ඒ මහා පුරුෂෝත්තමයා තව්තිසා දෙවිවරු සේ ඇස්පිය නොහෙළත්. ස්වර්ණ වර්ණ කාය ඇති, දෙතිස් මහාපුරිස් ලකුණු දිලෙන ඒ මහා පුරුෂයාණෝ ළදරු කල පටන් විමස විමසා නුවණින් යුතුව කරුණු කියනා හෙයින් ‘විපස්සී’ නම් වී, පසුව ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.

එකල බන්ධුමතී නුවර මනුෂ්‍යයෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දවසින් දවස වැඩි වැඩි කරමින් දන් දෙති. එනුවර දුගී දුප්පත් සන්නාලි මෙහෙවර කරන එක් තරුණයෙක් මෙසේ සිතී.

‘මේ මිනිස්සු හරි ලස්සනට දන් දෙනවා. මගෙ කාලකන්නි දුප්පත්කම නිසා දානයක් දෙන්න පිනක් නෑනෙ! ලෝකෙට පින්කෙත බිහිවෙච්ච වෙලාවේ පිනක් කරගත්තේ නැත්තම්, මං කොහොමද මේ කටුක සංසාරෙන් නිදහස් වෙන්නෙ? මාත් කොහොම හරි දානයක් දෙන්න ඕන.’

හේ දවස පුරා වෙනදාට වඩා වෙහෙසී සුළු මුදලක් උපයා ගති. ඉන් මිලදී ගත හැකි වූයේ මහ මෑ මල්ලක් පමණි. ඉන් ප්‍රීතියට පත් දුගියා අල්ප වූ දාන වස්තුව රන් රුවන් සේ සලකා මහත් බැතියෙන් තම්බා සැකසී ය. එය බඳුනක දමා දෝතින් දරා දන්හලට ගියේ ය.

බුදු රැස් විහිදන විපස්සී මුනි රජුන් මුලසුනේ වැඩ හිඳී. දන්හල කසාවතින් හාත්පස බබුළුවයි. ධනවත් සිටු මැතිඇමතිවරු, නගරවාසීන් ප්‍රණීත ප්‍රණීත භෝජන පිරවූ භාජන ගෙන උරෙන් උර ගැටෙමින් දාන ක්‍රීඩා කෙළෙති.

දුගීතෙම, ‘මේ මිනිසුන්ගේ ප්‍රණීත දානය මැද්දේ මට එක භික්ෂුවකටවත් දානේ දෙන්න නම් ඉඩක් නෑ. ඒත්… මගෙ බුදු සමිඳුනේ… මට නම් මේ අවස්ථාව නැති කර ගන්න බෑ. එක ස්වාමීන් වහන්සේනමකගේ පාත්‍රයකට හරි එක මෑ ඇටයක්වත් වැටුණොත් මට ඒ ඇති… හිමිවරුනි, මගේ දුගී දානෙ පූජා වේවා!’ යි සිතා දෝතින් ම මෑ ඇට ගෙන… හා! පුදුමයකි…! අහසට විසි කළා නොවැ! මෙහෙමත් දනක්! අහෝ! කරුණා සීතල හදමඬලක් ඇති ශාස්තෘන් වහන්සේගේ මහානුකම්පාවත්, මහා ඉර්ධියානුභාවයත් බලව! කිසිවෙකුට කිසිවක් සිතා ගත නොහැකි විය… හැන්දකින් ගෙන මෑ පාත්‍රයන්ට සම සමව බෙදන්නා සේ අහසින් වට මෑ වැස්සෙන් සුගත් පාත්‍රයේ පටන් පිළිවෙළින් අග්‍ර ශ්‍රාවක, මහාශ්‍රාවක හා සෙසු තෙරුන් වහන්සේලාගේ පාත්‍රවලට මෑ ඇට වැටී ගියේ ය! අහෝ, ආශ්චර්ය ය! අද්භූත ය!

ඉන් රෝමෝද්ගමනය වූ, නෙතු තෙත් වූ දුගියා සුප්‍රසන්න සිතින් දෑත් නළලත තබා… ‘අනේ ස්වාමීනී, මේ මහා පින් මහිමයෙන්, තුනුරුවන් කෙරේ මේ හිතේ උපන් පැහැදීමේ බලයෙන් උපනුපන් ජාතියේ කෙළවරක් නැති සැප සම්පත් ලබම්වා! සියලු කාම සැප ලබන්නන් අතර අග්‍ර වෙම්වා!

මා වමත හකුළුවා දකුණතින් අත්පොළසන් දී අහස බලද්දී සත්රුවන් වැසි වසීවා!’ යි පැතී ය.

අනූ එක් කල්පයක් පුරා මේ පිනෙන් ආඪ්‍ය වූ දුගී දානය ඔහුට චින්තාමාණික්‍යයක් සේ දෙව්මිනිස් සැප සැදී ය. මේ මහා භද්‍රකල්පයේ මුලින් ම පහළ වූ මහා සම්මත රාජ පරපුරේ සත්වන රජු ලෙස අසංඛෙය්‍යක් ආයු ඇති මනුලොව හේ උපත ලැබී ය. වසර අසූහාරදහසක් ළමා කල ගත කළ හේ අසූහාරදහස් වසක් යුවරාජ ව ද අසූහාරදහස් වසක් දඹදිව අගරජ ව ද විසී ය. ඉන් මතු සප්ත රත්නයන් පහළ වූ ධාර්මික වූ මහා මන්ධාතු චක්‍රවර්තී රජුන් වී, ඔහුට තුන් ඍතුවට සුදුසු තුන් ප්‍රාසාද වටා දිව්‍ය වස්තු, ආභරණ, ආහාරපාන එල්ලී තිබෙන කල්ප වෘක්ෂ කෝටි ගණන් පහළ විය.

යොදුනක් පුරාවට රජුගේ මුවින් මහනෙල් සුවඳ විහිදෙයි. ගව් හතරක් දුරට කයින් දිව්‍ය සඳුන් සුවඳ හමයි. දෙවියෙකු සේ අහසේ පලඟ බැඳ සිටින ඉර්ධිමතෙක් වී සියල්ලන්ට පෙනි පෙනී දිව්‍යපුත්‍රයන් සිව් දෙනෙකු සතර දිශාවෙන් රජු රකී. 6000ක් බිසෝවරු ද 6000ක් නාටිකාංගනාවෝ ද 6000ක් වාදකයෝ ද නිරිඳුන් සතුටු කරවති. පැතූ සේ ම කැමති විටක අත්පොළොසන් දී සකල පෘථිවිය සිසාරා ඉන වටක් සප්තවිධ මාණික්‍ය වැසි වසී. නොකියූ සම්පත් අපමණ ය. මෙසේ මහා පුණ්‍ය ඉර්ධියක් ලද මුත් කාලයක් යන විට මහා මන්ධාතු නිරිඳුන් දුකින් සිටින බව ඇමතිවරු දුටුවෝ: “දේවයන් වහන්ස, කිම… කණස්සල්ලෙන්?”

“දරුවෙනි, මේ චක්‍රවර්තී සම්පත් හරි අල්පයි නෙව, මීට වඩා සැපක් ලොව නැති ද?” “අනේ, දේවයන් වහන්ස… මේක මොන සැපක් ද? චාතුම්මහාරාජික දෙව්ලොව නෙව සැප තියෙන්නේ.” “එහෙනම් දරුවනි, අපි දෙව්ලොව යමු.” යි කියූ රජිඳුන් රන් කෙණ්ඩිය ගෙන චක්‍ර රත්නයට පැන් වැඩී ය. එය සඳ මඬලක් සේ අහසට පැන නැඟී සියලු දෙනාව ම තම ඍද්ධියෙන් දෙව්ලොව ගෙන ගියේ ය. ධතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවම් දෙවිවරු දිව්‍ය මල් මාලා පලඳවා මහා මන්ධාතු රජිඳුන්ට තම දිව්‍ය රාජ්‍යය පැවරී ය. දෙවියන්ට ද අනුශාසනා කරමින් මේ මහානුභාව ඇති මනුෂ්‍ය රාජ තෙම දිව්‍ය කාම සම්පත් භුක්ති වින්දේ මුත්.., බොහෝ කල් යන විට එහි ද තෘප්තියක් නොදිටී ය.

“දරුවෙනි, මේ දෙව්ලොව සැප අල්පයි නෙව, මීට වඩා සැපක් නැති ද?” සිව්වරම් රජවරු: “ස්වාමීනී, අපි ඉතින් ඇත්තම කීවොත් සක්දෙවිඳුන්ගේ මෙහෙකරුවෝ වගෙයි. අධිකතර සැප විඳින්නේ තව්තිසා දෙවිවරු නෙව!” යි කීහ.

මහා මන්ධාතු නිරිඳුන් චක්‍රවර්තී මාණික්‍යයට පැන් වඩා පිරිවර සමඟ තව්තිසාවට ගියේ ය. ඉරිසියා මසුරු නැති සක්දෙවිඳාණෝ දිව්‍ය රාජ සම්පත්ති සියල්ල සම ව දෙකට බෙදා මන්ධාතු රජුට තව්තිසාවෙන් භාගයක අධිපති බව දී තමන් භාගයක් පමණක් පාලනය කළේ ය. අහෝ! අසිරිමත් යුගයකි! එකිනෙකාට මෙත් සිතින්, කිරි දිය එක් වූවන් සේ තව්තිසාවේ දිව්‍ය මනුෂ්‍ය රජවරු සමඟියෙන් රාජ්‍යය කරන කාලයක් උදා විය.

සක්දෙවිඳාණන් තුන්කෝටි හැටලක්ෂයක් වසර ආයු වළඳා දෙව්ලොවින් චුත වී ඊළඟ සක්දෙවිඳුන් පහළ විය. මෙසේ සක්දෙවිවරු තිස් හත් දෙනෙක් චුතවන තුරු මහා මන්ධාතු නිරිඳා දිව්‍ය රාජ්‍යය කළේ ය.

ලෝභය යනු මහා පුදුම දෙයකි. තෘෂ්ණාව යනු සාගරය වන් දෙයකි. සාගරයට කෙතරම් ගංගා ගැලූ මුත් පිටාර නොයන සේ, සිතට එන ආශාවන් තෘප්තිමත් කිරීමට කෙතරම් දේ කළත් සිත තව තවත් ඉල්ලයි. අපිදු තෘෂ්ණාව ඉදිරියේ වහලු‍න් මෙන් සිටිමු. ආශාවේ බෙර පදයට නටන්නෝ වෙමු. ආශාවේ නූල්වලින් මෙහෙයවන රූකඩ වැන්නෝ වෙමු…

මහා මන්ධාතු රජුට කල් ගත වන විට ‘ඒ දිව්‍ය රාජ්‍ය සැපය මදි යැ’ සිතිණ. ‘මං මොකටද මේ අර්ධ රාජ්‍යයක් රජ කරන්නෙ? මේ සකල දෙදෙව්ලොවට ම අධිපති වෙලා මේ සියලු යසඉසුරු මට ම ලබා ගන්න පුළුවන්නේ මේ සක්දෙවිඳා නැසුවා නම්!’

එසේ සිතූ මුත් පිනෙන් උපන් සක්දෙවිඳු කිසිවෙකුට මැරිය නොහැක. අධික තෘෂ්ණාවෙන් මෙහෙය වූ මහා මන්ධාතු නිරිඳාගේ සිත රළු ව, කිලිටි ව රෞද්‍ර වී ගියේ ය. ආශාවට වසඟ වීමේ ප්‍රතිඵලය මෙය ය. ආශාව වනාහී තෘප්තිමත් කළ නොහැකි අනර්ථකාරී දෙයක් බව දැන ආශාව මඬින විට දැනෙන පීඩාව දරාගෙන නුවණ මෙහෙයවා ආශාව අභිබවා නොයන්නේ නම්, එය මහා විනාශයකට තමා පමුණුවන්නේ ම ය.

ධාර්මික සක්දෙවිඳුන් මැරීමේ පාපී සිතුවිල්ල නිසා ම මහා මන්ධාතු රජුගේ ආයු සංස්කාරය පිරිහී ගියේ ය. කය වහා මහලු වී ගියේ ය. දුබල වී ගියේ ය. එනමුත් මනු සිරුර දෙව්ලොව නොනැසෙන බැවින් එසැණින් තම රාජ උද්‍යානයේ පහළ විය. උද්‍යානයේ ඔහු සිටිනු දැක උද්‍යාන පාලක තෙම නිරිඳුන්ගේ ආගමනය ඔහු පුත් වරමන්ධාතු රජුට දැන්වී ය. එරජ මහා රාජකීය සෙනඟ පිරිවරා විත් උයනෙහි ආසන පැනවූ විට මහා මන්ධාතු රජු යළි නොනැඟිටින ඉරියව්වෙන් සැතපිණ.

“දේවයන් වහන්ස, මපියාණන් වහන්ස, ඔබ වහන්සේගේ අවසාන අවවාදය කුමක්ද?”

“පුත්‍රය, ජනී ජනයාට මෙසේ කියව. සත්රුවන් වැසි වැස්සිය හැකි, අසංඛ්‍යෙය ආයු ඇති, චක්‍රවර්ති රාජ්‍යය කළ මහා මන්ධාතු නරේන්ද්‍රයා එයින් තෘප්තිමත් නොවී චාතුම්මහාරාජිකයේ රජ කොට, එයින් නොසෑහී, තව්තිසා දෙව්ලොව අර්ධ රාජ්‍යය කොට, එයිනුත් සිත පුරවා ගන්නට තෘප්තිමත් – කරගන්නට අපොහොසත් වී සමස්ත සක්දෙව් රාජ්‍යය බලෙන් ගන්නට සිතා එයින් චුතව මනුලොව දී ආයුෂ අත්හළේ ය කියා… පුත, දනුව, මේ සිත තෘප්තිමත් කළ නොහැක. එනිසා අප්‍රමාදී වෙව්!” කියා කාලක්‍රියා කළ රජිඳා අප මහා බෝසතාණෝ ය.

එහෙයින් පින්වතුනි, ලද දෙයින් තුටු වන්නා පමණක් ම තෘප්තිමත් ව වසන බව දැන… මේ නීච තෘෂ්ණාවට වසඟව රූකඩ බවට පත් නොවීමට අදිටන් කළ මැනව…! පින අසිරිමත් දෙයකි. පතන දේ ලැබෙන දෙයකි. එනිසා… උතුම් නිවන ම පතා පින් ම රැස් කළ මැනව…!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.