අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා මේ වෙසක් පුන් පොහොය දිනයට වසර 2569ක් සම්පූර්ණ වනවා. ඒ සා කාලයක් ගෙවී ගියේ වී නමුත් ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේගේ සංසාරික පුණ්‍ය තේජස දැනුදු නොසිඳී ප්‍රකට වන බව නම් අතිශයින් ම අසිරිමත්!

සිරි දළදා වන්දනා පෙළහර…

දස දිනක් පුරා සෙංකඩගල දළදා මැදුරේ දී සර්වඥ වාම ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක බලා වන්දනා කරන්නට අපට ඉඩහසර වෙන් කෙරුණේ තථාගතයන් වහන්සේගේ පුණ්‍ය තේජස කෙබඳු වීදැයි යම් පමණකින් හෝ සිතන්නටත් අපට අවකාශ සලසමින්. ‘උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ දැක බලා වන්දනා කරන්නට භාග්‍යය සැලසෙනවා’ යැයි ඇසූ පමණින් බොහෝ පිරිස් උන්වහන්සේ වෙත එළඹෙන්නට කැමති වුණා. එසේ වන්දනාවට පැමිණි ජනයා ලක්ෂ සංඛ්‍යාතයි. දැඩි හිරු රශ්මියෙන් පීඩා එළඹෙද්දීත්, දිනය දෙක තුන ආදී ලෙස පෝලිම්වල රැඳී සිටින්නට සිදු වන තරමට ජනීජනයා එක්රැස් වෙද්දීත්, අවසන් දින කිහිපයේ කඩින්කඩ මහ වැසි ඇද හැළෙද්දීත්, කෑමබීම ඉඩපහසුකම් සනීපාරක්ෂක පහසුකම් කෙලෙස වේදැයි කියා අවිනිශ්චිත වෙද්දීත්, රෝගපීඩා ඇති වෙද්දීත්… ඒ සියලු පීඩාවන් දරාගෙන – දළදා වහන්සේ කරා එළඹීම ම පෙරටු කොටගෙන මංමාවත් දිගේ රැඳී සිටි පිරිස සංඛ්‍යාත්මක ව සුළුපටු නැහැ…

ඒ වගේ ම, ලක්ෂ සංඛ්‍යාත වූ ජනකායකට ආහාරපානාදියෙන් සත්කාර කරන්නට දිවා රැය වෙහෙසුණු අපමණ පිරිසක් සිටියා. එක් රැස් වන කැළිකසළ බැහැර කරමින්, ගිලන් වූවන්ට උපස්ථාන කරමින්, ස්වකීය පිරිස් මග හැරී අතරමං වූවන්ට එකිනෙකා මුණගස්වමින්, ආරක්ෂාව සපයමින්, මෛත්‍රී සහගත වචනවලින්, මෛත්‍රී සහගත ක්‍රියාවලින් ඇපඋපකාර කළ අපමණ පිරිසක් සිටියා. තෙරපි තෙරපී, දහඩිය වැගිරි වැගිරී සිටිද්දී පවා සෙත්පිරිත් සජ්ඣායනා කරමින්, බුදු ගුණ ම කියමින් පියවරින් පියවර ශාස්තෘන් වහන්සේට සමීප වීම ගැන තුටු සිතින් ඔද වැඩුණු පිරිස් සිටියා. දැඩි මාර්ග තදබදයන් අතරේ දෛනික කටයුතුවලට මහනුවර නගරය හරහා යද්දි එද්දී මේ අසිරිමත් ජන ගංගාවන් දැක දැක ඔවුනට අව් වැසි ආදියෙන්වත් පීඩාවක් නම් නොවේවා කියා මෙත් වැඩූවන් ද සිටියා…

ලබන පිරිවරක අසිරිය…!

බුදු පුදට මේ සා පිරිවරක් රොද බැඳීම කවර නම් අසිරියක් ද! ශ්‍රද්ධා ඇති – නැති, ප්‍රඥා ඇති – නැති, කෙලෙස් ගිනිවලින් දැවි දැවී වුවත් අනලස් ව මේ බුද්ධ වන්දනාමය පූජෝපහාරයට ඒකරාශී වූ සුදුවතින් සෙංකඩගල පිරී ඉතිරී යාම කවර අරුමයක් ද! ඒ වනාහී අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය තේජස ම යි!

මහා පුරිස් ලකුණු දෙතිසක් සහිත ව අවසන් සිරුර දරාගෙන මනුලොව වඩිනා ඒ මහා බෝසතාණන් වහන්සේගේ පින් සිරුරෙහි දන්ත ධාතූන් වහන්සේලා සම්බන්ධ ව මහා පුරිස් ලකුණු සතරක් තිබෙනවා. ඒ අතරින් සතලිසක් වූ දත් ඇති බවත්, දත් අතර විවර නැති බවත් යන මහා පුරිස් ලකුණු දෙක පිහිටන්නේ පූර්ව ජීවිතවල දී බෝසතාණන් වහන්සේ කේළාම් කීම අත්හැර, කේළාම් කීමෙන් වැළකී, බිඳී සිටින්නවුන් සමඟි කිරීම ද සමඟි වූවන්ගේ සමඟියට ම අනුබල දීම ද සමඟියෙහි ඇලෙමින්, එයින් සතුටු වෙමින්, සමඟිය ඇති වන වචන ම කියමින් නැවත නැවත බොහෝ කොට ඉතා බලවත් ව එහි ම යෙදීම ද සිදු කළ නිසාවෙනුයි. එහි පුණ්‍ය විපාකය ලෙසින්, යම් කලෙක අරහත් සම්මා සම්බුදු බවට පත් වූයේ ද එකල්හී නොබිඳිය හැකි (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දේව මනුෂ්‍ය අසුර නාග ගාන්ධර්ව ආදී) පිරිස් ලැබෙනවා…

දන්ත ධාතූන් වහන්සේලා සම වූ බවත්, ඉතාමත් ම සුදු පැහැයෙන් යුතු බවත් යන මහා පුරිස් ලකුණු දෙක පිහිටන්නේ බෝසත් අවදියේ දී මිථ්‍යා ආජීවය දුරු කොට සම්මා ආජීවයෙන් යුතු වෙමින්, කිරුම් මිනුම් ආදියෙන් වංචා නොකරමින්, අල්ලස් ආදිය නිසා හෝ රැවටිලි නොකරමින්… අත් පා සිඳීම්, වධ හිංසා පැමිණවීම්, පැහැර ගැනීම්, බලහත්කාරයෙන් උදුරා ගැනීම් ආදියෙන් සම්පූර්ණයෙන් ම වළකිමින්, නැවත නැවතත් බලවත් ව ඒ ආකාරයෙන් ම කටයුතු කිරීම නිසාවෙනුයි. එහි පුණ්‍ය විපාකය ලෙසින්, යම් කලෙක අරහත් සම්මා සම්බුදු බවට පත් වූයේ ද එකල්හී පිරිසිදු (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දේව මනුෂ්‍ය අසුර නාග ගාන්ධර්ව ආදී) පිරිවර ලැබෙනවා…

යසසින් අගපත් මුනිවරයාණෝ…!

ඉදින්, මහා පුරිස් ලකුණු සතරකින් සුසැදි උත්තම ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නට ඉඩ ලැබෙනවා ය යන වචන මාත්‍රයෙන් ම උන්වහන්සේ වෙත එළඹෙන්නට සිව්වණක් පිරිස සිව් දෙසින් මහා ගංගාවන් සේ සෙංකඩගල කරා පැමිණීමත් තථාගතයන් වහන්සේගේ ම පුණ්‍ය තේජස යි!

“පහව ගිය වලාකුළු ඇති අහසෙහි නැගී දිලෙන පුන්සඳක් සේ, නිර්මල ව රැස් විහිදා බබළන හිරු මඬලක් සේ, මහා මුනි වූ අංගීරස බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ද
එසේ ම යසසින් සියලු ලෝකයා අබිබවා බබළන සේක!”

(ගග්ගරා සූත්‍රය – සං. නි. 1)

පිරිනිවන් වැඩි මුනිරජුන්ගේ ධාතූන් වහන්සේ පවා මෙසේ පෙළහර පාන්නේ නම්… අපගේ ශාස්තෘන් වහන්සේ කොපමණ නම් ආශ්චර්යවත් වන්නට ඇති ද! සසරේ රැස් කළ පුණ්‍ය බල මහිමයෙන් බෝධි මූලයේ දී දස මරුන් පරදා සියලු දුකින් මිදී ගිය, ආශ්චර්යවත් සම්බුදු ගුණයන්ගෙන් සමන්නාගත වූ දසබලධාරීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

යසසෙහි නොබැඳුණු සිහරජිඳාණෝ…!

පිරුණු පින් ලකුණු ඇති අභිරූපී සම්බුදුකායෙන් ද අතිශය සියුම් වූ, අතිශය ගැඹුරු වූ, වැඩී ගිය මහා නුවණින් යුතු වූ අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් බැබළී ගිය අසිරිමත් ධර්මකායෙන් ද සමලංකෘත වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ වෙසෙද්දී කෙළකෝටි ගණනින් වූ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම, නාග ආදී සපිරිවර සෑමකල්හි ම උන්වහන්සේ පිරිවරා ගත් බවට සැක නැහැ. ඒ සා පරිවාර සම්පත්තියෙන් පිදුම් ලබද්දී පවා ඒ තථාගතයන් වහන්සේගේ සිත පිරිසෙහි නොඇළුණු බව, පිරිවර හා එක් නොවූ බව කවර නම් අසිරියක් ද!

“ඒ භාග්‍යවතුන් වහන්සේ නිවන් මගෙහි හික්මීමට පිළිපන් සේඛ ශ්‍රාවකයන්ගෙන් ද බඹසර වැස නිම කළ රහතන් වහන්සේලාගෙන් ද ලද සහායයෙන් යුතු සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සිතින් බැහැර කොට හුදෙකලා බවෙහි ඇළුණු සිතින් වසන සේක.

මෙසේ ශ්‍රාවක පිරිස් මැද හුදෙකලා බවෙහි ඇළුණු සිතින් වසන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේත් නොදකිමු. මෙකල්හීත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.”

(මහා ගෝවින්ද සූත්‍රය, දී. නි. – මහා වර්ගය)

ලොව අන් කිසිවෙකුට සම කළ නොහැකි, සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට පමණක් ම සම කළ හැකි අනන්ත බුද්ධ ගුණයන්ගෙන් බැබළී ගිය විශාරද ගුණ මුහුදාණන් වහන්ස, පරිවාර සම්පත්තිය ලැබෙන්නේ ම වීත් කිසි ලෙසකින්වත් ඒ පරිවාර සම්පත්තියෙහි නොඇලී, හුදෙකලාවේ ම – හුදෙකලා සිතින් යුතුව ම සැප සේ වැඩ වාසය කළ බව නම් වූ උතුම් සම්බුදු ගුණය සිහි කොට අපිදු ඔබ වහන්සේට නමස්කාර කරමු, අපගේ නමස්කාරය වේවා!

සටහන – උදුලා පද්මාවතී.