ඇසට පෙනෙන ඉෂ්ට කාන්ත මනාප රූප තියෙනවා. කනට ඇහෙන ඉෂ්ට කාන්ත මනාප ශබ්ද තියෙනවා. නාසයට දැනෙන ඉෂ්ට කාන්ත මනාප සුවඳ තියෙනවා. දිවට දැනෙන ඉෂ්ට කාන්ත මනාප රස තියෙනවා. ඒ වගේ ම, කයට දැනෙන ඉෂ්ට කාන්ත මනාප පහස තියෙනවා. ඒ හැම එකක් ම ප්‍රිය වූත්, කෙලෙස් හටගන්නා වූත් ස්වභාවයෙන් යුක්තයි. ඒවාට කියන්නේ ‘කාම ගුණ’ කියල යි. ඒ කාම ගුණයන් කෙරෙහි සිත්හි හට ගන්නා යම් ආසක්ත බවක් ඇත්ද ඒ සංකල්පීය රාගයට යි ‘කාමය’ කියන්නේ. ජීවිතයේ සතුට කියා අප සොයා යන්නේ ඒ දේවල් තමයි. ඒ දේවලින් සතුට ලැබෙනවා කියන එකයි ලෝක සම්මුතිය.

ලෝක සම්මුතියේ පිහිටපු අපි දැනුම් තේරුම් ඇති දවසේ පටන් කාමයන් පසුපස හඹා යන එකයි සිද්ධ කළේ. ඒ වෙනුවෙන් ම නිදි වැරුවා. දිවා රැයේ වෙහෙස වුණා. දහඩිය වැගිරුවා. කල්පනා කළා. සුසුම් හෙළුවා. අප්‍රමාණ ව කායික පීඩා වින්දා. මානසික පීඩාත් වින්දා. තවමත් එහෙම ම යි… ඒ දුක් fදාම්නස් විඳි තරමට ලැබුණු සතුටක් නම් අප කාටවත් නෑ. මොකද, බොහෝ සෙයින් දුක් විඳ අත්පත් කර ගත්තාට පසුව වුණත් එයින් සෑහීමට පත් වන්න බෑ. සන්සිඳෙන්න බෑ. අත්පත් කර ගත් දේ කවර මොහොතක වුණත් අහිමි වෙන්න පුළුවනි. ඒ දේවල් අන්‍ය සාධාරණයි. වෙන අයට පැහැර ගන්න පුළුවනි. ඒ නිසා රැක ගන්නත් වෙහෙසෙන්න සිද්ධ වෙනවා. අහිමි වේවි කියන බය ඇතිව ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා. සොයපු, පතපු සතුට වෙනුවට අප තුළ ඉතිරි වන්නේ කැළඹීමක්, නොසන්සිඳීමක්. එහෙම වෙන්නේ ඇයි? ලෝක සම්මුතියත්, ධර්මයත් දෙයාකාර වීම නිසයි. ලෝක සම්මුතියේ දී ප්‍රිය දෙයින් සතුට, සැනසීම උපදිනවා; ධර්මයේ දී ප්‍රිය දෙය දුකට හේතු වනවා…!

භාග්‍යවතුන් වහන්සේ මේ බව නොයෙක් ආකාරයෙන් පෙන්වා වදාරණවා. “පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම් කිසි සැපක්, සොම්නසක් ඇති වුණොත් ඒක තමයි කාමයන්ගේ ආස්වාදය.” (මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම. නි. 1)

කාමයන්ගේ තිබෙන ආස්වාදනීය ස්වභාවයට තමයි අප ‘සතුට’ කියා කියන්නේ. නමුත් කාමයන්ගේ තිබෙන්නේ ආස්වාදයක් ම පමණක් නොවෙයි; ආදීනවයනුත් තිබෙනවා. ඇත්තටම නම්, ආස්වාදය ටිකයි… ආදීනවය ම යි වැඩි.

“පින්වත් මහණෙනි, කාමයන්ගේ ආදීනවය මොකක් ද? පින්වත් මහණෙනි, ගිහි ජීවිතය ගෙවන කෙනෙක් ජීවත් වෙන්න ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. දෑතේ වැඩ හරි, ගණන් හිලව් හදන එක හරි, වෙළහෙළඳාම් හරි, ගව පාලනය හරි, ආණ්ඩුවේ රස්සාවක් හරි, හමුදාවට ගිහින් හරි, තව නොයෙක් රස්සාවලින් තමයි ජීවිතය ගෙවන්න තියෙන්නේ. ආයෙ ඉතින් සීතලයි කියලා බෑ. රස්නෙයි කියලා බෑ. මදුරුවෝ, මැස්සෝ ඉන්නවා කියලා බෑ. අව් සුළං තියෙනවා කියලා, සර්පයෝ ඉන්නවා කියලා බෑ. බඩගින්නෙන්, පිපාසෙන්, මැරි මැරී හරි රස්සා කරන්න වෙනවා. පින්වත් මහණෙනි, මේක මේ ජීවිතයේ දී ම අත්දකින්න ලැබෙන කාමයන්ගේ ආදීනවය යි. දුක් ගොඩයි. කාමයන් නිසා ම යි, කාමයන් මුල් කරගෙන ම යි, කාම අවුලෙන් ම යි, කාම හේතුවෙන් ම යි ඔය ආදීනව ඇති වන්නේ.” (මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම. නි. 1)

අපේ ජීවිතවල ඇතුළාන්තය යි සම්බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. කාමයන්ගේ ආදීනව තිබෙන්නේ ඔපමණක් නො වෙයි. ඔය විදිහට උත්සාහ කරද්දීත් ප්‍රතිඵල නොලැබී ගිය අවස්ථා අපේ ජීවිතවලත් තිබෙනවා. එවිට උපදින්නේ ශෝකයක්. හඬා වැළපීම්, සුසුම් හෙළීම්, සිහි විකල් වීම් පවා හට ගන්නා අවස්ථා අප දැක තිබෙනවා.

කොහොම නමුත් අත්පත් කොට ගත්තොත්, ඊ ළඟට අර්බුදය හට ගන්නේ ඒ උපයපු දේවල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව යි. රජුන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය වූ ඤාතියෙකුගෙන් හානි පැමිණේවි යන බියෙන් නොයෙක් නොයෙක් ආරක්ෂක විධි විධාන සලසා තිබිය දී ම වුණත් ඒ දේවල් ආණ්ඩුවට ගන්න පුළුවනි. සොර සතුරන් අතට පත් වන්නත් පුළුවනි. වැඩි ආරක්ෂාවට මූල්‍ය ආයතනවල ආයෝජනය කළ පිරිස් පත් අර්බුද පසුගිය කාලයේ අපට දකින්න ලැබුණා නේ ද? ඒ වගේ ම ජීවිත කාලයක් උපයපු දේවල් බොහොම සුළු වෙලාවක් තුළ ගින්නෙන්, ජලයෙන් සහමුලින් ම විනාශ වෙන්නත් පුළුවනි. එවැනි සිදුවීම් ද අප දැක තිබෙනවා. එවැනි අහිමි වීමකදීත් උපදින්නේ ශෝකයක් ම යි. හඬා වැළපීම් ම යි. සිහි විකල් වීම් ම යි.

ඒ විතරක් නෙමෙයි, තරාතිරම නොබලා එකිනෙකා රණ්ඩු අල්ලනවා. කලකෝලාහල කර ගන්නවා. අත්වලින් ගහ ගන්නවා. ගල්වලින් ගහ ගන්නවා. පොලුවලින් ගහ ගන්නවා. අවි ආයුධවලින් ගහ ගන්නවා. ඒවාට මැදි වෙලා මැරිලා යනවා. මාරාන්තික දුක් විඳිනවා. කුමක් වෙනුවෙන් ද? කාමයන් වෙනුවෙන්. කවර මාධ්‍යයකින් හරි ‘දවසේ පුවත්’ ටික වෙලාවක් බලද්දි අඩුවක් නැතිව මේවාට නිදසුන් හොයා ගන්න පුළුවනි.

මේ කාමයන් නිසා ම අවි ආයුධ අරගෙන, යුද ඇඳුම් ඇඳගෙන, දෙපසට බෙදිලා යුද්ධ කරන්න යුද බිමට යනවා. නොයෙක් ආකාරයෙන් යුද වදිනවා. තිස් වසරක් පුරා ප්‍රභාකරන් යුද්ධ කළෙත් කාමයක් වෙනුවෙන්. පොළොවේ අයිතිය හොයාගෙන යුද්ධ කරලා අවසානයේ මැරිලා ගියා. බොහෝ අයට සිද්ධ වෙන්නේ ඒ දේ. එක්කෝ මැරෙනවා, නැති නම් මාරාන්තික දුක් වේදනාවන්ට ලක් වෙනවා.

යුදබිම ඉක්මවා පවුරු ප්‍රාකාරවලින් බලකොටුවලට ඇතුළු වෙමින් පවා ඔවුන් උත්සාහ කරන්නේ කාමයන් අත්පත් කර ගන්න. එයින් ම එක්කෝ මැරෙනවා. නැති නම් මාරාන්තික දුක් වේදනා විඳිනවා.

මේ කාමයන් නිසා ම ගෙවල් බිඳිනවා, මංකොල්ල කනවා, කාන්තාවන්ට බලහත්කාරකම් කරනවා. අවසානයේ ඒ උදවිය ආණ්ඩුවට අහු වෙනවා. රජ කාලයේ පමණක් නොවෙයි, මේ මෑතක පවා මෙවැනි උදවිය ගැන අප ඇසුවා, දුටුවා. ඉතින් ආණ්ඩුවට අසු වුණාට පස්සේ ඒ උදවියට නොයෙක් දඬුවම් ලැබෙනවා. ඒ රජ කාලයේ නම් දෙතිස් වධයන්ට ලක් වුණා. අද පවා ඇතැම් නීති පද්ධති යටතේ අතිශයින් කුරිරු වද බන්ධනයන්ට ඒ උදවිය ව ලක් කෙරෙනවා. ඒ හැම දෙයක් ම කාමයන්ගේ ආදීනව යි.

කාමයන් නිසා ම සත්වයින් කාය දුෂ්චරිතයේ යෙදෙනවා, සතුන් මරණවා, සොරකම් කරනවා, අනාචාරයේ හැසිරෙනවා, කය වරදවා ගන්නවා. වචී දුෂ්චරිතයේ යෙදෙනවා, බොරු කියනවා, කේළාම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා, වචනය වරදවා ගන්නවා. මනෝ දුෂ්චරිතයේත් යෙදෙනවා, අනුන්ගේ දේට ආශා කරනවා, ඊර්ෂ්‍යා කරනවා, තරහ සිතින් යුතු ව ඉන්නවා, මිථ්‍යාදෘෂ්ටි වැළඳ ගන්නවා, මනසත් වරදවා ගන්නවා. ඒ උදවිය මිය පරලොව යද්දී මොකක් ද සිද්ධ වෙන්නේ? සැප රහිත දුගතිය නම් වූ නිරයේ උපදිනවා. පරලොව දී අත්දකින්න වෙන ඒ දුක් රැස ගැනත් සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ “කාමයන්ගේ ආදීනවය ම යි. කාමයන් නිසා ම යි. කාමයන් මුල් කරගෙන ම යි. කාම අවුලෙන් ම යි. කාමයන් හේතු කොටගෙන ම යි මේ දුක් ගොඩ හට ගන්නේ.” කියලයි. (කියවන්න මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය – ම. නි. 1)

බලන්න, ඇත්තටම කාමයන්ගේ ආස්වාදය බොහොම ටිකයි. ආදීනවය ම යි වැඩි. ඒ තමයි යථාර්ථය. කාම වස්තූන් ඉපැයීමත් දුක සේ කළ යුත්තක්. ඒවා රැක බලා ගැනීමත් දුක සේ කළ යුත්තක්. කාම වස්තූන් අත්පත් කර ගැනීම සමඟ බැඳී පවත්නා ජීවිතය පව්කමින් තොරව පවත්වා ගැනීම දුෂ්කර දෙයක්. ඒ නිසා ම යි සොයා යන සතුට වෙනුවට අපට නොසතුට ම බහුල කොට අයිති වෙන්නේ.

මේ කාමයන්ගේ තෘප්තියට පැමිණීමක් නැහැ. මහා මන්ධාතු සක්විති රජුන්ගේ පුවත අපට ඒ බැව් හෙළි කරන්නක්.

“සතර දිවයිනට ම අධිපති, කාමභෝගීන්ගෙන් අග්‍ර මන්ධාතු නම් රජෙක් විය. ඔහු ද කාමයන්ගෙන් තෘප්තියක් නොලබා ම කළුරිය කළේ ය. ඔහුගේ ආශාව නොපිරුණේ ය. මන්ධාතු රජු අවුරුදු අසූ හාර දහසක් කුමාර ක්‍රීඩා වශයෙන් ද අවුරුදු අසූ හාර දහසක් යුවරජු වශයෙන් ද අවුරුදු අසූ හාර දහසක් සක්විති රජු ව ද මිනිස් ලොව කම්සැප විඳ තිස් සතක් වූ සක් දෙව් රජුනගේ ආයු කාලයන්හි දෙව්ලොව දිව්‍යකාම සම්පත් ද විඳ කාමයන්හි තෘප්තියකට නොපැමිණ ම දිවි කෙළවර කළේ ය.

හාත්පස දස දිශාවෙහි ම රුවන් වැසි වැටුන ද සත්වයාට කාමයන් ගැන තෘප්තියට පැමිණීමක් නො වේ. මනුෂ්‍යයෝ තෘප්තියට නොපැමිණ ම මැරෙති.”

කාමභෝගී ගිහි ජීවිතය එබඳු දුක් කරදර, අතෘප්තකර භාවයන් සහිත වූවක්. ඒ සියල්ල කාමයන්ගේ ආදීනවයන් ම යි. පැවිදි වන්නේ මේ කාමයන් කෙරෙහි ඇති ඇල්ම බැහැර කිරීම පිණිස යි. එසේ වීම ගිහි සැපයට වඩා පැවිදි සැපය උතුම් වන්නට හේතුවක්. අරින්දම නම් බරණැස් රජ කෙනෙකු හට වරෙක උතුම් පසේබුදුරජාණන් වහන්සේනමක් විසින් කම් සැප ඉවතලූ පැවිදි ජීවිතයේ පවත්නා සැපය මේ ආකාරයෙන් පෙන්වා දෙනු ලැබුවා.

“මහරජ, ගෙවල් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දෝ ධන ධාන්‍යයන් කොටුවල, සැළිවල, කූඩාවල රැස් නොකරති. මනා පැවතුම් ඇත්තා වූ ඒ පැවිද්දෝ ගෙපිළිවෙළින් පිඬු සිඟා අනුන්ගේ ගෙවල ඉදෙන ආහාරයෙන් යැපෙති. ඒ නිසා ඒ පැවිද්දන්ට හැමදාම හොඳ ය. හැමදාම සැප ය.

පැවිද්දා විසින් වෙදකම් කිරීම්, කේන්ද්‍ර බැලීම්, යන්ත්‍ර මන්ත්‍ර කිරීම්, කුහකකම් කිරීම් ආදී නොදැහැමි ක්‍රමවලින් ප්‍රත්‍යය නොසොයා දැහැමින් ලද ආහාරය වැළඳිය යුතු ය. එසේ නිවැරදි ආහාරයක් වළඳන්නා වූ පැවිද්දා හට ලෝභාදී ක්ලේශයන්ගෙන් කවරක් හෝ ඉපිද පීඩා නොකරන්නේ ය. එබැවින් ධනය නැත්තා වූ, ගෙයක් නැත්තා වූ පැවිද්දාට දෙවෙනුවත් හොඳ ය. සැප ය.

පැවිද්දා විසින් දැහැමින් ලද ආහාරය ද කෙලෙස් නූපදනා පරිදි ප්‍රත්‍යාවේක්ෂාවෙන් යුක්ත ව වැළඳිය යුතු ය. කෙලෙස් ඉපදීමට හේතු නොවන බැවින් නිවුණු ආහාරයක් වළඳන්නා වූ, ධනය නැත්තා වූ, ගෙයක් නැත්තා වූ පැවිද්දාට තුන් වෙනුවත් හොඳ ය. සැප ය.

මේ මාගේ නෑයා ය, මේ මාගේ දායකයා ය කියා ගිහියන් කෙරෙහි ඇලීමක් නැතිව රටෙහි හැසිරෙන්නා වූ පැවිද්දා හට කිසි බන්ධනයක් නැත්තේ ය. එහෙයින්, ධනය නැත්තා වූ, ගෙයක් නැත්තා වූ පැවිද්දාට සතර වෙනුවත් හොඳ ය. සැප ය.

නගරයක් ගිනි ගත්තත් ධනය නැති, ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් නොදැවෙන්නේ ය. එබැවින් පස් වෙනුවත් ධනය නැත්තා වූ, ගෙයක් නැත්තා වූ පැවිද්දාට හොඳ ය. සැප ය.

සොර සතුරන් පැමිණ රටක් කොල්ල කන්නට පටන් ගත්තත් ධනය නැති, ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් ගෙන නොයන්නේ ය. එයින් සවනුවත් පැවිද්දා හට හොඳ ය. සැප ය.

කොල්ල කෑමට සොරුන් රැක සිටින්නා වූ ද බදු අය කරන්නන් රැක සිටින්නා වූ ද මඟ, සොරුන්ට ද වුවමනා නැත්තා වූ ද බදු අය කළ යුතු දෙයක් නොවන්නා වූ ද පා සිවුරු ගෙන ධනය නැති – ගෙයක් නැති පැවිද්දා සැප සේ යන්නේ ය. එසේ යන්නට ලැබීමෙන් සත් වෙනුවත් පැවිද්දාට හොඳ ය. සැප ය.

අල්මාරි පෙට්ටි ආදියෙහි පරිස්සමට තබන කිසි කාම වස්තුවක් නැති පැවිද්දා යම් යම් තැනකට යන්නේ නම් තමාගේ පා සිවුරු ගෙන, උන් තැන ගැන අපේක්ෂාවක් නැතිව නිදහස් ව යන්නේ ය. එසේ යා හැකි බව නිසා, ධනය නැත්තා වූ, ගෙයක් නැත්තා වූ පැවිද්දා හට අට වෙනුවත් හොඳ ය. සැප ය.”

පැවිදි සැපය ඒ සා විශාලයි. ඒ සැපවත් පැවිදි ජීවිතයේ ලැබෙන අග්‍රතම ශ්‍රමණ ඵලය ගැන සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහරජ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය වූ විට, ස්ථිර ව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යය යැයි කියලා යථාර්ථ වශයෙන් ම දැනගන්නවා. මෙය දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය යැයි කියලා යථාර්ථ වශයෙන් ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යැයි කියලා යථාර්ථ වශයෙන් ම දැනගන්නවා. මෙය දුක් නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යය යැයි කියලා යථාර්ථ වශයෙන් ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන් ම දැන ගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හට ගැනීම කියලා යථාර්ථ වශයෙන් ම දැන ගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන් ම දැන ගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වහයෙන් ම දැනගන්නවා.

ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැක ගනිද්දී කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණ බවට ඤාණය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නැවත සසර ගමනක් නැතැ.’යි අවබෝධයෙන් ම දැනගන්නවා.

පින්වත් මහරජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේ දී ම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි. පින්වත් මහරජ, මෙලොව දී ම දැක්ක හැකි පැවිදි ජීවිතයේ මෙම ප්‍රතිඵලයට වඩා වෙනස් වූත්, උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් සන්දිට්ඨික ශ්‍රමණ ඵලයක් නම් නෑ.” (සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 1)

සියලු දුක් රැසින් නිදහස් වූ ඒ උතුම් අමා මහ නිවන් සැපයට සම කළ හැකි සැපයක් ලෝකයේ නැහැ. දැවිලි, තැවිලි කිසිවක් නැති ඒ නිවන් සැපය ම යි බුද්ධ ශ්‍රාවකයන්ගේ ඉලක්කය විය යුත්තේ.

“මත්තාසුඛපරිච්චාගා – පස්සේ චේ විපුලං සුඛං
චජේ මත්තාසුඛං ධීරෝ – සම්පස්සං විපුලං සුඛං”

“ඉතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනාට, ඒ වෙනුවෙන් සුළු සැපය අත්හරින්ට පුළුවන් වෙන්ට ඕනේ. ප්‍රඥාවන්ත කෙනා ඒ අමා නිවන් සැප කැමති ව, ඉතා සුළු වූ කම් සැපය අත්හරිනවා.” (ධම්මපදය – පකිණ්ණක වර්ගය)

කම් සැපයට නොඇලෙන සිතක් උපදවා ගැනීම පිණිස සසුන් බඹසර වසන, සිල් ගුණදම් පුරන, වීරිය වඩන සම්බුදුරජුන්ගේ පැවිදි ශ්‍රාවක රත්නයනට අපගේ නමස්කාරය වේවා! බහුල වූ ආදීනවය දැක, අල්ප වූ ආස්වාද ඇති හීන, ළාමක කම්සැප පසෙක ලා අමා මහ නිවන වෙත නැඹුරු වෙමින් සිල් ගුණ දම් පුරන්නට අප තුළ ද වීරිය වැඩේවා!

තෙරුවන් සරණයි!

සටහන – උදුලා පද්මාවතී