33 පරිච්ඡේදය
රජවරුන් දස දෙනා
55. දමිළයන් සත් දෙනා අතරින් එක් අයෙක් සෝමා දේවිය ව (දැක ඇය ව) ගෙන වහා පිටරටට ගියේ ය.
56. (තවකෙක්) අනුරාධපුරයේ තිබූ දසබලයන් වහන්සේගේ පාත්‍රය ගෙන එයින් සතුටු වූයේ වහා එතෙර ගියේ ය.
57. පූළහත්ථ නම් දෙමළ තෙමේ බාහිය නම් දමිළයා ව සේනාපති කොටගෙන තුන් වසරක් රාජ්‍යය කරවූයේ ය.
58. බාහිය තෙමේ ඒ පූළහත්ථ අල්වාගෙන දෙවසරක් රාජ්‍යය කළේ ය. පණයමාර තෙමේ ඔහුට සේනාපති වී ය.
59. පණයමාර තෙමේ ඒ බාහිය තෙමේ ව අල්වාගෙන සත් වසරක් රාජ්‍යය කරවී ය. පිළයමාරක තෙමේ ඔහුට සේනාපති වී ය.
60. පිළයමාරක තෙමේ පණයමාර තෙමේ ව අල්වාගෙන සත් මසක් රාජ්‍යය කරවී ය. දාඨිය තෙමේ ඔහුට සේනාපති වී ය.
61. පිළයමාරක තෙමේ ව අල්වාගත් දාඨිය නම් දමිළ තෙමේ දෙවසරක් අනුරාධපුරයේ රාජ්‍යය කරවී ය.
62. මෙසේ ඒ දමිළ රජුන් පස් දෙනාගේ (රාජ්‍ය පාලනය) දහතුන් වසරකට සත් මසක් වැඩි වී ය.
63. (තනසීව නම් වූ) ඔහුගේ නිවසට ගිය අනුලා දේවියගේ පැසට තනසීවගේ බිරිඳ පයින් ගැසුවා ය.
64. ඕ තොමෝ කිපී හඬමින් රජු වෙත පැමිණියා ය. ඒ අසා තනසීව තෙමේ දුන්න ගෙන නික්මුණේ ය.
65. ඔහුගේ ආගමනයට පෙරාතුව දේවියගේ බස් ඇසූ රජ තෙමේ කුමාරවරු දෙදෙනා ද දේවිය ද ගෙන එතැනින් නික්මුණේ ය.
66. මහාසීව තෙමේ දුනු සන්නද්ධ ව එන (තන)සීව තෙමේ ව විදිනු ලැබුවේ ය. රජ තෙමේ (‘මම වළගම්බා වෙමි.’ යි) නම අසන්නට සලස්වා ජනයා රැස් කළේ ය.
67. මහත් වූ, යෝධයන් යැයි සම්මත වූ සෙනෙවියන් අට දෙනෙකු ද ලැබුවේ ය. පෙරහර ද පිරිවර ද මහා ආශ්චර්යය ද ඇති රජ තෙමේ
68. මහා යසස් ඇති කුම්භීලක තිස්ස ස්ථවිරයන් වහන්සේ ව දැක වලස්ගල විහාරයේ බුද්ධ පූජාව කරවී ය.
69. ආකාශ චෛත්‍යයේ මළුව පිරිසිදු කරනු වස් නැගුනු කපිසීස නම් (රජුගේ) ඇමතිවරයා බසිනා කල්හි රජ තෙමේ
70. දේවිය සමඟ (මළුව) උඩට නැගෙන්නේ (කපිසීස) මඟ හිඳ සිටිනු දැක (මා හමුවේ) “වැතිර නො ගත්තේ ය.” යි කිපී කපිසීස ව මරා දමන ලද්දේ ය.
71. ඒ හේතු කොටගෙන සෙසු ඇමතිවරු සත් දෙනා රජු කෙරෙහි කලකිරී රජු වෙතින් පලා ගොස් කැමති පරිද්දෙන් යන්නේ
72. මඟ දී සොරුන් විසින් කොල්ල කනු ලැබ හඹුගල් වෙහෙරට පිවිස බහුශ්‍රැත වූ තිස්ස තෙරුන් වහන්සේ ව දුටුවෝ ය.
73. සතර න්‍යාය හදාළ ඒ තෙරණුවෝ ලද සැටියෙන් වස්ත්‍ර ය, පැණි ය, තෙල් ය, සහල් ය යන ආගන්තුක සත්කාරයන් දෙවන ලදහ.
74. ඒ ස්ථවිරයන් වහන්සේ නුසුදුසු කාලයේ “කොහි යන්නේ ද?” යැයි විමසූහ. ඒ ඇමතිවරු තමන් (අසවල්ලු යැයි) ප්‍රකාශ කොට (රජු පිළිබඳ) පුවත දැන්වූහ.
75. “බුද්ධ ශාසනයට අනුග්‍රහ කළ හැක්කේ කවුරුන් සමඟ එක්ව ද? දමිළයන් සමඟ ද? නැතහොත් රජු සමඟ ද?” කියා (ස්ථවිරයන් වහන්සේ විසින්) විමසනු ලදුව ඒ පිරිස
76. “රජු සමඟ” යැයි කීවෝ ය. මෙසේ ඔවුන් විසින් කළ යුත්ත අඟවා තිස්ස, මහා තිස්ස යන ස්ථවිරයන් වහන්සේලා ඔවුන් රැගෙන එතැනින්
77. රජු සමීපයට පමුණුවා ඔවුනොවුන් කමා කරවූහ. රජ තෙමේ ද ඒ අමාත්‍යවරු ද ස්ථවිරයන් වහන්සේලාට මෙසේ ආයාචනය කළහ.
78. “කටයුතු සිදු වූ කල, එසේ ම දූතයන් එවූ කල අප වෙත පැමිණෙනු මැනැවි.” ඒ ස්ථවිරයන් වහන්සේලා (“එමි” යි) ප්‍රතිඥා දී පෙර ස්ථානයට වැඩම කළහ.
79. මහා යසස් ඇති රජ තෙමේ අනුරාධපුරයට පැමිණ දාඨිය නම් දමිළ තෙමේ නසා තමන් රාජ්‍යය කරවී ය.
80. ඉක්බිති ඒ රජ තෙමේ ඒ නිගණ්ඨාරාමය බිඳ දමා එහි පිරිවෙන් දොළසක් ඇති විහාරයක් කරවී ය.
81. මහා විහාරයේ පටන් ගැන්මෙන් දෙසිය දාහත් වසරකුත් මාස දහයක් සහ
82. දස දිනයක් ඉක්ම ගිය කල්හි (තෙරුවන් කෙරෙහි) ආදර සහිත වූ ඒ රජ තෙමේ අභයගිරි විහාරය පිහිටුවන ලද්දේ ය.
83. ඒ ස්ථවිරයන් වහන්සේලා කැඳවා පෙර උපකාර කළා වූ මහා තිස්ස ස්ථවිරයන් වහන්සේට මානාදායක රජතෙමේ ඒ විහාරය දුන්නේ ය.
84. යම් හෙයකින් ගිරි නම් වූ තැනැත්තෙකුගේ ආරාමය වී ද යම් හෙයකින් අභය නම් රජ තෙමේ විහාරය කරවන ලද්දේ වී ද එහෙයින් ඒ විහාරය නමින් අභයගිරි වී ය.
85. ඒ රජ තෙමේ සෝමා දේවිය ගෙන්වාගෙන පෙර තනතුරේ තබන ලද්දේ ය. එය නම් කොට සෝමාරාමය කරවී ය.
86. ඒ උතුම් කාන්තා රත්නය රථයෙන් බසිද්දී කදම්බ මල් ගොමුවේ සැඟවී හිඳ
87. අතින් මාර්ගය වසාගෙන මුත්‍රා ක්රන සාමණේරයන් වහන්සේනමක් දුටුවා ය. රජ තෙමේ ඒ අසා එහි ද විහාරයක් කරවී ය.
88. මහා සෑයට උතුරු දෙසින් උස් බිම් ඇති ඒ ස්ථානයේ ගල්හෙබකඩ නම් සෑයක් ද රජු විසින් කරවන ලද්දේ ය.
89. ඒ යෝධයන් සත් දෙනා අතරින් උත්තිය නම් තැනැත්තේ නගරයට දකුණු දෙසින් දක්ෂිණ නම් විහාරයක් කරවී ය.
90. මුලාව තෙමේ ද එහි ම විහාරයක් කරවී ය. මූල නම් ඇමති තෙමේ ද විහාරයක් කරවී ය.
91. සාලිය නම් ඇමති තෙමේ සාලිය විහාරය කරවී ය. පර්වත නම් ඇමති තෙමේ පර්වත විහාරය කරවී ය.
92. තිස්ස නම් ඇමති තෙමේ උත්තර තිස්සාරාමය කරවී ය. (ඒ ඇමතිවරු) රම්‍ය වූ විහාරයන් කොට නිමවා තිස්ස ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ
93. “ඔබ වහන්සේලාගේ උපකාරයෙන් අප විසින් කරවන ලද්දා වූ විහාරයන් ඔබ වහන්සේලාට දෙමු.” යි කියා පුදන ලද්දෝ ය.
94. ස්ථවිරයන් වහන්සේ ඒ සෑම ස්ථානයක ම සුදුසු වූ පරිද්දෙන් ඒ ඒ භික්ෂූන් වහන්සේලා වාසය කරවූහ. අමාත්‍යවරු ශ්‍රමණ සාරුප්‍ය වූ නොයෙක් පිරිකර සංඝයා වහන්සේලාට දුන්නෝ ය.
95. රජ තෙමේ ස්වකීය විහාරයේ වසන්නා වූ (ශ්රමණයන් වහන්සේලා) හට අඩු නැතිව ම සිව්පසයෙන් උපස්ථාන කළේ ය.
96. මහා තිස්ස යැයි ප්‍රසිද්ධ වූ, කුලයන් හා බැඳීම් ඇති ඒ තෙරුන් වහන්සේ කුලයන් හා බැඳීමේ දෝෂය හේතු කොටගෙන සංඝයා වහන්සේලා (විසින්) මහා විහාරයෙන් නෙරපන ලද්දේ ය.
97. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ බහලමස්සු තිස්ස ස්ථවිර යැයි ප්‍රසිද්ධ වූ තෙමේ කිපුණේ අභයගිරියට ගොස් ඒ පාර්ශවය ගෙන එහි වාසය කළේ ය.
98. එතැන් පටන් ඒ භික්ෂූන් මහා විහාරය නො ආවෝ ය. මෙසේ ඒ අභයගිරි භික්ෂූන් වහන්සේලා ථේරවාදයෙන් වෙන් වූහ.
99. අභයගිරිවාසීන්ගෙන් කොටසක් දක්ෂිණගිරියට අයත් සඟ පිරිස වශයෙන් බිඳී ගියහ. මෙසේ ථේරවාදීන්ගෙන් ඒ භික්ෂූන් දෙකොටසකට බෙදී ගියාහු ය.
100. දිවයින් වැසි ඒ මහා අභයගිරි භික්ෂූන් පෝෂණය කරවන්නට ඒ වළගම්බා රජ තෙමේ ප්රාප්ති නම් වැටුප් දෙන ලද්දේ ය.
101. මෙසේ අලුත් කර්මාන්ත කිරීම යහපත් යැයි සිතා (ඒ රජ තෙමේ) විහාර හා පිරිවෙන් ද කරවී ය.
102. පූර්වයේ (විසූ) මහා ප්‍රඥා ඇති භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක පාළිය ද එහි අටුවාව ද මුඛ පරම්පරාගත ව ගෙන ආවෝ ය.
103. එකල වාසය කළ භික්ෂූන් වහන්සේලා සත්වයන්ගේ පිරිහීම දැක ධර්මයේ චිරස්ථිතිය පිණිස (ධර්මය) ග්‍රන්ථාරූඪ කළහ.
104. වට්ටගාමණී අභය (වළගම්බා) රජ තෙමේ මෙසේ අවුරුදු දොළොසකුත් පස් මසක් රාජ්‍යය කරවන ලද්දේ ය.
105. මෙසේ නුවණැත්තෝ ඓශ්වර්යය ලැබ තමන්ට ද අනුන්ට ද හිත පිණිස කටයුතු කරන්නෝ ය. සම්පත් ලබනු ලොල් වූ නුවණ මඳ තැනැත්තේ මහත් සම්පත් ලැබූව ද (තමාටත්, අනුන්ටත් යන) දෙපිරිසට ම හිත නො කෙරෙයි.
(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘රජවරුන් දස දෙනා’ නම් වූ තිස් තුන්වන පරිච්ඡේදය නිම විය.)
Recent Comments