2024 මාර්තු 05 දින ගුවන්තොටුපළට ආසන්න නිවාඩු නිකේතනයකි…

තිස් හය වියැති භාසුරු දොලවත්ත අවදි වූයේ ප්‍රබෝධයෙනි. අනෙක් පස ඇඳෙහි නිදන මහාචාර්ය ඉයන් තොම්සන් දෙස බැලූ ඔහු අනතුරුව කුඩා මේසය මතට තියුණු බැල්මක් හෙළී ය. මහාචාර්යවරයා සමඟ එක්ව ඔහු විසින් නිමැවූ සියවසේ ආශ්චර්යය… අදෘශ්‍ය රූප පෙනෙන, අශ්‍රව්‍ය ශබ්ද ඇසෙන ඔහුගේ සිහින කැමරාව මේසය මත විය. අතීතය වර්තමානය යා කරන ගෝල්ඩන් හාර්ට් සීයා – අම්මා – තාත්තා – බට්ටු – ඇය පැවසූ දේවල්… මේ සියල්ල භාසුරුට පිටපතක් නොමැති, සංස්කරණය නොකළ සිනමා පටයකි. වසර දහහතක් වෙහෙසී ඔහු සිහින කැමරාව නිපදවූයේ ඒ සිනමා සිත්තම සංස්කරණය කරගැනීම සඳහා ය. මතකයේ නැති අම්මාව දැකීම සඳහා ය. ඇගේ කථාව ඇසීම සඳහා ය.

1987 ජනවාරි 12 දා – ඇඩිලේඩ් නුවර උද්‍යානයක…

– ගබ්සාවක් –

“ක්‍රිස්… තාත්තා ජරා මිනිහෙක් වුණත් මට මගේ දරුවව මරන්න බැහැ. උඹ වගේ ජරා මිනිහෙකුගෙන් මට වැඩක් නැති වුණත් මගේ දරුවට එයාගේ තාත්තව ඕන නිසා මං ඔහේව අතාරින්නෙත් නැහැ. මොකද මං වින්ද දුක මගේ දරුවට මං දෙන්න කැමති නැහැ.” කේට් විල්සන් (භාසුරුගේ මව) කීවේ කෝපයෙනි.

“ගෑනියේ මං මෙහෙට ආවේ ඉගෙන ගන්න. දරු පවුලක් අරන් යන්න නෙවෙයි.”

ක්‍රිස්ටෝපර් දොලවත්ත (භාසුරුගේ පියා) ද කීවේ කෝපයෙනි.

“ලෝකෙ කොහේ වුණත් මං පස්සෙන් එනවා. මගේ දරුව හින්ද.” කේට් කීවේ තරමක සංයමයෙනි.

“යමං, උඹ හැමදාම පසුතැවෙයි ඒ ගැන.” ක්‍රිස්ටෝපර් කීවේ සෙමෙනි. බලවත් කෝපයෙනි.

1988 ජූලි 2 දා – ගෝල්ඩන් හාර්ට් මන්දිරය

වෝල්ටර් දොලවත්ත එදින නිවසට ඇතුල් වූයේ කෝපයෙන් පුපුරමිනි.

“මේක අපේ පරම්පරාවට වෙච්ච මහ නින්දාවක්. පිටරට එකියක්. ඒ මදිවට බඩකුත් එක්ක.”

“ඩැඩී…” ක්‍රිස්ටෝපර් කීවේ උස් හඬිනි. පියාව මෙල්ල කරන කලාව ඔහු දන්නේ ය.

“කට වහපං. මං උඹව පිටරටකට ඇරියේ මේ වගේ ඔලමොට්ටල වැඩක් කරගන්න ද?”

“ඩැඩී හැමදාම කළේ ඩැඩීට ඕන දේ. මම මට ඕන දේ කළා. එච්චරයි.”

සියල්ල එච්චර ද… නැත. ඉනික්බිති බට්ටු – මෙහෙකාරිය භාසුරුව ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට පැමිණි කේට්ගේ සහෝදරියට ඉංග්‍රීසියෙන්ම පැවසුවේ මේ අයුරිනි. එවිට භාසුරුට වයස අවුරුදු අටකි.

“කේට් නෝනට තිබුණේ සහතිකයකට සීමාවෙච්ච, ලෝකෙට පෙනෙන විවාහ ජීවිතයක් විතරයි. පුංචි මහත්තය වල්ගෑනු පස්සේ ගියේ කේට් නෝනගෙන් පලිගන්නමයි. සමහර ගෑනුන්ව ගෙදරටත් අරන් ආවා. ලොකු මහත්තයත් කෙරුවෙත්, කරන්නෙත් ඒ වැඩේ ම නිසා එයත් නිහඬව හිටියා. පුදුමේ ඒක නෙවෙයි; කේට් නෝන කවදාවත් ඒ ගැන තරහක් ඇති කරගත්තේ නැහැ. නෝන ගොඩක් උත්සාහ කරා පුංචි මහත්තයාව වෙනස් කර ගන්න. බැරි වුණා. අන්තිමේ දී හිත හදාගත්තා.”

“කේට් මැරුණ ද? මැරුවා ද?” ලිසී විල්සන් ඇසුවේ සංවේගයෙනි.

බට්ටු පිළිතුරු දුන්නේ මඳක් කල්පනා කිරීමෙන් පසුව ය.

“ඒක හරියට ම දන්නේ නැහැ. ඒක රටේ නීතියක් නොතිබුණ කාලයක්. එතකොට බබා ලැබිලා මාස අටයි.” නිහඬ බව බොහෝ වේලාවක් පැවතිණි. දෙපසින් නැඟුනු දිගු සුසුම් අහවර,

“එයා දෙමව්පියන් ළඟට යන්න ගියා.” යි ලිසී කෙඳිරුවා ය.

“කේට් නෝනා එයාගෙ බලවත් කැමැත්තෙන්ම බෞද්ධ උනා. මං නෝනට ඒ ගැන ගොඩක් කියල දුන්නා. නෝනා හිත හදාගත්තේ ඒ නිසා.” බට්ටු කීවේ තරමක සතුටකිනි. “නෝනට ජීවිතය ගැන සැකයක් තිබුණා. මට හැම දෙයක්ම කියලා ඇඩ්රස් එක දුන්නා, පුතාගේ අනාගතය ගැන තීරණාත්මක දවසක් ආවොත් ඔයාට දන්වන්න කියලා. ලොකු මහත්තයා මේ ගේ උකස් කරල දැන් සින්න වෙන්න ළඟයි. එහෙම වුණොත් බේබිට සිද්ධ වෙන දේ ගැන හිතාගන්න බැරි නිසයි මම නෝනට දැන්වූයේ.”

“ඔයා ලොකු දෙයක් කළා. එයා බලාපොරොත්තු වුණ දේ කළා. ඒත් එයා…”

“කේට් නෝනා මේ කොතන හරි ඉන්නවා. මට ඒක දැනෙනවා. ඇත්තම කියනවා නම් මාව බලන්න ආව දවසකදි අපේ අම්මා කේට් නෝනව දැකලා කතා කරල. ඒත් අම්මට ඇහිලා නැහැ. දැකල විතරයි.”

“කේට්… මං ඔයාගේ දරුවා ව අපේ රටට අරන් යනවා.” ලිසී විල්සන් ආවේගයෙන් පැවසුවා ය. එසේම එය සිදු විය. මේ කිසිවක් භාසුරුට රහසක් ද නොවී ය. ඉනික්බිති භාසුරු ඉගෙන ගත්තේ ඒ වෙනුවෙනි. ඇසුරු කළ පොතපත ද ඒ සම්බන්ධයෙනි. පුද්ගලයන් ද ඒ පිණිස ම විය. පියවි ඇසට නොපෙනෙන, පියවි කනට නොඇසෙන සිය මව දැකිය හැකි – ඇගේ කතාව ඇසිය හැකි තාක්ෂණික නිර්මාණයක් නිපදවීමට ය. ඔහු ඒ සඳහා නාසා ආයතනයේ සේවය කළ මහාචාර්ය ඉයන් තොම්සන් ද සම්බන්ධ කරගන්නට සමත් විය.

භාසුරු සහ මහාචාර්යවරයා නිවාඩු නිකේතනයෙන් පිට වූයේ උදෑසන 11ට ය. හවස හතර වෙද්දී ඔවුහු ඒ වන විට සංචාරක බංගලාවක් ලෙසින් පවත්වාගෙන යන ගෝල්ඩන් හාර්ට් මන්දිරයේ කාමර දෙකක ලැගුම් ගත්තහ. එහි කාමර බොහොමයක් පැවතියේ හිස්ව ය. මන්දිරයේ විශාල වෙනස්කමක් කර නොමැති බව භාසුරුට පැහැදිලිවම පෙනුණි. කුඩා කල මෙහි අත්විඳි භීතිය වෙනුවට තරමක සැහැල්ලුවක්, සතුටක් භාසුරුට දැනෙන්නට විය. එහෙත් ඉක්මනින්ම ඔහු සිත බලවත් පාළුවක් විසින් වෙලා ගත්තේ ය.

‘බට්ටුවත් හිටිය නම්…’

භාසුරුට සිතුණි.

“සර්ච් එකක් කරල බලමු ද?” කාමරයට එබුණ මහාචාර්යවරයා භාසුරුගෙන් විමසී ය.

“ටිකක් රෑ වෙනකන් ඉමු. අන්ධකාරයේ දී තමයි එයාලගේ හැමදේම…” භාසුරු කීවේ ඒ සම්බන්ධ පොතපතින් ලත් දැනුමෙනි. මහාචාර්යවරයා හිස වනා එය අනුමත කළේ ය. භාසුරු සිතා සිටියේ රාත්‍රී නවයෙන් පසුව පරීක්ෂා කිරීම වඩාත් යෝග්‍ය බවයි. කාලය ගෙවෙන්නේ ඉතා සෙමින් යැයි සිතුණ ඔහු කැමරාවත් රැගෙන කාමරයට විවෘතව තිබූ පටු බැල්කනියට පිවිසුණි. නිසංසල ය. පාළු ය. භාසුරු කැමරාව ක්‍රියාත්මක කළේ හැඟීමකින් නොවේ. සුළු කාලයක දී ඔහුගේ කැමරාව මත ළා රෝස පාට ආලෝකයක් දිස් වන්නට විය. භාසුරුට වෙනසක් දැනුණි. ඔහු කැමරාව දස දිසාවේ ම හරවන්නට විය. උඩ දිසාවට කැමරාව යොමු කරද්දී ඔහුගේ දෑසට කැමරාව තුළින් දිස් වූයේ පැහැදිලි අමුතු ම දෙයකි.

මිදුලේ සියඹලා ගස උඩ බබළන රෝස පැහැති දෙව් විමනකි. එහි සිට තමා සිටින බැල්කනිය දෙසට රෝස පැහැති පඩි පෙළකි. භාසුරුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඉනික්බිති මොහොත භාසුරුගේ ජීවිතයේ ස්වර්ණමය මොහොත විය. විමානයෙන් නික්ම පියගැටපෙළ දිගේ තමා ඡායාරූපයකින් දැක ඇති මවට සමාන වඩාත් ලස්සන කාන්තාවක් බැස එන අයුරු භාසුරු දුටුවේ කැමරාව තුළිනි.

“අම්මා…” භාසුරුට කියවිණි.

“භාසුරු…” කැමරාවට සම්බන්ධ කර තිබූ හෙඩ් ෆෝන් එක හරහා භාසුරුට මවගේ හඬ ඇසුණි. මිනිත්තුවක් නොව දෙකක් ම පැවැතියේ නිහඬතාවයේ ය.

“අම්මා සතුටින්… මමත්…” තව සුළු නිහැඬියාවක් ඔවුනතර විය.

“අම්මට මං නිසා ජීවිතේ හැමදේම නැති වුණා.” වසර ගණනක් භාසුරුගේ හිතේ පැවති ළතැවිල්ල පිට වූයේ එලෙසිනි.

“නැහැ පුතා… ඔයා නිසා ලංකාවට ඇවිල්ලා ඒ හැමදේටම වඩා වටින දෙයක් මට ලැබුණා. ඒ තමයි තිසරණය.” භාසුරුට කිසිවක් පැහැදිලි නොවුණි. “බට්ටුගෙන් අහගෙන මම බුදුරජාණන් වහන්සේවත්, ධර්මයත්, සංඝයාවත් සරණ ගියා. ඒ සරණ යාමෙන් මං රැකුනා. බලන්න මගේ විමානය දිහා.”

“ලස්සනයි…”

“පුතා තිසරණය ඔයිටත් වඩා ලස්සනයි. ඔයාටත් ඒ සරණේ පිහිටන්න පුළුවන් වුණොත් එදාට පැහැදිලි වෙයි. දුක කියන්නෙ උපන් සත්වයාට උරුම දෙයක්, අපි හැමෝටම තියෙන එකම පිළිසරණ තිසරණය යි.”

– පසුවදන –

“ඒතං ඛෝ සරණං ඛේමං
ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති

ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනා ම යි සියලු දුකෙන් නිදහස් වෙන්නේ.”

ධම්මපදය – බුද්ධ වර්ගය

කේෂව ගංගානාත්.