ඇය…
හුරතල් දියණියකි,  දයාබර සොයුරියකි
අහිංසක පෙම්වතියකි,  සදාදර බිරිඳකි
සෙනෙහබර මවකි, පින්බර මිත්තනියකි
මෙලෙසින් ඇය
තනන්නීය හෙට දවස හිනැහෙන නව ලොවක

ලොවක හෙට දවස සුරකිනා – දැයක ගුණ සුවඳ පතුරනා
ඒ සුපින්වත් ලඳුන් ගේ සොඳුරු පහන් පියසට ගොඩව
ගුණ සුවඳ විඳිනු මැන දරනු මැන
දේශයේ සුපින්වත් යශෝධරාවෙනි…

ලිප්ටන් වටරවුමේ සුපුරුදු පරිදි අධික වාහන තදබදයක්. උද්ඝෝෂණකරුවන් ගේ ප‍්‍රකට තිප්පලක් වන මෙහි උද්ඝෝෂණ හෝ වාහන තදබදය අරුමයක් නෙවෙයි. ඒත් මේ කියන දවසෙ බෝඩ් උස්සගෙන කෑ ගසමින් හිටියෙ කාන්තාවන් පිරිසක්. ටිකක් වෙනස් දෙයක් නිසා දෑස් දෙකන් දිගු කොට මඳක් විපරම් කරන්නට හිතුනා. ‘කාන්තාවන්ට සම අයිතීන් තහවුරු කරනු’ – ‘වැටුප් විෂමතා ඉවත් කරනු’ -‘ගෘහස්ථ හිංසනය නවතනු’ – ‘දේශපාලන නියෝජනය 50-50 කරනු’… තව කතා ගොඩයි. උපන් සංවේගයත් සමඟින්ම හිත බර කල්පනාවක නිග්මන වුණා.

‘‘හිත සමාධිමත් නම් අපේ ගෑණුකම ගැන මොකක් කරන්ට ද? මේ ධර්මයත් හොඳට විදර්ශනා කරල නුවණ දියුණු කරගත්තහම ඔය ගෑණුකම මොකක් කරන්ට ද?’’ ඒ අමා නිවන් දුටු සෝමා මහරහත් තෙරණිය ගේ ඒ උදාර වචන මනසේ රැව් පිළි රැව් දෙන්නට වුණා. එදා එනත හිටපු අයගෙන් එක්කෙනෙක්වත් ඒ අභිමානවත් ප‍්‍රකාශය අසා තිබුනා නම්…  දුර්ලභව ලැබුනු මිනිසත් භවය මේ විදියට නිස්කාරනේ රස්තියාදුකර නො ගන්ට තිබුනා. බලන්න ධර්මය නෑසූ කල තිබෙන අනතුර…  අසරණකම. අපි කොයිතරම් නිවනට කැමති වුනත්,  නිවන පිණිස වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය නො කළොත් අපට ඒ කරා ළඟාවෙන්න හැකියාවක් නැහැ… ඒ වගේ ම තමයි අපට මොන තරම් අවශ්‍යතා, ඉල්ලීම් තිබුණත් ඒවා ලබාගැනීමේ නිවැරදි ප‍්‍රතිපදාවක් අනුගමනය නො කළොත් ඒව පුස් වෙඩි වගේ තමයි. අපි කොයිතරම් කෑ ගැහුවත් වැඩක් නෑ.

බොහොමයක් දෙනා මේ ‘ස්ත‍්‍රී භාවය’ දකින්නෙ බොහොම ඍණාත්මක විදියට. කාන්තා-පිරිමි දෙපාර්ෂවය ම. ස්ත‍්‍රී පාර්ෂවයෙන් සැලකුවොත් ඒක හීනමානයක්. පුරුෂ පාර්ෂවයෙන් ඒක අවතක්සේරුවක්.  අපට කිසිසේත් ම බාහිර රූපයෙන් පුද්ගලයකු ගේ හැකියාව නිර්ණය කරන්න පුළුවන්කමක් නැහැ.  යම් පුද්ගලයෙක් බුද්ධිමත් නම්,  ප‍්‍රඥාවන්ත නම්,  ලෝක සත්‍ය ධර්මය අසා දැන ඇත්නම් ඔහු හෝ ඇය සැබැවින් ම භාග්‍යවන්ත යි. පුණ්‍යවන්ත යි.  ඒ අය බොහොම සරල යි.  ඒ තමයි සුවිශේෂ ම ලක්ෂණය. මේ හරසුන් ඉල්ලීම්, සටන් පාඨවලින් ඒ අයට වැඩක් නැහැ. මොකද එයාල ජීවිතයෙ, ජීවත්වන ලෝකයෙ සැබෑ තත්ත්වයට සංවේදී යි. එයාල ඒ යථාර්ථයට මුහුණ දෙන්නෙ හදවතින් හැඟීම්වලට වහල් වෙලා නෙවෙයි. බුද්ධියෙන් ප‍්‍රඥාවට මුල් තැන දෙමින්. ඒ නිසාමයි එයාල නිදහස්…  නිවහල්. සැබෑ විමුක්තිකාමියා ගේ ආරම්භයත් එතන ම යි.

කාන්තාවක් වශයෙන් හෝ පුරුෂයෙකු වශයෙන් මෙලොව එළිය දැකීම සිදුවන්නේ අප පෙර කළ කර්ම විපාක නිසා. හේතුවක ඵලයක් විදියට. නමුත් එය මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර භාවයකට පත්වීමට බාධකයක් වන්නේ නැහැ. එය බාධකයක් කරගත යුතු ත් නැහැ. ඒ සියල්ල රඳාපවතින්නෙ අපි මනසින් සිතා සිදු කරන්නා වූ ක‍්‍රියා පටිපාටියට අනුව යි. සමාජය තුළ කිසිදු ආකාරයේ පිළිගැනීමකට ලක් නොවූ දිළිඳු කාන්තාවන්, ඔවුන් අනුගමනය කරන ලද යහපත්,  ඳුරදර්ශී, ධනාත්මක වැඩ පිළිවෙලවල් හේතුවෙන් සමාජයේ බොහෝ වැදගත්, ඇසූ පිරූ තැන් ඇති උදවිය බවට පත් වූ අවස්ථා අපි කොතෙකුත් නම් අසා තිබෙනව. නමුත් බොහොමයක් දෙනා මේ දේවල් උදාහරණයට නො ගෙන තමාට අවැසි දේ අනුහසින් ලැබෙන තුරු බලා හිඳ,  එය නොලැබුනු කළ සියළු දෙනාට දෙස් දෙවොල් තැබීම යි සිදුකරන්නේ.  සමහරු දන්නෙ නැහැ තමාට අවශ්‍ය කුමක් ද කියලවත්. ඒක බොහොම අසරණ, සෝචනීය තත්ත්වයක්. ඒ වගේ ම මේක ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛ ආසියාතිකරයට සුවිශේෂී වූවක්.

අපි හැමෝම අහල තියෙනව උත්තරා ගෙ කථාව. මිටි-කුදු කෙනෙක් නිසා එයාව හැඳින්වූවේ ‘ඛුජ්ජුත්තරා’ කියල යි. සාමාවතී බිසවගෙ දාසිය හැටියට යි ඇය සේවය කළේ. නමුත් ඇය බුදුසමිඳුන් ගේ උත්තරීතර ධර්මය අසාල ඒ ධර්මයේ හික්මී උතුම් මාර්ගඵල සාක්ෂාත් කළා. ඒ වගේ ම සාමාවතිය ප‍්‍රමුඛ පන්සියයක් කුමාරිකාවන් හට උතුම් මාර්ගඵල සාක්ෂාත් කිරීමටත් උපකාර වුණේ ඇය ම යි.

“මම ගැහැණියක්… ඒ මදිවට මම දාසියක්…” කියන හීනමානයට ඇය පත්වුණා නම් සතර අපාය අදටත් එයාට විවෘත යි. නමුත් ඇගේ ධනාත්මක චින්තනය සහ ධෛර්යවත් චිත්ත ශක්තිය ඇයට හිමි තැන ලබාගන්න ඉවහල් වුණා. සතර අපායෙන් මිදී සසර පුරාවට ම ආරක්ෂාව සලසා ගනිමින්.

අද බොහොමයක් දෙනා නගන මැසිවිල්ලක් තමයි අපට තියෙන වැඩ රාජකාරිත් එක්ක මේ ධර්මය ඉගෙනීම, ධර්මයේ හැසිරීම කොහේ කරන්න ද කියන එකග ඔබ අහල තියෙනව නේ ද විශාඛා මහ උපාසිකාව ගැන…? පුංචි සංධියෙදි ම යි උතුම් සෝවාන් ඵලයට පත්වුණේ. විවාහ වුණේ වයස දහසයේ දි. දරුවො විස්සකට වඩා බිහිකර, ආදරයෙන් රැකබලාගත්ත අම්ම කෙනෙක්. සිටු පවුලක දේවියක්. බොහොම ඉහළ පැළැන්තියේ අය ව යි ඇසුරු කළෙත්. පවුලේ වැඩකටයුතු සියල්ල ම පාහේ හොයල බැලූවෙත් ඇය ම යි. දෙමාපිය නෑදෑ හිතවතුන් වගේ ම මෙහෙකරුවන් ගේ ත්, ගෙදර දොරේ ඇතිකරන සතුන් ගේ ත් සුවදුක් ඈ නිතර සොයා බලන්නට වුණා. නිකමට හිතල බලන්න ඇය කොයිතරම් කාර්ය බහුල ජීවිතයක් ගතකරන්නට ඇති ද කියල. නමුත් විශාඛාව අපට බොහොම ආදර්ශවත් චරිතයක්. ඇය විවාහ වුණේ මිථ්‍යාදෘෂ්ටික සැමියකු සමඟ යි. නමුත් ඇයට හැකිවුණා මුළු පවුල ම තිසරණයේ පිහිටුවීමට. ඒ වගේ ම ඇය ගේ නෑ හිත මිතුරනුත්. බලන්න ඇය කොතරම් එඩිතර, උදාර කාන්තාවක් ද කියල. ඒ වගේ ම ඇය මේ බුද්ධ ශාසනයේ අග‍්‍ර දායිකාවත් වුණා.

ඉතින් සුපින්වත් නැඟණිවරුනේ,

ඔවුන් එදා ඒ ලෙසින් තම ජීවිත තුළ සාර්ථකත්වය ළඟා කරගනු ලැබුවේ ඒ උතුම් දහම තුළින්. අද අපටත් ඒ පරම නිර්මල දහමේ සුවඳ විඳින්නට වාසනාව උදාවෙලා තියෙනව. ඒ උතුම් දහම අපට කියාදෙන පරම කල්‍යාණ මිත‍්‍රයන් අපට හමුවෙලා තියෙනව. ඉතින් ඇයි තවත් ප‍්‍රමාද…? මේ මායාවලින් පිරීගත් ලෝකයේ, ඒ මායා තුළ අතරමංව සසර තුළ මංමුලා නොවන්නට මේ දහම තුළින් පිහිට පිළිසරණ ලැබේවා…!!!