ඔබත් සේවා නියුක්තිකයෙක් ද?
සේවා නියුක්තිය කියන්නේ ආර්ථිකය සම්බන්ධ කාරණාවක්. බොහෝ ම සරල ව අර්ථ දැක්වුවොත් යම්කිසි නිශ්චිත කාල සීමාවක්, නිශ්චිත වැටුපකට, නිශ්චිත ආර්ථික ක‍්‍රියාවක නියැලීම තමයි එයින් අදහස් වෙන්නේ.
කම්හලේ, වැඩපළේ, රෝහලේ, පාසලේ ආදි සෑම ස්ථානයක ම පාහේ බල ගැන්වෙන්නේ මේ ආර්ථික ක‍්‍රියාවලිය. න්‍යායාත්මක කරුණු කාරණා මෙහෙම වුණාට සේවා නියුක්තිය තුළ අගයක් වශයෙන් ගණනය නො කෙරෙන මානූෂීය ගුණාංගයනුත් බොහෝමයක් තිබෙනවා.
රැකියාව යනු ආර්ථික ක‍්‍රියාවලියේ කොටසක් පමණක් ද?
අපි ඒ කාරණය මේ විදිහට පැහැදිලි කරගනිමු. වැටුප පමණක් මුල් කරගෙන රැකියාවක් කරන්න හැකියාව විතරක් ප‍්‍රමාණවත්. තමන්ට යොමු කෙරෙන කටයුත්ත මේ ආකාරයෙනුයි ඉටු කළ යුත්තේ කියන දැනුම තිබෙනවා නම් ඒ කාර්යය අවශ්‍ය ආකාරයෙන් ඉටු කරදෙන්නට පුළුවන්. එයින් අදාළ ඉලක්කයත් සපිරෙනවා. නමුත් ඒ ක‍්‍රියාව තුළ අන්‍යයන්ගේ සිතුම්, පැතුම්, මානසික ස්වභාවයන්, චර්යාවන් යන කිසිවක් සැලකිල්ලට බඳුන් වන්නේ නැහැ. එවන් ක‍්‍රියාවක හුදු යාන්ත‍්‍රික ස්වභාවයක් හැර මානූෂීය ළතෙත් බවක් අන්තර්ගත වෙන්නේ නැහැ.
වෛද්‍යවරයෙකුට පුළුවනි තමන් ළඟට එන රෝගියා රෝග ලක්ෂණ විස්තර කරනවා අහගෙන ඉඳලා, වැඩි විස්තර වුවමනා නම් ප‍්‍රශ්නයක් දෙකක් අහලා, බෙහෙත් ටික නියම කරලා පිටත් කරන්න. ඒ වගේ ම පුළුවන් බොහෝ ම සුහදශීලී ව විස්තර විමසලා, රෝගය ගැන යම් පැහැදිලි කිරීමක් කරලා, හිතේ තිබෙන බිය සංකා දුරු කෙරෙන ආකාරයට දැනුවත් කිරීමක් කරලා, බෙහෙත් පාවිච්චි කළ යුතු ආකාරය ගැනත් උපදෙස් දීලා, සුවපත් භාවය සම්බන්ධයෙන් මානසික උත්තේජනයක් ඇති කරවලා රෝගියා පිටත් කර හරින්න. මේ අවස්ථා දෙකේ ම වෛද්‍යවරයා විසින් රෝගියාට ප‍්‍රතිකාර කිරීම කියන කාරණය ඉෂ්ට වෙනවා. ඒත් මේ අවස්ථා දෙකේ බොහෝ ම පැහැදිලි වෙනසක් තිබෙනවා. අන්න ඒ වෙනස තමයි පළමුවැන්නේ තිබෙන්නේ හුදු ආර්ථික ක‍්‍රියාවලිය වීමත්, දෙවැන්නේ ආර්ථික ක‍්‍රියාවලිය නො පිරිහෙළා ඉටු කරන මානුෂීය වැඩපිළිවෙළක් අන්තර්ගත වීමත්.
තමන්ගේ වෘත්තිය නිසියාකාරව ඉටු කිරීම තුළින් රැස්වන්නේ පිනක්. ඒ වෘත්තිය තුළ ගුණ ධර්ම වගා කිරීම තුළින් පින දියුණුපමුණු කරගන්නට පුළුවන්. පින් දහම් කරන්නට වෙලාවක්, විවේකයක් හොයා ගන්න අමාරුයි කියලා මැසිවිලි නඟන යුගයක් නේ ද මේ? ඒත් එදිනෙදා රාජකාරීන් ඉටු කරන අතරේ ම පින් වැඩෙන විදිහට කටයුතු කරන්නට අපට බැරි ද?
ඔබ කැමති කොහොම තැනකට ද?
යම්කිසි සේවාවක් අපේක්ෂාවෙන් ඔබ තැනකට ගියොත් ඔබේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මොන විදිහේ ප‍්‍රතිචාරයක් ද බලාපොරොත්තු වෙන්නේ?
ඔබට ඔබේ කාර්යය හැකි ඉක්මණින් ඉටු කරගන්නට අවශ්‍යයි වගේ ම
– සුහදශීලි, ගරු කටයුතු සේවා සැපයීම
– ඔබව අපහසුතාවයට පත් නො කිරීම
– නිවැරදි ලෙස පිළිවෙළට ඔබේ කාර්යය ඉටු කර දීම
– විමසා යමක් දැන ගැනීමට ඉඩ සැලසීම
ආදියත් ඔබ අපේක්ෂා කරනවා නේ ද?
යම් විදිහකින් ඔබේ සේවා සපයන්නන් ඔබව නො සලකා හරිනවා නම්, ඔබේ කාර්යය ඉටු කර ගැනීමට කිහිපවරක් රස්තියාදු වන්නට ඔබට සිදු වෙනවා නම්, ගැටලූ සහගත කාරණා පිළිබඳ ඔවුන් හා සාකච්ඡා කිරීමට ඉඩ නො දෙනවා නම් ඔබට ඔවුන් ගැන ඇති වන්නේ ප‍්‍රසන්න හැඟීමක් ද?
වෘත්තිය සුගතියට මඟක් කරගැනීම ගැන සලකා නො බැලීම නිසා වර්තමානයේ බොහෝ කොට දකින්නට ලැබෙන අර්බුදයක් තමයි මේ. අපේක්ෂිත ආකාරයට තම කාර්යය ඉටු කරගන්නට නො ලැබීම නිසා දෙස් දෙවොල් තබමින්, දෝෂාරෝපණය කරමින් සේවා දායකයන් ඇතැම් ආයතන තුළින් පිටවී යන අයුර සුලබ දර්ශනයක්. අප කියන්නේ ඒ සියලූ දෝෂාරෝපණ සත්‍යයි කියා නෙමෙයි, එහෙත් එයට මුල් වූ යම් අඩුපාඩුවක් සේවා සපයන්නන්ගෙන් සිදු වී තිබෙනවා විය හැකියි.
ඔවැනි සිදුවීම් නිසා ඇතැම් ආයතන සමාජය තුළ හංවඩු ගැසී තිබෙන්නේ මිනිසුන් රස්තියාදු කරවන, මනුස්සකමක් නො දන්න, කොටින් ම කථා කරන්නවත් දන්නෙ නැති, හිත් පිත් නැති තැන් කියලයි. එවන් ආයතනික පසුබිමක් ගනුදෙනුකරුවනට කිසිසේත් ම ප‍්‍රියමනාප වන්නේ නැහැ. රාජකාරිය නිසි ලෙස ඉටු නො කරනා සේවා නියුක්තිකයන්ට තමන් ගැන අවංකව සතුටු වෙන්නට පුළුවන්කමක් ඇත්තෙත් නැහැ.
නො සැලකිල්ල රැකියාවට අවමානයක්…!
රාජ්‍ය අංශයේ වගකිවයුතු කාර්යභාරයක් ඉටු කරන ආයතනයක සේවයේ නියුතු අපේ හිතවත් සොයුරියක් වරෙක කියා සිටියේ එක් ලියුමක් නිවැරදි ආකාරයට සකස් කර නො තිබීම නිසා තෙවරක් ම විශ‍්‍රාමිකයෙකු ඔහු සේවය කළ ආයතනය වෙත නැවත යවන්නට සිදුවුණු බවක්. එක ම වරද තෙවරක් සිදුවීම ආයතනික වශයෙන් විශාල අර්බුදයක්. තමන් වෙහෙස මහන්සි වී යම් මුදලක් උපයන් බව සැබෑවක් වුණත්, ඒ මුදල තමන් අතට එන්නේ මේ රටේ සියල්ලන්ගෙන් බව වෘත්තිකයන් තරයේ සිහිතබා ගත යුතු වෙනවා. අපට ආදායම් මාර්ගයක් සපයන්නේ අප අවට සිටින සියල්ලන් ම ඒකරාශි වෙලා. එ් නිසා අපේ වෘත්තීය ජීවිතය තුළ ඔවුන් වෙනුවෙන් උපරිමය සිදු කරන්නට තරම් අපි මානූෂීය විය යුතු ම යි.
තවත් බොහෝ ස්ථානවල දකින්න ලැබෙන කාරණයක් තමයි ආයතනික ව්‍යුහයෙන් බැහැර ව සමීපතමයින්ට, හිතවතුන්ට ඔවුනගේ අවශ්‍යතා ඉටු කර දීම. තැපැල් මාර්ගයෙන් ම පමණක් යැවිය යුතු ලිපි ලේඛණ ස්වකීය හිතවත්කම නිසාවෙන් ගනුදෙනුකරුගේ අතට ම පත් කිරීම, ආයතනයේ රහස්‍ය තොරතුරු පවා ඔවුන් හා බෙදා ගැනීම, හිතවතුන් උදෙසා අන්‍යයන්ට වඩා ප‍්‍රමුඛත්වයක් ලබා දීම වැනි බොහෝ නිදසුන් මේ සම්බන්ධයෙන් ගෙනහැර දක්වන්නට පුළුවන්. ආයතනික ව්‍යුහය ඉක්මවා හිතවත්කම්වලට තැන දීම රැකියාවේ සීමාවන් ඉක්මවා යෑමක් බවට පත්වෙනවා. හිතවතුනට කරන උපකාරයක් යැයි සලකා ආයතනයේ නීති රීතීන් උල්ලංඝනය කෙරෙන ඉතා සුළු කාරණයක් සිදු කිරීම නිසාවෙන් ඇතැම් විට සමස්ත ව්‍යුහයට දරුණු පහරක් එල්ල වන්නට පුළුවන්. හැරත් ආයතනික විධිමත් භාවය පවත්වා ගැනීමට එයින් ඇති වන්නේ ලොකු දුෂ්කරතාවයක්.
හිතවත්කමත් රැකගෙන ආයතනයත් රැක ගන්න නම් කළ යුතු වන්නේ තම තමන්ගේ රැකියාවේ ස්වභාවය, තමන්ට කටයුතු කළ හැකි සීමා මායිම් පිළිබඳ දළ අවබෝධයක් හිතවතුන්ට ලබා දී තිබීම යි. එය ඔබටත් මහත් පහසුවක්. ඒ වගේ ම හිතවතුන් ඔබ ගැන වැරදි මතයකට එසේ ඉඩකඩත් එයින් මඟ හැරෙනවා. නැති නම් ඔවුන් හිතන්නේ ‘උදව් කරන්න පුළුවන්කම තියෙද්දිත් කළේ නෑ’ කියල යි…
නිවසේ වගකීම් සම්භාරයක් උසුලන අතරේ ම රැකියාවේ අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීම එක් අතකින් විශාල අභියෝගයක්. ගෙදර දොරේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන රතු ඉර වැදෙන්න කලින් රැකියා ස්ථානයේ පෙනී සිටින්න උදේ රැයින් ම අවිවේකී වෙන්න සිද්ධ වෙනවා. බස් රථයේ, දුම්රියේ ප‍්‍රමාදයන්, අවහිරතා මැද දහඩිය හළාගෙන තමයි බොහෝ දෙනෙකුට රැකියාවට යන්න වෙන්නේ. ඒ වෙද්දි ම හිතේ යම් නො රිස්සුමක් ඇති වෙලා ඉවරයි. නිවසේ තිබෙන අර්බුදකාරී තත්ත්වයකුත් මේ මොහොත දක්වා ම සිතේ පීඩා ගෙන දිදී තිබුණොත් ඒ නො රිස්සුම දෙගුණ තෙගුණ වෙනවා.
ඔය අතරේ ආයතනයේ ප‍්‍රධානියා අමතර වැඩක් පවරනවා, එහෙම නැති නම් අතපසු වුණ දෙයක් ගැන තරයේ අවවාද කරනවා, නැති නම් ඔබ යටතේ සිටින සේවකයෙක් යම් කාර්යයක් වැරදි ආකාරයෙන් සිදු කරනවා…. දැන් අර නො රිස්සුම ඒ ඒ අදාළ පුද්ගලයා පිටින් යැවෙනවා. තදින් දොස් පවරන්න, නුගුණ කියන්න, තරහෙන් වෙව්ලා වැටෙන්න, අඩුම තරමේ මේසය උඩ තියෙන දෙයක් සද්දෙ ඇහෙන්න තල්ලූ කරල දාන්න තමයි හිතෙන්නෙ ම. හිතෙනවා විතරක් නෙමෙයි, බොහෝ දෙනා බොහෝ වෙලාවට එහෙම කරනවා. ඔන්න ඔය වගේ මානසික අර්බුදයක සිටින වෙලාවක ඔබ හමුවට පැමිණෙන ඔබේ සේවා දායකයා මොන තරම් අපහසුතාවයකට පත්වෙනවා ඇති ද? සුහදශීලී පිළිගැනීමක්, අදහස් හුවමාරු කිරීමක්, ගැටලූ විසඳා ගැනීමක් ගැන තවදුරටත් ඔවුනට ඔබ කෙරේ විශ්වාසය තබන්නට පුළුවනි ද?
රැකියාවත් කරන ගමන් බණ දහමත් පුරුදු කරමු ද?
සේවා දායකයන් සමඟ සුහදශීලීව කටයුතු කරන්නට අසමත් සේවා සපයන්නෙක් ආයතනයකට වටිනා කෙනෙක් නො වෙයි. ඔවුන්ගේ අනුචිත ක‍්‍රියා පටිපාටිය නිසා ඇතැම් විට එහි පැමිණියෙකු යළි කිසි ම කරුණක් නිසාවත් නො පැමිණෙන්නට ඉඩ තිබෙනවා. මේ ආකාරයෙන් ‘ආයෙ නම් පැත්ත පළාතේ පස් පාගන්නෙ නෑ’ කියලා අප‍්‍රසාදයෙන් යුතුව බැහැර කරපු ඇතැම් ආයතන, ඇතැම් පුද්ගලයන් ඔබේ ජීවිතෙත් ඇති. එහෙම වෙන්නේ ගනුදෙනුකරු හට ප‍්‍රසන්න, ප‍්‍රියමනාප වටපිටාවක් නිර්මාණය කරදෙන්න ඔවුන් අසමත් වීම නිසයි.
විවිධාකාර අදහස් තිබෙන, විවිධාකාර චර්යා රටාවන් තිබෙන, විවිධාකාර මිනිසුන් එක්ක ගෘහ ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් සමබර ව පවත්වා ගනිමින්, සේවා සැපයීමෙන් අපේක්ෂිත ඉලක්කයන් කිසිදු පීඩාවක්, වෙහෙසක් නැතිව සපුරා ගැනීම මොන තරම් අසීරු කටයුත්තක් ද? ඒ අරමුණ සම්පූර්ණ කරගන්න අතරෙ ම බණ භාවනාත් ප‍්‍රගුණ කරන්න කියලා අපි ඔබට යෝජනා කළොත්? විවිධාකාර අදහස් ඔබේ හිතෙත් ඇති වේවි.
එ්ත් ඇත්තට ම වෘත්තීය ජීවිතය හා ගෘහ ජීවිතය සමබර ව පවත්වාගෙන යමින් අපේක්ෂිත ඉලක්ක වෙහෙසකින් තොරව සම්පූර්ණ කරගැනීමේ වැඩපිළිවෙළත්, එදිනෙදා කාර්යයන් තුළ ධර්මය පුහුණු කිරීමත් කියන්නේ සමගාමී කාරණාවක් මිස ප‍්‍රතිවිරුද්ධ කාරණා දෙකක් නෙමෙයි. එහි සාර්ථකත්වය කෙරෙහි බලපාන මූලික සාධකය වන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ආකාරයෙන් ජීවනෝපාය පවත්වා ගැනීම යි.
රැකියාව ධර්මයෙන් පෝෂණය කරමු.
වෘත්තීය ජීවිතය තුළ ධර්මයේ හැසිරීම කළ හැකි වන්නේ එය ධාර්මික වෘත්තියක් වන්නේ නම් පමණයි. මිථ්‍යා ආජීවයෙන් වැළකීම ගැන තථාගතයන් වහන්සේ තරම් පැහැදිලි කොට, විග‍්‍රහ කොට දේශනා කළ වෙනත් ශාස්තෘවරයෙක් අපට මුණ ගැහෙන්නේ නෑ. සාධාරණ ක‍්‍රම මඟින් ආදායම් ඉපැයීම හරහා තමාටත්, අනුන්ටත්, රටටත්, සමාජයටත් යහපත ම සිදු කරන වෘත්තිකයා තම වෘත්තිය තුළින් අවංක තෘප්තියට, සතුටට, සැනසීමට පත්වීම නිරායාසයෙන් ම සිදු වනවා.
ධාර්මික ව සිදු කරන රැකියාවකින් උපයා ගන්නා ආදායමෙන් අඹු දරුවන් පෝෂණය කරමින්, වගකීම් – යුතුකම් ඉටු කරමින්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතු ව සංසාර විමුක්තිය සලසා ගැනීමේ අරමුණින් කටයුතු කරන පිරිසට දෙවිවරුන් පවා වන්දනා මාන කරනවා. ජීවිතයේ කවර මොහොතක වුවත් යළි හැරී බලනවිට තම තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ පසුතැවිලි වන්නට කිසිවක් ඉතිරි වී නැති නම් එය මොන තරම් සතුටක් ද? මොන තරම් සැනසීමක් ද? එවන් වෘත්තීය ජීවිතයක හිමිකරුවෙකු දැන හෝ නො දැන සිදුකර තිබෙන්නේ ධර්මයේ හැසිරීම ම යි.
දෙලොව යහපත සලසාලන අකාලික මුනි දහම අප හමුවේ විවෘත ව බැබළෙන මෙවන් යුගයක වෘත්තීය ජීවිතය ආලෝකවත් කරගන්නට සද්ධර්මයෙන් ලැබිය හැකි මහඟු පිටිවහල ගැන මේ තාක් ඔබ නො සිතුවා වන්නට පුළුවනි. එහෙත් අවිවේකී, කාර්ය බහුල ජීවන රටාවක් ධර්මය තුළින් සුවපහසු කරගන්නට ඔබට ලැබෙන අනර්ඝත ම අවස්ථාව තමයි ඔබේ රැකියාව.
මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණයන් දියුණු කරගැනීම තුළින් අපට වෘත්තීය ජීවිතය සැනසුම්දායක කරගන්නට පුළුවනි.
එකිනෙකා තුළ නිතර මෙත් සිත ම වැඩෙත්වා!
තමන් කෙරෙහිත්, තම ආයතනයේ ප‍්‍රධානියා සහ අනෙකුත් සේවකයන් කෙරෙහි වගේ ම ආයතනයට පැමිණෙන සේවා දායකයන් කෙරෙහිත් අපට නිරන්තර මෙත් සිත පතුරුවන්නට පුළුවනි. සුදුවත් හැඳගෙන, පත්කඩයක් එළාගෙන නිහඬ නිසංසල පරිසරයක හිඳ බවුන් වඩන්නට අපේ හිත් බොහෝ ම කැමති යි. එහෙත් එ් භාවනාව ම අපි එදිනෙදා ගනුදෙනු කරන වටපිටාවේ හිඳගෙනත් කරන්න පුළුවන් කියන එක අපි නො සලකා හැරපු කරුණක්. එ්ත් අප සරණ ගියපු තථාගතයන් වහන්සේ වදාළේ යානාවක් මෙන් මෛත‍්‍රිය පුරුදු කරන කෙනා, ‘සිටගෙන, ඇවිදින හෝ හිඳිනා විට – නිදන වෙලාවට හෝ නො නිදන විට’ මෙත් සිත ම වඩන බව යි.
මමත්, මේ ආයතනයේ සිටින අයත් ‘වෛර නැත්තෝ වෙත්වා!, තරහ නැත්තෝ වෙත්වා!, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා!, දුක් පීඩා නැත්තෝ වෙත්වා!, සුවසේ ජීවත් වෙත්වා!, ශාන්ත සුවයට පත්වෙත්වා!’ යන අදහසින් හැම මොහොතෙ ම මෙත් සිත ම පතුරුවන්නට අපි කාටත් පුළුවන්. එවන් මෛත‍්‍රී සහගත චිත්තයකින් සිටින අපි අතින් කිසිවෙකුට අයහපතක් සිදු නො වෙනවා පමණක් නෙමෙයි, දුටු දුටුවන්ට ප‍්‍රියමනාප වූ ප‍්‍රසන්න ඉඳුරන් අප සතු වෙනවා, මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ටත් ප‍්‍රිය වෙනවා, දෙවියන්ටත් ප‍්‍රිය වෙනවා, සිහි මුළා වී සිදුවන මරණයක් උරුම වන්නෙත් නෑ, අවි ආයුධයෙන් – වස විෂෙන් විපත් සිදු වන්නෙත් නෑ. කිසිදු ජීවිත රක්ෂණාවරණයකට ලබා දිය නො හැකි සුරක්ෂිත භාවයක් භාවිත මෙත්සිත අපට සලසා දෙනවා. මිතුරන්ටත්, සතුරන්ටත් මෙත් සිත ම පතළ කරමින් රැුකියාවේ යෙදෙන්න පුළුවන් නම් අපි නිරන්තරයෙන් ගලා එන පින් ගඟුලක උරුමකරුවන් බවට පත්වෙනවා.
අපි මේ කියන්නේ ඔබේ සියලූ රාජකාරී පසෙක තබලා මෙත් වඩන්න කියලා නෙමෙයි. අංක එකේ තිබෙන්න ඕනේ ඔබේ රාජකාරිය. එය ඉටු කෙරෙන වැඩපිළිවෙළට යි ඔබ ධර්මයෙන් පන්නරය මුහු කළ යුත්තේ.
ඉරිසියාවෙන් පෙළෙන දුක් තැවුල් නො වෙත්වා!
සිත් තුළ මුදිතාව දියුණු කරන්නත් අපට වෘත්තීය ජීවිතය තුළ හොඳ ඉඩ ප‍්‍රස්තාවක් සැලසෙනවා. එකම වෘත්තීය ක්ෂේත‍්‍රය තුළ එකිනෙකා රැඳී සිටින ස්ථරයන් එකිනෙකට වෙනස්. එකිනෙකාගේ හැකියාවන්, ප‍්‍රත්‍ය ලාභයන් වෙනස්. වරප‍්‍රසාද, උසස් වීම් ආදිය සියල්ලන්ට ම එකවර ලැබෙන්නෙත් නැහැ. ඉතින් අන්‍යයන් කීර්තියෙන්, යසසින් වැඩෙන ආකාරය දැක බලා ඊර්ෂ්‍යා කරනු වෙනුවට සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් නේ ද බොහෝ වටින්නේ? මුදිතාව මනා කොට වඩන සිතකට සියලූ දෙනා ම ආයුෂයෙන්, බලයෙන්, වර්ණයෙන්, සැපයෙන්, යසසින්, කීර්තියෙන්, ප‍්‍රඥවෙන් වැඩෙනවා දැකීම සතුටක් ම යි. එවන් සිතක් ඇති කෙනෙකුට කුසල් දහම්වල නියැලීම පිණිස යම් අකැමැත්තක්, ඒ කියන්නේ අරතියක් තිබෙනවා නම් මේ මුදිතා සහගත සිත නිසා ඒ අරතිය දුරු වෙලා යනවා.
අන්‍යයන්ගේ සැපත දැකලා සතුටු වීම කියන උතුම් ගුණාංගය ඔබේ වෘත්තීය ජීවිතය තුළ පුරුදු කිරීම ඔබේ සැපය පිණිස පවතින්නේ ඔන්න ඔය ආකාරයෙන්. අකුසල සිතුවිලි දුරු කරගෙන, කණ්ඩායම් හැඟීමෙන් යුතුව අවසන් ඉලක්කය කරා සමූහයක් ලෙසින් සුබදායී ගමනක් යන්න ඔබට එය නිසැකයෙන් ම උපකාරයක්.
කරුණාව පැතිර ගිය ගුණ නුවණ ලබත්වා!
තවත් බොහෝ ඵලදායී ක‍්‍රියාවක් තමයි කරුණාව පැතිරවීම. අප අවට සිටින පිරිස් හිනාවෙලා, කථා බස් කරලා සිටින නමුත් පිටට නො පෙන්වා කායික ව හෝ මානසික ව බොහෝ පීඩාවන් දරා සිටිනවා වෙන්නට පුළුවනි. සිතේ තිබෙන මහා වෙහෙසක් කිසිවෙකුට දැනෙන්නට ඉඩ නො දී සිනහ මුවින් හිඳිමින් හදවතින් හඬා වැටුණු අවස්ථා අපේ ජීවිතවලත් තිබෙනවා නේ ද? කරුණාව වුවමනා තැනට ආවේගය ලැබෙන එක මොන තරම් වේදනාවක් ද? සියලූ දෙනාට කායික පීඩා නැතිව, මානසික පීඩා නැතිව, කායික සුවයෙනුත්, මානසික සුවයෙනුත් සුවපත් ව සුවසේ ජීවත් වන්නට ලැබෙනවා නම් ලෝකය සැනසුම් සහගත තැනක් බවට පත්වන බව නිසැකයි. ඔබේ ආයතනයේ මුණ ගැසෙන සියල්ලන් වෙත අපමණ කරුණා චේතෝ විමුක්තිය පතළ කර හැරීමෙන් ඒ සියලූ දෙනාටත්, ඔබටත් මහා යහපතක් සලසා ගන්නට පුළුවනි. එයින් ම ඔබේ වෘත්තීය ජීවිතය ළතෙත් වූ, සැනසුම සලසන්නා වූ හෘදයංගම හිතවත් බවක මුහුණුවර ලබනවා. හොඳ යහළුවෙක් පළමු කඳුළ දකින බවත්, දෙවැනි කඳුළ අල්ලා ගන්නා බවත්, තුන්වන කඳුළ නැඟෙන්නට නො දී වළක්වන බවත් සමාජයේ මුල් බැස ගත්ත අදහසක්. වෘත්තිකයෙක් විදිහට ඔබටත් කරුණාවෙන් පිරී ගිය හදවතක ජනිත වන තෙතමනයෙන් මේ දෙය ම සිදු කරන්නට පුළුවනි… එය ඔබේ වෘත්තීයම ය සාර්ථකත්වයක් පමණක් නෙමෙයි, ජීවිතයේත් සාර්ථකත්වයක්.
සෝක දුක් තැවුල් නැති සැනසීම ලබත්වා!
පරස්පර අදහස්, පරස්පර හැසිරීම් සහිත පිරිසක් සමඟ හැසිරීම හිතන තරම් හෝ කියන තරම් පහසු දෙයක් නෙමෙයි. එක හොඳක් පිටවෙන මුවින් නරක සියයක් පිටවෙන්න පුළුවන්. එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස්. සිතන, පතන ආකාරයන් වෙනස්. එක එක මානසික මට්ටම්වල සිටින්නෙත්. එ් වගේ සමාගමයක් සැප සතුට වගේ ම දුක් දොම්නස් ආදියත් හිඟ නැහැ. සතුටකදි කෑ ගහලා, උඩ පැනලා සතුටු වෙන්නයි, දුකකදි හඬා වැළපෙන්නයි නම් අපි පුරුදු වෙලා ඉන්නේ අපි තවමත් දුකටත් කම්පා වන, සතුටටත් කම්පා වන මිනිසුන් නේ ද? මේ සියල්ල මැදහත් සිතින් විඳ දරා ගන්න පුහුණු කිරීම තුළින් අප කරන්නෙත් භාවනාව ප‍්‍රගුණ කිරීමක්. උපේක්ෂාව වඩන විට ලාභ, ප‍්‍රශංසා, යසස්, කායික සැප, මානසික සැප ආදිය නිසා කම්පා වේවී සතුටු නො වෙනවා වගේ ම අලාභ, නින්දා, අයස, කායික දුක්, මානසික දුක් ආදිය නිසා කම්පා වෙවී දුක් නො වෙන්නත් අප පුරුදු වෙනවා. කාර්යාලීය ජීවිතේ අපට වෙහෙසක් වුණා නම් වෙහෙසක් වුණේ ම මැදහත් සිතින් කරුණු කාරණා දරා ගැනීමේ පුරුද්දක් අපට නො තිබුණ නිසා නේ ද?
මනාකොට සිහිය පිහිටුවා ගමු…!
හොඳ සිහි නුවණින් යුක්ත ව, හොඳ සිහි කල්පනාවෙන් යුක්ත ව වාසය කිරීමත් අපට වෘත්තීය ජීවිතය තුළ ම ප‍්‍රගුණ කරන්න පුළුවනි. හිඳගෙන ඉන්න කොට, ඇවිදිනකොට, අඳින පලඳින කොට, ආහාර ගන්න කොට, අත පය දිග හරිනකොට පවා ඒ ඒ ක‍්‍රියාව තුළ කාමයන් කෙරෙහි ඇලීමක්, අරමුණුවලට ගැටීමක්, කම්මැලි – අලස ස්වභාවයක්, පසුතැවීමත් – සිත විසිරවීමක්, තමන් සිහි නුවණ පිහිටුවාගෙන අනුගමනය කරන මේ වැඩපිළිවෙළ පිළිබඳ සැකයක් ඇති නො වන ආකාරයට අපි සිහිය හැසිරවිය යුතු වෙනවා. මේ තුළ ‘මං දැන් ලියන ගමන්’, ‘මං දැන් කන ගමන්’ කියා සිත සිතා ඉඳීමක් නැහැ. නීවරණ ධර්මයන් ඇති නො වෙන ආකාරයට සිදු කරන කටයුත්ත සිහියෙන් සිටීමකුයි සිදු කෙරෙන්නේ. ඔබේ වෘත්තීය කටයුතු කිසිදු අතපසුවීමකින් තොර ව මනා කොට ඉටු කරන්නටත් එය ම රුකුල් වෙනවා. ඒ වගේ ම එතුළින් සති සම්පජඤ්ඤ භාවනාව වැඩෙනවා.
අප මේ සඳහන් කළේ කාරණා කිහිපයක් පමණයි. වෘත්තීය ජීවිතය තුළ ධර්මය ප‍්‍රගුණ කරන්නට ඔබ ඉටා ගත්තොත් මේ වගේ ප‍්‍රායෝගික ව එදිනෙදා කාර්යභාරයන් තුළට ගළපා ගත හැකි සුන්දර ධර්ම කාරණා බොහෝමයක් ඔබට නිරන්තර පිළිසරණ සදාවි. සෑම කල්හි ම එක සේ ම රැකවරණ සලසන අකාලික දහමක සන්දෘෂ්ටික ඵලයන් නෙළන්නට පිනැත්තෙක් වීම ම යි ඔබට නිවසත්, රැකියාව ස්ථානයත් සුව පහසුවෙන් වාසය කරන ප‍්‍රසාදජනක ස්ථානයන් බවට පත්වන්නේ. ඔබ තුළින් පටන්ගෙන සිදු කරන මේ ආකල්ප ම ය ආයෝජනය හෙට දවසේ සේවා නියුක්තියේ ඵලදායීතාවය උපරිමයක් කරා ගෙන යන්නට සමත් වන බව නිසැක යි.
වෘත්තීය ජීවිතය තුළ ධර්මයේ හැසිරෙමින් සුගතියට මංපෙත් විවර කරගන්නට සියල්ලන්ට ම භාග්‍යය උදා වේවා!
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස්
අපට SMS කරන්න
071 555 66 66
– සේවා සපයන්නෙක් –
Recent Comments