පින්වත් යොවුන් දූ දරුවනේ,
මිත්‍ර පතිරූපක කියන්නේ මිතුරු වෙස් ගත් අමිත්රයන්ට. මිත්‍ර පතිරූපකයෝ හරිම භයානකයි. ජීවිතයක සැනසුම මුළුමනින්ම නැසිලා යන්න එක මිත්‍ර පතිරූපකයෙක්ට අහුවුණත් ඇති. විශේෂයෙන් තරුණ කාලේ අපිට ගොඩක් යාළුවෝ ළං වෙනවා. අද කාලේ සමාජ මාධ්‍යවලින් ගොඩක් යාළුවෝ එකතු වෙනවා.
බොහෝ දෙනෙක් යාළුවෝ තෝරගන්නේ තමන්ගේ රුචිකත්වයට අනුව. යාළුවන්ගේ කතා විලාසේ, විලාසිතා කරන හැටි, එයාලා ආසා කරන දේවල් වගේ තමන් කැමති දේකට තව කෙනෙක් කැමති නම් එයාව තමන්ගේ හොඳම යාළුවා කරගන්නවා. තමන්ගේ රුචිකත්වයෙන් විතරක් මිත්‍රයෝ තෝරගන්න ගියොත් අපිටත් නොදැනී ම අපි මිත්‍ර පතිරූපකයන්ට අහු වෙන්න පුළුවන්.
ඒ නිසා අද මේ ලිපිය ඔයාලට ගොඩාක් උපකාර වෙයි. මිත්‍ර පතිරූපකයෝ හඳුනගන්න හැටිත්, සුහද මිත්‍රයෝ හඳුනගන්න හැටිත් අපි අද ලිපියෙන් ඉගෙන ගමු. ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා ‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව මේ ලිපිය අවසානය තෙක් අවධානයෙන් කියවන්න. ඔයාලටත් සුන්දර මිතුදම් ඇති කරගැනීමට උවමනා කරන නුවණ මේ ලිපියෙන් ලැබේවි!’
සිඟාල
එක කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවාසය කළා. ඔය රජගහනුවර සිඟාල නමින් තරුණ සිටු පුත්‍රයෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිද්දී සිඟාලගේ නිවස අසලටත් වැඩම කොට වදාළා. ඒ මොහොතේ මහා කාරුණික බුදුරජුන්ගෙන් සිඟාල තරුණයාට වටිනා දහමක් ශ්‍රවණය කරන්ට වාසනාව උදා වුණා. ඒ දහම් කතාවේ දී තමයි බුදුරජාණන් වහන්සේ මිත්‍රයෝ සහ මිත්‍ර පතිරූපකයෝ ගැන පෙන්වා දී වදාළේ.
මිත්‍ර පතිරූපකයෝ…
“පින්වත් තරුණය, මිතුරන්ගේ වේශයෙන් සිටින එහෙත් මිතුරන් නොවන මිත්‍ර පතිරූපකයෝ සතර දෙනා ගැන දැන ගත යුතුයි. එනම්:
1. අඤ්ඤදත්ථුහර නම් මිත්‍ර පතිරූපකයා ගැන දැන ගත යුතුයි.
2. වචීපරම නම් මිත්‍ර පතිරූපකයා ගැන ද දැන ගත යුතුයි.
3. අනුප්පියභාණී නම් මිත්‍ර පතිරූපකයා ගැන දැන ගත යුතුයි.
4. අපායසහාය නම් මිත්‍ර පතිරූපකයා ගැනත් දැන ගත යුතුයි.
1. මිත්‍ර පතිරූපක අඤ්ඤදත්ථුහර
“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින අඤ්ඤදත්ථුහර අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.
1. (අඤ්ඤදත්ථුහරෝ හෝති) මිත්‍රයා ළඟ තියෙන වටින දෙයක් ඩැහැගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.
2. (අප්පේන බහුමිච්ඡති) මිත්‍රයාට පොඩි උදව්වක් කරලා මිත්‍රයාගෙන් බොහෝ දේ ගන්න කැමතියි.
3. (භයස්ස කිච්චං කරෝති) තමන්ට කරදරයක් විපතක් වුණ වෙලාවට උදව්වක් ගන්න තමයි මිත්‍රයා ව ඇසුරු කරන්නේ.
4. (සේවති අත්ථකාරණා) තමාගේ ම ලාභ ප්‍රයෝජන උදෙසා තමයි මිතුරුකම පවත්වන්නේ.
2. මිත්‍ර පතිරූපක වචීපරම
“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින වචීපරම අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.
1. (අතීතේන පටිසන්ථරති) මිත්‍රයාට උපකාරයක් ඕන කරන වෙලාවට ‘කලින් කිව්වා නම් මේ මේ උදව්ව කරන්ට තිබුණා’ ආදී වශයෙන් අතීතයෙන් සංග්‍රහ කරනවා.
2. (අනාගතේන පටිසන්ථරති) මිත්‍රයාට දැන් උපකාර ඕන කරලා තියෙද්දී ‘ඉදිරියේ දී ඔබ වෙනුවෙන් මං මෙබඳු දේ කරන්නම්’ ආදී වශයෙන් අනාගතයෙන් සංග්‍රහ කරනවා.
3. (නිරත්ථෙක්න සංගණ්හාති) උපකාරයක් අවශ්‍ය කරන වෙලාවේ මිත්‍රයාට උදව් කරනවා වෙනුවට ඔහේ නිරර්ථක වචනවලින් බොරු සංග්‍රහ කරනවා.
4. (පච්චුප්පන්නේසු කිච්චේසු බ්යසනං දස්සේති) මිත්‍රයාට උදව්වක් අවශ්‍ය වෙලා කරදරේක ඉන්න වෙලාවේ ඔහුට උදව් දෙනවා වෙනුවට තමාට සිදු වුණ විපත් කරදර කියා පානවා.
3. මිත්‍ර පතිරූපක අනුප්පියභාණී
“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින අනුප්පියභාණී අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.
1. (පාපකම්පි’ස්ස අනුජානාති) තමන්ගේ යහළුවා කරන පාපී ක්‍රියා හොඳයි කියලා අනුමත කරනවා.
2. (කල්‍යාණම්පි’ස්ස අනුජානාති) ඔහුගේ යහපත් ක්‍රියාත් හොඳයි කියලා අනුමත කරනවා.
3. (සම්මුඛා’ස්ස වණ්ණං භාසති) යහළුවා ඉන්න තැන්වල ඔහු ඉදිරියේ ප්‍රශංසා කරනවා.
4. (පරම්මුඛා’ස්ස අවණ්ණං භාසති) යහළුවා නැති තැන්වල තමන්ගේ ම යහළුවා හෙළා දැකලා නුගුණ කියනවා.
4. මිත්‍ර පතිරූපක අපායසහාය
“පින්වත් තරුණය, මිතුරෙකුගේ වෙසින් සිටින අපායසහාය අමිත්‍රයා ගැන මේ කරුණු හතරෙන් තේරුම් ගත යුතුයි.
1. (සුරාමේරයමජ්ජප්පමාදට්ඨානානුයෝගේ සහායෝ හෝති) මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙනවා.
2. (විකාලවිසිඛාචරියානුයෝගේ සහායෝ හෝති) අවේලාවේ වීදි ගානේ ඇවිදින්නට යන්න හිතවත් වෙනවා.
3. (සමජ්ජාභිචරණේ සහායෝ හෝති) සංගීත, නාටක, ක්‍රීඩා සමාජශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙනවා.
4. (ජූතප්පමාදට්ඨානානුයෝගේ සහායෝ හෝති) ප්‍රමාදයට හේතුවෙන සූදු ක්‍රීඩාවේ යෙදෙන්නට හිතවත් වෙනවා.
මේ තමයි මිත්‍ර වෙසින් ඉන්න අමිත්‍රයෝ! මිත්‍ර පතිරූපකයෝ. මිත්‍ර පතිරූපක ඇසුර හරිම භයානකයි. මොකද මේ ඉහත කාරණාවලින්ම තේරෙනවා ඔවුන් පවිටුයි. අධමයි. අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ (නිහීයති පුරිසෝ නිහීන සේවි) ‘හීන ගති ඇති අයව ඇසුරු කරන කෙනාගේ ජීවිතේ පිරිහී යනවා’ කියලයි. ඒ නිසා (න භජේ පාපකේ මිත්තේ) පවිටු ගතිගුණ ඇති අයව මිත්‍රයෝ විදිහට ළං කරගන්න එපා! (න භජේ පුරිසා’ධමේ) අධම ගති ඇති උදවිය ඇසුරට ළං කරගන්න එපා! කියලා.
ඉතින් ඒ නිසා තමන් දැන් ඇසුරු කරමින් ඉන්න මිතුරන්වත්, අලුතෙන් මිතුදමක් ගොඩනඟා ගන්න හිතන අයවත් මේ විදිහේ ලක්ෂණවලින් යුක්තයි ද කියලා අවධානයකින් ඉන්න ඕනි. එතකොට මිත්‍ර පතිරූපකයින්ව තේරුම් ගන්න පුළුවන්. මේ දැනගත්ත කරුණුවලින් අපිට මිත්‍ර පතිරූපකයෙක් හඳුනාගන්න පුළුවන් වුණොත් මොකක්ද කළ යුත්තේ?
ඒතේ අමිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ,
ආරකා පරිවජ්ජෙය්ය – මග්ගං පටිභයං යථා”ති
“නුවණැත්තා මේ සිව් දෙනා මිතුරන් නොවන බව තේරුම් ගෙන භය සහිත මාර්ගයක් දුරු කරන කෙනෙකු වගේ මේ අමිත්‍රයෝ හතරදෙනාව දුරින් ම දුරු කරනවා.”
සුහද මිතුරෝ…
ජීවිතයක් සුන්දර වෙන්න බලපාන්නෙත් මිත්‍රයෝ ම තමයි. නමුත් ඒ හැබෑම සුහද මිතුරෝ ලැබුණොත් විතරයි. ඒ නිසාම සුහද මිතුරෝ තේරුම් ගන්නත් අපිට දැනුමක් තිබිය යුතුයි.
“පින්වත් තරුණය, මිතුරන් කෙරෙහි හැබෑම මිතුදමක් පවත්වන මේ සුහද මිතුරෝ සතරදෙනා ගැනත් දැන ගත යුතුයි.
1. උපකාරී නම් සුහද මිතුරා ගැන දැන ගත යුතුයි.
2. සමානසුඛදුක්ඛ නම් සුහද මිතුරා ගැන දැන ගත යුතුයි.
3. අත්ථක්ඛායී නම් සුහද මිතුරා ගැන දැන ගත යුතුයි.
4. අනුකම්පක නම් සුහද මිතුරා දැන ගත යුතුයි.
1. උපකාරී සුහද මිතුරා
“පින්වත් තරුණය, කරුණු හතරකින් උපකාරී නම් සුහද මිතුරා දැන ගත යුතුයි.
1. (පමත්තං රක්ඛති) ප්‍රමාදයට පත් වුණ මිතුරා ව රකිනවා.
2. (පමත්තස්ස සාපතෙය්යං රක්ඛති) ප්‍රමාද වුණ මිතුරා සතු වටිනා දේත් රකිනවා.
3. (භීතස්ස සරණං හෝති) මිත්‍රයාට බියක් ඇති වෙන තැනේ දී පිහිට වෙනවා.
4. (උප්පන්නේ කිච්චකරණීයේ තද්දිගුණං භෝගං අනුප්පදේති) මිතුරාට කළ යුතු දෙයක් තියෙද්දී ඊට අවශ්‍ය පමණටත් වඩා දෙගුණයක් සම්පත් ලබා දීලා උදව් කරනවා.
2. සමානසුඛදුක්ඛ සුහද මිතුරා
“පින්වත් තරුණය, කරුණු හතරකින් සමානසුඛදුක්ඛ නම් සුහද මිතුරා දැන ගත යුතුයි.
1. (ගුය්හමස්ස ආචික්ඛති) තමාගේ පෞද්ගලික දේවල් තම මිතුරාට සඟවන්නේ නෑ. ඒවා මිත්‍රයාට කියනවා.
2. (ගුය්හමස්ස පරිගූහති) මිතුරාගේ යම් පෞද්ගලික කරුණු තමන්ට කියා තිබෙනවා නම් ඒවා පිටතට නොදී සුරකිනවා.
3. (ආපදාසු න විජහති) විපතක දී මිතුරාව මඟ හැරලා යන්නේ නෑ.
4. (ජීවිතම්පි’ස්ස අත්ථාය පරිච්චත්තං හෝති.) මිතුරාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුවත් පුදන්නට කැමැතියි.
3. අත්ථක්ඛායී සුහද මිතුරා
“පින්වත් තරුණය, කරුණු හතරකින් අත්ථක්ඛායී නම් සුහද මිතුරා දැන ගත යුතුයි.
1. (පාපා නිවාරේති) තමන්ගේ මිතුරා ව පවින් වළක්වනවා.
2. (කල්‍යාණේ නිවේසේති) පිනෙහි යොදවනවා.
3. (අස්සුතං සාවේති) මිතුරා නොඇසූ ධර්මය ඔහුට අසන්නට සලස්වනවා.
4. (සග්ගස්ස මග්ගං ආචික්ඛති) සුගති රැකවරණය ලැබීමට මග කියා දෙනවා.
4. ආනුකම්පක සුහද මිතුරා
“පින්වත් තරුණය, කරුණු හතරකින් ආනුකම්පක නම් සුහද මිතුරා දැන ගත යුතුයි.
1. (අභවේනස්ස න නන්දති) තමන්ගේ මිතුරාගේ පිරිහීම ගැන සතුටු වෙන්නේ නෑ.
2. (භවේනස්ස නන්දති) දියුණුව ගැන සතුටු වෙනවා.
3. (අවණ්ණං භණමානං නිවාරේති) අන්‍යයන් විසින් තමන්ගේ මිතුරාගේ නුගුණ කියන විට එය වළක්වනවා.
4. (වණ්ණං භණමානං පසංසති) මිතුරාගේ ගුණ කියන කෙනා ව පසසනවා.
මිතුදමට මේ වගේ සොඳුරු ලක්ෂණ ඇති අයව ලැබුණොත් ඒ මිතුදම ගැන කටයුතු කළ යුත්තේ කොහොමද?
ඒතේ පි මිත්තේ චත්තාරෝ – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
සක්කච්චං පයිරුපාසෙය්ය – මාතා පුත්තං’ව ඕරසං
නුවණැත්තා මේ කරුණුවලින් මේ මිතුරන් සිව් දෙනා සැබෑම සුහද මිතුරෝ ලෙස හඳුනාගෙන තම කුසෙහි උපන් පුතුට සලකන මවක සේ සකස් කොට ඇසුරු කළ යුතුයි.”
ලෝකයට මිතුරන් සහ මිත්‍ර පතිරූපකයන් හඳුනාගන්න ආකාරය පවා දේශනා කළ මහා කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේගේ දහමින් සුන්දර මිතුදම් ඇති කරගැනීමට උවමනා කරන නුවණ අපි මේ ලිපියෙන් ඔබට සමීප කළා. ඒ නුවණින් තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඔබ හැම දෙනෙක්ට වාසනාව ලැබේවා!
තෙරුවන් සරණයි!
Recent Comments