යේ කේචි බුද්ධං සරණං ගතා සේ – න තේ ගමිස්සන්ති අපායං”‍ – යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් ඔවුහු අපායේ නොයත් කියා ධර්මයේ සඳහන් වෙනවා. බෞද්ධයන් සියලු‍ දෙනාම “‍බුද්ධං සරණං ගච්ඡාමි”‍ කියා “මම බුදුන් සරණ යමි.” යි කියූ අයයි. එනමුදු කාලයක පටන් මැරෙන මැරෙන අය ප්‍රේත ලෝක ආදියේත්, නාග ලෝක ආදී තිරිසන් ලෝකවලත් ඉපිද ඇති වග නම් දැනගන්ට ලැබෙනවා. එනම්, කටින් කියූ පමණින් සරණ නොලැබෙන බව නොවේ ද මෙහි අදහස…

ඒ වගේම අද අපි මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වුණාට මරණින් මත්තේ කවුරු වේවි ද කියලා කියන්න බැරි අනතුරක් අපේ ජීවිතවල තියෙනවා. හේතුව, අපි සතර අපායට වැටෙන ස්වභාවයේ ඉන්න අනියත ගති ඇති අය නිසයි. ඇසිපිය හෙළන මොහොතෙන්, සතර අපායට ගෙන යන අකුසල් අපේ සිතේ හට ගන්න බව හිතට එබී බැලු‍වොත් පෙනෙයි. ඒ තරමට මේ අකුසල් ජීවිතය අභ්‍යන්තරයට කිඳා බැහැලාමයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, අපේ ම කර්මයෙනුත් හොඳට බැට කන්ට වෙනවා. සසර පුරුදුත් එමටයි. මෝඩකම නිසා කෙළවරක් නැතුව වළවල්වල වැටෙනවා නේද? ඒ මදිවට අමනුෂ්‍ය ප්‍රශ්න. හදිහූනියං කරනවා. ජරා මරණ දුකෙන් වෙලිලා ඉන්නේ. පින් බලයකුත් හරියට නෑ. සක්කාය දිට්ඨිය නිසා පටලැවිලා ඉන්නෙ. ලෙහාගන්න කොනක් පොටක් හොයාගන්න බැරුව ඉන්නෙ. අවිද්‍යාව කියන අඳුරේ ගිලිලයි ඉන්නෙ. අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාදෘෂ්ටිය බලවත් වෙලා තියෙන්නෙ. කෙලෙස් වරුසාවෙන් නිතර තෙමිලා ඉන්නෙ. හැමතැනම අධර්මය පැතිරිලා. ඉතින් මේ වගේ මහා භයානක තත්ත්වයක අපේ ජීවිත තියෙන්නෙ. අපි අසරණයි. මේ අසරණකමෙන් මිදෙන්න සරණ පිහිටන හැටි ඔබට මේ ලිපියෙන් දැනගන්ට ලැබේවි.

ශක්තිමත් ගොඩනැගිල්ලක පදනම තමයි එහි අත්තිවාරම. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ අත්තිවාරම තමයි ‘සරණ’ කියලා කියන්නෙ. සරණක් අවැසි නම් පළමුවෙන් ම අපේ අසරණකම ගැන හොඳට තේරුම් ගන්නම ඕන. බුද්ධ කාලයේ සිටි මිනිසුන්ගේ පින් බලය නිසා වචනයෙන් කියූ පමණින් සරණ පිහිටියා. අද අපි ගිරව් වගේ “‍මම බුදුන් සරණ යමි” ය කියා දහස් වර කීවත් සරණ පිහිටන්නෙ නෑ. හේතුව නම් සරණ කියන්නෙ මොකක්ද කියා පැහැදිලි කරගෙන නැති නිසා. ඒ වගේ ම සරණ පිහිටන අයුරින් මෙනෙහි කරන්න දක්ෂ නැති නිසා. අපේ හිත පිහිටන්නෙ, හිත බැසගන්නේ අපි සංවේදී දේවලටයි. අපට රාගයක්, ද්වේෂයක්, මානයක් හට ගත්තාම ඒකෙ හිත පිහිටන්නෙ ඒක හොඳට හිතේ අටුවන් බැහැල තියෙන නිසා. ඒකට සංවේදී නිසා. ඒත් ශ්‍රද්ධාව හට ගත්තාම, සරණ ගියාම ඒකේ හිත බැසගන්නෙ නැත්තේ අපේ හිතේ කුසල් මුල් බලවත් නැති නිසා, පැහැදීම බලවත් නැති නිසා. අපේ පැහැදීම බලවත් කරගත්තොත්, ‘ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ සියලු‍ කෙලෙස් ප්‍රහාණය කළ සේක. භාග්‍යවතුන් වහන්සේ තමයි මට සරණ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළේ කෙලෙසුන් නැසීමටයි. ඒ නිසා මේ ධර්මයත් මට සරණක්. බුදු සමිඳුන්ගේ ශ්‍රාවක සංඝරත්නය මේ කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඒ නිසා ශ්‍රාවක සංඝරත්නයත් මට සරණක්.’ කියලා, එතකොට තමයි සරණ පිහිටන්නෙ. අපි අනියත ගති ඇති අය නිසා සෝවාන් වන තුරු අපට රැකවරණයක්, සරණක් වුවමනයි කියලා මේවා හරි විදිහට පැහැදිලි කරගෙන තියෙන්න ඕන.

දවසක් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා ‘මේ ලෝක සත්වයා පිහිටලා ඉන්නෙ කුමක් මතද?’ කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නෙ ‘මේ ලෝක සත්වයා පිහිටලා ඉන්නෙ දුක මත.’ කියලයි. ඒ බුදු වදන මොනතරම් නම් සත්‍යයක් ද! මේ කරුණ අපි හොඳට මතක තියාගන්න ඕන. අපි දුක් ගොඩක ඉන්න බව අමතක වුණොත් අපිට සරණට පැමිණෙන්න බැරි වෙනවා ම යි.

අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ඈත පැල්පතක දැල්වෙන පහන් එළියක් දකින්නට ලැබුණොත් ඒක දිහා බලාගෙන ආලෝකය තියෙන දිශාවට යන්න පුළු‍වන්. ඒ වගේ… ‘භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝරත්නය සරණ යෑම’ අන්ධකාරයේ ඈත පේන එළි වගේ පේන්ට ඕනෑ. එතකොට අඳුර මැදින් හෙමිහිට ඉලක්කය තියෙන දිශාවට යන්න පුළු‍වන්. ඒ විදිහට තමන්ගේ ජීවිතයේ පිහිටට තියෙන දෙය පැහැදිලි කරගන්න ඕන, යහපත අයහපත තේරුම් ගන්න ඕන. එතකොට අනෙක් දේවල් ප්‍රශ්න නොවේවි…

අපේ හිතේ සරණ පිහිටන ආශ්ච© වූ ක්‍රමයක් තියෙනවා, ඒක මනාව තේරුම් අරගෙන ජීවිතයට ගළපා බලන්න ඕන, පුරුදු කරන්න ඕන, නිතර නිතර මෙනෙහි කරන්න ඕන. එතකොට සරණ මේ හිතේ පිහිටනවා ම යි. ඒක මේ විදිහට තේරුම් ගමු. යම් හේතුවක් නිසා ඔබට තරහක් ඇති වූ විට මේ විදිහට සිහි කරන්න ඕන. ‘මෙන්න මං තුළ තරහක් හටගත්තා, ඒක මහා භයානක දෙයක්, මාව දුගතියට රැගෙන යන දෙයක්, අනේ මං සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ මේ ද්වේෂයෙන් සදහටම නිදහස් වූ උත්තමයෙක් නේද? භාග්‍යවතුන් වහන්සේට මෙහෙම තරහ හටගන්නෙ නෑනේ. එහෙනම් උන්වහන්සේ ම යි මට සරණ.’ කියලා ඔන්න සරණ යන හැටි තේරුම් ගන්න. ඊටපස්සෙ හිතන්න ඕන, ‘ඒ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාළා ද ඒ ධර්මයෙන් අපට කියා දුන්නෙත් මේ අකුසල් ප්‍රහාණය කරන්න ම යි. එහෙනම් මේ ධර්මය මට සරණක්. මේ ධර්මයේ හැසිරුණු ශ්‍රාවක සංඝරත්නය මට සරණක්. උන්වහන්සේලා මේ ධර්මය පුරුදු කරලා සියලු අකුසල් ප්‍රහාණය කළා.’ කියලා. මේ විදිහට සරණ මෙනෙහි කරද්දී කරද්දී අර ද්වේෂය එයාගේ හිතේ පිහිටන්නෙ නැතුව යනවා. සරණෙහි ම හිත පිහිටන්න ගන්නවා. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ, “මහණෙනි, යම් විටක තථාගතයන් වහන්සේ ව සිහි කරයි ද ඒ අවස්ථාවේ ඔහුගේ සිත රාගයෙන් යට නොවෙයි. ද්වේෂයෙන් යට නොවෙයි. මෝහයෙන් යට නොවෙයි.” කියලා.

ඒක හරියට මේ වගේ දෙයක්. වැස්ස වෙලාවට නොතෙමී ඉන්න පුළු‍වන් විශාල කුඩයක් වගේ (ඡත්තං මහන්තං යථ වස්ස කාලේ). කුඩේ ළඟ නැති කෙනා වැස්ස වහිනකොට වැස්සට තෙමි තෙමී විඳවනවා මිසක් බේරිල්ලක් නෑ. වැස්සෙන් බේරෙන්න නම් එයා ළඟ කුඩේ තියෙන්න ඕන. කුඩේ තියෙනවා නම් වැහිබිඳු එක දෙක වැටෙනකොට එයා ඉක්මනට කුඩේ ඉහළ ගන්නවා.

එතකොට වැස්සට තෙමෙන්නෙ නෑ. කුඩෙන් ආවරණය වෙලා තියෙන නිසා බේරෙනවා. (ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ) ධර්මයේ හැසිරීමේ ආනිශංසය මෙයයි. (න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී) ධර්මයේ හැසිරෙන කෙනා දුගතියේ යන්නෙ නෑ.

ඔය විදිහට අපේ හිතේ රාගය, ද්වේෂය, ඉරිසියාව, උඩඟුකම, භය ආදී ළාමක මනෝ විතර්ක හට ගන්න වාරයක් වාරයක් පාසා භාග්‍යවතුන් වහන්සේගේ සරණ මෙනෙහි කළොත් ටික ටික එයාගෙ හිත සරණෙ ම පිහිටනවා. කෙලෙස් හිතෙන් බැහැර වෙනවා.

හරියට වැස්ස වහින හැම අවස්ථාවේ ම කුඩේ ඉහළා ගත්තොත් නොතෙමී ඉන්න පුළු‍වන් වගේ. ඉතින් හිත සරණේ පිහිටනකොට ඒ සරණ තුළ තමයි ධර්මය වැඩ කරන්නේ. ඒ සරණ නොපිහිටන තාක් කල් ධර්මය දැනුමක් පමණයි. දැනුමකින් එහාට දෙයක් ලබන්න බෑ. හේතුව තමයි තමන් තුළ ශ්‍රාවක භාවය පිහිටලා නැති නිසා. ඒක තියේවි ආභරණයක් වගේ. නමුත් ඊට එහා දෙයක් ඒකට කරන්න බෑ. ඒ නිසා, මේ සරණේ පිහිටා සිටීම කියන්නේ මහානුභාව සම්පන්න දෙයක්.

එතකොට තමන්ගේ හිතේ ළාමක අකුසල් හටගන්නකොට සරණ ම මෙනෙහි කරන්න ඕන. තමන්ගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ආඩම්බරකමක්, භයක් තැතිගැනීමක් ඇති වුණා ම, ‘අනේ බුදුරජාණන් වහන්සේට මේ කෙලෙස් නෑනේ.’‍ කියලා මෙනෙහි කරන දේ සත්‍යයක් ද? අසත්‍යයක්? සත්‍යයක් ම යි. මේ ධර්මය පුරුදු කිරීමෙන් ළාමක අකුසල් දුරුවෙනවා කියන එක සත්‍යයක් ද? අසත්‍යයක් ද? සත්‍යයක් ම යි.

මගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය මෙවැනි අකුසල් දුරු කළා කියන දෙය සත්‍යයක් ද? අසත්‍යයක් ද? සත්‍යයක් ම යි. ආන්න ඒ සත්‍යය තුළයි ආනුභාවය තියෙන්නෙ. ඒ ආකාරයට මෙනෙහි කරන්න දක්ෂ නොවන තාක් කෙලෙස් වරුසාවෙන් තෙමි තෙමී තමයි ඉන්න වෙන්නෙ. ධර්මය මෙනෙහි කිරීමේ දක්ෂතාවය තමයි මේකේ අත්තිවාරම, පදනම. ධර්ම ඥානය හරියට තමන් තුළ පිහිටන්න නම් ඒකට වුවමනා කරන මූලික ම දේ තමයි සරණ කියන්නෙ. ඒ කියන්නේ තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව මතක තිබීම, ධර්මය සරණ ගිය බව මතක තිබීම, ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය බව මතක තිබීම. ඒ මතකයෙන් බැහැර වෙච්ච දැනුම තමන්ට ආඩම්බරකමක් සපයයි. ‘අන් අයට වඩා තමන්ට දැනුමක් තියෙනවා’ කියලා උඩඟු සිතක් ඇති කරලා දෙයි. තමාත් දැන් යමක් කමක් දන්න කෙනෙක් කියලා තමන්ට හිතෙයි. ඊට එහා දෙයක් නෑ, ඊට එහා දෙයක් ලැබෙන්න නම් නිතර ම තමන්ට සරණ සිහිවෙලා තියෙන්න ඕන. ඒ වගේ ම තමන් සීලයක පිහිටි බව සිහි වෙන්න ඕන. ඔය මූලික සරණටයි, සීලයටයි කියන්නේ සෝතාපත්ති අංග සමාදන් වෙනවා කියලා…

සෝවාන් වුණ කෙනෙකුට නම් බුදුසමිඳුන් කෙරෙහි පිහිටි පැහැදීම සෙලවෙන්නෙ නෑ. ඒ වගේ ම ධර්මය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි පිහිටි පැහැදීම සෙලවෙන්නෙ නෑ. සීලයත් ආ©කාන්ත බවට පත් වෙනවා. එතකොට සරණ ම යි ස්ථිර වෙන්නෙ. සරණ මනාකොට නොපිහිටපු කෙනා දහම් කතාව කරන්නෙ අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීමටයි. ඊට එහා දෙයක් නෑ. සරණින් බැහැර වෙලා විමුක්තියක් හෙව්වට ඒ විමුක්තිය කවදාවත් ලැබෙන්නෙ නෑ. ‍ඒ කියන්නේ සරණ නැතිව කවදාවත් ධර්මය අවබෝධ කරන්න බෑ. කිසිදු මගඵලයක් ලබන්න බෑ. ඒ නිසා මේ කරුණු තේරුම් අරගෙන සරණේ මනාකොට පිහිටියහොත් ඒ කෙනාගේ හිතේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි මහා ගෞරවයක් හටගන්නවා, ඒ ගෞරවයෙන් ධර්මය සේවනය කරනවා. අන්න එතකොටයි ධර්මය පිහිටන්නේ.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.