සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වීම කොපමණ නම් දුර්ලභ ද කියා අප දැනගත්තේ ශ්‍රී සද්ධර්මයෙන්. ඒ බුද්ධ වචනය අනුව, නොනවතින සංසාර ගමනක සුගති දුගති සැරිසරා යන සත්වයන්ට ඉපදීම නිසාවෙන් උරුම වන දුක් රැස නම් කොහෙත්ම දුර්ලභ නැහැ. හැබැයි, පරම දුර්ලභ වූ සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැහුන මේ ජීවිතයේ දී වුණත් අප වඩාත් සංවේදී ආස්වාදනීය අරමුණු, දුක්පීඩා කෙරෙහි තමයි… ඒ දේවල් අප කරා පැමිණි ආකාරයන් දින වකවානු වශයෙන් වුණත් සිහිපත් කළ හැක්කේ ඒ නිසයි. ඔය විදිහට සිතේ රඳපු බොහෝ දේ සිහි කරන්නට සිතට බාධා නැති වුණාට, අතීත අනාගත අන්තවලින් මිදිලා ඒ ඒ මොහොතේ සිත යහපතේ හසුරුවන්න – සිතේ ස්වභාවය දකින්න අපට බොහොම අමාරුයි. අපේ සිත්වලට ඒ දේ පුරුදු නැහැ…
කුසල් සිතට ආයුෂ නැති හැටි…
සිතට යහපතේ හැසිරෙන්න පුරුදු නැත්තේ අප එය පුරුදු කොට නැති නිසයි. මොකද සිත කියන්නෙත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සංඛත ධර්මයක්. හේතු වෙනස් වෙනකොට සිත වෙනස් වෙනවා. යහපත පිණිස සිත නැඹුරු කරවන හේතුව තමයි අප තුළ නැත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළේ යෝනිසෝ මනසිකාරය කියලයි. සිත විපත පිණිස හසුරුවන මනසිකාරය සිතේ සසර ස්වභාවයෙන් ම පිහිටා තිබෙනවා. ඒ නිසයි බොහොම පහසුවෙන් රාගය ඇති කරන දේ, තරහ ඇති කරන දේ, මුළාව උපදවන දේ මේ සිත්වල රඳන්නේ. නමුත්, සිත යහපතේ හැසිරවීම විශේෂයෙන් පුරුදු පුහුණු කළ යුතු ම යි.
සිතේ දියුණුවට උපකාරක වන ධර්මයන් අප තුළ දියුණු කරගන්න නම් අපට ඒ ධර්මය පවසන කල්‍යාණමිත්‍රයන් මුණගැසෙන්න ම ඕන. ඒ ඇසුරේ ධර්ම ශ්‍රවණය කර කර තමයි සිත වඩන ධර්මයන් උගත යුත්තේ. අද අපට ඒ කාරණා දෙක ම තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිසිදු ව ම කියා දෙන ස්වාමීන් වහන්සේලා වගේ ම ඒ ධර්මය මැනැවින් පහදා දුන් දහම් පොත්පත් අපට මුණගැසෙනවා. කොහොම කොහොම හරි ධර්මය ශ්‍රවණය කරන්නත් අප වෙලාව වෙන් කරගන්නවා. ඒ විදිහට වෙලාවක් වෙන් කරගෙන කල්‍යාණමිත්‍රයන් වහන්සේලා හමුවේ බණ පදයක් අහද්දි අපේ සිත්වල අපූරු වෙනසක් අපට ම දැනෙන්න ගන්නවා. සිත යම් සන්සිඳීමක් ලබලා, සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයක් කියලා අපට ම හිතෙනවා, මේ ධර්මය පුරුදු පුහුණු කළ යුත්තක් – එය පුරුදු පුහුණු කිරීම ඒකාන්ත යහපත පිණිස පවතිනවා කියලත් තේරෙනවා. ධර්ම ශ්‍රවණය තුළ උපදින මේ කුසල් සිතට එතරම් ආයුෂ නැතිකම තමයි අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය. අප අසන ධර්මය අපේ සිත්වල රඳන්නේ නැහැ. නොරඳන නිසා ඒ ධර්මය පුරුදු පුහුණු කරන්නට අපට අවකාශ අහිමි වෙනවා…
සිතේ රඳන කිලිටි…
ධර්මය නොරඳනවා වුණාට මේ සිත්වල බොහොම පහසුවෙන් රඳන දේවලුත් නැතිව නෙමෙයි. අප මේ සටහනේ මුලින් දැක්වූ ආකාරයට අපේ ජීවිත කරා එළඹි ආස්වාදනීය අරමුණු, අප ඇසූ කටුක කර්කශ වචන අපට මතකයි. අපේ ජීවිතවල විතරක් නම් මොකද, අන් අයගේ ජීවිතවල සිදු වන වෙනස්වීමුත් අපට මතකයි. බොහෝ විට අන් උදවියගේ අඩුපාඩු, සදාචාර සම්මත ඉක්මවා යන පිරිහුනු ජීවිත ස්වභාව තමයි අපට සිහි වෙන්නේ. ඒකට ම ගැළපිලා යන සමාජ මාධ්‍ය භාවිතයකුත් අද තියෙනවා. අනිත් අය කන බොන අඳින පලඳින හැටි, ආවාහ විවාහ කිහිපයක් හරි කරගන්න හැටි, දරුමල්ලෝ හදන හැටි රස කර කර පැය ගණන් බල බල හිතට ගන්න කරන්න තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එක අතට ගන්න එකයි. ඊටපස්සේ කාලය ගැන වගේවගක් නැතිව යනවා. තමන් කාලා බීලා, නාලා කරලා වැඩපළ අවසන් කරගෙන කායචිත්ත විවේකයක් ලබන්න ඕන කියන එකට එච්චර අවධානයක් නැතිව යනවා. ඔන්න ඔය විදිහට තමයි ධර්මය අහන්න ඉඩ වෙන් කරගත්තට, ඒ ධර්මය රඳන්න අපේ සිත්වල ඉඩක් නැති වුණේ. අහන ධර්මය රඳන්න වෙලාවක් නෑ, මේ සිත් නොයෙක් නොයෙක් අරමුණු ඔස්සේ එහෙමෙහෙ දුවනවා…
මුළු ලෝකයක් එක්ක අපි අප ව සංසන්දනය කරගන්නවා… මොනවා ගැන ද? කන බොන අඳින පලඳින දරුමල්ලෝ හදන යන එන හැටි ගැන… ඒ වෙනුවෙන් තමයි අපේ කාලය වැඩිපුර වැය වෙන්නේ. බාහිරට පෙනෙන ඔපය ගැන සැලකිලිමත් වෙන්න වෙන්න අපි වටිනාකම් දෙන්නෙත් බාහිරයට ම තමයි. බොහොම අලංකාරෙට සරසවාගෙන හිටියා වුණාට ඒ ජීවිත ඇතුළ කෙලෙස් කිලිටිවලින් නෑවිලා… ඒ ජීවිතවල කෙලෙස් ගඳ ගහනවා. ගුණධර්මයකට පිහිටන්න තරම් වටපිටාවක් ඇතුළේ නෑ. හැබැයි බාහිරින් නම් ලස්සනයි… ඒ බාහිර ලස්සනට පුළුවන් ලෝකයක් ම වශී කරන්න. ඒත් ඒ මේ ජීවිතේට විතරයි. ඒ දිහා බල බලා ලෝකයම සතුටු වුණත් කෙලෙස්වලින් පිළුණු වෙලා ගඳ ගහන ජීවිත ඇතුළේ තම තමන් විඳින කෙලෙස් පීඩාව කවුද හරියට ම දන්නේ… පීඩාව ම ආස්වාදය ලෙස ගත්ත සිත් එයට මුළා වෙලා දුක පිළිගන්නේ සතුටක් විදිහටයි.
ධර්මය රඳන්න කාලයක්…!
එහෙව් ලෝකයකටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා කෙලෙස් නසන, වීතරාගී, අමා නිවන යුතු ධර්මය දේශනා කොට වදාළේ. එවන් ගම්භීර වූ, අවබෝධයට දුෂ්කර වූ, අති සියුම් වූ, නුවණැත්තන්ට පමණක් ම විෂය වූ දහමක් පිහිටන්නට නම් අප ඇතුළේ ධර්මය රඳන්න වෙලාවක් වෙන් කරගෙන තිබිය යුතු ම යි. එහෙම නොවුණොත්, කලින් කලට හෝ දහම් ඇසීමේ පින අපට තියෙයි – හැබැයි ඒ පින අමා නිවන කරා ගෙන යන්න, පරිපූර්ණ සන්සිඳීම උපදවා ගන්න ලැබුණු පරම දුර්ලභ අවස්ථාවක් ආයෙමත් අපට අහිමි වෙලා යයි…
තාක්ෂණය පිරිපුන් මේ ලෝකයේ ඔබ ධර්මය අහන්නේ ඒ තාක්ෂණික මෙවලම් හරහා නම් ඒ වෙනුවෙන් කෙසේ හෝ ඔබ වෙන් කරගත්ත වටිනා කාලය වඩාත් අර්ථවත් කරගන්න. පිරිසිදු ව ධර්මය කියා දෙන කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ දේශනාවක් තෝරා ගත්තාට පසුව ඒ ස්මාර්ට් තිරය තවදුරටත් තිබිය යුත්තේ ඔබේ අතේ නෙවෙයි, එය උස්තැනෙකින් තබා පසෙකට වී දහම් ගෞරවයෙන් යුතුව ධර්මය අහන්න. එය අතේ තිබුණොත් ඒ ඔස්සේ අත එහෙමෙහෙ යන එක වළක්වන්න බැහැ. ඒ ඔස්සේ සිතත් විසිරෙනවා. එවිට ධර්මය ඇසීමේ අර්ථය පිරිපුන් වන්නේ නැහැ… ඇසූ ධර්මය මෙනෙහි කර කර සිතේ රඳවා ගන්න උත්සාහවත් වෙන්න. නිතර භාග්‍යවතුන් වහන්සේගේ දහම්පද සජ්ඣායනා කරන්න. ඒ අර්ථ මෙනෙහි කරන්න. එවිට අන් අය ගැන, අන් දේවල් ගැන හිත හිතා නාස්ති කරන කාලය අප වටිනා අර්ථයක් වෙනුවෙන් රඳවා ගත්තා වෙනවා…
සිත සිතෙන් රකින්න…
අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ බෝධිසම්භාර පුරමින් පැමිණි කාලයේවත් අවධානය යොමු කළේ කය ගැන නෙවෙයි; සිත ගැනයි. පින් ලකුණු පිරි අවසන් සිරුර දරා පැමිණි කල්හිත් ඒ කය රැකගැනීම පසෙක තබා පධන් වෙර වඩමින් උන්වහන්සේ අප්‍රමාදී වූයේ සිත රකින්නයි, සිත වඩන්නයි. එලෙසිනුයි අපගේ ශාස්තෘන් වහන්සේ සිත ජයගත්තේ. මේ ජීවිතවල අවධානය යොමු කොට රැකගත යුතු ප්‍රධාන දෙය තමයි සිත. සෑහීමකට පත් නොවන ස්වභාවය ම ප්‍රකට වන සිතක් පහසුවෙන් දමනය කරන්නට බැහැ. එහෙත් එය කළ හැක්කේත් සිතින් ම යි. සිත ඒ අයුරින් වෙනස් කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව වැඩී යන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මෙනෙහි කිරීමෙන්; යෝනිසෝ මනසිකාරයෙන්…!
නිකිණි පුන් පොහෝ දිනයක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සිංහ තෙලක් රන් කරඬුවක බහාලූ පරිද්දෙන් හද මඬලේ සුරැකි ආනන්ද මුනිඳුන් උතුම් අරහත්වය සාක්ෂාත් කොට වදාළා. සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය දරා ගැනීමට අප උත්සාහ කළ යුත්තේ ඒ අයුරින් ම යි. ආනන්දයන් වහන්සේගේ ජීවිතය මෛත්‍රී සහගත කාය වචී මනෝ කර්මයන්ගෙන් පිරී ගත්තක්. ඒ ගුණශෝභාවන් සිහි කරමින් ඔබේ ජීවිතය ගොඩනගන්න. එවිට ඔබේ සිතේ මෙත් මුදිතා කරුණා ගුණදම් නොසිඳී පෝෂණය වෙනවා. ඒ ගුණදම් පිරුණු සිත නම් තථාගත ධර්මය රඳන්න සුදුසු රන් බඳුනක්…!
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments