‘වැලන්ටයින් වසංගතය’ අපේ රටට ආවේ මොන කාලෙ ද කියන එක මට නම් මතකයක් නෑ. රටේ සදාචාරයට වඩා තමන්ගේ ජනප්‍රියත්වය බොහොම ඉහළින් සලකපු මාධ්‍ය ජාවාරම්කරුවන් මේ වැලන්ටයින් ආගමනය පිටුපස ලොකු භූමිකාවක් රඟපාපු බව ප්‍රකට කාරණාවක්. රුසියාවේ මිය ගිය වැලන්ටයින් පූජකවරයා ලංකාවේ තවමත් ජීවත් වෙන්නේ ඒ ‘මාධ්‍ය වීසාවල’ අනුමැතිය නිසයි. යම් දවසක මාධ්‍යයන් තුළින් ම වැලන්ටයින්ට වැට බැඳුණොත් ආවටත් වැඩිය ඉක්මනින් වැලන්ටයින් අපේ රටින් යවන්න පුළුවන් කියන එකත් විශ්වාසයි. ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ. මොකද වැදගත් වෙන්නෙ ‘මුදල්’ මිසක, රට, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ සභ්‍යත්වය නො වන නිසා.
ඒ වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා ලෙස බටහිර ජාතීන් අපට හඳුන්වා දුන්න කෙනා ගැන නො වුණත් දැන් මේ කියන්න යන්නෙත් ‘වැලන්ටයින්’ ගැන කථාවක් ම යි. මේ වැලන්ටයින් තමයි, ‘ක්ලෙරොඩන්ඩ්රම් වැඩිරිලෝකුලරේ’ කියන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ආදරවන්තයන්ගේ මල් ගස වූ ‘වැලන්ටයින් ශාකය’.
පෙබරවාරි මාසයේ මලින් බර වෙන මේ ගස ඔබත් දැක ඇති. අඩි 15ක් තරම් උසකට වැවෙන මේ ගසේ පත්‍ර අඩි භාගයක් තරම් දිගයි. මතුපිට කොළ පැහැයක් ගන්නා පත්‍රවල යටිපැත්ත තද දම් පාටයි. ඒ පත්‍රවල පැහැය ගසට සුන්දරත්වයක් වගේ ම පහසුවෙන් මේ ගස හඳුනා ගැනීමේ ඉඩ ප්රස්ථාවකුත් සලසා දෙනවා. වැලන්ටයින්ට දිනයක් වෙන්කරපු පෙබරවාරි මාසයේ මලින් පිරී යන නිසා ම තමයි මේ ගසත් වැලන්ටයින් නමින් හඳුන්වන්නේ. පිලිපීනය නිජ භූමිය කර ගත්තු මේ ගස පිලිපීන් ෆයර් වර්ක්ස්, පිලිපීන් ග්ලෝරිබෝවර්, ස්ටාර්බර්ස්ට් කියන නම්වලිනුයි ලොව පුරා ප්‍රචලිත වී තිබෙන්නේ.
වැලන්ටයින් ආදර වසංගතය යුරෝපයෙන් අපිට එද්දි, වැලන්ටයින් ගස අපිට ආවේ මැලේසියාවෙන්. තතු දන්නෝ නම් කියන්නේ මේ ගස අපේ රටට ගෙනාවේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගනයේ ස්වභාවික සෞන්දර්යය නංවාලීමේ අරමුණින් කියලයි. ඒ අරමුණ නම් ඒ ආකාරයෙන් ම ඉෂ්ට වුණා. වැලන්ටයින් ගසක් මලින් බර වුණා ම තිබෙන සුන්දරත්වය නිසා ම බොහෝ දෙනෙක් මේ මල් පැළයක් කොහොම හරි තමන්ගේ ගෙවත්තේ හිටවා ගන්නත් උත්සාහ කළා.
අනෙක් ගස් වගේ නෙමෙයි, මේ ගස් පුංචි ම පුංචි මුල් කැබැල්ලෙනුත්, අතු කැබැල්ලෙනුත් පැළ කර ගන්න පුළුවන් වුණ නිසා බොහොම ඉක්මනින් මේ පැළ ව්‍යාප්ත වුණා. ඒ වගේ ම ගහේ මල් පිපුණට පස්සේ හට ගන්න ගෙඩිය ආහාර කර ගන්න කුරුල්ලන්ගේ ආමාශය තුළ මේ වැලන්ටයින් බීජ ජීර්ණය නො වී ඉතුරු වුණා. ඉතිං කුරුල්ලෝ මළපහ කරද්දි පිට වුණ ඒ බීජ මඟින් කුරුල්ලන් ගැවසෙන හැම දිශාවක ම වැලන්ටයින් අරක් ගත්තා. උෂ්ණ දේශගුණයට වගේ ම ශීත දේශගුණයටත් එක සේ ම ඔරොත්තු දෙන්න පුළුවන්වීම නිසා රට පුරා පැතිරී යන්න වැලන්ටයින් ගහට ඒ තරම් කාලයක් උවමනා වුණේ නෑ. හරියට සංස්කෘතික, සදාචාර හැම බැම්මක් ම බිඳ දමාගෙන ‘ආදරණීය වැලන්ටයින්’ අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ටික කලෙකින් පැතිරී ගියා වගේ ම යි….
වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වෙනව. ඒ වගේ ම වැලන්ටයින් ගස අපේ ස්වභාවික ශාක උරුමයට කරන්නෙත් දැවැන්ත හානියක්. එහෙම වුණේ වැලන්ටයින් අතිශයින් ආක්‍රමණශීලී ශාකයක් වීම නිසයි. බොහොම දුර්ලභ වූ ශාක සම්පතකින් සැදුම්ලත් අපේ රටේ මේ ආක්‍රමණශීලී ශාකයේ පැතිර යාම ඉතා ශීඝ්‍රයෙන් සිදු වුණ නිසා වඳ වෙමින් පැවති ශාක වඩාත් අවදානමකට මුහුණ දී අවසන්. ජීවත්වෙන්න මිනිස්සු තරග කරනවා වගේ ම අනෙකුත් ජීවීනුත්, ශාකත් තරග කරනවා. ඒ ඒ පරිසර තත්ත්වයන්ට වඩාත් ම ඔරොත්තු දෙන්න පුළුවන් අය තමයි එයින් දිනන්නේ. ඉතින්, අපට ආවේණික වූ අපේ ශාක වැලන්ටයින්ට පැරදෙන්නේ ඔය තරගයේදි.
අපට වැලන්ටයින් ගස් එවපු මැලේසියාව මේ උවදුරේ භයානකකම තේරුම් අරගෙන ඒ ගස් වඳ කරන්න පටන් ගත්තා. මැලේසියානු රජයට ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වැය කරන්නත් සිද්ධ වුණා. හැකි ඉක්මනින් අපි මේ ගස වඳ කරන්න මුල නො පිරුවොත් අපිටත් අනාගතයේ සිද්ධවෙන්නෙ ඔය දේ ම යි. අනෙක එහෙම වෙද්දි අපේ උරුමය වූ ශාක මොන තරම් වඳ වෙලා, නැත්තට ම නැති වෙලා යයි ද? බලාගෙන යද්දි කොයි වැලන්ටයිනුත් එකයි නේ ද?
මේ ගැන අප පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පාලනාධිකාරියෙන් කළ විමසීමක දී ඔවුන් පැවසුවේ මේ ශාකයේ මල් ආශ්රිත පරාග මඟින් පිළිකාකාරක රසායනිකයන් නිකුත් කෙරෙන බවට ද සාධක ලැබීමෙන් පසු උද්භිත උද්‍යානයෙන් සියලූ ම වැලන්ටයින් ගස් කපා පුළුස්සා ඉවත් කළ බවක්.
අපේ රටට, අපේ දෙයට, අපේකමට ඇළුම්කරන, ගරු කරන සියලූ දෙනා ම කළ යුතු ව තිබෙන්නෙත් මේ දේ ම යි. තවත් කල් නො යවා මේ ආක්රමණකාරී ශාකය අපේ පරිසර පද්ධතියෙන් පිටුවහල් කළ යුතු ම යි. මේ දවස්වල මලින් සැරසී තිබෙන නිසා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන මේ ගස් කපලා, පුළුස්සා දමන එක වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් වෙයි.
ලස්සන මල් පිපෙන අපේ ගස් වැල් අපිට ඕනෑ තරම් තිබෙනවා, ඒ ගස්වැල් වෙනුවෙන් මේ ගහට සමුදෙන්න ශී‍්‍ර ලාංකික ඔබේත්, මගේත් වගකීමක් තිබෙන බව අමතක කරන්න එපා!
වැලන්ටයින් සටහන
හරිත කරල්ලියැද්ද
Recent Comments