පින්වත් යොවුන් දූ දරුවනේ,
‘විඳවන සිත්’ කියන වචනේ ගොඩාක් අයට ආගන්තුක නෑ. මේ ලිපිය කියවන්න පටන් ගන්න ඔබත් ඇතැම් විට මේ වචනේ නිසාම ලිපිය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඇති. නමුත් මේ නම ලිපියට යොදන්නේ ඔබේ අවධානය ගන්න අදහසින් නොවේ. ඔබට විඳවන කරුණක් තිබේ නම් සැනසුමක් දෙන අදහසින්.
ඉතින් ආරාධනා කරනවා බොහෝම සෙනෙහසින්, විඳවන සිතක් ඇතිව වුණත් ඔබ අවසානය තෙක් මේ ලිපිය කියවන්න. ඔබට සැනසුමක් ලැබේවි!
අදහන්න…
ඔව්! අදහන්න ඔබ කම්ඵල. හැම කර්මයකට ම විපාකයක් තිබෙනවා කියන කරුණ අදහන්න. අපගේ සම්බුදුරජුන් කරජකාය සූත්‍ර දේශනාවේ දී මෙසේ වදාළා.
“මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකය වනාහී මේ ජීවිතයේ දී හෝ ඊළඟ ජීවිතයේ දී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේ ය. මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ දුක අවසන් කිරීමක් ගැන නොකියමි.”
මේක ඇතැම් විට ඔබට නුවණින් කල්පනා නොකළොත් බියක් ඇති කරන කරුණක් වෙන්න පුළුවන්. නමුත් හොඳ නුවණින් කල්පනා කරද්දී දැනෙන්නේ මේ කර්ම විපාක ගැන කථාව අදහා ගත හැකි නම් ඒක මහා සැනසුමක් කියලා.
වපුරපු විදිහට තමයි පැළ වෙන්නේ…
වී වැපිරුවොත් පැළ වෙන්නේ වී. බණ්ඩක්කා තවාන් දැම්මොත් පැළ වෙන්නේ බණ්ඩක්කා. අඹ ඇටයක් හැදුවොත් පැළ වෙන්නේ අඹ ගහක්. මේ වගේ අපි වපුරන දේට අනුව ඵල හටගන්න එක අපේ ම අත්දැකීමක් නේද? කවදාවත් අපි වපුරපු දේට වඩා වෙනස් දෙයක් පැළ වෙයි කියලා බයෙන් ඉඳලා තියෙනවා ද?
ඔයාලා ඔයාලගේ අතින් ගෙදර වත්තේ තැනක අඹ ඇටයක් හිටෙව්වා කියලා හිතන්න. කවදාවත් ඔයාලා අනපේක්ෂිත හැඟීමක ඉඳලා තියෙනවා ද ‘මං හිටෙව්වේ නම් අඹ ඇටයක්. නමුත් මොකක් පැළ වෙයි ද දන්නේ නෑ’ කියලා.
අපි දන්නවා හොඳටම, අපිට විශ්වාසයි, අපි අදහනවා නේද අඹ ඇටයක් හිටෙව්වොත් පැළ වෙන්නේ අඹ ගහක් ම බව. අන්න ඒ වගේමයි, ඔබේ ම ක්‍රියාවට අනුරූප වූ විපාකයක් තමයි ලැබෙන්නේ. පිනක් නම් කළේ, විශ්වාස කරන්න පුණ්‍ය විපාකයක් තමයි ලැබෙන්නේ. යහපත නම් කළේ යහපත් විපාකයක්මයි ලැබෙන්නේ. කුසල් නම් කළේ විපාකය කුසල විපාකයක්මයි. හොඳක් කළොත් විපාකය හොඳ විපාකයක්මයි.
යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං
පවුත්තං තාත තේ බීජං – ඵලං පච්චනුභොස්සසීති
“වපුරන්නේ යම් ආකාර බීජයක් ද අස්වැන්නට ලැබෙන්නේ එබඳු බීජයන්මයි. යහපත් දේ කරන කෙනා, යහපත් විපාක ලබනවා. පව් කරන කෙනා පව් විපාක ලබනවා. දරුව, ඔබත් යම් කිසි බීජයක් වැපුරුවා. ඒකෙ ඵලය ඔබ ම යි ලබන්න ඕන.”
(ඉසයෝසමුද්දක සූත්‍රය – සං. නි.)
දැන් අස්වැන්න සවුත්තු නම්…
ඇත්තෙන්ම දැන් අස්වැන්න සවුත්තු නම් කරන්න තියෙන හොඳ ම ප්‍රායෝගික දේ තමයි අලුතෙන් වපුරන දේ හොඳ උනන්දුවකින් වටිනා විදිහට වපුරා ගැනීම. මෙතැනින් තමයි විඳවන සිතට සැනසුමක් උපදින්නේ.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සැවැත්නුවර අයත් කෝසල රාජ්‍යය පාලනය කළේ පසේනදී කෝසල කියලා නිරිඳෙක්. ඔය නිරිඳුන්ගේ අගමෙහෙසි වුණේ මල්ලිකා. මල්ලිකා අගබිසව් කොසොල් රජු සමඟ විවාහ වෙද්දී වයස දහසයයි. ඒ කාලේ ඈ ගොඩාක් ලස්සන රූ සපුවක් තිබුණ තැනැත්තියක්.
නමුත් විවාහයෙන් ටික කලෙකින් ඇයගේ සිරුර තරබාරු වුණා. අංගපුලාවක් නැති ශරීරයක් වුණා. මොනතරම් වෑයම් කළත් ඇයගේ ශරීර හැඩය ලස්සන කරගන්න බැරි වුණා. ඇය මේකෙන් ගොඩාක් මානසිකව විඳෙව්වා.
විඳවපු හිත නිවුණා…
දවසක් ඇය බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මෙහෙම ඇහුවා. “ස්වාමීනී, මේ සමාජේ ඇතැම් කාන්තාවෝ හරිම ධනවත්. නමුත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් හරිම දුප්පත්. ස්වාමීනී, ඇයි මෙහෙම වෙනසක්?”
බුදුරජාණන් වහන්සේ වදාළා “මල්ලිකා සසරේ දන් දීපු ස්ත්‍රීන් තමයි මේ ජීවිතේ ධනවත් ව සිටින්නේ. මල්ලිකා පෙර ජීවිතවල දන් නොදුන් තැනැත්තියන් මේ ජීවිතේ දුප්පත් වී සිටිනවා.”
මල්ලිකා දේවිය එය අනුමෝදන් වෙලා දෙවැනි ප්‍රශ්නයක් විමසුවා. “ස්වාමීනී, මේ සමාජයේ ඇතැම් ස්ත්‍රීන් හරිම සම්භාවනීයයි. ප්‍රසිද්ධයි. පිළිගැනීම් බහුලයි. මහේශාක්‍යයයි. ඒත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා කිසි පිළිගැනීමක් නැති, අප්‍රසිද්ධ, අල්පේශාක්‍යය. ඇයි ස්වාමීනී, මේ වගේ වෙනසක් තිබෙන්නේ?”
“මල්ලිකා, පෙර ගෙවා ආ සසරේ අනුන්ට ඉරිසියා නොකළ නිසා, අනුන්ගේ දියුණුවට අතහිත දුන් නිසා, පිදිය යුත්තන් පිදූ නිසා, ගරු කළ යුත්තන්ට ගරු කළ නිසා තමයි ස්ත්‍රීන් ප්‍රසිද්ධ සම්භාවනීය මහේශාක්‍ය තැනැත්තියන් වී ඉපදී සිටින්නේ. අතීතේ අනුන්ගේ දියුණුවට ඉරිසියා කරමින්, අකුල් හෙළමින්, පිදිය යුත්තන්ට වැඳිය යුත්තන්ට නිගරු කරමින් පැමිණි තැනැත්තියන් මේ ජීවිතේ අල්පේශාක්‍ය තැනැත්තියන් වී සිටිනවා.” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එතකොට මල්ලිකා බිසව් අවසාන ප්‍රශ්නය විමසුවා. “ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන්ගේ රූ සපු ඉතා ම ලස්සනයි. ඔවුන්ට උපතින් ම ලැබිලා තියෙන්නේ සුන්දර රුවක්. නමුත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන්ගේ රුව හරි ම අවලස්සනයි. උපතින් ම අවලස්සන රූ සපු තියෙන ස්ත්‍රීනුත් ඉන්නවා. ඇයි ස්වාමීනී මෙහෙම වෙනසක්?”
බුදුරජාණන් වහන්සේ වදාළා “මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් ගොඩාක් ලස්සන රූ සපු ඇතිව ඉපදී සිටින්නේ ඔවුන් සසරේ මෙත් සිතින් සිටපු නිසා. ගොඩාක් දුෂ්කර තැන්වල දී පවා නොකිපී සිටි නිසා. ක්‍රෝධ බහුලව වාසය නොකළ නිසා. ඒත් ඇතැම් ස්ත්‍රීන් ක්‍රෝධ බහුලව මෙත් සිතින් තොරව ජීවත් වුණ නිසා තමයි මේ ජීවිතේ රූපය අවලස්සන වෙලා තියෙන්නේ.”
හොඳ දේ තවත් හොඳින් කරමි…
මල්ලිකා අගබිසව මේ දහම් සංවාදයෙන් පසුව බණපදේ ජීවිතේට ගත් විදිහ හරි ම වටිනවා. ඇය බුදුරජුන්ට මෙහෙම පැවසුවා.
“ස්වාමීනී, මට තේරෙනවා මං කලින් ජීවිතවල ගොඩාක් දන් දීපු තැනැත්තියක්. මොකද ස්වාමීනී, මේ කෝසලයේ ම මම ගොඩක් ධනවත් ස්ත්‍රියක්. ස්වාමීනී, මම ඒ සසරේ දන් දුන් පුරුද්දෙන් තමයි මේ ජීවිතේ සැපවත් වුණේ. ඒ මම ඒ දන් දීමේ පුරුද්ද මේ ජීවිතේත් අඛණ්ඩව පවත්වනවා.”
“ඒ වගේමයි ස්වාමීනී, මම පෙර ජීවිතවල ඉරිසියා කරලත් නෑ. පිදිය යුත්තන් පිදීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම පුරුදු කරපු තැනැත්තියක්. ස්වාමීනී, ඒ මම මේ ජීවිතේ මුළු කෝසලයේ ම සම්භාවනීය ම මහේශාක්‍ය ස්ත්‍රිය වී උපන්නේ ඒ නිසානේ. ඒ මගේ හොඳ පුරුද්ද වන ඉරිසියා නොකිරීම මම දිගට ම පුරුදු කරනවා. දියුණු වෙන අයට අතහිත දෙනවා. පිදිය යුත්තන් පුදනවා. ගරු කළ යුත්තන්ට ගරු කරනවා.”
වැරදුණු තැන මේ වතාවේවත් හදමි.
“ඒ වගේමයි ස්වාමීනී, මට තේරෙනවා මේ සසරේ අතීත ජීවිතවල මම ක්‍රෝධ බහුලව ඇවිත් තියෙන්නේ. මට මෙත් සිත වඩාගන්න බැරි වී තිබෙනවා. නමුත් ස්වාමීනී, මම මේ ජීවිතේ මගේ ඒ වැරදුණු තැන හදාගන්නවා. මම ස්වාමීනී, මෙත් සිතින් ම ඉන්නවා. ගොඩාක් කියද්දී පවා නොකිපෙන කෙනෙක් වෙනවා. ඉවසීම පුරුදු කරනවා. හිතේ ඇතිවන කේන්තිය ඉක්මනින් අත්හරින කෙනෙක් වෙනවා.”
තමන්ගේ ජීවිතේ නොයෙක් දේවල් නිසා තැවි තැවී ඉන්න අය අතරේ මේ මල්ලිකා දේවිය මොන තරම් බුද්ධිමත්ව තමන්ගේ ජීවිතේ ගැන හිතන්න පටන් ගත්තා ද? පසුතැවීමෙන් අපට ලැබෙන කිසි දෙයක් නෑ. ඒ නිසා පසුතැවි තැවී විඳවන සිතක් නම් ඔයාල පවත්වන්න එපා!
ඔබ මේ වෙද්දී විඳවන, ප්‍රශ්න කරදර පීඩාවලින් බැටකන කෙනෙක් නම් හිතන්න මේ විදිහට. ‘මේ නම් එකත් එකට ම මම අතීතේ වපුරාගත් දේවල දෝෂයක්මයි. දැන් මං මේ විඳවමින් භුක්ති විඳින්නේ අතීතේ වැරදුණු දේවල්නේ. කමක් නෑ. මම ඉවසීමෙන් මගේ අතීතේ දී වැරදුණු කර්ම විඳවලා ගෙවලා දානවා. නමුත් මං මේ ජීවිතේ නම් අසුන්දර දෙයක් වපුරන්නේ නෑ.’
ඔබ දැන් හොඳට පින් කරන්න. පින් කර කර විශ්වාසෙන් ඉන්න ‘මං කරන පින්වලට මට ලැබෙන්නේ පුණ්‍ය විපාකයක්මයි.’ ඔබ දැන් කුසල් කරන්න. විශ්වාසෙන් ඉන්න ‘මං කරන කුසල්වල විපාක ඒකාන්තයෙන් මට ලැබෙනවාමයි.’ ඔබ දැන් ධර්මයේ හැසිරෙන්න. විශ්වාස කරන්න ‘ඒ ධර්මයේ හැසිරීමේ සැප විපාක මට ලැබෙනවාමයි!’
ඉතින් තේරුම් ගන්න…
ජීවිතේ ආපහු හරවන්න බෑ!
ඒ නිසා අතීතේ වැරදුණු දේවල් ගැන
තැවිලා තේරුමක් නෑ!
දැන් කරන කියන හිතන දේට
ලොකු වටිනාකමක් දෙන්න.
හොඳ උනන්දුවකින් මනුස්සකම් පිරුණු
පින් කුසල්වලින් පිරුණු
ලස්සන සුන්දර ජීවිතයක් දැන් හදන්න.
ඔබට අනාගතේ ඔබේ ජීවිතේ දෙස
යළි හැරී බලද්දී
සැනසුමක් දැනෙන විදිහේ ජීවිතයක්
ඔබ ම දැන් හදා ගන්න.
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments