මුදල් රැස් කිරීමේ අධික තන්හාවත්, අධාර්මික ව හම්බ කළ මුදලින් අනිසි විනෝදාස්වාදයන් ලැබීමට ඇති කර ගත් නොමේරූ සිතත්, ආශාවන් දැඩි ලෙස තෘප්ත කිරීමේ ලොල් වූ සිතත් මුල් වී පවුකම්හි යෙදීමෙන් තම වටිනා තරුණ ජීවිතය කෙළෙසා ගත් විජිත් ගේ කථාව පසුගිය මහා මේඝයෙන් ඔබ වෙත එළිදරව් කිරීමෙන් පසු මෙවර බන්ධනාගාර නිලධාරීන් ගේ අවසරය ඇති ව හමුවන්නට ලැබුණේ මරණීය දණ්ඩනයට නියම වී දුක සේ කල් ගෙවන තරුණ විය පියමන් කරමින් පසුවන අනිල් ය. තණමල්විල දුෂ්කර ගම්මානයක කාෂ්ඨක පරිසරයක හය දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වැනියා අනිල් විය.

දක්‍ෂ රණවිරුවෙක්
ගමේ පාසල් අධ්‍යාපනය ලැබුව ද ඔහු ගේ ක‍්‍රීඩා හපන්කම් නිසා ජාතික තලයේ ක‍්‍රීඩකයෙකු ලෙස සම්මාන සහතික රැසක් ඔහු සතු විය. ගණනින් ඔහු සතුව ක‍්‍රීඩා සහතික 81 ක් තිබුණු බව අනිල් කීවේ ආඩම්බරයෙනි. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරූ ඔහු ගමේ පාසලෙන් ම සම්මාන දෙකක් සහිතව විෂයයන් තුනකින් උසස් පෙළ ද සමත් විය. සරසවි වරමක් ගැන බලාපොරොත්තු නොතැබූ ඔහු වැඩිහිටි ගුරුවර කාගේත් උපදෙස් මත යුද හමුදාවට බැඳෙන්නට තීරණය කළේ ය. අ.පො.ස උසස් පෙළ ප‍්‍රතිඵල එන්නටත් පෙර ඔහු යුද හමුදාවේ කමාන්ඩෝ බලකායට බැඳුනේ 6000 ක පමණ වූ ඉල්ලූම්කරුවන් අතුරෙන් තෝරාගනු ලැබූ 175 දෙනාගෙන් කෙනෙකු වශයෙනි. අවුරුදු එකහමාරක පමණ යුද හමුදා කමාන්ඩෝ පුහුණුවෙන් පසු ඔහු කෙළින්ම අනුයුක්ත කෙරුණේ උතුරේ ත‍්‍රස්තවාදීන් මැඞීමේ මෙහෙයුම්වලටය. ඔහු අවුරුදු නවයක් ම ක‍්‍රියාන්විතයේ සේවය කළේ ය. 1999 වර්ෂයේ දී මාන්කුලම් නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුමේ සටන් කරමින් සිටිය දී ත‍්‍රස්තවාදීන් ගේ කාලතුවක්කු වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතය ගලවා ගත්තත් අනිල් දැඩි ලෙස තුවාල විය. තමාගේ පාදයේ දණ හිසෙන් පහළ අස්ථි දෙකට කැඩුනා යයි ඇඳිවත මෑත් කොට පෙන් වූ ඔහුගේ කෙණ්ඩ පෙදෙස හෑරී ගොස් තිබුණි. මාස නවයක් පමණ රෝහලේ ගත කළ ඔහුට ආබාධිත සෙබලෙකුට ලැබෙන වෘත්තිය පුහුණුවක් ලැබුණි. අවුරුදු එකහමාරක පමණ ශීතකරණ හා වායු සමීකරණ යන්ත‍්‍ර අළුත්වැඩියා කිරීමේ පාඨමාලාවකින් පසුව අනිල් යුධ හමුදා විදුලි හා යාන්ත‍්‍රික බලකායට යොමු කෙරිණි. ආබාධිත සොල්දාදුවෙකුට ලැබෙන සහනයක් ලෙස 2008 වර්ෂයේ දී ඔහුට තම ගම්පලාතට ආසන්න මොණරාගල යුධ හමුදා කඳවුරට ස්ථාන මාරුවක් ලැබුණි. එහි දී ඔහුට ලැබුනේ සැහැල්ලූ ලිපිකරු රාජකාරි නිසා නිතර තම නිවස කරා යාමට ද හැකියාව ලැබුණි. යතුරු පැදියක් මිලට ගත් ඔහු නිවසේ සිට ම වැඩට එන්නට පටන් ගත්තේ ය.

හමුදාවේ සේවය කරමින් සිටිය දී යාබද ගම් ප‍්‍රදේශයක කාන්තාවක් විවාහ කරගත් අනිල්ට පුතෙකු සහ දුවක ලැබුණු අතර ඔවුහු දැන් වයස අවුරුදු 16 ක සහ 10 ක වයස්වල පසු වෙති. ගමේ පන්සලට ලැදි ව කටයුතු කළ ඔහු දහම් පාසලේ ගුරුවරයෙකු ලෙස ද සේවය කළේ ය. තම මවත් පියාත් පෝෂණය කරමින් ඔවුන්ට හොඳින් සැලකූ බව සිහිපත් කොට දෑස පිස දා ගත්තේ ය. ගමේ පොදු වැඩවල දී ත් ඉදිරිපත් වී කටයුතු කළ ඔහුට ගමතුළත් විරුද්ධාවාදීන් කොටසක් ඇති වූයේ සාධාරණත්වය ඉෂ්ඨ කිරීමට යාම නිසා බව ඔහු කියයි. දේශපාලන වශයෙන් ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් මේ අය අතර වූ නිසා තමාට එරෙහි කණ්ඩායමට යම් හැකියාවක් තිබුණු බව ද ඔහුගේ අදහසයි. මේ අතරතුර මොණරාගල තණමල්විල පැත්තට කොටි තර්ජන තිබුණු අවධියේ ආබාධිත වුවත් මෙහෙයුම්වලට සහභාගී වීමට ඔහු පසුබට වුයේ නැත. එක් වතාවක් එවැනි මෙහෙයුමක දින දහයක් පමණ යෙදී සිටිය දී ධාරානිපාත වර්ෂාවකට හසු ව සෙම්ප‍්‍රතිෂ්‍යා උණ වැළඳුනි. දින දෙකක නිවාඩුවක් ලබා ගෙන ඔහු ගෙදරට ආවේ ප‍්‍රතිකාරයක් ලබාගෙන ඉක්මණින් සුවය ලබා නැවත මෙහෙයුමට යාමේ අදහසිනි.

එම අති දුෂ්කර ගම්මානයේ රජයේ බෙහෙත් ශාලාව ඉතා කුඩා එකක් විය. එහි එක් වෛද්‍යවරියක් ද සාත්තු සේවිකාවන් තුන්දෙනකු පමණක් ද සේවය කළහ. රෝහල් භූමියේ ම කෙළවරක වෛද්‍යවරිය ගේ නිල නිවාසය තිබුණු අතර ඇය එහි ගරාජය පෞද්ගලිකව රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට යොදාගෙන තිබුණි.

නොදැමුණු අන්තර්-පුද්ගල සබඳතාව
අනිල් කියන අන්දමට සිකුරාදාවක් වූ එදින සවස 2.30 ට පමණ තද උණ නිසා ඇති වූ අපහසුතාවය නිසා අමාරුවෙන් වුවත් යතුරු පැදිය තමන් ම පදවා ගෙන මධ්‍යම බෙහෙත් ශාලාවට ගොස් ඇත. ඔහුගේ අවාසනාවට වෛද්‍යවරිය එහි සිට නැත. සාත්තු සේවිකාවකගෙන් විමසූ විට ඔහුට කියා ඇත්තේ දැන්වීම් පුවරුව බලන ලෙසයි. ‘‘අද දින සවස් වරුවේ ප‍්‍රතිකාර කරනු නො ලැබේ” යනුවෙන් දැන්වීමක් තිබුණු අතර සාත්තු සේවිකාව සහ අනිල් අතර යම් වචන හුවමාරුවක් සිදු වූ බව පෙනෙන්නට තිබුණි. කර කියා ගන්නට කිසිවක් නොමැති වූ නිසා ආපසු ගෙදර එන්නට යතුරු පැදියට නැඟී එත්දී තණමල්විල නගරයේ සිට එන බස් රථයෙන් වෛද්‍යවරිය බැස එනු පෙණිනි. ඇය ගේ අතේ බෑග් මලූ කීපයක් වූ අතර ඒවායේ හාල් සිල්ලර සහ එළවළු පිරී ඔසවා ගෙන යන්නට අපහසු තරම් බඩු තිබුණු බව ඔහු දැක ඇත. යතුරු පැදිය නවතා වෛද්‍යවරියට ළං වූ අනිල් ‘‘එක්ස්කියුස් මී ඩොක්ටර් බේත් ටිකක් ගන්නයි ආවේ බේත් ටිකක් ගන්න පුළුවන් ද?” කියා ඇසූ බවත්, එවිට වෛද්‍යවරිය තමාට වැඩ ටිකක් තිබෙන බවත් ඒ ටික අවසන් කර රෝහලට එන බවත් කියා තමාට රෝහලට ගොස් වාඩි වී සිටින්නටය යි කියූ බවත් ඔහු කියයි. සල්ලි ගියාට කමක් නැහැ ඩොක්ටර් මට ප‍්‍රයිවට් බේත් ටිකක් දෙන්නය යි ඉල්ලීමක් කළේ තමා තද උණ නිසා ඉතා අමාරුවෙන් පසු වූ නිසා බවත් අනිල් කියයි. ඒ ගැන නොසතුටට පත් වුනු වෛද්‍යවරිය ‘‘රාජකාරී වෙලාවෙ සල්ලි වලට බේත් දෙන්නෙ නැහැ ගිහිල්ලා වාඩිවෙලා ඉන්නවා” යැයි ඔහුට සැර කළ බව ද කියයි. එවිට තමා ද පෙරලා ‘‘ඒ පැත්ත වහල තියෙන්නෙ අද වැඩ කරන්නෙ නැහැ කියල බෝඩ් එකකුත් දාල තිබෙනවා” යයි කී විට කෝපාවිෂ්ඨ වූ වෛද්‍යවරිය ‘‘වැඩ කරනවා ද නැද්ද කියල තීරණය කරන්නෙ මම යි. ඒව අහන්න තමුසෙ කවුද” කියා තමාට සැරෙන් කථා කළ බවත්, එවිට ම වෛද්‍යවරිය ගේ මව කොස්ස ද රැගෙන එළියට ඇවිත් ”අයෙත් බුරාගෙන ආවා ද?” යි බැණ වැදුනේ යැයි අනිල් කියයි. අනිල් පවසන විදියට එදින උදේ තවත් කොන්දොස්තර කෙනෙකු ද මෙසේ අවුත් බැණවැදී ගොස් තිබුණු අතර අම්මා සිතා ඇත්තේ මේ ඇවිත් තිබෙන්නේත් ඔහුම ය කියා ය. අම්මා කොස්ස අරගෙන ආපසු හැරී යන විට කකුල පැටලී දණහිස තුවාල වී ඇත. ඉන් තවත් කෝපයට පත් වෛද්‍යවරිය ‘‘උඹල ඔක්කොම එන්නෙ අපිව හදන්න, උඹලට බේත් කරනවට වඩා හොඳයි තිරිසනුන්ට බේත් කරන එක” කියා දිගින් දිගට බැන වැදුනු බව ද පවසන අනිල් ආපසු ගෙදර ගොස් නිදා ගන්නට සූදානම් වී ඇත.

එකට එක කිරීම
පැය භාගයක් යන්නට පෙර පොලිස් ජීප් එකක් පැමිණ අනිල්ට වහාම පොලීසියට එන්නට කියා ඇත. යතුරු පැදියට නැඟුනු අනිල් තණමල්විල පොලීසියට ගොස් බංකුවේ වාඩි වී සිටිය දී වෛද්‍යවරියත් සාත්තු සේවිකාවන් දෙදෙනෙකුත් එහි පැමිණි අතර උප පොලිස් පරීක්‍ෂවරයෙකු පරීක්‍ෂණයක් පවත්වා ආරවුල සමථයකට පත් කිරීමට උත්සාහ ගෙන ඇත. ඊට එකඟ නොවූ වෛද්‍යවරිය නීතියෙන් දියහැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව තමා ව කූඩුවට දැමූ බවත්, පසුව දා ඇප තබා ගෙදර ආ බවත්, මාස දෙකකට පසුව නඩු මුරයකට ගිය නමුත් ආරවුල සමථ මණ්ඩලයට යොමු කළ බවත් අනිල් කියයි. සමථ මණ්ඩලයට තුන් වතාවක් ම වෛද්‍යවරිය නොපැමිණි නිසා පැමිණිල්ල ඉවත දමා ඇත.

බද්ධ වෛරය
අනිල් ලේ දන්දීමකට සහභාගි වී එතැන දී ලැබුණු වීදුරුවක දියණිය ගේ අතින් ඉරක් ගොස් තිබුණු නමුත් එය දිගට ම පාවිච්චි කොට ඇත. ආරවුල් සිද්ධියෙන් මාස කීපකට පසු ව එකී වීදුරුව සේදීමට ගිය අනිල්ගේ භාර්යාව ගේ ඇඟිල්ලක් දරුණු ලෙස කැපී තුවාල වී ලේ ගලන්නට පටන් ගැනුනි. භාර්යාවට වහා ම ප‍්‍රතිකාර කළ යුතු වූ නිසා මධ්‍යම බෙහෙත් ශාලාවට ඇය යතුරු පැදියෙන් ගෙන ගොස් ඇය වෛද්‍යවරිය වෙත යවා තමා ළමා සායනය ප‍්‍රදේශයේ රැඳී සිටියේ යම් ආරවුලක් ඇති වේ යැයි තිබූ සැකය නිසා එවැන්නක් සිදු නොවනු පිණිස ය. කෙසේ හෝ තමා සිටින බව දැනගෙන වෛද්‍යවරියත් සාත්තු සේවිකාවන් දෙදෙනෙකුත් පැමිණ ‘‘හා හාමු මහත්තය මගේ දෙපතුල ළඟට ඇවිත් තියන්නෙ” කියා ඇසුවා ම ඔහු බිම බලාගත් බව පවසයි. එවිට “උඹගෙ එදා තිබුණු කට කොහෙද” කියා තමාට දිගට ම බනින්නට පටන් ගත් විට අනිල් ‘‘අපි දෙන්නා අතර ප‍්‍රශ්නයක් ඇති වුණු බව ඇත්ත ඒක නඩු මට්ටමේ තියෙනව නේ, අද ආවේ වයිෆ් ගෙ අතේ බේත් දාන්න කරුණාකරල ඒක කරල දෙන්න යයි අනිල් කියා ඇත. අනිල් පවසන අන්දමට ‘‘තමුසෙ දැනගන්නවා, මේ රෝහලේ මම ඉන්නකල් තමුසෙ තියා, තමුසෙ ගෙ ගෑනි තියා, තමුසෙ ගෙ සනුහරේ කෙනෙකුටවත් මම බේත් දෙන්නෙ නැහැ” කියා දිගටම බැණ වැදී ඇත. ඉන් පසුව දෙදෙනා අතර උණුසුම් ලෙස වාග් ප‍්‍රහාර එල්ල වූ අතර සාත්තු සේවිකාවක් ‘‘මෙන්න හමුදාවෙන් මහ ලොක්කෙක් ඇවිත් දොස්තරවරුන්ට කථා කරන්න උගන්නනවා” කියා කෑ ගැසුවා ම, බේත් ගන්න පැමිණි අයත් රොක්වෙලා තමා සහ භාර්යාව පිට වෙත්ම ‘හූ’ කියන්නට පටන් ගෙන ඇත.

ඉතා සුළු සිද්ධියක් දුර දිග ගෙන යාමෙන් මහත් ආරවුලක් ඇති වන ආකාරය පිළිබඳ කදිම නිදසුනකි මෙය. අනිල්ට උණ සෑදී ප‍්‍රතිකාර ගන්නට පැමිණි මුල් දිනයේ දෙදෙනාම ඉවසීමෙන් කටයුතු කළා නම් එකිනෙකා ගේ තත්ත්වය එකිනෙකා අවබෝධකර ගත්තා නම් මේ ආරවුල මෙපමණ දුර දිග නොයන්නට ඉඩ තිබුණි. එදිනෙදා ජීවිතයේ දී මග තොටේ දී හෝ වේවා වැඩපලේ දී හෝ වේවා නිවසේ දී හෝ වේවා අන්‍යානය ඉවසීමේ පුරුද්ද සහ අන්‍යයන්ට ගරු කිරීමේ පුරුද්ද කොපමණ නම් වැදගත් දැයි අප අවබෝධ කර ගත යුතු ය.

එකිනෙකා පරයා යාම
අනිල් ද ඉන් නැවතුනේ නැත. ඔහු කෙලින් ම පොලිස් ස්ථානයට ගියත් පැමිණිල්ල භාරගැනීමට සිටි නිළධාරියා ඔහුට අවවාද කොට මේ කාරණය අත්හැර දමන ලෙස කියා ඇත. කෙසේ හෝ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පැමිණෙන තුරු බලා සිට කාරණය පැහැදිලි කර දී පැමිණිල්ලක් දමා ඇත. ඊට අමතර ව ඔහු දිස්ත‍්‍රික් වෛද්‍ය කාර්යාලයේ ප‍්‍රධානියාට දුරකථනයෙන් දැනුම්දුන් විට කියා ඇත්තේ එකී වෛද්‍යවරිය ගේ අවුරුදු එකහමාර තුළ මෙවැනි පැමිණිලි හතරක් ලැබී තිබෙන බවයි. වෛද්‍යවරියට එරෙහි ව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ද ඔහු කියා ඇත. පසු ව තම භාර්යාව තණමල්විල නගරයේ වෛද්‍යවරයෙකුට පෙන්වා ප‍්‍රතිකාර ලබා ගෙන හැන්දෑවෙ ගෙදර ගොස් ඇත. මේ වන විට අනිල්ට මඩුපල්ලි ප‍්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබී තිබුණු අතර පසු දින එහි යා යුතුව ඇත. ගෙදර ආ අනිල් කල්පනාවට වැටුනේ තමා මඩුපල්ලි ප‍්‍රදේශයේ රාජකාරියට ගිය පසු භාර්යාව හෝ දරුවෙකු අසනීප වුවොත් බේත් ගන්නට තැනක් නැති වීම පිළිබඳව යි. ඒ නිසා ඔහු පවසන අන්දමට වෛද්‍යවරිය සමග සාකච්ඡා කරගත යුතු යැයි ඔහු තීරණය කර ඇත.

සමථයකට
ඔහු පැවසූ අන්දමට පන්සලට ගොස් එහි ස්වාමීන් වහන්සේ ද සමග වෛද්‍යවරිය හමුවීමට යාමට පන්සලට ගියත් ලොකු හාමුදුරුවන් වහන්සේ නමක් වැඩමකර සිටි නිසා එය අසාර්ථක වී ඇත. අනිල් කියූ පරිදි වෛද්‍යවරිය හමු වන්නට එහි යද්දී තමාට විරුද්ධ ගමේ පුද්ගලයින් 8 දෙනෙකු පමණ වෛද්‍යවරිය ගේ මිදුලේ පුටු තියාගෙන සිටින බව ආරංචි වූ නිසා ආත්මාරක්‍ෂාවට කියා තමා ළඟ තිබුණු අනවසර ගිනි අවියක් ද සඟවා ගෙන එහි ගොස් ඇත. සත්‍ය වශයෙන් ම එදින හැන්දෑවේ ඔහු වෛද්‍යවරිය හමු වන්නට ගියේ කිසිදු ආරවුලක් කර ගැනීමට නොවන බවත්, දැනට පැවති අසමගිය නොවන බවත්, දැනට පැවති අසමගිය සාකච්ඡා කොට බේරා ගැනීමේ පිරිසිදු චේතනාවෙන් බවත් ඔහු දිවුරා දිවුරා කියා සිටියේ ය.

ඇවිලූණු ක්‍රෝධ ගින්න
ඒ හැන්දෑවේ වෛද්‍යවරිය පෞද්ගලික ප‍්‍රතිකාර කරන ස්ථානයට ගිය අනිල් ලෙඩුන් පෝලිමේ ඉඳිනු දුටු වෛද්‍යවරිය තමුසෙ මොකද මෙහෙ කියා බැන වදින්නට පටන් ගත් බවත්, තමා ඉතා සාමකාමී ව මේ ආරවුල සාකච්ඡා කොට විසඳා ගන්නට ආ බවත්, හාමුදුරුවන් සමග එන්න හිටියත් එය නොහැකි වූ බවත් කියද්දීත් හෙට දවල් දොළහට ඉස්සර තමුසෙගේ යුනිෆෝම් එක ගලවනවා ආදී වශයෙන් දිගින් දිගට ම බනින්නට පටන් ගත් බවත් අනිල් කියන්නේ මෙය තමා ගේ කරුමයක් පඩිසන් දුන්නා යැයි කියමිනි. ඉන් පසු තමාට දිගින් දිගට ම බැන වදිමින් වෛද්‍යවරියත් ඇය ගේ පියාත් තමා ගේ ඇඟට පැන පොර බදන්නට වූ බවත් මේ කෝලහලයේ දී පත්තු වූ වෙඩිල්ලකින් වෛද්‍යවරිය මිය ගිය බවත් ඔහු කියයි. දීර්ඝ නඩු විභාගයකින් පසුව වෛද්‍යවරිය මැරීමේ වරදට වැරදි කරු වූ අනිල් අද මරණීය දණ්ඩනය නියම වී සිර මැදිරියක කාලය ගත කරයි.

හානියේ බරපතලකම
මේ දුර දිග ගිය සුළු සිද්ධිය නිසා රටට වටිනා වෛද්‍යවරියක් අහිමි විය. රට බේරා ගැනීමේ සටන් මෙහෙයුමේ පෙරමුණ ගෙන දිවි නොතකා සටන් වැදි ත‍්‍රස්තවාදී කාලතුවක්කු වෙඩි පහරකින් තුවාල ලබා ආබාධිත වූ රණවිරුවෙකු මරණීය දණ්ඩනය අබියස සිටී. ඔහු ගේ භාර්යාව සහ අවුරුදු දහසයේ සහ දහයේ පසු වන දරුවන් දෙදෙනාට සරණක් නැති ව ගොස් ය. ඔහුගේ රැකියාවට හා වැටුපට හිමිකමක් නැත. දෙමාපියන් ද අසරණ වී සිටිති. මරණින් මත්තේ බියකරු අපා දුකකට මෙපිට මේ ලොව දී ඔහු අත්විඳින අපමණ මානසික පීඩාව කියා නිම කළ නොහැකි ය. දක්‍ෂ ක‍්‍රීඩකයෙකු ව පිටියේ දස්කම් දක්වද්දී ඔලිවරසන් දුන් අය කිසිවෙකු අද ඔහුට නැත. දහමේ පිහිට විනා ඔහුට ලබා ගත හැකි අන් සරණක් නැත.

මා මෙහි සඳහන් කළ සිද්ධිමය කරුණු පාඨකයා තේරුම් ගත යුතු වන්නේ මැදහත් ව ය. මේ සියල්ල සිරකරු මා වෙත කියා සිටි කරුණු වන අතර ඒවා තවත් පාර්ශවයකින් හරි වැරදි විමසා තහවුරු කර ගැනීමේ ඉඩක් මා වෙත නොමැත. වෛද්‍යවරිය ගේ මරණය සම්බන්ධයෙන් කවුරුත් වැරදි ද කවුරුන් නිවැරදි ද යන්න තීරණය කිරීම අධිකරණයේ බලසීමාව තුළ පවතින්නකි. මේ බහින් බස් වීම්වල දී දෙදෙනා බැණ කියූ දෑ මීට වඩා ඇතැම් විට වෙනස් වන්නට ද ඉඩ ඇත. එහෙත් අපට සමස්ත සිද්ධියෙන් කියා දෙන පාඩම් බොහෝ ය.

උඩඟුකම විනාශයට මුල වේ
තථාගතයන් වහන්සේ දෙසූ දහමට අනුකූලව අනිලූත් වෛද්‍යවරියත් කටයුතු කළා නම් මේ මහා ව්‍යසනය අත්විඳින්නට ඔවුන්ට සිදු නොවනු ඇත. දෙදෙනාම නිල තත්ත්වයක් නිසා උඩඟු වී සිටි බව බහින් බස් වීම්වල දී කියැවුණු කරුණුවලින් ගම්‍ය වේ. වෛද්‍යවරිය වෘත්තිය නිසා උඩඟු ව සියලූ දෙනා තමාට අවනත ව යටත් පහත් ව තමා කියන අයුරෙන්ම කටයුතු කළ යුතු යැයි ගර්වයෙන් පසුවන්නට ඇත. අනෙක් අතට තමා රණවිරුවෙක් ය, දක්‍ෂ ක‍්‍රීඩකයෙක් ය, ශක්තිවන්තයෙක් ය, ආදී වශයෙන් හිතා හැම විට ම තමාට ප‍්‍රමුඛතාව දිය යුතු යැයි අනිල් පුහු මතයක එල්බගෙන සිටින්නට ඇත. මේ ප‍්‍රතිවිරුද්ධ බලවේගයන් දෙක විෂම ලෙස ගැටීමෙන් සියල්ල ඉතා සෝචනීය ඉරණමකින් අවසන් විය.

දැරිය යුතු මිනිස්කම
වෛද්‍ය වෘත්තිය ලොව අති උත්තරීතර වෘත්තීන්ගෙන් එකකි. එය මුදල් ද උපයමින් පින් රැස් කර ගත හැකි වෘත්තියකි. වෙනත් ඕනෑම වෘත්තියක නියලෙන්නෙකු මෙන් ම විශේෂයෙන් වෛද්‍ය වෘත්තිකයෙකු සතු විය යුතු වූ කරුණාව, දයාව සහ මැදහත් බව මෙම සිද්ධීන් ඇසුරෙන් විද්‍යමාන නොවුණු බව පැහැදිලි ය. මහජනයාට කෙළින්ම මුහුණ දී කටයුතු කරන ඕනෑම රාජ්‍ය නිලධාරයකු තම වෘත්තියේ උගත්කම පමණක් නොව මිනිසුන් සමග කටයුතු කළ යුතු හැටි ඉගැනීමේ වටිනාකම මින් සනාථ වේ. රාජ්‍ය නිලධාරියෙකු හමුවට සේවාවක් ලබා ගැනීමට එන පිරිස් අතර විවිධ සිතුම් පැතුම් ඇති විවිධ තරාතිරම්වල අය සිටිති. ඔවුන් මැනැවින් අවබෝධ කරගෙන යහපත් මහජන සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමේ කුසලතාවක් අප සතු විය යුතු වේ. කොපමණ දක්‍ෂ නිළධාරියෙකු ගේ වුව ද අවසන් වශයෙන් සඵලතාව මනින සාධකය වන්නේ ඔහු තුළ ඇති මානව සම්බන්ධතා කුසලතාවල ප‍්‍රබලත්වය යි.
තථාගත දහමට අනුව පෙළ ගැසෙමු

අනිල් ගේ කථාව අසද්දී මට සිහි වූයේ වරෙක ගෞරවනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ දේශනාවක දී පැහැදිලි කර දුන් බුදු වදනකි. අංගුත්තර නිකායේ පළමුවැනි ග‍්‍රන්ථයේ දුක නිපාතයේ කෝධ වග්ගයේ දේශනා කීපයක් ඉස්මතු කරමින් උන් වහන්සේ යුගලයක් වශයෙන් ක්‍රෝධයත්-බද්ධ වෛරයත්, ගුණමකු කමත්, එකට එක කිරීමත්, ඊර්ෂ්‍යාවත්, මසුරුකමත්, මායාකාරීබවත්, සටකපටබවත්, බවට ලජ්ජා නැති කමත්, පවට බය නැති කමත්, මිනිස් සිත් කිළිටි කොට පුද්ගලයින් භවයෙන් භවයට දුකට පත් කරවන ආකාරය මනාවට පැහැදිලි කර දුන් සේක. ක්‍රෝධ සිත් පහළ වී ඒවා දිගින් දිගට ම පවත්වාගෙන යන විට බද්ධ වෛරයක් පටන් ගැනෙනවා. අනිල්ගේත් වෛද්‍යවරියගේත් මේ විරසකයට පතාගෙන ආ වෛරයක් නොවන්නේ ද? ක්‍රෝධ සිතින් මිය යන්නට ඇති වෛද්‍යවරිය තවත් භවයන් කීයක් මේ බද්ධ වෛරය ගෙනයාවි ද? මේ සිද්ධියේ අනෙක් බලවත් පාඩම එකට එක කිරීමේ විපාකය යි. සුළු සිද්ධියක් සිදුවුනු විට පසු පස ලූහුබඳිමින් එකට එක කරන්නට යාම මේ සිද්ධි දාමය පුරා ම දිස් වූ භයානක ලක්‍ෂණය යි. එක් කෙනෙකු හෝ මෙය අතරමග අවසානයක් කරන්නට හිත හදා ගත්තා නම් මේ ව්‍යසනය වළකාගන්නට හැකිව තිබුණි. එදිනෙදා ජීවිතයේ දී අපි කොතරම් නම් මේ වරද නොදැනුවත් වම කරන්නෙමු ද? කුඩා කල සිට දරුවන්ට එකට එක කිරීමට පුරුදු කරන්නේ දෙමාපියන් නොවේ ද? වාහනයක් රාත‍්‍රියේ පදවන අප ඉදිරියෙන් එන වාහනයක හෙඞ් එක ගැසුවොත් අපට ද හෙඞ් එක නොගසා ම බැරි ය. කෙනෙකු නුරුස්සන දෙයක් කියුවොත් ඊට ප‍්‍රතිඋත්තර හෝ ප‍්‍රහාරයක් නොදීම බැරි ය. එබඳු සුළු දෙයක් අවසන් වන්නේ කෙතරම් ඛේදනීය ලෙස ද යන්න අනිල් ගේ පුවත අපට මැනැවින් කියා දෙයි.

(මෙහි එන සියලූ නම් ගම් මන:කල්පිත ය)

ස්තුතිය
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්)
ලක්ෂ්මන් සිල්වා මහතාට.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි
ලක්‍ෂ්මන් අබේගුණරත්න මහතාට

වැලිකඩ බන්ධනාගාරයේ අතිරේක අධිකාරි
ශාන්ත ප‍්‍රනාන්දු මහතාට

සටහන
නීතීඥ සිරිපාල විරිතමුල්ල
තරුණ කටයුතු අමාත්‍යාංශයේ
හිටපු ලේකම්