සමස්තයක් වශයෙන් මානව වර්ගයා වඳ වීමේ තර්ජනයකට ලක් වී අවසන් ය. එලෙස සමස්තය වඳ වනවාටත් වඩා ශීඝ්‍රතාවයකින් සිංහල ජන වර්ගය වඳ වෙමින් සිටින බව පවසන්නට අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත. බැලූ පමණින් ම ඒ බව වටහා ගත හැකි ය. දරුවන් නොමැති වීමත්, සිටින දරුවන්ට ද වැඩිහිටියන්ට ද රෝග කාරකයක් පවා සොයා ගත නො හැකි භයානක රෝග පීඩාවන්ට ගොදුරුව ජීවත් වන්නට සිදු වීමත් නිසාවෙන් මේ අර්බුදය ඇති වුණ බව අප පිළි ගත යුතු ය.
අප ගන්නා ආහාර පාන විසින් මේ ප්රශ්නය වඩාත් සංකීර්ණ තලයකට ඔසවා තබා ඇත. අද අප මේ කථා කරන දෙය ගැන දැඩි අවධානයක් නො තිබුණ ද දැන් දැන් ම මෙයට පිළියමක් නො යෙදුවහොත් මතු දිනෙක මානව වර්ගයාගේ වඳ වීම කෙරෙහි සෘජුව ම බල පෑ හේතුවක් ලෙස මේ ගැන කථා කරන්නට සිදුවන බව නිසැක ය. ඒ අනෙකක් නොව ජාන විකෘති කරන ලද ආහාර හා බීජ හරහා ඇති වී තිබෙන ඛේදජනක වාතාවරණය යි.
දේශීය ගොවිතැනට අද මුහුණපාන්නට සිදුව ඇති භයානකම අර්බුදය පවතින්නේ බීජ සම්බන්ධවයි. මෙම අර්බුදය තේරුම් කර ගැනීම අපගේ සෞඛ්‍යයට ගුණදායක ය. මනසට සුවදායක ය. වඳ වී යන ජාතියේ සුරක්ෂිත හෙට දවස උදෙසා අතිශය වැදගත් ය. එයට හේතුව ජාන වෙනස් කරන ලද බීජවලින් නිපදවන දෙයින් අප කන්නේ කුමක් ද? අපට වන්නේ කුමක් දැයි අප ම නො දන්නා බැවිනි. ශරීරයේ ජාන විකෘති වීම කෙරෙහි ද එමඟින් පිළිකා වැනි භයානක ලෙඩ රෝග ඇති වීම කෙරෙහි ද මේ ජාන විකෘති නිෂ්පාදනයන්ගේ සෘජු සම්බන්ධයක් නැති බවට කිසිවෙකුත් සහතික නොවන බැවිනි.
අපගේ බීජ ප්‍රතිපත්තිය දේශීය ගොවිතැනට වින කිරීමට ඇති කරන ලද්දකි. මෙරට බීජ පනතක් ඇත. එම පනත සාදා ඇත්තේ උසස් ප්‍රමිතියේ බිජ නිෂ්පාදනය සඳහා බව එහි සඳහන් ය. එහෙත් එම පනතින් ආරක්ෂාව ලබන්නේ වැඩි දියුණු කරන ලද බීජ සමාගම් මිස දේශීය බීජ නො වේ. දේශීය සරු බීජ විකිණීම එම පනත මගින් නීති විරෝධී ක්‍රියාවක් බවට පත්කර ඇත.
ආනයනික බීජ මත යැපෙන කෘෂිකර්මයක් අප නිර්මාණය කර ගෙන ඇත. මෙලෙස ආනයනය කරන බීජ වැඩි ප්‍රමාණයක් ජාන තාක්ෂණය අනුව නිපදවන ලද ඒවා ය.
ජාන තාක්ෂණයේ භයානකකම මුලින් ම හඳුනාගත් රට ශ්‍රී ලංකාව විය. 2001 දී අප ජාන වෙනස් කරන ලද නිෂ්පාදනවලින් සැදූ ආහාර මෙරටට ආනයනය තහනම් කිරීමට තරම් එඩිතර වීමු. එහෙත් එම එඩිතරකම වැඩි කලක් තබා ගැනීමට ලෝක වෙළඳ සංවිධානය අපට ඉඩ දුන්නේ නැත. එම තහනම හකුළාගැනීමට අප රටට සිදු වූ අතර, 2006 දී ජාන වෙනස් කළ ආහාර මෙරටට ගෙන්වීමට ඉඩ දීමට රජයට සිදු විය. 2011 දී අප තවත් ඉදිරියට ගියේ ජාන වෙනස් කළ ආහාර සහ බීජ ගෙන්වීමට ඉඩ දෙමිනි. වෙනත් වචනවලින් කියනවා නම් 2001 දී භයානක වූ ජාන වෙනස් කළ ආහාර සහ බීජ දැන් හොඳ ය. ‘‘කන්නට වුවමනා වූ විට කබරගොයාත් තලගොයා වීමේ” ගැමි වදන මෙහි දී මතකයට නැගේ.
කුමක් ද මේ ජාන තාක්ෂණය?
ඉතා කෙටියෙන් කියනවා නම් ඕනෑ ම ජීවියකුගේ ජාන රසායානගාර තාක්ෂණ ක්‍රමයකින් හඳුනා වෙන්කොට ගෙන ඒවා බැක්ටීරියා හෝ වෛරස් ද්‍රාවණයක රසායනාගාරයක් තුළ වර්ධනය කිරීමේ ක්රමවේදයයි. අනතුරුව එම ජානයන් මුළුමනින් ම වෙනත් වර්ගයක ජීවී කොට්ඨාසයක සිරුරට ඇතුළත් කිරීම ජාන තාක්ෂණයයි. මිනිසුන්ගේ ජාන ඌරන්, බැටළුවන්, මාළුවන් වැනි සත්වයන්ට ඇතුළු කෙරෙන්නේ මෙලෙස ය. අධික ශීතල කාලගුණ තත්ත්වයන් යටතේ කැරට් වගා කිරීම සඳහා උත්තරධ්රැවයේ අධික ශීතල දරාගත හැකි සීල් මත්ස්‍යයන්ගේ ජාන කැරට් තුළට ඇතුළත් කරන්නේ මෙම තාක්ෂණයෙනි.
ජාන තාක්ෂණය අනුව විකෘති කරන ලද ආහාරවල සුරක්ෂිත බව තහවුරු කළ නො හැකි බව බොහෝ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. මෙය පැහැදිලි කර ගත හැක්කේ මෙසේ ය. එක් ජීවියකුගෙන් ලබා ගන්නා ජානයක් තවත් ජීවීයකුට ඇතුළත් කිරීමට පෙර බැක්ටීරියා හෝ වයිරස් ද්‍රාවණයක වර්ධනය කර ගත යුතු ය. ඇතුළත් කරන ලද ජානය වර්ධනය වීමේ දී එම බැක්ටීරියා සහ වෛරස්වල ද ගුණාංග ක්ානය විසින් එතුළට ඇතුළත් කර ගැනීම මෙම ගැටලූවයි. එමනිසා තවත් ජීවියකු තුළට ඇතුළත් කරන ජානය මුල් ජානය ම නො වේ. කිසිවකුත් නො දන්නා ගුණාංග සහිත බැක්ටීරියා සහ වෛරස්වලින් දූෂිතවූවකි.
මෙහි ප්‍රතිඵලය වන්නේ,
x කලින් දැන ගත නො හැකි අලූත් ජාන ප්රභෙදයන් නිර්මාණය වීම.
x රෝග කාරක නව වෛරස් සහ බැක්ටීරියා නිර්මාණය වීම.
x ඖෂධ සහ ප්රතිජීවකවලට ඔරොත්තු දෙන ජානයන් සහිත බැක්ටීරියා සහ වෛරස් සුව කළ නො හැකි රෝග තත්ත්වයන් ඇති කිරීම.
x මෙතෙක් නිදා සිටි වෛරස් අවදි කිරීම තුළින් සුව කළ නො හැකි රෝග තත්ත්වයන් ඇති කිරීම.
x පරිසරයට මුදා හැරීමෙන් පසු සිදුවන අහිතකර ප්‍රතිඵල කිසිවකුට විපරමක් කළ නො හැකි වීම.
ජාන තාක්ෂණය ලොව විශාලම බීජ නිෂ්පාදන සමාගම්වල අධිකාරයකි. මේ සමාගම් කෙතරම් බලවත් ද යත් ඇමරිකානු කෘෂි ප්‍රතිපත්තිවලට පවා බලපෑම් කළ හැකි ඒවා ය. එම නිසා එහි අහිතකර ප්‍රතිඵල ගැන තොරතුරු කිසිවිට මහජනතාවට හෝ රාජ්‍ය ප්‍රතිපත්ති සකසන අයගෙන් වසන් කිරීමට ඔවුන් දක්ෂ ය. ඒ, මේ හා සම්බන්ධව කටයුතු කරන සියලූ විද්‍යාඥයන් ඔවුන්ගේ වැටුප් ලබන්නන් වන බැවිනි.
දැනට ජාන වෙනස්කර වඩාත් ම වගා කරන ආහාර නම් සෝයා, ඉරිඟු, කැනෝලා, තක්කාලි, අර්තාපල් ආදි මහා පරිමාණයේ වගාවන් ය. ඔබ ආනයනික කිරි සහ මස් නිෂ්පාදන මිල දී ගන්නේ නම් එම ආහාරවල ජාන වෙනස් කර තිබීමේ ඉඩකඩ වැඩි ය. ළදරු කිරි ආහාර නිෂ්පාදන මෙයින් භයානකම ඒවා ය.
එක් උදාහරණයක් පමණක් සටහන් කරමි. ‘ගර්බර්’ (Gerber – මෙම සමාගම වෙනත් ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක ය.) කිරි නිෂ්පාදනවල ජාන විකෘති කරන ලද අමුද්‍රව්‍ය අඩංගු බවට ඇමරිකානු ජනතා විරෝධය නිසා ඒවා වෙළඳපළින් ඉවත් කර ගැනීමට එම සමාගමට සිදු විය.
(CNN – http://articles.cnn.com/1999-08-04/nature/9908_04_gerber.enn_1_food-chain-baby-food-soy?_s=PM:NATURE )
මෙහි අතීත කතාව ඉතා අමිහිරි ය. විකෘති කරන ලද ජාන සහිත සෝයා ඇතුළත් කොට මෙම සමාග ම තැනූ ළදරු ආහාර නිසා ළදරුවන්ට, වැඩිහිටි කතුන් තුළ දක්නා ශරීරාබාධ ලක්ෂණ මතු වීම එම කතාවයි.
අප ගන්නා ආහාරවල අඩංගු දැය සම්බන්ධව දැන ගැනීමට අපට අයිතියක් ඇත. එහෙත් ජාන විකෘති කරන ලද බීජවලින් ලැබෙන අස්වැන්න කුමක් දැයි අපට දැන ගැනීමට ක්‍රමයක් නො මැත. ඔබ එළවළු පමණක් කෑමට කැමැති අයකු වන්නට පුළුවන. එහෙත් ඔබ අනුභව කරන තක්කාලි, කැරට්, සෝයාවල සත්ව ජාන තිබෙන බව ඔබට දැන ගන්නට ලැබුණොත් ඔබට සිතෙන්නේ කුමක් ද? මෙය එකඟවන්නේ කුමන සදාචාරයට ද?
දේශීය බීජවල අගය අපට වැටහෙන්නේ මෙවිට ය. එහෙත් ඒ මොහොත එළඹෙන තුරු ම අප දේශීය බීජ වඳ වී යන අයුරු බලා සිටිනවා ද?
හරිත සටහන
කේ. ඒ. ජේ. කහඳව
Recent Comments