ඒ කාලයෙහි සාගලනුවර දොලොස් වසරක් පුරාවට ශ්‍රමණබ්‍රාහ්මණ ගෘහපති පණ්ඩිතවරුන්ගෙන් හිස් වූයේ ය. යම් තැනක ශ්‍රමණබ්‍රාහ්මණ ගෘහපති පණ්ඩිතවරු වාසය කරන්නේ යැයි ඇසූ විට මිළිඳු රජතුමා එතැනට ගොස් ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්නේ ය. ඒ සියලු‍ පණ්ඩිතවරු ප්‍රශ්න විසඳීමෙන් රජතුමාගේ සිත් ගෙන කරුණු තහවුරු කරදිය නොහැකිව සමහරු වෙනත් දිශාවකට පලා යන්නාහු ය. තවත් සමහරු ඒ නුවර ම තෙද රහිතව නිශ්ශබ්ද ව සිටින්නාහු ය. භික්ෂූන් වහන්සේලා බොහෝ සෙයින් හිමාලයට ම වඩින සේක.

සසුන රකින්නට පෙරට වඩින්නේ….

එසමයෙහි සිය දහස් ගණන් රහතන් වහන්සේලා හිමාලයෙහි රක්ඛිතතල නම් පර්වතයෙහි වසන සේක. එහි වසන අස්සගුත්ත නම් මහ තෙරුන් වහන්සේ “තුච්ඡෝ වත ජම්බුද්දීපෝ”‍ යනාදී වශයෙන් කියන්නා වූ මිළිඳු මහරජතුමාගේ වචනය දිව්‍ය ශ්‍රවණයෙන් අසා යුගන්ධර පර්වත මුදුනට භික්ෂු සංඝයා රැස් කරවූහ. “ඇවැත්නි, මිළිඳු රජතුමා සමඟ කථා කරන්නට, සැකසංකා දුරුකරවන්නට සමත් කිසි භික්ෂුවක් මෙහි ඇත් ද?”‍ යි ඒ මහත් වූ භික්ෂු පිරිසෙන් විමසූ සේක. මෙසේ විමසූ කල්හි ඒ සියලු‍ රහතන් වහන්සේලා කිසිවක් නොපවසා වැඩහුන්හ. දෙවැනි වර, තුන්වෙනි වර විමසද්දීත් නිහඬව වැඩහුන්හ. එවිට අස්සගුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයාට මෙසේ පැවසූ සේක. “ඇවැත්නි, තව්තිසා භවනයෙහි වෛජයන්ත ප්‍රාසාදයට පෙරදිගින් කේතුමතී නම් විමානයක් ඇත. ඒ විමානයෙහි මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙක් වෙසෙයි. හෙතෙම ඒ මිළිඳු රජතුමා හා සමඟ කථා කරන්නට ද සැකසංකා දුරු කරන්නට ද පූර්ව වාසනා බලයෙන් සමත් වන්නේ යැ.” යි‍ වදාළ සේක.

එය ඇසූ සියලු‍ රහතන් වහන්සේලා යුගන්ධර පර්වතයෙන් අතුරුදහන් ව, ශක්‍ර භවනයෙහි පහළ වී එක පෙළට වඩින්නට පටන් ගත් සේක. දුරින් ම වඩින්නා වූ ඒ රහතුන් දුටු ශක්‍ර දේවේන්ද්‍රයා මහත් වූ ආදර ගෞරවයෙන් පෙරමඟට ගොස් පසඟ පිහිටුවා වන්දනා කළේ ය. සංඝස්ථවිර වූ අස්සගුත්ත මහතෙරුන් වහන්සේට එකත්පස්ව සිට මෙසේ පැවසී ය.

“ස්වාමීනී, දෙව්ලොවට පැමිණ වදාළ භික්ෂු සංඝයා ඉතා විශාල ය. සංඝයා වහන්සේට මම කැපකරු ආරාමිකයෙක්මි. කවර දෙයකින් ප්‍රයෝජන ද? මා විසින් කළමනා දෙය කුමක්දැ?”‍යි විචාළේ ය. අස්සගුත්ත මහරහතන් වහන්සේ සක් දෙවිඳුට මෙසේ සැල කළ සේක. “සක් දෙවිඳුනි, දඹදිව සාගල නුවර වසන මිළිඳු නම් රජතුමා දුරාසද වූ දුප්පසහ වූ වාදයෙන් යුක්ත ය. බොහෝ වූ තීර්ථකයන්ට අග්‍ර යයි කියනු ලැබේ. ඒ රජතුමා භික්ෂු සංඝයා කරා ද එළඹ දෘෂ්ටිවාදයෙන් ප්‍රශ්න අසා භික්ෂු සංඝයා වෙහෙසවන්නේ ය.

මනුලොවට එන පින්වන්තයෝ…

එවිට සක්දෙවිඳු අස්සගුත්ත මහරහතන් වහන්සේට මෙසේ කීවේ ය. “ස්වාමීනී, මිළිඳු රජතුමා මේ තවුතිසා දෙව්ලොවින් චුතව ගොස් මිනිස්ලොව සාගල නුවර උපන්නේ ය. ස්වාමීනී, කේතුමතී විමානයෙහි මහාසේන නම් දිව්‍යපුත්‍රයා වාසය කරයි. ඒ මහාසේන දෙව්පුතු මිළිඳු රජතුමා හා කථා කරන්නට ද සැක දුරු කරවන්නට ද සමත් වන්නේ ය. ඒ නිසා ඒ දිව්‍යපුත්‍රයාට මිනිස්ලොව ඉපදීම පිණිස අපි ආයාචනා කර සිටිමු.”

ඉන්පසු සක් දෙවිඳු භික්ෂු සංඝයා පෙරටු කොටගෙන කේතුමතී නම් විමානය කරා ගොස් මහාසේන දෙව්පුතු දෑතින් අල්වා වැළඳගෙන සිට මෙසේ දන්වා සිටියේ ය.

“පින්වත් වූ දිව්‍ය පුත්‍රය, භික්ෂු සංඝයා වහන්සේ ඔබ මිනිස් ලොව ඉපදීම පිණිස ඉල්ලා සිටින සේක.”‍ එබස් අසා මහාසේන දෙව්පුතු මෙසේ කීය. “ස්වාමීනී, කෘෂිවාණිජ ආදී කර්ම බහුල වූ මිනිස්ලොවින් ප්‍රයෝජන නැත්තේ ය. මිනිස් ලෝකයෙහි ඉතා තියුණු වූ දුක් ඇත්තේ ය. එසේ හෙයින් ස්වාමීනී, මම මතු මත්තෙහි දිව්‍යලෝකෝත්පත්තික ව දිවසැපත් වළඳා බණ අසා රහත්ව පිරිනිවන් පාමි.”‍ යි කියා ය. දෙවැනිවත්, තුන්වැනිවත් සක්දෙවිඳු ආයාචනා කර සිටි විට “අනේ සක්දෙවිඳුනි, මට කර්ම බහුල වූ බලවත් දුක් ඇති මිනිස්ලොවින් ඵලක් නැත. මම මේ දෙව්ලොවට මතුමත්තෙහි උත්පත්තික ව ඇවිද රහත් ව පිරිනිවන් පාමි.”‍ යි මහාසේන දෙව්පුතු කීවේ ය.

සඟරුවනේ වදනට අවනත වන්නේ…

ඉන්පසු අස්සගුත්ත මහරහතන් වහන්සේ මහාසේන දෙව්පුතුට මේ කාරණය පැවසූ සේක. “පින්වත් දිව්‍යපුත්‍රය, මිනිස් ලොවත් සදෙව් ලෝකයත් සිසාරා දිවැසින් බලන්නා වූ අපි මිළිඳු රජතුමාගේ නපුරු වූ වාදය බිඳහැර බුදු සසුනට සංග්‍රහ කරන්නට සමත් කෙනෙකු ඔබ හැර නොදුටුවෙමු. එහෙයින් භික්ෂු සංඝයා වහන්සේ ඔබගෙන් මෙසේ ඉල්ලා සිටියි. සත්පුරුෂයාණෙනි, ඉතා යහපති. මිනිස් ලෝකයෙහි ඉපිද දශබලධාරී සර්වඥයන් වහන්සේගේ ශාසනය වසර පන්දහසක් කල් නිරවුල්ව පවත්වන්නට උපකාරී වී සම්බුදු සසුනට බලය දුන මැනව.”‍

එවිට මහාසේන දෙව්පුතු, “මම වනාහී, මිළිඳු රජතුමාගේ වාදය බිඳ සම්බුදු සසුනට ආයු වඩනට සමත් වෙමි.”‍ කියා තුටුපහටුව ඔදවැඩියා වූ ප්‍රීති සිත් ඇතිව මෙසේ කී ය.

“සාදු සාදු ස්වාමීනී, මා විසින් මිනිස් ලෝකයෙහි උපදින්නෙමි.” කියා ප්‍රතිඥා දුන්නේ ය. ඉන්පසු ඒ රහතන් වහන්සේලා තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් ව හිමාල පර්වතයේ රක්ඛිතතල නම් ගල්තලාවෙහි පහළ වූ සේක.

එසේ වැඩ වදාළ පසු අස්සගුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් මෙසේ විමසූ සේක. “ඇවැත්නි, මේ සංඝයා අතුරෙහි භික්ෂූන්ගේ සන්නිපාතයට නොපැමිණි වූ කිසි භික්ෂුවක් ඇද්ද?”‍ කියා ය. එසේ විචාළ කල්හි එක්තරා භික්ෂුවක් අස්සගුත්ත තෙරණුවන්ට මෙසේ සැල කර සිටියේ ය. “ඇත ස්වාමීනී, ආයුෂ්මත් රෝහණ මහතෙරුන් වහන්සේ මෙයින් සත්වැනි දවසේ හිමාලය පර්වතයට වැඩ නිරෝධ සමාපත්තියට සමවන් සේක.”‍ එසේනම් උන්වහන්සේ සමීපයට දූතනමක් පිටත් කළ මැනවයි අස්සගුත්ත තෙරණුවෝ කීහ. එවිට රෝහණ තෙරණුවෝ ද ඒ ක්ෂණයෙහි ම නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට “මහාසංඝයා වහන්සේ මං දක්නා කැමති සේකැ.”‍ යි කියා දැක ඍද්ධියෙන් එතැනට වැඩි සේක.

වරදට දඬුවම් ඇතැයි කියන්නේ….

එවිට අස්සගුත්ත මහරහතන් වහන්සේ “කිමෙක් ද ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, බුද්ධ ශාසනයට උවදුරක් ඇති කල්හි සංඝයා විසින් කළමනා කටයුතු නුදුටුවෙහිදැ?”‍ යි විචාළ සේක. “ස්වාමීනී, ඒ බව මා විසින් සිහි නොකරන ලද්දේ ය.”‍ කියා රෝහණ තෙරුන් පැවසූහ. “එසේ වී නම්, ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, ඒ වැරැද්දට දඬුවම් කරව.”‍ යි කී සේක.‍ “ස්වාමීනී කවර දඬුවමක් කෙරෙම්දැයි?”‍ විචාළ විට, “‍ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, හිමාලය පර්වතය අසල කජංගල නම් බ්‍රාහ්මණ ගමක් ඇත. ඒ බමුණු හට මහත් ධන සම්පත් ඇති සෝණුත්තර නම් බ්‍රාහ්මණයෙක් වෙසෙයි. ඔහුගේ බැමිණියගේ කුස නාගසේන නම් පින්බර බ්‍රාහ්මණ කුමාරයෙක් උපදනේ ය. එහෙයින් ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, ඔබ සත් අවුරුද්දකුත් දසමසක් ඒ බමුණු නිවසට පිඬුසිඟා වඩින්න. එසේ පිඬු පිණිස ගොස් නාගසේන කුමරයා සත් හැවිරිදි වූ කල ගිහිගෙයින් නික්මවා පැවිදි කළ මැනව. ඒ කුමරු පැවිදි වූ කල්හි මේ දඬුවමින් මිදෙන්නේ ය.”‍ යි අස්සගුත්ත තෙරණුවෝ කීහ. රෝහණ මහතෙරුන් වහන්සේ ද “යහපතැ.”‍ යි කියා එය පිළිගත් සේක.

මහාසේන නම් වූ දිව්‍ය පුත්‍රයාණෝ දෙව්ලොවින් චුත ව සෝණුත්තර නම් බ්‍රාහ්මණයාගේ භාර්යාවගේ කුස පිළිසිඳ ගත්තේ ය. පිළිසිඳ ගැනීම සමඟ ම ආශ්චර්ය අද්භූත ධර්මයන් තුන් ආකාරයකින් සිදු විය. සියලු‍ අවි ආයුධ දිලිසෙන්නට පටන් ගත්තේ ය. අග්‍ර ශස්‍යයෝ පැසී ගියේ ය. මහාමේඝය මැනවින් වැසි වැස්සවී ය.

සාදු! සාදු! මම නමදිමි ඒ සම්බුදු ශ්‍රාවකයින්….

රෝහණ මහ තෙරුන් වහන්සේ ද ඔහුගේ පිළිසිඳ ගැනීමේ පටන් සත් අවුරුදු දසමසක් මුළුල්ලෙහි ඒ බමුණු ගෙදරට පිඬු සිඟා වැඩි සේක. එනමුත් එක් දිනකවත් බත් හැන්දක්වත්, කැඳ ස්වල්පයක්වත් නොලැබුවේ ය. ආක්‍රෝෂ පරිභව ම ලැබුවේ ය. හිතවත් වූ වචන මාත්‍රයකුදු නොලැබුවේ ය. සත් අවුරුදු දසමාසයකට පසු එක් දිනක දාසියක් මදක් කරුණා උපදවා මෙත් සිතින්,‍ “ස්වාමීනී, කිසිවක් නොලැබෙයි, වඩින්න.”‍ යැයි කීවා ය. රෝහණ තෙරුන් වහන්සේ ඒ වචනයට සතුටු වූ බවක් දක්වා වඩින්නට පටන් ගත් සේක.

එදින සෝණුත්තර බ්‍රාහ්මණයා ද කිසියම් කටයුත්තකට පිටතට ගොස් එද්දී ප්‍රසන්න ව වඩින තෙරුන් වහන්සේ දැක,‍ “කිමෙක්ද? ශ්‍රමණය අපගේ ගෙට ගියෙහි ද?” යි ඇසුවේ ය.‍ “එසේය බ්‍රාහ්මණ ය, වැඩියෙමි.”‍ යැයි කී විට, “කිසිවක් ලැබුණේදැ?”‍ යි නැවත ඇසුවේ ය. “එසේය බ්‍රාහ්මණය, ලැබුණි.”‍ කියා දුන් පිළිතුරෙන් අසතුටු වී වහ වහා ගෙට ගිය බමුණා, “මෙතැනට පිඬු සිඟා ආ පැවිද්දාට කිසිවක් දුන්නේ දැ?” යි නිවැසියන්ගෙන් විචාළේ ය. “අපි කිසිවක් නුදුන්නෙමු.” යි ඔවුන් කී විට, ‘අහෝ මේ ශ්‍රමණයෝ බොරු නොකියම්හයි ලොව රවටන්නාහ. කිසිවක් නුදුන් අපගෙන් ලද්දෙමි යි මහ බොරුවක් කීහ.’ යැයි සිතුවේ ය. පසුදින,‍ ‘අද ශ්‍රමණයා හට මුසාවාදයෙන් නිග්‍රහ කරමි.’ යි සිතා ගෙයි දොරටුවෙහි බලා සිටියේ ය. තෙරුන් වහන්සේ ගෘහ ද්වාරයට වැඩි විගස ම,‍ “ශ්‍රමණය, ඔබ පෙරදින අපගේ නිවසින් කිසිවක් නොලබා ම ලැබුවේ යැයි බොරු කීවේ ය. ශ්‍රමණයෙකු වූ ඔබට බොරු කීම සුදුසු දැ?” යි‍ මුසාවාදයෙන් නිග්‍රහ කළේ ය.

එවිට තෙරුන් වහන්සේ, “බ්‍රාහ්මණය, අප තොපගේ නිවසට සත් අවුරුදු දසමාසයක් තිස්සේ පිඬුසිඟා වැඩියමුත් වචන මාත්‍රයක සංග්‍රහයක් නොලැබුණි. එහෙත් පෙරදින, ‘ස්වාමීනී, කිසිවක් නොලැබෙයි, වඩින්න.’ යන මෛත්‍රී සහගත වචන මාත්‍රයක් ලැබුවෙමි. ඒ පිණිස කිසිවක් ලැබුණා යයි කීවා මිසක බොරු නොකීවෙමි.”‍ යි පිළිතුරු දුන් සේක. එය අසා බ්‍රාහ්මණ තෙමේ මෙසේ සිතී ය.‍ ‘මේ සත්පුරුෂ ගුණ ඇති ශ්‍රමණයන් වහන්සේ වචන මාත්‍ර ආගන්තුක සත්කාරයක් ලැබ මහ ජනයා මැද,‍ කිසිවක් ලද්දෙම්‍ යි ප්‍රශංසා කරයි. එසේනම් වළඳන දෙයක්, භෝජනයක්, අන් කිසි දෙයක් ලැබුණෝතින් ප්‍රශංසා නොකර සිටීවිදැ?’ යි සිතා පැහැදීමට පත් වූයේ ය. තමන්ට ප්‍රයෝජන පිණිස පිළියෙළ කරන ලද බතින් බත් හැන්දක් සහ ඊට සෑහෙන ව්‍යඤ්ජනයක් පූජා කරවා, “මේ අද දුන් ආහාර ප්‍රමාණය පමණක් ම හැම දිනක ම නුඹවහන්සේ අපගෙන් ලබාගත මැනැවැ.” යි කියා ආරාධනා කළේ ය. නැවත බ්‍රාහ්මණතුමා දිනපතා වඩින්නා වූ තෙරුන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය ආදී ඇවතුම් පැවතුම්හි උසස් බව දැක බොහෝ සෙයින් පැහැදුණේ ය. තම නිවසේ නිරන්තරයෙන් ම දානය වැළඳීම පිණිස ආරාධනා කළේ ය. තෙරුන් වහන්සේ ද අනුකම්පාවෙන් එය ඉවසා වදාරා දන් වළඳා අවසානයේ ටිකෙන් ටික දහම් දෙසා ආපසු වඩිනා සේක. ඒ බ්‍රාහ්මණ බිරිඳ දසමස් ඇවෑමෙන් මහ පිනැති පුත්‍රයෙකු බිහි කළ අතර ඔහුට, “නාගසේන කුමරු”‍ යැයි නම් තැබිණි.