදයත් නිසා යයි සිතමි. මහවැලි ගීතය නිර්මාණය කිරිමේ දී ද එම අත්දැකීම ඔහු උපයෝගී කොට ගත් බව පෙනී යයි:
‘සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ ’
‘මෙම ගීතයන්හි වදන් හා දැවටී ඇත්තේ සීත හිමේ ඔහු විඳි සොඳුරු ආස්වාදයක් ම යි. ‘සිරිපා පියුමේ’ ගීතය රචනයේ දී ඇස්. මහින්ද හිමියන්ගේ:
‘මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ’
යන දරු නැළවිලි කවිය ද ඔහුගේ යටි සිතට පිවිසෙන්නට ඇත.
කෙසේ වුව ද මහගම සේකරයන් මෙම ගීතයේ ඉදිරිපත් කරන කාව්‍යමය චින්තනයට සමවන වෙනත් නිර්මාණයක් සිරිපා පින්බිම අරභයා මෙතෙක් ලියැවී නැත. කාව්‍යයේ සීමිත වාච්‍යාර්ථයත්, සංගීතයේ අසීමීත භාවාර්ථයත් අතැඹුලක් සේ පසක් කොටගත් අමරදේව සූරීන් මනා සංයමයෙන් යුතුව සංගීතය හා හඬ හසුරුවා ගනිමින් නිර්මාණය කළ ‘සිරිපා පියුමේ’ ගීතය බුදුරජාණන් වහන්සේ හා ශ‍්‍රාවක මහා රහතන් වහන්සේලා උදෙසා පිදු ශ‍්‍රද්ධා භක්තිමය උපහාරයක් වන්නේ ය.
සුභාවිත ගීතයක රස විඳුම
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ
පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති
Recent Comments