අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදා සීලයෙහි පිහිටි නාගසේනයන් වහන්සේ පසුදින උදෑසන පාසිවුරු ගෙන උපාධ්‍යායන් වහන්සේ සමඟ ඇතුළු ගමට පිඬු සිඟා වැඩි සේක. එසේ වැඩම කරද්දී ‘මාගේ උපාධ්‍යායන් වහන්සේ අවශේෂ වූ බුද්ධ වචනයන් තිබිය දී ළදරු වූ මා පළමුකොටම අති ගම්භීර වූ අභිධර්මයෙහි හික්මවාලූ සේක. එබැවින් මාගේ උපාධ්‍යායන් වහන්සේ ඒකාන්තයෙන් ම ගැඹුරු වූ නුවණින් හිස්‍ ය. අඥාන ය.’ යැයි සිතුවිල්ලක් ඉපදවීය. එවිට උපාධ්‍යාය වූ රෝහණ තෙරණුවෝ නාගසේනයන් සිත තම සිතින් පිරිසිඳ දැක මෙසේ පැවසූහ.‍ “නාගසේනයනි, තොප වැනි අයට සුදුසු නොවන සිතිවිල්ලක් සිතුවේ ය. මේ සිතුවිල්ල සිතන්නට සුදුසු නැතැ.”‍ එවිට නාගසේනයන් වහන්සේ යළි මෙසේ සිතුවේ ය. ‘‍මාගේ සිත උපන් විතර්කය, එසැණින් ම මාගේ උපාධ්‍යායන් වහන්සේ සිතින් සිත පිරිසිඳ දැක වදාරණ සේක. එහෙයින් පින්වත් වූ මාගේ උපාධ්‍යායන් වහන්සේ ඒකාන්තයෙන් ම පණ්ඩිත වූ සේක.

එබැවින් මම උපාධ්‍යායන් වහන්සේගෙන් සමාව ගන්නේ නම් ඉතා යහපත් වන්නේ ය.’‍ කියා ය. නාගසේනයන් වහන්සේ දොහොත් මුදුනෙහි තබාගෙන ගෞරවයෙන් වැඳ වැටී මෙසේ පැවසූහ. “‍අනේ! ස්වාමීනී, නොදැන සිතුවා වූ මට සමා වුව මැනවි. නැවත මෙබඳු සිතක් නොසිතමි.”‍ සැල කළේ ය. එවිට රෝහණ තෙරණුවෝ, “නාගසේනයනි, මෙපමණකින් මම තොපට සමාව නොදෙමි. නාගසේනයනි, සාගල නම් නුවරක් ඇත. එහි මිළිඳු නම් රජ කෙනෙක් රාජ්‍ය කරන්නේ ය. ඒ රජු දෘෂ්ටිවාදයෙන් ප්‍රශ්න අසා භික්ෂු සංඝයා වෙහෙසවන්නේ ය. ඉදින් තොප, සාගල නුවරට ගොස් මිළිඳු රජු දමනය කොට ශාසනයෙහි පහදවන්නෙහි, එසේ කළ විට මම තොපට සමාව දෙමි.”‍ යි පැවසූහ.

“ස්වාමීනී, වැඩසිටිය මැනව. එක ම මිළිඳු රජෙකු තබා සකල දඹදිව සියලු‍ම රජදරුවෝ මා කරා අවුත් මාගෙන් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ලම විසඳා අවුල් හරවා පැහැදිලි කොට දෙන්නෙමි.” කියා නාගසේනයන් වහන්සේ පැවසූහ. තවද “‍එනිසා ස්වාමීනී, ඒ ගැන සැක නොකොට මට සමාව දුන මැනවි.”‍ කී විටත්, “‍සමාව නොදෙමි.”‍ රෝහණ තෙරණුවෝ පැවසූහ. “එසේ වී නම් ස්වාමීනී වස් වසන කලත් ළං වීය. මේ තුන් මාසය කවුරු ළඟ වසමි දැ?” යි ඇසූ විට “‍නාගසේනයනි, අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වත්තනිය නම් සේනාසනයෙහි වසන සේක. ඔබ එතැනට ගොස් මාගේ වචනයෙන් අස්සගුත්ත මහතෙරුන් වහන්සේගේ පා යුග සිරසින් වන්දනා කරව. ‘‍ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ පායුග සිරසින් වන්දනා කරයි. නිරෝගී බව ද නිදුක් බව ද පහසුවෙන් යැපිය හැකි බව ද සුව සේ වසන බව ද විචාරයි. මේ තුන්මස ඔබ වහන්සේගේ සමීපයෙහි වසන්නට මා එවූ සේකැ.’ යි සැල කරව. අස්සගුත්ත තෙරණුවෝ, ‘‍තොපගේ උපාධ්‍යායන් වහන්සේ කවුරුදැ?’ යි විචාළ කල්හි ‘‍ස්වාමීනී, රෝහණ ස්ථවිරයන් වහන්සේ යැ.’ යි කියව. ‍‘මම කිනම්දැ?’ යි විචාළ කල්හි ‘ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ නම දන්නා සේකැ.’ යි පිළිතුරු දෙව.”

“එසේය වහන්ස.” යැයි කියා නාගසේනයන් වහන්සේ රෝහණ තෙරුන් පසඟ පිහිටුවා වැඳ, පැදකුණු කොට පාසිවුරු ගෙන අනුපිළිවෙළින් වැඩම කර වත්තනිය සේනාසනයෙහි අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වෙත එළඹුණහ. අස්සගුත්ත මහතෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කොට එකත්පස්ව සිට මෙසේ සැල කළහ. “‍ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ පායුග සිරසින් වඳිනා සේක. නිරෝගී බව ද නිදුක් බව ද කායික සැහැල්ලු‍ව ද සුවපහසුව ද විචාරණ සේක. එසේම ස්වාමිනී, උපාධ්‍යායන් වහන්සේ මා මේ තුන් මාසය ඔබ වහන්සේගේ සමීපයෙහි වසන්නට එවූ සේක.”‍

එවිට අස්සගුත්ත තෙරණුවෝ නාගසේනයන් වහන්සේගෙන් මෙසේ විචාළ සේක. “‍ඔබේ නම කුමක්ද?” “‍ස්වාමීනී, මම නාගසේන නම් වෙමි.”‍ පිළිතුරු දුන් විට, “‍ඔබගේ උපාධ්‍යායන් වහන්සේ කවුද?” කියා විමසූහ.‍ “ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ රෝහණ නම් ස්ථවිර වන සේක.”‍ කී විට “මම කවුරු නම් වේ ද?”‍ කියා නැවත විමසූහ. “‍ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ නම දන්න සේක.”‍ කියා නාගසේනයන් වහන්සේ පැවසූහ. “‍යහපති නාගසේනයනි, එසේ නම් පාසිවුරු තැම්පත් කොට තබව.” යැයි අවසර දුන් විට “‍එහෙමයි ස්වාමීනී.”‍ කියා පාසිවුරු තැම්පත් කොට රාත්‍රියේ සැතපී පසුදා උදෑසනින් ම අවදි වූහ. අස්සගුත්ත තෙරණුවන්ගේ කුටිය වටා නැමද මුව සෝදන පැන් සහ දැහැටි දඬු ගෙන ගොස් ළඟ තැබූ සේක. අස්සගුත්ත තෙරණුවෝ ඒ පැන් සහ දැහැටි ඉවත දමා වෙනත් පැන් සහ දැහැටි භාවිත කළහ. ඇමදපු මළු‍ව යළි ඇමදූ සේක. නාගසේනයන් වහන්සේ සමඟ කිසිදු කතාබහක් නොකළ සේක. මෙසේ සත්දිනක් පුරාවට ඉවසීම සහ කීකරු බව පරීක්ෂා කොට නැවතත් පැමිණි කරුණු විමසා නාගසේනයන් වහන්සේ පෙර සේම පිළිතුරු දුන් කල්හි තමන් වහන්සේ සමීපයෙහි වස් වසන්නට අවසර දුන් සේක.

ඒ කාලයෙහි මහත් වූ භෝග සම්පත් ඇති, ශ්‍රද්ධා සීල ගුණයෙන් ද මහත් වූ එක්තරා උපාසිකාවක් අස්සගුත්ත මහතෙරුන්ට තිස්වසරක් තිස්සේ උපස්ථාන කළා ය. ඒ උපාසිකාව මෙවර වස් තුන්මාසය පුරාත් සිව්පසයෙන් උපස්ථාන කොට වස් අවසානයේ අස්සගුත්ත මහතෙරුන් වෙත එළඹ මෙසේ පැවසුවා ය. “‍ස්වාමීනී ආර්යයන් වහන්ස, හෙට දවසේ නාගසේන වහන්සේත් සමඟින් මාගේ නිවසට දානයට වැඩම කළ මැනවි.” කියා ආරාධනා කළා ය. එම ආරාධනාව පිළිගත් තෙරුන් වහන්සේ පසුදින නාගසේනයන් වහන්සේත් සමඟින් එම උපාසිකාවගේ නිවසට වැඩි සේක. එසේ වැඩමකොට පනවන ලද අසුන්වල වැඩසිටි කල්හී එම උපාසිකාව ප්‍රණීත ආහාර පානාදිය සියතින් ම පිළිගන්වා පෙරැත්ත කොට දන් වැළඳවූවා ය. දන් වළඳා අවසන් වූ පසු අස්සගුත්ත තෙරණුවෝ “‍නාගසේනයනි, ඔබ මහ උපාසිකාවට අනුමෝදනා බණ වදාරව.”‍ කියා පවසා පෙරලා විහාරයට වැඩි සේක. එවිට මහ උපාසිකාව මෙසේ පැවසුවා ය. “‍ස්වාමීනී නාගසේනයන් වහන්ස, මම වනාහී දැන් ඉතා වයස්ගත වෙමි. ගම්භීර වූ ධර්ම කථාවකින් මට අනුග්‍රහ කළ මැනවි.”‍ කියා ය. එවිට නාගසේනයන් වහන්සේ ඒ උපාසිකාවට ගම්භීර වූ ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත අභිධර්ම කථාවෙන් දහම් දෙසූ සේක. ඒ සදහම් ශ්‍රවණය කළ මහෝපාසිකාවට එම ආසනයේ දී ම ‘‍හේතුප්‍රත්‍යයෙන් හටගත් යම් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වාභාවයෙන් යුතු යැ’ යි දන්නා වූ කෙලෙස් මළකඩ පහව ගිය දහම් ඇස නම් වූ සෝතාපත්ති ඤාණය පහළ විය. තමන් වහන්සේ දෙසූ ධර්මය ම නුවණින් විමසා විදර්ශනා කළ නාගසේනයන් වහන්සේ ද ධර්මාසනයේ දී ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. අස්සගුත්ත මහ තෙරණුවෝ තම විහාරයෙහි සිට දෙදෙනාගේ ම ධර්මාවබෝධය දිවැසින් දැක වදාරා,

“සාදු, සාදු නාගසේනයනි! එකම හීසැරයකින් ශරීර දෙකකට විදිනා ලදී.”‍ කියා සාදුකාර පැවැත්වූහ. එය අසා නොයෙක් දහස් ගණන් දේවතාවෝ ද සාදුකාර පැවැත්වූහ. ඉන්පසු නාගසේනයන් වහන්සේ අස්සගුත්ත තෙරුන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව සිටි සේක. එකත්පස්ව සිටියා වූ නාගසේනයන් වහන්සේට තෙරණුවෝ මෙසේ පැවසූ සේක. “‍නාගසේනයනි, ඔබ පැළලු‍ප් නුවරට යව. එහි අසෝකාරාමයෙහි ආයුෂ්මත් ධම්මරක්ඛිත ස්ථවිරයෝ වාසය කරයි. උන්වහන්සේගේ සමීපයෙහි බුද්ධ වචනයන් උගනුව.”‍ කියා ය. “‍ස්වාමීනී, මෙතැන් සිට පැළලු‍ප් නුවරට කොපමණ දුර ද?”‍ යි විචාළ විට “‍නාගසේනයනි, යොදුන් සියයකැ.” යි පිළිතුරු ලැබිණි. “‍ස්වාමීනී, මාර්ගය ඉතා දුර ය. අතරතුර මාර්ගයෙහි භික්ෂාව දුර්ලභ ය. මම කෙසේ යන්නෙමි ද?”‍ ඇසූ විට “‍නාගසේනයනි, අන්තර් මාර්ගයෙහි ඔබ වහන්සේට දිනපතා නොයෙක් සූප හා ව්‍යංජනයන් යුක්ත වූ පිරිසිදු සුවඳ හැල් සහලෙන් කළ භෝජනය ම පිඬු පිණිස ලැබෙයි.”‍ කියා තෙරණුවෝ වදාළ සේක. “එසේය ස්වාමීන් වහන්සැ.” යි කියා නාගසේනයන් වහන්සේ මහතෙරුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට ගෞරව දක්වා පාසිවුරු ගෙන පැළලු‍ප් නුවර කරා යන්නට පිටත් වූ සේක.

එසමයෙහි වෙළඳාමෙහි ගොස් එන්නා වූ පාටලීපුත්තක සිටාණෝ වෙළඳ භාණ්ඩ පිරවූ ගැල් පන්සියයක් සමඟ පැළලු‍ප් නුවරට යන මාර්ගයට පැමිණියේ ය. ඒ පාටලිපුත්තක සිටාණෝ දුරින් ම වඩින නාගසේනයන් වහන්සේ දැක ගැල් මඳකට නවත්වා නාගසේනයන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ මෙසේ විමසී ය. “‍ස්වාමීන් වහන්ස, කොතැනකට වඩිනා සේක් ද?”‍ කියා ය. “‍ගෘහපතිය, පැළලු‍ප් නුවරට යමි.”‍ කී විට “‍යහපති ස්වාමීනී, අපිත් පැළලු‍ප් නුවරට යන්නෙමු. ඔබවහන්සේටත් අප සමඟ සුවසේ වැඩිය හැකියැ.” යි ආරාධනා කොට කැඳවාගෙන ගියේ ය. නාගසේනයන් වහන්සේගේ සංවර වූ ඉරියව් පැවැත්ම ගැන වඩාත් පැහැදුණු සිටුතුමා ප්‍රණීත වූ ආහාර පානාදිය සියතින් ම පූජා කොට වැළඳවී ය. දන් වළඳා අවසානයේ, “‍ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ නම කුමක්දැ?”‍ යි විචාරා “‍මම නාගසේන නම් වෙමි.”‍ යි කී විට “‍ස්වාමීනී, ඔබ වහන්සේ සම්බුදු වදන් වූ ධර්මය දන්නේ ද?”‍ කියා යළි විමසී ය. “‍ගෘහපතිය, මම අභිධර්මය පදයන් මඳක් දනිමි.” යි පිළිතුරු දුන් විට, “‍ස්වාමීන් වහන්ස, අප ලද්දේ යහපත් ලාභයකි. මමත් පෙර අභිධර්මය ඇසූ උපාසකයෙක්මි. ඔබ වහන්සේත් අභිධර්මය දන්නා සේක. මා හට අභිධර්ම පදයන් වදාළ මැනවි.”‍ යි කියා ආයාචනා කළේ ය. එවිට නාගසේනයන් වහන්සේ සිටුතුමාට අභිධර්මය දේශනා කළ සේක. දේශනා කරන කල්හි ම ධර්මයෙහි සිත පහදවා ගත් පාටලීපුත්තක සිටුතුමාට යම්කිසි ධර්මයක් හේතුප්‍රත්‍යයෙන් හට ගන්නේ ද ඒ සියලු‍ම ධර්මයන් හේතු නැති වීමෙන් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත වන්නේ යැයි යන කෙලෙස් මළකඩ දුරු වූ, අවිද්‍යා අන්ධකාරය පහව ගිය දහම් ඇස පහළ වී උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. දුටු දහම් ඇති පාටලීපුත්තක ආර්යශ්‍රාවක සිටාණෝ, තමන් සතු දිගින් සොළොස් රියනක් වූ පළලින් අටරියනක් වූ රක්ත කම්බිලිය නාගසේනයන් වහන්සේට පූජා කළේ ය. අනුකම්පාවෙන් එය පිළිගත් නාගසේනයන් වහන්සේට පැළලු‍ප් නුවර අසෝකාරාමයට යන මග පෙන්වූ සිටුතුමා ඔදවැඩියා වූ, ප්‍රමුදිත වූ සිතින් යුක්තව ආදරයෙන් පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට අවසර ගෙන සිය සිටු මාළිගාව කරා ගියේ ය. නාගසේනයන් වහන්සේ ද ධම්මරක්ඛිත තෙරණුවෝ වසන අසෝකාරාමයට පිවිසි සේක.