[image title=”” size=”full” id=”7404″ align=”none” linkto=”none”]

ඔබත්, මාත් ජීවත් වෙන්නේ එක් ක්ෂණයකින් මුළු ලෝකයේ ම තතු අතැඹුලක් වගේ දැනගන්නට පුළුවන් අපූර්ව අධිවේගී යුගයක. ලෝකය කියන්නේ මොන තරම් විශාල දෙයක් ද? ඒ තරම් සුවිශාල ලෝකය එක් මොහොතකින් අපේ ඉඳුරන්ට ගෝචර වෙන ආකාරයට ගෙනහැර දක්වන්නට සමත් වුණ ලෝක බලවතා තමයි ජන සන්නිවේදන මාධ්‍ය කියන්නේ.

ඕනෑම රටක ක‍්‍රියාත්මක වෙන පාලන යාන්ත‍්‍රණයක් තිබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ ප‍්‍රධාන පාලක පක්ෂය ‘ආණ්ඩුව’ කියන නමින් හඳුන්වනවා. පාලනයේ වැඩි බලතල සහිත දේශපාලන පක්ෂය මුල් කරගත්ත ව්‍යුහය ආණ්ඩුව කියලා හැඳින්වුවාට, රට කරවන ආණ්ඩු කිහිපයක් තිබෙනවා. ඒ ආණ්ඩු හඳුන්වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියලයි. ඒ කියන්නේ රටේ සමස්ත ක‍්‍රියා පිළිවෙළ ම තීරණය විය යුතු වන්නේ මේ ආණ්ඩු තුනේ සහයෝගය සහ අනුමැතිය මතයි. ඔන්න ඔය ආණ්ඩු තුන ළඟට ලෝකයේ තිබෙන හතරවන ආණ්ඩුව ලෙසින් හඳුන්වන්නෙ ජන සන්නිවේදන මාධ්‍ය යි…

හතරවන ආණ්ඩුවේ බලය…

ව්‍යවස්ථාව වේවා, විධායකය වේවා, අධිකරණය වේවා සමත් වන්නේ එරටේ භූගෝලීය සීමාව තුළ පාලන තන්ත‍්‍රය නිර්ණය කිරීමට පමණයි. ඉතාමත් කලාතුරකින් ලෝක බලවතුන්ගේ ආණ්ඩු විසින් ලෝකයේ අන් රටවල්වලටත් බලපෑම් සිදු කරන තීන්දු තීරණ ගනු ලබනවා. එහෙත් මේ හතරවන ආණ්ඩුව හෙවත් ජනමාධ්‍යය ක‍්‍රියාත්මක වන්නේ මුළු ලෝකයට ම බලපැවැත්වෙන ආකාරයකින්. සමස්ත ලෝකයේ ම පැවැත්මට සෘජුව බලපෑම් එල්ල කළ හැකි එකම ආණ්ඩුව විදිහට ජනමාධ්‍ය හඳුන්වා දීම අතිශයෝක්තියක් නො වන්නේ ඒ නිසයි. අද විතරක් නෙමෙයි, අතීතයේත්, අනාගතයෙත් යන සෑම කල්හි ම ලෝකයේ ගමන් මඟ තීරණය කිරීමේ ප‍්‍රබල සමාජ සාධකයක් ලෙස ජනමාධ්‍ය ඉදිරියෙන් සිටින බව සත්‍යයක්.

කෙනෙකුගේ අදහස්, උදහස්, දැනුම, සිතුවිලි, හැඟීම්, ආකල්ප, තොරතුරු ආදිය අන්‍යයන් සමඟ බෙදා හදා ගැනීමේ ක‍්‍රමයක් ලෙසටයි ජනමාධ්‍ය සමාජ භාවිතයට එකතු වෙන්නේ. කාලයක් පුරාවට ඇති කරගනු ලැබූ සන්නිවේදන සම්ප‍්‍රදායන් තුළින් මේ වනවිට ලෝකයේ අතිදියුණු තාක්ෂණික ක‍්‍රම භාවිත කරන කාර්යක්ෂම තත්ත්වයකට සන්නිවේදනය ප‍්‍රවර්ධනය වෙලා. පුවත්පත්, සඟරා වගේ මුද්‍රිත මාධ්‍යයත්, රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ ශ‍්‍රව්‍ය – දෘෂ්‍ය මාධ්‍යයත් නූතන සමාජය ආක‍්‍රමණය කොට අවසන්. ඒ අතරෙම පැරණි සාම්ප‍්‍රදායික ගැමිනාටක, කෝලම් ආදියත් අදටත් යම්තාක් දුරකට හෝ ශේෂව පවතිමින් සන්නිවේදන කාර්යභාරයක් ඉටු කරනවා. මේ සියල්ල අභිබවා අධිවේගීව සමාජ ව්‍යුහය තුළට කඩා වැදුණු සන්නිවේදන භාවිතයක් තමයි නූතන තාක්ෂණය ඔස්සේ ක‍්‍රියාත්මක වෙන්නේ. ලෝකය පුරා අක්මුල් බැසගත්ත නොයෙකුත් සමාජ ජාලයන් බිහි කරමින් අන්තර්ජාලය ඔස්සේ ගොඩනැගී තිබෙන්නේ ඒ තාක්ෂණික සන්නිවේදනයේ මුදුන් ඵලයක්.

මාධ්‍ය කුමක් උදෙසා ද?

විශ්වීය ගම්මානයක් තුළ අප අත්දකින සෑම අත්දැකීමක් ම පාහේ සන්නිවේදන ක‍්‍රියාන්විතයක අවසන් ප‍්‍රතිඵලය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. තොරතුරු හා ප‍්‍රවෘත්ති වගේ ම දැනුම සහ අධ්‍යාපනය ලබා දීමත්, විනෝදාස්වාදය සැපයීමත්, යම් කාර්යයක් සඳහා පෙළඹවීමක් ඇති කිරීමත් තමයි නූතන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ කාර්යභාරය ලෙසින් ලෝකය හඳුනාගෙන තිබෙන්නේ. ලෝකයට යහපත උදා කරන්නටත්, ඒ හා සමානව ම ලෝකයට අයහපත උදා කරන්නටත් ප‍්‍රබල හැකියාවක් තිබෙන එකම බලවේගය බවට ජනමාධ්‍ය පත් වී තිබෙන්නේත් පරාසයන් ගණනාවක් ඔස්සේ පුළුල් ග‍්‍රාහක පිරිසක් ආමන්ත‍්‍රණය කරන්නට එයට හැකි වී තිබෙන නිසාවෙන්.

දේශ සීමා, මුහුදු සීමා වෙනසක් නැතිව ලෝකය පුරා ම විස්තර අපට ඉතා ඉක්මනින් ලැබෙන නිසා අපට හිතෙන්නෙ ලෝකය සහ අප අතර බොහෝම සමීප සම්බන්ධතාවයක් තිබෙනවා කියලයි. මේ තොරතුරු ගලා යාමේ වේගය අපට විශ්වාස කරන්නට නො හැකි තරම් ශීඝ‍්‍රයි. එ් නිසා ම එක තොරතුරකින් තව තොරතුරකට මාරු වෙනවා හැර පෙර තොරතුර දෙස විමසිලිමත්ව සලකා බලන්නටවත් අපට කාලයක් ඉතුරු වන්නේ නැහැ.
නූතන සන්නිවේදනයේ අවභාවිතයන් බොහෝයි. දත්ත පැහැර ගැනීමේ වගේ ම දත්ත විකෘති කිරීමේ ක‍්‍රියාවන් නිසා ලෝකය පුරා අසන්නට, දකින්නට ලැබුණු සමාජයීය, ආර්ථික, දේශපාලනික අර්බුද සහ මනුෂ්‍යයන්ගේ පෞද්ගලික ජීවිතවලට පවා නිර්දය ලෙස පහර දුන් අවස්ථා එමටයි. දැන මිස නො දැන නම් තමන්ටත්, අනුන්ටත් අයහපතක් නො වන ආකාරයට මාධ්‍ය මෙහෙයවිය නො හැකියි…

මේ සන්නිවේදන යුගය අපට අත් කරදුන්න ප‍්‍රතිලාභයන් මොනවා ද? අලූත් දැනුම, අලූත් තාක්ෂණය, අලූත් ජීවන සම්ප‍්‍රදායන් අප වෙත ළගා කරවන්නට ජනමාධ්‍ය ඉටු කර තිබෙන කාර්යභාරය සුළුපටු නැහැ. ඒ හැම දෙයක් ම හරහා අපගේ ජීවන රටාවන් සුව පහසු වූ බවක් සහ අප වඩ වඩාත් දැනුම්වත් වූ ජාතියක් බවට පත් වූ බවත් තමයි අපේ පොදු පිළිගැනීම.

මුහුදු සීමාවේ අවපීඩනයක් ඇති වුණොත් එහි බලපෑම් රට තුළට එන්න පෙරාතුව ඒ ගැන පණිවිඩය රට තුළට එනවා. එවැන්නකින් යම් අවධානමකට හොඳ පෙර සූදානමක් ඇති කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒත් අපට ජනමාධ්‍ය හරහා නිරන්තරයෙන් වාර්තා වන කාරණා සම්බන්ධ වෙන්නේ මේ ආකාරයෙන් අපට මුහුණ පාන්නට සිදුවන විපත් අවම කරවීමේ සම්භාවිතාවයක් ඇතිව නෙවෙයි.

සක්වළ ම අතැඹුලක් කොට දක්වන බොහෝ ප‍්‍රවෘත්තීන්ගේ සඳහන් වෙන්නේ නො දැමුණු සිත් සහිත මිනිසුන්ගේ ක‍්‍රියාකලාපයන් ගැන තොරතුරු නේ ද?

සන්නිවේදන විප්ලවයක හිමි – අහිමි වීම්

ඒ සෑම ප‍්‍රවෘත්තියක ම පාහේ තිබෙන්නේ වෘත්තීයමය වටිනාකමක් පමණයි. ඒ හැරුණු කොට ජීවිතය යහපත් කරවන්නට, ජීවිතයට ගළපාගෙන ප‍්‍රගුණ කරන්නට සුදුසු ආකාරයේ සත්පුරුෂ ගුණාංගයන් අපට මතක් කරදුන්නේ නැහැ. දැනුම, තොරතුරු, විනෝදාස්වාදය වැනි කාරණා මිස මනුෂ්‍ය වර්ගයා දුකින් නිදහස් කරවීම ඉලක්ක කරනොගත් දෙයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්නටත් බැහැ.

ගෝලීයකරණ සංකල්පයත් සමඟ ලෝකය පුරා ම රටවල්වල ස්වෛරී භාවයන්ට පහර වැදුණා. ඒ දේශපාලනමය වශයෙන් නෙමෙයි. සමාජ හා සංස්කෘතික වශයෙනුයි මේ ස්වීයත්වයන් වෙනස්කම්වලට බඳුන් වුණේ. විශේෂයෙන් ම මෙහිදී පෙරදිග ජාතීන් සතුව තිබුණු දේශීය අනන්‍යතාවයන් බටහිර පන්නය සමඟ මුහු වෙන්න පටන් ගත්තා. ඒ පෙර – අපර දෙදිග මුහු වීම වේගවත් කරන්නට බලපෑවෙත් මේ සන්නිවේදන තාක්ෂණය ම යි.
අතීතයේ අප සතු වුණු සරල, අල්පේච්ඡ ස්වභාවයන්වලින් දුරස් වෙලා සංකීර්ණ, මහේච්ඡ මනෝභාවයන් වර්ධනය කරන්නට ඉවහල් වුණ මාධ්‍ය භාවිතය එපමණකින් නතර වුණෙත් නැහැ. තාක්ෂණය අපට ලබා දුන් ප‍්‍රතිලාභයන්ගේ හිලව්වට අපට ඊට වඩා ප‍්‍රතිලාභයක් අහිමි වුණා.

සන්නිවේදනය මේ තරම් දියුණු නො වුණු කාලෙදිත් මිනිසුන් අතර පණිවිඩ හුවමාරු වුණා. හැබැයි මේ තරම් ඉක්මන් නැහැ. මේ තරම් ඉක්මන් නො වුණ නිසා ම මීට වඩා උසස් විවේකයක් මනුෂ්‍යයන්ට තිබුණා. ඒක සිද්ධ වුණේ මේ ආකාරයෙන්.

ඒ කාලේ පණිවිඩයක් යවන්න නම් එක්කො පණිවිඩකරුවෙක් අතේ හෝ කුරුල්ලෙක් යොදාගෙන හෝ තමයි එය සිදු කරන්නේ. එතකොට පණිවිඩය ගෙන යන්නත්, එයට ප‍්‍රතිචාර රැගෙන එන්නත් යම් කාලයක් ගත වෙනවා. ඇතැම් වෙලාවට සතියක් හමාරක් වුණත් ඒ වෙනුවෙන් බලා සිටිනවා වන්නට පුළුවනි. මේ නිසා පණිවිඩය යැවීමේ සිට ලැබෙන ප‍්‍රතිචාරය අනුව ඊළඟ කටයුත්ත සැලසුම් කිරීම දක්වා පණිවිඩ අතර ගොඩනැගුන කාල සීමාව එකී කටයුත්තෙහි යෙදෙන්නාට කිසියම් විවේක කාලයක් බවට නිරායාසයෙන් ම පත් වුණා. එහෙත් දැන්….? කෙටි පණිවිඩයක්, ඒ කිව්වේ එස්. එම්. එස්. එකක් හරහා එක තප්පරෙන් පණිවිඩය අනිත් පාර්ශවයට යනවා. ඊළඟ තප්පරය ඇතුළත පෙරලා ප‍්‍රතිචාරයත් ලැබෙනවා. ආවේගයක් සන්සිඳෙන්නට වත්, කළ යුතු දේ මොකක්ද කියලා නිවී සැනසිල්ලේ සිතා බලන්නට වත්, තමන් ගන්න සූදානම් වන ක‍්‍රියාමාර්ගය වෙනුවට යොදා ගන්නට පුළුවන් වඩාත් ගැළපෙන විකල්පයක් ගැන සිතන්නට වත් වෙලාවක් නැහැ. ඒ සියල්ල කෙළවර වන්නේ හද කම්පා කරවන ඛේදවාචකයන්ගෙන්. මනුෂ්‍යයන්ගේ විවේකයට සන්නිවේදනයේ දියුණුව මරු පහරක් එල්ල කොට අවසන්…

තාක්ෂණය විසින් ඇති කළ අවිවේකය, ජීවිත අතිශයින් පසුගාමී තත්ත්වයකට ඇද දමා තිබෙනවා. මාධ්‍යයේ ආමන්ත‍්‍රණය බුද්ධියට ද?, හැඟීමට ද? කියන කාරණය දැන් මතභේදයක් බවට පත් වෙලා. එයට හේතු වී තිබෙන්නේත් බුද්ධියට කෙරෙන ආමන්ත‍්‍රණයක් වුවත් මතුපිටින් තීරණය කිරීම හැර විශ්ලේෂණය කිරීම වෙනුවෙන් යොදා ගන්නට ප‍්‍රමාණවත් විවේකයක් සමාජයේ නො තිබීම ම යි…

සත්සමුදුරෙන් එපිට සිටින්නෙකු වුණත් ක්ෂණයකින් ඇස් මායිමට ගෙන එන්නට තාක්ෂණය සමත් වුණාට මනුෂ්‍යයන්ගේ චිත්තවේගයන් පාලනය කරවන්නට, සිත් සන්සිඳවන්නට එයට කිසිම හැකියාවක් නැහැ.
සමාජයේ හර පද්ධතීන් සහමුලින් ම කණපිට හරවන්නට සමත් වන යහපත සම්පේ‍්‍රෂණය කරනවා වෙනුවට මනුෂ්‍ය චිත්ත අභ්‍යන්තරයන්ගේ පවත්නා ක්ලේෂ සහගත මනෝ භාවයන් අවුළුවාලන්නට මාධ්‍යය කටයුතු කරන්නේ ඇයි කියන කාරණය ඔබ මොහොතකට හෝ සිතා බලා තිබෙනවා ද?

සිත සන්සිඳවන මාධ්‍ය භාවිතයක් උදෙසා……

ඕනෑම මනුෂ්‍යයෙකුගේ කායික හෝ වාචික ක‍්‍රියාවන් බවට පත්වන්නේ සිතෙහි හටගන්නා සිතුවිලි ධාරාවයි. අකුසලය යටපත් නො කළ සිතක හටගන්නා සිතුවිලි අකුසලයෙන් මිදී පවතින්නේ නැහැ. විනෝදය, උපහාසය, භීතිය, ත‍්‍රාසය, සංවේගය වැනි මිනිස් සිත්වල දුර්වල හැඟීම් ස්වභාවයන් ආමන්ත‍්‍රණය කිරීමෙන් ඒ ඒ  දුර්වලකම් වඩ වඩාත් සසල කිරීමත්, ඒ හරහා ඔවුන් අතර ජනප‍්‍රිය වීමත් ඉතා පහසුවෙන් කළ හැකි බව දන්නා විටෙක, ඒ වෙනුවෙන් වුවමනා තරම් පහසුකම් ද තිබෙනා විටක මනුෂ්‍යයන් මොනව ද කරන්නේ? එවන් අවස්ථාවක මනුෂ්‍යයන් නිරන්තරයෙන් කරන්නට පෙළඹෙන දේවල් සියල්ල ම අද බොහෝ මාධ්‍යයන් හරහා එළි දැක්වෙනවා.
පුළුල් වශයෙන් මහජනතාවට සෙත සැලසීමට මාධ්‍ය සතු වන හැකියාව භාවිතයට ගන්නවා නම් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ ප‍්‍රමුඛතමයා වන්නත් සන්නිවේදන මාධ්‍යයන්ට පුළුවනි. අප අත්දකින සන්නිවේදන මාධ්‍යයන් තුළ සිදු වන්නේ යහපත්, හොඳ දෙයත් – අයහපත් නරක දෙයත් තෝරා බේරා වෙන්කිරීමකින් තොරව සමාජය වෙත ගෙන ඒම. එහි දී යහපත් දෙය තෝරාගෙන, ජීවිතයට පුරුදු කරමින් ක‍්‍රියාවට නැංවීමේ වගකීම සෘජුව ම පැවරෙන්නේ සන්නිවේදන මාධ්‍යයන් තුළින් ලෝකය හා සම්බන්ධ වන පාඨක, පේ‍්‍රක්ෂක සහ ශ‍්‍රාවක ජනතාවටයි. නියපොත්තෙන් කඩන්න තිබූ දෙය පොරොවෙන් කපන්න වන මට්ටමකට ම වැඞී වර්ධනය වන්නේ ඒ නිසයි…

මේක සමාජයීය අර්බුදයක්. නූතන මාධ්‍ය වගකීම් අතර මානව වර්ගයාට සෙත සැලසීම පිණිස යනුවෙන් සඳහන් නිර්ණායකයන් නැහැ. හුදෙක් තොරතුරු බෙදා හැරීම ස්වකීය කාර්යභාරය ලෙසින් සිතීම නිසා එයින් පරිබාහිරව සිදුවන සමාජයීය විපර්යාසයන් දෙස ඔවුන් බලන්නේ ප‍්‍රවෘත්ති වටිනාකමකින් පමණයි. තමන් දැනගන්නේ යමක් ද එය එහෙම පිටින් ම සමාජයට බැස්සවීමයි නූතන මාධ්‍යය හරහා සිදු කෙරෙන්නේ. එයින් තමන් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් ය කියන කාරණය සමාජගත කිරීමේ වුවමනාවත් සැපිරෙනවා.

මේ ලෝක සත්වයාට විෂය වන්නා වූ සියලූ දේ වගේ ම විෂය නො වන්නා වූ සියලූ දේත් සම්පූර්ණයෙන් ම අවබෝධ කරගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. එහෙත් උන්වහන්සේ දේශනා කොට වදාළේ ඒ අවබෝධයෙන් ඉතා සුළු කොටසක් පමණයි. උන්වහන්සේ දේශනා කළ ඒ කොටස තමයි මනුෂ්‍ය වර්ගයාට යථාවබෝධය උපදවා ගැනීම පිණිස උපකාරී වූයේ. ඒ සම්බුදු සිරිත වත්මන් මාධ්‍ය ලෝකයට උතුම් පරමාදර්ශයක්…

මාධ්‍ය ව්‍යායාමයක සම්මා වායාමය…

යහපත් මාධ්‍යයක කාර්යභාරය විය යුත්තේ යහපත ඇති කිරීමත්, යහපත වැඞී වර්ධනය වන්නට උපකාර සැලසීමත් කියන කාරණාවනුයි. එහිදී අයහපත් මැඬලීමත්, අයහපත සිදුවන්නට ඉඩ නො දීමත් කියන කාරණා ද්විත්වයත් සම්පූර්ණ කරගත යුතු වෙනවා. අප දකිනා මේ මාධ්‍ය කාර්යභාරය ගැළපී යන්නේ සුන්දර ධර්ම කාරණයකට. ඒ තමයි නූපන් කුසල් ඉපදවීමත්, උපන් කුසල් වැඩිදියුණු කරගැනීමත්, නූපන් අකුසල් නූපදවීමත්, උපන් අකුසල් ප‍්‍රහාණයත් කියන සම්මා වායාමය. ඉතින් මාධ්‍ය ව්‍යායාමය, සම්මා වායාමය තුළ පණ නගනවා නම් එයින් මුළු මහත් ලෝකයට ම යහපතක් වීම වළක්වන්නේ කොහොම ද?

මේ ගැන ලෝකයේ කොතැනකවත් ලේඛනගත වී නැහැ. එහෙත් සම්මා වායාමයේ යෙදෙන මාධ්‍ය භාවිතයක් තමයි මනුෂ්‍ය වර්ගයාට සෙත සලසන්නේ. කුඩා දරුවාගේ පටන් අප මේ ආකල්පය ගොඩනැගිය යුතු වෙනවා. පාසල තුළින් දියත් වන මාධ්‍ය ව්‍යාපෘතීන් තුළත් සම්මා වායාමයේ යෙදෙන මාධ්‍ය කලාව නම් වූ පුළුල් අරුතින් ක‍්‍රියාත්මක වන්නට අප දරුවන්ට කියා දෙන්නේ නම් සුභාවිත මාධ්‍ය කලාවක් ගොඩනගන එක අපහසු වන්නේ නැහැ.

නගරයකට ගිය විට අපි දකින, දකින කෑම සියල්ල කටට දමා ගන්නේ නැහැ. ඒවා සෞඛ්‍ය ආරක්ෂිත ද කියන කාරණය ගැන අපි සැලකිලිමත්. අපි දන්නවා සොයා නො බලා ආහාර ගැනීම අනතුරුදායක බව…. මාධ්‍ය හා ගනුදෙනුවටත් මේක පොදු න්‍යායක්. නූතන මාධ්‍ය නිදහස තුළ නැති වී තිබෙන්නේ මිනිසාගේ නිදහස. ඔවුන්ගේ ආකල්ප මාධ්‍ය මගින් වෙනස් කොට අවසන්. වෙළඳපළට වුවමනා ආකාරයට හැඩගැසුණ මාධ්‍ය මනුෂ්‍ය වර්ගයාවත් වෙළඳපළට වුවමනා ආකාරයට හැඩගස්සවනවා. මුදල ප‍්‍රමුඛ කරගත් වෙළඳපළ අරමුණු වෙනුවෙන් මනුෂ්‍යත්වයටත්, සදාචාරයටත් නො ගැළපෙන දේවල් පවා මාධ්‍ය තුළින් කලඑළි බසිනවා. මෙතනදි අසන, දකින හෝ කියවන සියල්ල තමන්ගේ ඉන්ද්‍රියයන්ට ආහාර කරගන්නේ නැතිව නුවණින් විමසා ස්වකීය ප‍්‍රයෝජනයට යොදා ගැනීම සමාජය සතුයි. ඒ කාරණාව ඉටු කරගන්නට ධර්මය ම හැර අන් පිළිසරණක් අපට නැහැ. ධර්මය තුළිනුයි කුසලය – අකුසලය සහ යහපත – අයහපත වෙන් කරගන්නා මාර්ගයට පිවිසිය හැක්කේ….

කෙලෙස් සතුරා මැඬලන්නට මාධ්‍ය විප්ලවයක්…!

ඒක හරියට මේ වගේ දෙයක්. එක්තරා බලගතු සතුරෙක් සිටිනවා. ඔහු සිටින්නේ යම් දේශසීමා ප‍්‍රදේශයක කොටු වෙලා. ඒ බිම් පෙදෙසේ පමණයි ඔහුට අනුගාමිකයන් නිර්මාණය කරන්න හැකියාව තිබෙන්නේ. ඒ හැරුණු කොට අන් කිසිදු පෙදෙසක කිසිම ජීවියෙක් ගොදුරු කරගන්නට ඔහුට අවස්ථාව නො ලැබෙන ආකාරයෙන් මේ දේශ සීමාවේ මායිම් සුරක්ෂිත කොට තිබෙනවා. මෙවන් අවස්ථාවක ක‍්‍රමයෙන් කුඩා බිම් කඩකට සීමා වන ආකාරයෙන් ඔහුගේ බලය මර්ධනය කිරීමේ වැඩි ඉඩකඩක් ලැබෙනවා. එසේ නැතිව, තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගත යුතුයි කියන සිතුවිල්ලේ හිඳ දේශසීමා ආරක්ෂාව බිඳ දැමුවොත් සතුරා තමන්ට ක‍්‍රියාත්මක විය හැකි බල ප‍්‍රදේශය වර්ධනය කරගන්නවා. අවසානයේ ඒ සතුරාට ගොදුරු වෙන්නේ තමන්ගේ ම සමීපතමයෙක් වෙන්නට පුළුවනි; නො දැනුවත්ව ම හෝ තමන් ම වෙන්නටත් පුළුවනි.

මිනිස් සිතක ඇතිවන අකුසල්වලට වඩා බලවත් සතුරෙක් තවත් කොයින් ද? අනුසය වශයෙන් හෝ පවතින්නා වූ අකුසල් මුල්කරගෙන යමෙක් යම් දෙයක් සිතනවා නම්, කරනවා නම්, වචනයට නගනවා නම් සසරේ බොහෝ කාලයක් පුරාවට දමනය නො වූ සිතකින් වාසය කළා වූ සත්ව වර්ගයා නිරායාසයෙන් ම ඒ අකුසල චිත්තයෙන් උපන්නා වූ අර්බුදයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඒ දෙය වළක්වන්නටයි මාධ්‍ය සමස්තයක් වශයෙන් මුළුමහත් මානව වර්ගයා වෙත ම යහපත තෝරා, බේරා, පෙරා දෙන – අයහපත දුරින් ම දුරු කරලන සමාජ පෙරහන්කඩක් බවට පත්විය යුත්තේ…

ලොව පරම මානව හිතවාදී සන්නිවේදනයේ අනුගාමිකයන් වෙමු…!

ලොවට යහපත සදන්නට නම් කි‍්‍රයා කළ යුතු වන්නේ සත්‍යවාදී භාවයට ගරු කරමින්. සැමවිට ම සත්‍යය ම ප‍්‍රකාශ කළ යුතු වෙනවා. අසත්‍යය සහමුලින් ම බැහැර කළ යුතු වෙනවා. සත්‍යය වුණත් කිව යුතු අවස්ථාවක් තිබෙනවා. ඒ වගේ ම කල් යල් බලා ප‍්‍රකාශ කරන්නා වූ සත්‍යය ලොවේ යහපත පිණිස පවතින්නක් ම විය යුතු වෙනවා. සුදුසු අවස්ථාව එළඹුණු කල්හි සුදුසු වචන ම යොදා ගනිමින් ලෝකයට යහපත සලසන සත්‍යය ම ප‍්‍රකාශ කරන ක‍්‍රමවේදයක් කවර කාලයක දී හෝ නිර්මාණය කරගන්නට අපට හැකි වේවි ද?

කිසිසේත් ම බැරිකමක් නැහැ. මොකද ඒ අතිශය පරහිතකාමී, මානව ශුභසිද්ධිය පිණිස පවතින්නා වූ සන්නිවේදන ක‍්‍රමවේදය කල්පිතයක් නො ව සැබෑවක් වග ලෝක ඉතිහාසය තුළ තහවුරු කෙරී තිබෙනවා. ඒ කියන්නේ මෙය සිදු කළ නො හැක්කක් නො වෙයි. ඒ පරම මානව හිතවාදී සන්නිවේදන මෙහෙයුම දියත් වුණේ මීට වසර 2557කට පෙර එළඹි පන්සාලිස් වසරක් පුරාවට දඹදිව් තලයේ දී. දෙව් මිනිසුන් වෙත අනන්ත යහපත, අනන්ත සුවය, අනන්ත ශාන්තිය සලසා ලූ, ලෝකානුකම්පාවෙන් ශෝභමාන වූ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම යි ඒ උත්තරීතර සන්නිවේදනයේ උත්කෘෂ්ට පෙර ගමන්කරුවාණන් බවට පත් වුණේ.
ඒ උතුම් ශ්‍රී මුව මඬලින් ගලා ආවේ ලොව පවත්නා සදාතන වූ, සනාතන වූ පරම සත්‍යය යි. ඒ සත්‍යය උන්වහන්සේ මනුලොව මිනිසුන්ට පමණක් නො වෙයි, දෙව්ලොව දෙවියන්ටත්, බඹලොව බඹුන්ටත් සමීප කොට වදාළා. අද මෙන් දියුණු තාක්ෂණික උපකරණ හෝ දියුණු සන්නිවේදන පද්ධති නො තිබුණු අවධියක කිසිදු බාධාවකින් තොරව මුළු මහත් විශ්වය පුරා ම ඒ බුද්ධ තේජස පතුරුවා හැරියා වූ උත්කෘෂ්ට සන්නිවේදන ක‍්‍රියාවලිය නම් ආශ්චර්යයක් ම යි…

නූතන සකලවිධ සන්නිවේදකයන් හට පරමාදර්ශී මාධ්‍යමය සද්පාවාඩය බවට පත්වන්නේත් යහපත ම සලසන්නා වූ ඒ සද්ධර්ම විප්ලවය ම යි. ඒ නිසා ඔබ කවර හෝ මාධ්‍ය මෙහෙවරක නියැලෙන්නේ නම් එකී මාධ්‍ය මෙහෙවර මානව හිතවාදී භාවයෙන් පිරීතිරී යන්නක් වන්නට කළ යුත්තේ අනභිභවනීය වූ ධර්ම දායාදය තුළින් විමසා බලා, ගළපා, යහපත සලසන්නා වූ සත්‍යය සුදුසු කාලයේ ලබා දීම මිස අනෙකක් නම් නො වන බව සිහි තබා ගත යුතුමයි.

මානව බුද්ධිය ආමන්ත‍්‍රණය කරන්නා වූ, ලොවට යහපත සලසන්නා වූ, සත්‍යවාදී වූ, මහානීය මාධ්‍ය මෙහෙවරක නියැලෙන්නට සියල්ලෝ වාසනාව ලබත්වා!

සටහන
උදුලා පද්මාවතී