කලා සපිරි පුරහඳ මුළු ලොව ම සඳ එළියෙන් නහවන තවත් පුන් පොහෝ දිනයක් එළඹ ඇත. එ් සඳ එළියට ලෝකය ම තනි යායක් බවට පත් වේ.

එහි දේශ සීමා නැත. මුරකාවල් නැත. කටුකම්බි පවුරු නැත. අණ පනත් නැත. නීල හරිත තුරු වදුල් මතු පිට ද වියළි ව ඉරි තලා ගිය දුක්ඛිත මුඩුබිම් මත ද කිසිදු වෙනසක් නැතිව සඳ කිරණ එකසේ ම පතිත වේ. කඳුබිම් ද තැනිතලා ද ඇළ දොළ, වැව්, විල් සේ ම මහා ගංගාවන් ද සාගරය ද සඳ එළියෙන් වැසී යයි. එ් සුන්දර සඳ එළිය මහද්වීප හරහා නො සිතා මුළු මහත් ලෝකය ම තනි යායක් බවට පත් කළ ද සැබෑව තුළ ලෝකය සිටින්නේ කැබලි කැබලිවලට වෙන් වීගෙන ය.

විශ්ව ගම්මානයක කල්ලි ගැසීම

නූතන ලෝකය වනාහී සන්නිවේදන තාක්ෂණයේ අති දියුණු ප්‍රතිලාභ ලබන්නා වූ විශ්ව ගම්මානයකි. කෝටි හත්සියයක් ඉක්මවූ ලෝක ජනගහනයෙන් මේ සන්නිවේදන විප්ලවයේ ප්‍රතිඵල නො ලබන්නවුන් වේ නම් එ් ඉතා ස්වල්පයක් පමණි. මුළු මහත් ලෝකය ම සැණෙකින් අපට සමීප කරවන්නට තරම් වේගවත් වූ අධිතාක්ෂණික යුගයක සිටිය ද අප ලෝකයට සමීප ද යන්න නම් තවමත් ගැටලූවකි.

තොරතුරු හුවමාරු වෙද්දී ද එක්ව සිටිද්දී ද චර්යාවන් මුහු වද්දී ද ළෙංගතු සබැඳියාවන් ගොඩනගා ගැනීමේ ලා වැඩි ඉඩකඩක් ඇති බව සමාජය පිළිගත් දෙයකි. එසේ නම් නූතන ලෝකයේ අස්සක් මුල්ලක් නෑර අපට පොදු පරමාර්ථයන් උදෙසා මෙහෙයවීමක් පෙනෙන්නට තිබිය යුතු ය. එහෙත් අදටත් එසේ පොදු පරමාර්ථ උදෙසා ද මානව වර්ගයාගේ සුභ සිද්ධිය උදෙසා ද සියල්ලෝ එකම පෙරමුණකට ගෙන එන්නට සමත්ව ඇත්තේ ජාත්‍යන්තර සංවිධානයන්හි අරමුණු හා දැක්ම තුළ පමණකි. ඉන් ඔබ්බට සමස්ත ලෝකය ම සිටින්නේ පිල් බෙදී වෙන් වීගෙන ය.

මනුෂ්‍ය වර්ගයා තරම් පෘථිවි තලය පුරා ම පැතිරී සිටින්නා වූ ද බෙදී වෙන්වීම් බහුල වූ ද සත්ව විශේෂයක් අප දන්නා ලෝකයේ තවත් නැත. ලෝකයේ ක්‍රියා කලාපයන් මේ වනවිට මහද්වීපික වශයෙන් ද බෙදී හමාර ය. එක් මහද්වීපයක් ආර්ථික, කාර්මික, අධ්‍යාපනික ආදි අංශයන්ගෙන් පෙරට එන්නේ නම් එයට අනෙක් මහද්වීපයන්ගේ පාලනාධිකාරීන් කැමැත්ත දක්වන්නේ නැත. ‘ලොව ඉහළ ම සාක්ෂරතාවය වාර්තා වන්නේ ආසියා මහද්වීපයෙන්’ යැයි කිවහොත් එය අපට නො මඳ සතුටකි. එහෙත් එකී ගෞරවය ඇමෙරිකා මහද්වීපයට අයත් වන්නේ නම් අපට එතරම් සතුටක් නැත. මන්ද අප මහාද්වීප වශයෙන් බෙදී වෙන් වී සිටින නිසා ය.

නිමක් නොමැති බෙදී වෙන්වීම්වල සිරගතව…

එකම මහද්වීපයක් තුළ වුව ද අප අතර රට රටවල් වශයෙන් බෙදීමක් ඇත. එ් බෙදීම මේ වනවිට රට රටවල් අතර අළු යට ගිනි පුපුරු මෙන් පවත්නා උණුසුම් යුදමය වාතාවරණයන් ගොඩ නැංවීමට සමත්ව අවසන් ය. එක් රටක නැගිටීම තවත් රටකට ප්‍රශ්නයකි. එසේත් නැතහොත් යම් රටක් ස්වකීය ව්‍යාපෘතීන් සැලසුම් කරන්නේ අන් රටවල පැවැත්මට, ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන ආකාරයෙනි. එසේ සිදුවන්නේ ඇයි? අන් කිසිවක් නිසා නොව ලොව තුළ රට රටවල් වශයෙන් ද බෙදී වෙන්වීමක් පවතින නිසා ය.

බෙදා වෙන් කරගැනීමකින් තොරව පාලන තන්ත්‍රයන් මෙහෙයවන්නේ කෙසේ ද යන ගැටලූව ඇතිවන බව සැබෑවකි. මේ බෙදී වෙන් වීම් නිසාවෙන් ම ජාතික අනන්‍යතාවයන්, ස්වෛරීත්වයන් සහිත ස්වාධීන එ්කක වශයෙන් රටකට ගොඩනැගෙන්නට ඉඩ සැලසෙන බව ද සැබෑවකි. එහෙත් එ් බෙදීම ස්වකීය අනන්‍යතාවයන්ට පමණක් සීමා නො වීම මෙහි ඇති ගැටලූවයි. බෙදී වෙන් වන්නේ ම හොඳින් හෝ නරකින් අනෙකා අබිබවා යෑමේ අරමුණින් මිස අනෙකාගේ දුක පොදු දුකක් කරගැනීමේ හෝ අනෙකාගේ සැපත පොදු සැපතක් ලෙස දැකීමේ අපේක්ෂාවෙන් නො වේ…!

තනි රටක් සලකා බැලූව ද එහි පවා නොයෙකුත් කණ්ඩායම්වලට වෙන්වීම සුලබ ය. පළාත් පළාත් වශයෙන් බෙදී තිබීම පවා තරගයක් කොටගෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.), ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (එස්. එල්. පී. එල්.) වැනි ක්‍රීඩා සැණකෙළි පවා සංවිධානය වූ බව අපට මතක ය. මේ බෙදී වෙන්වීම නිසාවෙන් ඇති වන ආත්මාර්ථකාමී ගති ලක්ෂණ මතු කලෙක පළාත් වශයෙන් ඇතිවන යුදමය තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය විය නො හැක්කේ නො වේ.

ඇතැම් විට රට තුළ ඇත්තේ ආගමික බෙදීම් විය හැකි ය. ආගම් නිසාවෙන් යුද වැදී සිටින රටවල් ලෝකයේ දුර්ලභ නැත. තවත් විටෙක දකින්නට ලැබෙන්නේ දේශපාලන මතිමතාන්තර නිසාවෙන් සිදු වී ඇති ප්‍රබල කල්ලි ගැසීම් ය. අපේ රටේ තත්ත්වය මෙයට උදාහරණයකි. අප රට තුළ පශ්චාත් යුද සමයේ වාර්තා වූ උපරිම ප්‍රචණ්ඩත්වය දේශපාලන හේතූන් නිසා උද්ගත වූ බව පෙනී යයි. දේශපාලන මතයක් වෙනුවෙන් ජීවිත හානියක් සිදු කිරීමට වුව ද නො පසුබට වන මානසිකත්වයන් ගොඩ නැගී ඇත්තේ කල්ලි ගැසුණු දේශපාලන සංස්කෘතියේ ඛේදජනක පැතිකඩ ගැන තහවුරු කරමිනි.

මේ බෙදීම් මෙපමණකින් නතර වන්නේ නැත. ප්‍රදේශ ආකාරයට ද අප සිටින්නේ බෙදා වෙන්කරගත් මානසික මායිම් සහිතව ය. ඇතැමුන් දකුණේ ය, ඇතැමුන් උතුරේ ය, ඇතැමුන් සත් කෝරළයේ ය. තවත් ඇත්තෝ ගිරුවාපත්තුවේ ය. කන්ද උඩ ඇත්තෝ උඩරැටියෝ ය. කඳු පාමුල ඇත්තෝ පහතරැටියෝ ය. බෙන්තර ගඟෙන්  එහා ඇත්තෝ ද වෙති. මේ ආකාරයෙන් අපට ප්‍රාදේශීය වශයෙන් ද වෙන්වීම් පවතී.

තවදුරටත් කුල මල වශයෙන් ද සමාජ ස්තරයන් වෙන් වී තිබේ. එහෙත් නූතන ආර්ථික රටාවන් තුළ පැරණි සමාජයේ තරම් ම කුල, ජාති, වර්ග, ප්‍රදේශ වශයෙන් බෙදී යාමක් දක්නට නැත. වාණිජ බලය කේන්ද්‍ර කොට ගත් වර්තමාන ආර්ථික ව්‍යුහය තුළ එ් බහුතර විෂමතා වැළලී ගොසිනි. එසේ වූවා කියා වර්තමානය ද සියල්ලන්ට ම සම තැන් ලබා දී නැත. එ් පැරණි විෂමතාවයන් වැළලී යද්දී නවීන ලෝකය එ් වෙනුවට ධනවත්කම්, උගත්කම්, නවීන සේවා හා භාණ්ඩ භාවිතයට ඇති හැකියාවන්, විලාසිතා ආදි අලූත් අලූත් ස්තරයන් ඔස්සේ විෂම බවට පත්ව ඇත. පැරණි සමාජය තුළ සේ ම මේ නූතන ව්‍යුහය තුළ ද අනෙකා පෙළීමේ න්‍යාය අන්තර්ගත ය.

මොන්ටිසෝරියේ සිට මහද්වීපය දක්වා ම බෙදී වෙන්වී…

පාලනමය වශයෙන් තනි එ්කකයක් ලෙස ගැනෙනා ප්‍රදේශයක වුව ද බෙදීම් නම් විරල නො වේ. පාසල් පාසල් අතර පවා බෙදීම් ඇත. කලින් කලට කරලියට එන ‘බිග්මැච් වලි’ අපට පෙන්වා දෙන යථාර්ථය එය යි. පාසල යන සාධකයෙන් ඉවත් වූ කල්හි ඇති පොදු සමානකම් බොහෝමයක් ඔවුනොවුන් අතර ඇති බව එ් සිසු පිරිස් දකින්නේ නැත. එ් වෙනුවට සෑම ක්‍රියාවක ම, සෑම වචනයක ම ඇත්තේ පාසල වශයෙන් සිදු කරගත් වෙන් කිරීම ය.

පාසල් පමණක් නො වේ; දහම් පාසල් දහම් පාසල් අතර ද මෙකී බෙදීම් අපට දැකිය හැකි ය. ටියුෂන් පන්ති වශයෙන් ද ඕනෑ තරම් කණ්ඩායම් වෙන් වීම් ඇත. කොටින් ම අපට අපේ පාසලේ කියා කල්ලි ඇත. අපේ දහම් පාසලේ ද ටියුෂන් පන්තියේ ද කල්ලි ඇත. සරසවියේ ද වැඩපළේ ද කම්හලේ ද කල්ලි ඇත. සුවිසල් පින්කමක් කෙරෙන පුණ්‍ය භූමියක වුව ද අපට අපේ කල්ලි ඇත. එකම ගම් ප‍්‍රදේශයේ වීම, එකම ගුරු කුලයේ වීම, එකම දේශපාලන මත දැරීම, සමාන රුචි අරුචිකම් තිබීම යනාදිය නිසාවෙන් මේ කල්ලි අන් සියල්ලන්ගෙන් වෙන් ව පවතී.

එකිනෙකා දරා සිටිනා සමාජ තත්ත්වයන් නිසාවෙන් ද නිමක් නොමැති බෙදීම් සමාජයේ ඇත. උගත්, නූගත්, රජයේ රැකියා, පුද්ගලික අංශයේ රැකියා, මෙරට රැුකියා, පිටරට රැුකියා, දුප්පත්, පොහොසත් යනාදි වශයෙන් නිමක් නැති බෙදීම්වලින් ලෝ සත එකිනෙකාගෙන් බොහෝ දුරස්ව සිටිනවා නො වේ ද?

මහා සමාජය තුළ පමණක් නො ව මොන්ටිසෝරියේ සිටින දරුවන් පවා තමන්ටත්, ගුරුවරුන්ටත්, දෙමව්පියන්ටත් වුවමනා ආකාරයට කණ්ඩායම් වෙන් වී සිටිති. මෙය අප අත්දකින සමාජ ක්‍රිමය යි. දරුවන් ඇසුරු කළ යුතු කවුරුන් ද, ඇසුරු නො කළ යුතු කවුරුන් ද යන්න තීරණය වන්නේ යහපත හා අයහපත මත ම පිහිටා නො වේ. නරක වචන කියනා හෝ නරක, දඟ වැඩ කරනා ළමුන් සමඟ මිතුරු නො වන්න යැයි දෙමව්පියෝ කියන බව සැබෑ ය. එහෙත් දෙමව්පියන් විසින් ඇසුරු කරන්නට එපා යැයි කියන සියලූ ම ළමයින් දඟ ළමයින් නො වේ. ඔවුන්ගේ ඇසුර තහනම් කෙරෙන්නට හේතු වන්නේ වත් පොහොසත්කම්වල වෙනස්කම් ය, දෙමව්පියන්ගේ උගත්කම්වල, සමාජ පිළිගැනීම්වල වෙනස්කම් ය. කොටින් ම අපි මහද්වීපයේ සිට මොන්ටිසෝරිය දක්වා ම බෙදී වෙන් වී සිටින්නෙමු.

දුන්න දුනුගමුවේ – ඊතල ඉතලගමුවේ…

මේ සියලූ බෙදීම්, වෙන්වීම් නිසා නොයෙකුත් සමාජ ප‍්‍රශ්නයන් ද හිස ඔසවා තිබේ. කුඩා ම සමාජ ස්තරයක් තුළ වේවා බෙදා වෙන්කිරීම නිසා සමාජයීය කොන් කිරීමකට පිරිසක් බඳුන් වේ. ඔවුනට හීනමානයක් හෝ සමාජය පිළිබඳ වෛරී චිත්තයක් ඇති වීම වළක්වන්නට නො හැකි ය. එමෙන් ම යම් තැනක ජන සමූහයා බෙදා වෙන් කෙරෙන්නේ නම් එතැන ස්වභාවික වූ සම්පත්වල ලාභය හැර සමාජ සම්මුතීන් ඔස්සේ සිදුකෙරෙන සම්පත් බෙදී යාම විෂම බවට පත් වේ. සමාජ ප‍්‍රතිලාභයන් විෂම ආකාරයෙන් බෙදී යන විට සිදුවන්නේ සමාජ අර්බුද උද්ගත වීම යි. තිස් වසරක් පුරා පැවති යුද්ධයෙන් පසු අප උගත් පාඩම් පිළිබඳ නිර්දේශයන් එළිදැක්වූ අවස්ථාවේ මේ සමාජයීය විෂමතාවයන් එ් කුරිරු යුද්ධයට මූලබීජයක් වූ බව හෙළිදරව් විණි. නො සලකා හැරීම්වලට, වෙනස් කොට සැලකීම්වලට ලක්වීම හෝ එසේ සිදුවන්නේ යැයි සිතෙන මට්ටමකට සියලූ කටයුතු සකස් වීම යන පීඩනයන් කවර හෝ මොහොතක පුපුරා යන්නේ ලෙයින්, කඳුළින් ලෝකය තෙත් කරවමින් බව අප මෙයින් තේරුම් ගත යුතු ය.‍

දේශසීමා හරහා සිතීම මනුෂ්‍ය වර්ගයාට හුරු වූයේ කවර කලක පටන් ද යන්න ගැටලූවකි. දුකට, කඳුළට, වේදනා සන්තාපයන්ට දේශසීමා නැත. මනුෂ්‍ය ජීවිත කරා පැමිණෙන දුක්ඛ දෝමනස්සයන් සේ ම සුඛ සෝමනස්සයන් ද දේශසීමා සලකා බලන්නේ නැත. දුප්පත් වුව ද පොහොසත් වුව ද උගත් වුව ද නූගත් වුව ද කවර තරාතිරමක් දරා සිටින්නේ වුව ද උපන්නා වූ සත්වයන් ලෙඩ දුක් පීඩා උසුලති. මොහොතින් මොහොත ජරාවට පත් වෙති. නිසැකව ම මරණයට ද පත් වේ. එ් කිසිවකට දේශසීමා සාධක නැත, බෙදා වෙන්කිරීම් නැත. එසේ වූ කල්හි මනුෂ්‍ය වර්ගයා මෙතරම් විවිධත්වයන් සහිතව බෙදී වෙන් වූයේ ඇයි? එලෙස බෙදා වෙන් කරගන්නා නිර්ණායකයන්ට මනුෂ්‍ය සමාජය තුළ මෙතරම් වටිනාකමක් ලැබෙන්නේ ඇයි?

මෙය මුළු මහත් ලෝකය ම වෙලා ගත් දුර්වලකමකි. මේ බෙදී වෙන්වීම නිසා ලෝකයට අහිමි වන්නේ මනුෂ්‍ය සංහතිය ලෙස එක්රැුස්ව, එක්සිත්ව යහපත, සුවපහසුව සලසා ගැනීමේ අවස්ථාවයි. යම් දෙයක් පරිපූර්ණ කරගැනීමට වුවමනා සියලූ කාරණා එකම තැනකින් මුණ නො ගැසෙනවා වන්නට පුළුවන. එවිට කළ යුත්තේ තිබෙන තිබෙන ස්ථානයන්ගෙන් එකිනෙක එකතු කරගනිමින් අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම නො වේ ද? එහෙත් අද සිදු වී ඇත්තේ එයට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ දෙය යි. දුන්න දුනුගමුවේ ය, ඊතල ඉතලගමුවේ ය, රාල මීගමුවේ ය, මුවා සබරගමුවේ ය….

බෙදීමේ ගැටීම

එක ඔළුවකින් කල්පනා කරනවාට වඩා ඔළු දෙකකින් කල්පනා කිරීම යහපත් යැයි කියන ලෝකය ම සමූහයක් වශයෙන් එක්ව නැගී නො සිට කාණ්ඩ වශයෙන් වෙන් වෙන් ව තරගකාරී ගමනක යෙදෙන්නේ ය. එයින් උරුම ව ඇති එක ප්‍රතිඵලය නම් ලොව බලවත් ජාතීන්ගේ ආධිපත්‍යයක් බිහිවීමත්, බලයෙන් දුර්වල රටවල් එ් අධිපතිකමින් පීඩා විඳීමත්, මේ නො නවතින බල අරගලය නිසා නිතර ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වීමත් ය.

ලෝකයේ තත්ත්වය එසේ ම තිබිය දී අප සිටින සමාජයට පමණක් හැරී බැලූව ද අඩු වැඩි වශයෙන් සිදු වී ඇත්තේ මෙවැනි ව්‍යසනයක් ම ය. පින් සිත් දරාගෙන පින්කම් සිදු කෙරෙන පින්බිමක රැස්ව සිටිනා ජනකායක් අතර වුව ද මේ බෙදී වෙන්වීම දුර්ලභ දෙයක් නො වේ. ඔබ අප අතර පවා එවැන්නක් ඇත. මේ නිසා අපි අපේ කණ්ඩායම හැර අන් කණ්ඩායමක් සමඟ මුහුව කටයුතු කරන්නට මැලි වන්නෙමු. මේ නිසා ඇතැම් විට අපට යහපත් වූ, කල්‍යාණ වූ, අවවාද අනුශාසනාවෙහි දක්ෂ වූ මිත්‍ර සම්පත් පවා අහිමි වනවා ඇත. එසේ ම ඉතා යුහුසුළු ව කරගත යුතුව තිබූ කටයුතු අතපසු කෙරෙනවා වන්නට ද පුළුවන. මන්ද අපට වැඩ කරන්නට ‘අපේ කාණ්ඩය’ වුවමනා ය…

හිත මිතුරන්ගේ අඩුපාඩු, දුර්වලකම් දරාගැනීම අපට යම් තරමකට හුරු ය. අප එසේ කරන්නේ මිත‍්‍රත්වය පළුදු කරගැනීමට අකැමැති බැවිනි. එහෙත් ‘අපේ කාණ්ඩයට’ නො වැටුණු අයෙකු අතින් සිදුවන සුළු අඩුපාඩුව පවා අපේ සිත ඉමහත් සේ කලබල කරන්නට සමත් ය. අපි එය විවේචනය කරන්නෙමු, හෙළා දකින්නෙමු, දෝෂාරෝපණය කරන්නෙමු… ‘අපේ කාණ්ඩය’ අතින් යම් වරදක් වන්නේ නම් එය අපට ‘මනුෂ්‍ය ස්වභාවයකි’; එහෙත් එ් වරද ම අන් අයෙකු කරන්නේ නම් එය අපට බිහිසුණු අපරාධයකි. මේ අප සිතුවිලි හැඩගස්වාගෙන තිබෙන රටාව යි. එ් රටාව තුළ අප විසින් ම හදාගත් කණ්ඩායම් ගැන හැර අන් අය ගැන අපේ ගෞරවයක්, සැලකිල්ලක්, අවධානයක් නැති තරම් ය. බෙදී වෙන්වීම නිසාවෙන් ම අප මේ විපතට පත්ව ඇති බව අප තේරුම් ගත යුතුව ඇත.

මේ සා විෂම ආකාරයෙන් බෙදී යාම් සමාජයේ ඇතිවන්නේ මිනිස් සිත මුල් කරගෙන ම මිස අන්‍ය වූ කාරණාවක් නිසා නො වේ. මේ බෙදී යාම්වලට හේතු පාදක වන්නේ ද මනුෂ්‍ය චිත්ත ස්වභාවය තුළ නොයෙකුත් විෂමතා ඇති කරනා ලෝභ, දෝස, මෝහ යන අකුසල් මුල් ය. අකුසල් මූලයකින් කෙසේ නම් කුසල ඵලයක් උත්පාදනය කරන්න ද? කළ යුතු වන්නේ මේ සියලූ විෂමතා ඉවතලා සම සිතින් ලෝක චර්යාවේ යෙදෙන්නට හැකි ආකාරයේ කුසල මූලයන් උපදවා ගැනීම නො වේ ද?

බෙදුණු ලොව එකතු කළ මහා සාම දූතයාණෝ

සම්බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ද බෙදී වෙන්වී තිබුණු සමාජයක ය. බ‍්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර වශයෙන් ද ස්ත්‍රිපුරුෂ වශයෙන් ද එකල භාරතයේ තිබූ උග‍්‍ර බෙදීම් බහුතර ජනකායකගේ පීඩනයට හේතු වී තිබුණි. කිරුළ හිමි ශාක්‍ය වංශික කුමරාණෝ සිනිඳු සළු පිළි ඉවත ලා, රන් මිරිවැඩි හැර දමා, කාශාය වස්ත‍්‍රයෙන් සැරසී, හිසු මුඩු කොට රජ සිටු මැදුරු හෝ දුගී පැල්පත් හෝ වෙනසක් නො තකමින් මැටි පාත්‍රියක් ගෙන ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩම කරවීම ම එකල මහා සමාජ විප්ලවයක් විය. ශාක්‍යයෝ තුෂ්ණිම්භූත වූහ. කුලීනයෝ පිළිකුල් සහගත අවඥවෙන් යුතු වූහ. කුල හීනයෝ වික්ෂිප්තව බලා සිටියහ.

තථාගතයන් වහන්සේ උපදවා ගත් සත්‍යාවබෝධය බ්‍රාහ්මණයන්ට හෝ රජ, සිටු මැතිවරුන්ට හෝ වෙන් වූවක් නො වී ය. එය කුලීනයාගේ ද කුලහීනයාගේ ද ඉරණම් කථාව යි. දුප්පතාගේ ද පොහොසතාගේ ද නූගතාගේ ද උගතාගේ ද ස්ත‍්‍රීන්ගේ ද පුරුෂයන්ගේ ද කථාවයි… කුසලාකුසල විපාකයන් අනුව මෙලොවට නොයෙකුත් උස්පහත්කම් රැගෙන ආව ද අනන්ත සසර පුරා උරුම කරගත් උපදින්නා වූ, ලෙඩ වන්නා වූ, ජරාවට හා මරණයට පත්වන්නා වූ පොදු ඉරණම තුළ ලද අසරණ ජීවිත ස්වභාවය මිස එකිනෙකට වෙනස් කොට සැලකිය යුතු වූ යමක් උපන්නා වූ සත්වයන් තුළ නොමැති බව ලොවට දේශනා කොට වදාළෝ එ් භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ ය…

පෙර නො ඇසූ විරූ එ් සමානාත්මතාවයේ දහම, පොදු දුකින් නිදහස් ව විමුක්තිය සලසා ගැනීම උදෙසා වූ දහම සවනත වැකෙද්දී හිරු රැස් වැද පිබිදෙන අරවින්දයන් සේ සැදැහැති, නැණැති දනගේ ප්‍රඥාව පුබුදු විය. කෙනෙක් දෙන්නෙක් නොව, සිය දහස් ගණනින් බ්‍රාහ්මණයෝ ද ක්ෂත්‍රරීයයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද පුරුෂයෝ ද ස්ත්‍රිහු ද හිස මුඩු කොට කහවත් දරා එ් සසුන් බඹසර සුරකින මඟට පිළිපන්හ. කවර දෙසකින් පැමිණිය ද, කවර කුලගොත් දරා සිටිය ද තිසරණයේ පිහිටා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ පසු එ් සියල්ලෝ එක ම සම්බුදු ශ්‍රාවක පිරිසක් ම වූහ.

සයුරු දිය සේ එකම පිලක හිඳ…

‘‘පින්වත් පහාරාද, ඔබ කිව්වා මේ මහා සාගරයේ මෙන්න මෙහෙම ආශ්චර්යයක් තියෙනවා කියලා. මේ මහා සාගරයට ගංගා, යමුණා, අචිරවතී, සරභූ, මහී කියන මේ ගංගාවලින් ජලය ගලාගෙන ආවට මහ මුහුද තුළ එ්වා වෙන් වෙන් වශයෙන් පවතින්නෙ නැහැ කියලා. එ් ඔක්කොම මුහුදට වැටුණට පස්සෙ සාගර ජලය බවට පත්වෙනවා කියලා.

පින්වත් පහරාද, මේ වගේ ම තමයි බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයේ හැම කුලයක ම අය මහණ වෙනවා. කෙස් රැවුල් බාලා, කසාවත් ඇඳගෙන, පැරණි නම් ගොත් අතහැරලා, ශ‍්‍රාවකයන් බවට පත්වුණාට පස්සෙ එ් අයට කුල භේදයක් නැහැ. එ් සියලූ දෙනා ම අයිති වෙන්නෙ ශාක්‍ය පුත‍්‍ර ශ‍්‍රමණ කියන කුලයට.

අර ගංගාවලින් ගලාගෙන එන ජලය මහ මුහුදට වැටිල සාගර ජලය බවට පත්වන්නේ යම් සේ ද අන්න එ් විදිහට ම නොයෙක් කුලවල අය ඇවිල්ලා මහණ වුණාට පස්සෙ එ් අයට කුල භේදයක් නැහැ. එ් ඔක්කොම අයිති ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට. මෙන්න මේ කාරණය නිසා මගේ ශ‍්‍රාවකයොත් මේ බුද්ධ ශාසනයට හරී ආසයි.”
(පහාරාද සුත්‍රය – සං. නි.)

උස් මිටිකම් නො තැකූ සම්බුද්ධ ශාසනයක අසිරිය එය යි. අනෙකුන් අබිබවා යෑම වෙනුවෙන් නිර්මාණය කරගත් කණ්ඩායම් එ් සම්බුද්ධ ශාසනයේ වූයේ නැත. සියලූ ශක්‍යතාවයන්, කුසලතාවයන් එ්කරාශී වූයේ ද තව කෙනෙකුට අවබෝධය උපදවා ගැනීමට උපකාර ලැබෙන පරිදි ය. කළ යුතු කටයුතු සිදු කොට නිම කළ මහ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡාවේ යෙදෙමින්, සොඳුරු ධර්ම කාරණා ඉස්මතු කරමින් තව බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස ස්වකීය විමුක්ති සුවය දන් දුන් ආකාරය පවා විස්මයජනක ය.

එවන් සුන්දර සම්බුද්ධ ශාසනයක ශා්ය ලද අප උගත යුත්තේ පිල් බෙදී තරග වදින්නට නො වේ; එක ම පිලක හිඳ එකාවන් ව තෙර තරණයට වෑයම් කරන්නට ය…. එ් එතෙර වනාහි උස් මිටිකම් නැති, උසස් පහත් භේදයක් නැති, කළු සුදු වෙනසක් නැති සමානාත්මතාවයේ ක්ෂේම භූමිය යි. සඳ එළිය වන්ව ලොවට සමසිතින් තෙතමනය ගෙන එන්නට අපට වුවමනා කරන්නේ එ් ක්ෂේම භූමියට පිවිසීම ම මිස අනෙකක් නම් නො වේ…!

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට SMS කරන්න
071 555 66 66

සටහන
උදුලා පද්මාවතී