මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර වූත් උතුම් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු රජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගතවූ කල්හි ය. මෙම මිළිඳු රජු ග්‍රීක ජාතිකයෙකු වන අතර මොහු තුළ තිබූ වීමංසනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා, ප්‍රශ්න කිරීමෙහිලා, වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය සිතාගත නොහැකි තරම් ය. මෙම රජුට මෙතරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබෙන්නේ පෙර භවයක කාශ්‍යප බුදු සසුනේ සාමණේරනමක් වශයෙන් සිට කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිදාන කථාවේ විස්තර වේ. නාගසේන මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවන්නේ ද එකී ප්‍රාර්ථනාව අනුව ඇතිකර ගත් පැතුමක් අනුව ය. මේ දිගහැරෙන්නේ ඒ සුන්දර නිදාන කතාවයි.
කසළ කසළ වුවත් හැමැදි කුසලය නිකසළ ය…
මේ මහා භද්‍ර කල්පයෙහි තෙවනුව පහළ වූ කාශ්‍යප නම් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවති කාලයේ ගංගාවක් අසල එක්තරා මහා විහාරයක් තිබුණි. ඒ විහාරයේ බොහෝ භික්ෂු සංඝයා වැඩවසන සේක. වත්පිළිවෙත් සරු ශිලාදී ගුණ සම්පත්තියෙන් යුතු උන්වහන්සේලා උදෙන් ම අවදි වී මුසුන් ගෙන බුදු ගුණ ආවර්ජනා කරමින් මළුව හැමද කැළි කසළ එකතු කරති.
එහි එක් භික්ෂුනමක් එක් සාමණේරනමකට “සාමණේරය මෙහි එන්න. මේ හැමදූ කැළි කසළ ගෙනගොස් දමන්න.” යැයි කීහ. ඒ සාමණේරයන් වහන්සේ එය නොඇසුණාක් මෙන් යද්දී දෙවැනි තෙවැනිවර දක්වා ම කීවත් ගණනකට නොගෙන වැඩියේ ය. එවිට ඒ භික්ෂුව “මේ අකීකරු පොඩිනමකැ.” යි නොසතුටු වී හික්මවනු පිණිස ඉදල් මිටින් පහරක් ගැසී ය. පහර කෑ පසු බියෙන් තැතිගෙන තවත් ගසාවි යැයි සිතා ඒ සාමණේරනම හඬමින් කීකරු නමක් සේ කුණුරොඩු ගොඩ ළඟට ගොස් උක්කැටියෙන් වාඩි විය. පහර දුන් හිමිනමගේ මුහුණ දෙස යටැසින් බලමින් කුණුරොඩු ගොඩ රැගෙන ගොස් බැහැර දැමී ය. තවද “මේ කුණු කසළ අස් කළ කුසල කර්මයෙන් යම්තාක් මම නිවනට පැමිණෙමි ද ඒ තාක් කල් උපනුපන් ජාතියෙහි මැදියම් දහවලෙහි සූර්ය මණ්ඩලය මෙන් මහේශාක්‍ය වෙම්වා, මහත් වූ තේජස් ඇත්තෙක් වෙම්වා!” යි පළමුව ප්‍රාර්ථනා කළ සේක. කුණු දමා පැන් පහසු වනු පිණිස ගංතොටට ගොස් ගංගාවෙහි ගර්ගරාවය නගන රළ වේගය දැක නැවත “යම්තාක් මම නිර්වාණයට පැමිණෙම් ද ඒ තාක් කල් අතරතුරෙහි උපනුපන් තැන මේ ක්ෂය නොවන රළ වේගය මෙන් ක්ෂය නොවන්නා වූ තැනට සුදුසු නුවණින් යුක්ත වෙම්වා! ක්ෂය නොවන්නා වූ ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වෙම්වා!” යි පැතූ සේක. මෙසේ සසංකාරික කුශල චිත්තයෙන් ප්‍රාර්ථනා කොට සිටි කල්හි ඉදල මුසුන්හලේ තබා පැන්පහසු වනු පිණිස ගංතොටට වඩින මළුව හැමදි හිමියන්ට පොඩිනමගේ ප්‍රාර්ථනාව ඇසිණි. “මේ සාමණේර තෙම මා විසින් උත්සාහවත් කොට කුණු කසළ බැහැරකොට මෙසේ ප්‍රාර්ථනා කරයි. මළුව හැමදි වතපිළිවතට උත්සාහවත් කළ මට කුමක් නොලැබේදැ.” යි සිතා උන්වහන්සේත් “යම්තාක් මම නිර්වාණයට පැමිණෙම් ද ඒ තාක් කල් අතරතුරෙහි උපනුපන් තැන්හී මේ ගඟෙහි රළ වේගය මෙන් ක්ෂය නොවන්නා වූ අප්‍රමාණ වූ ප්‍රඥාවෙන් යුක්ත වෙම්වා! මොහු විසින් අසන අසන සියලු ම ප්‍රශ්න කථාවන් නිරවුල් කරනට, වෙළුම් හරණට සමර්ථ වෙම්වා!” යි කියා අනුරූප ව ප්‍රාර්ථනා කළ සේක.
රැස් කරනා පින එයි පසුපස්සේ සැප සලසන්නට හැමතිස්සේ…
මෙසේ ප්‍රාර්ථනා කළා වූ ඒ භික්ෂු – සාමණේර දෙදෙනා වහන්සේ මනා වත පිළිවෙතින් සරුව සිල්වත් ගුණවත් පැවිදි දිවියක් ගෙවා බොහෝ පින් රැස් කොට අපවත් වී දෙව් – මිනිස් දෙගතියෙහි සැරිසරමින් එක් බුද්ධාන්තරයක් ගෙවූහ. ගෞතම බුද්ධ ශාසනයෙහි, සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකට පමණ පසු සාමණේර හිමි දඹදිව යෝනක දේශයෙහි සාගල නම් නුවර ඉපිද මිළිඳු නමින් රජ විය. මිළිඳු රජු ඉතා නුවණැති ය. ව්‍යක්ත ප්‍රතිබල වන අතර සියලු කටයුත්තෙහි දක්ෂයෙකු වූවා සේ ම මහා නුවණකින් යුතු ය. අතීතානාගත වර්තමාන වූ මන්ත්‍රණ යෝග විධාන ක්‍රියාවන් කරන කල්හි පරික්ෂා කොට නුවණින් සලකා ම කරනසුලු ය. එමෙන්ම මිළිඳු රජතුමා නොයෙක් ශිල්පශාස්ත්‍ර මනාව උගත්තේ ය. එනම් වෙද ශාස්ත්‍රය, ස්මෘති ශාස්ත්‍රය, ගණනය, කාම ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය, වෛශෙෂිකය, ගණිතය, ගාන්ධර්වය, වෛද්‍යකය, චතුර්වේදය, පුරාණය, ඉතිහාසය, ජෝතිර්ඥානය, ඉන්ද්‍රජාලය, හෙතූය, මන්ත්‍රණය, යුද්ධය, ඡන්දෝලක්ෂණය, හස්ත ශාස්ත්‍රය යන ශාස්ත්‍රයන්හී හසල දැනුමෙන් යුක්ත ය. එකුන්විසි ශාස්ත්‍ර වචනයකින් වාදාරෝපණය කරන එකුන්විසිවාදීන් විසින් ඉක්මවිය නොහැකි වූයේ ය. නොඉවසිය හැකි තේජස් ඇති වූයේ ය. බොහෝ වූ නොයෙක් තීර්ථකයන්ට අග්‍ර යැයි කියනු ලැබේ. සියලු දඹදිව ම මිළිඳු රජතුමා හා සදෘශ බලයෙන්, ජවයෙන්, ශූරතාවයෙන්, ප්‍රඥාවෙන් කිසිවෙක් සමාන නොවී ය. සකල සම්පත්තියෙන් ආඪ්‍ය වී මහත් ධන ඇතිව, අපමණ බලවාහන ඇතිව වාසය කරන්නේ වෙයි.
මෙසේ අපමණ වූ ශ්‍රී සමෘද්ධියෙන් රාජ්‍යශ්‍රී විචාරණ මහරජාණන් එක් දිනක් අනන්ත බල වාහනයෙන් යුත් චතුරංගනී සේනාව ගණන් බලා සේනාසන්නිපාතය දකිනු කැමතිව නුවරින් නික්ම ගොස් එළිමහන් තැනිතලා බිමක දී සේනා ගණින ලද්දේ ය. කථාවාදයෙන් වාද කරන්නා වූ ලෝකායතවිතණ්ඩ ශාස්ත්‍ර යොදා වාද කිරීමෙහි දක්ෂ, කෝතුහල නම් විපරීත දෘෂ්ටියෙන් යුක්ත වූ රජතුමා හිරු දෙස බලා තවම දහවල බව දැනගති. එවේලෙහි ඇමතිවරු අමතා “සගයෙනි, සවස් වන්නට තව බොහෝ වේලා ඇත්තේ ය. දැන්ම නුවරට ආපසු ගොස් කුමක් කරන්න ද? මා හා සමඟ සාකච්ඡා කරන්නට හැකි, මාගේ සැක දුරුකරන්නට සමත් වූ, සංඝ සමූහයන් ඇති, බොහෝ පිරිස් ඇති, ගණාචාර්ය වූ, රහත් ඵලය සම්බුද්ධත්වය ලොවට හඟවා වසන්නා වූ, යම්කිසි පණ්ඩිත වූ ශ්‍රමණබ්‍රාහ්මණයෙක් ඇද්ද?” යි විචාළේ ය. මෙසේ කී විට පන්සියයක් වූ යෝනක ඇමතිවරු මිළිඳු රජුට මෙසේ පිළිතුරු දුන්හ. “දේවයන් වහන්ස, මෙලොව බුදුකම් කරන ශාස්තෘහු සයදෙනෙක් ඇත. පූරණ කාශ්‍යප ය, මක්ඛලී ගෝසාල ය, නිගණ්ඨනාතපුත්‍ර ය, සංජයබෙල්ලට්ඨිපුත්‍ර ය, අජිත කේසකම්බිල ය, පකුධ කච්චාන ය යන ඒ සයදෙනා වහන්සේ පිරිස්වලට නායක වන්නාහ. බොහෝ ශිෂ්‍ය පිරිසක් සිටින්නාහ. ඒ පිරිසට ආචාර්ය වන සේක. යස පිරිවර ඇත්තාහ. බොහෝ ජනයා අතර සාධුසම්මත ය. දේවයන් වහන්සේ යහපත කැමතිවන සේක් නම් ඒ ශාස්තෘන් වහන්සේලා කරා වැඩ වදාළ මැනව. ඔවුන්ගෙන් ප්‍රශ්න අසා වදාළ මැනව. සැකසංකා දුරුකොට ගත මැනවැ.” යි පැවසුහ.
(මේ බුද්ධකාලයෙහි සිටි සයදෙනා නොවේ. ඒ ෂට් ශාස්තෘවරයන් විසින් ඇති කළ ආගම්වල එකල සිටි ප්‍රධානීන් ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ නමින් ම හැඳින්වීමකි.)
නිහඬව සිටිනා තුරු අනුවණයා ද පණ්ඩිතයෙකි…
එසේ කී විට මිළිඳු රජතුමා පන්සියයක් ඇමතිවරු විසින් පිරිවරන ලදුව උතුම් අශ්වයානයක නැගී පූරණ කස්සප සමඟ සතුටු සාමිචියෙහි යෙදී පිළිසඳර කථාබස් කොට එකත්පස්ව වාඩි විය. එකත්පස්ව හුන්නා වූ මිළිඳු රජතුමා පූරණ කස්සපගෙන් මෙසේ විමසී ය. “ස්වාමීනි, කස්සපයන් වහන්ස, මේ ලෝකය කවරෙක් ආරක්ෂා කෙරෙත් ද?” “මහරජාණෙනි, මේ සත්ව ලෝකයා මහා පෘථිවිය රක්ෂා කරයි.” “ස්වාමීනි මහා පෘථිවිය මේ සත්ව ලෝකයා රකී නම්, කුමක් නිසා අවීචි මහා නරකයට යන්නා වූ සත්වයෝ පොළොව ඉක්ම යන්නාහු ද? සමහර කෙනෙක් පොළොව පළාගෙනත් යන්නාහු ය. පොළොව සතුන් රකී නම්, අවීචියට යන්නවුන් නොරකින්නේ කුමක් නිසා ද?” යි රජු ඇසුවේ ය.
මිළිඳු රජතුමා එසේ ඇසූ විට පූරණ කස්සප නම් බුදුබැව් සොරා පිටිකර පහරක් කෑවා සේ දෑස් උඩ ඉඳුවාගෙන උගුරෙහි සිර වූ දෙයක් ගිලගන්නවත් නොහැකිව වමාරන්නටත් නොහැකිව ගියා සේ අසරණ වූයේ ය. පක්ෂ බිඳුණු පක්ෂියෙකු සේ පත්තක්ඛන්ධව, දන්නා බණක් නැති බැවින් තූෂ්ණීම්භූත ව තම හට ම නින්දා බෙණෙමින් අවිද්‍යා ධ්‍යානයට සමවැදුනාක් මෙන් කරබාගෙන හුන්නේ ය. ඒ විප්‍රකාරය දුටු මිළිඳු රජතුමා “අහෝ! මොහු දන්නා බණක් නැත. ලොව රවටන මහසොරෙකැ.” යි අමනාප වී නොසතුටින් නැගිට ගියේ ය.
නැවතත් මිළිඳු රජතුමා මක්ඛලී ගෝසාල වෙත ගොස් පන්සියයක් ඇමතිවරු සමඟ හිඳ ගෞරව දක්වා පිළිසඳර කථා කොට මෙසේ ඇසී ය. “ස්වාමීනී, මක්ඛලී ගෝසාලයෙනි, කුසල කර්ම අකුසල කර්ම කියා දෙයක් ඇද්ද? යහපත් අයහපත් කර්මයන්ගේ ඵලවිපාක ඇද්ද?” කියා ය. මක්ඛලී ගෝසාලයා තම අඥානකමේ මහත පෙන්වමින්, මානයෙන් යුතුව මෙසේ පැවසුවේ ය. “මහරජාණෙනි, කුමක් කියන්නේ ද? කුසල් අකුසල් කියා දෙයක් නැත. යහපත් අයහපත් කර්මයන්ගේ ඉෂ්ට අනිෂ්ට විපාක නැත්තේ ය. මහරජාණෙනි මේ ලෝකයෙහි යම් කෙනෙක් රජ වූවාහු ද ඔහු නැවතත් පරලොවට ගොසිනුත් රජ ම වෙති. යම් කෙනෙක් බ්‍රාහ්මණ වූවාහු ද වෙළඳ වූවාහු ද ගොවි වූවාහු ද චණ්ඩාල වූවාහු ද ඔවුහු නැවත පරලොවට ගොසිනුත් බ්‍රාහ්මණ, වෙළඳ, ගොවි, චණ්ඩාල පුක්කුස ව උපදනාහු වෙති. එසේ හෙයින් කුශලාකුසල කර්මයන්ගෙන් කුමන ප්‍රයෝජනයක් ද?” කීය. මෙසේ මක්ඛලී ගෝසාල කී බස් අසා මිළිඳු රජතුමා මෙසේ කීවේ ය. “ඉදින් ස්වාමීනී, මේ ලෝකයෙහි ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර චණ්ඩාල පුක්කුසයෝ පරලොවට ගොසිනුත් එසේ ම උපදිත් නම් කුසල් අකුසල්වලින් ඵලක් නැත්තේ ය. එසේනම් ස්වාමීනී, යම් කෙනෙක් මේ ලෝකයෙහි අත් කපන ලද්දාහු ද පරලොවට ගොසිනුත් ඔහු නැවතත් අත් සිඳිනා ලද්දේ ම වෙයි. යම් කෙනෙක් පා සිඳුනා ලද්දාහු ද පරලොවදීත් එසේ ම වේ. යම්කෙනෙක් කන් නාසා සිඳිනා ලද්දාහු ද පරලොවදිත් කන් නාසා සිඳින ලද්දාහු ම වෙයි.” මෙසේ කී කල්හී මක්ඛලී ගෝසාල කිසිවක් කියාගත නොහී කරබාගෙන නිශ්ශබ්ද ව සිටියේ ය.
එවිට මිළිඳු මහරජාණෝ “එම්බා මක්ඛලී ගෝසාලයෙනි, නුඹ පළමුකොට ම ‘මහරජ, ඇසුව මනා පැනයක් මාගෙන් නොවිචාළ කල වෙන කාගෙන් අසන්නටදැ’යි, මහත් ගර්ජනාවෙක් කළේ මේ බණ කියන්නට ද? නුඹගේ ශාස්තෘකමේ හැටි මට හොඳින් ම වැටහිණි. ඔබ ඔය අයාගත් කටින් කියන බණ ඔබ සේ ම අඥාන බුද්ධිහීන ළාමකයින්ට මිස අප වැන්නන්ට ගැළපෙන දහමක් නොවේ. අහෝ! බඩක් නිසා බොරුවෙන් ලොවක් වනසන නියාව.” යි මහත් සේ අමනාපව හුන් තැනින් නැගිට ඔබමොබ බැලී ය. තම ඇමතිවරු ඇමැතූ රජතුමා “එම්බා ඇමතිවරුනි, මේ සියලු දඹදිව මා සමඟ සාකච්ඡා කරන්නට, විමති දුරු කරන්නට සමත් වූ යම්කිසි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නොමැත. ව්‍යක්තතර පණ්ඩිතයෙකු නැති බැවින් දඹදිව ඒකාන්තයෙන් ම හිස් වූයේ ය.” යි කීය. (තුච්ඡෝ වත ජම්බුද්දීපෝ, පලාපෝ වත භෝ ජම්බුද්දීපෝ) “සගයෙනි, පණ්ඩිත ගෝචර වූ බසක් අසන්නට නැති බැවින් ඒකාන්තයෙන් ම සියලු දඹදිව බොල් වී ය.”
යි ද කීවේ ය. තවද “සඳ කිරණින් බබළන්නා වූ රාත්‍රිය ඒකාන්තයෙන් ම සිත්කළු ය. අද ප්‍රශ්න අසන්නට ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු කරා හෝ එළඹෙන්නට නොහැක්කේ ද? කවරෙක් මා සමඟ කථා කරන්නට, විමති දුරු කරන්නට සමත් වේ ද?” කියා නැවතත් ඇසී ය. එසේ ඇසූ කල ඇමතිවරු නිහඬව රජු දෙස බලා සිටියහ. එවිට මිළිඳු මහරජු සිවුරඟසේනා පිරිවරා රථයකට නැගී නුවරට සපැමිණ රජමාළිගාවට පිවිසියේ ය.
තවත් කොටසක් මීළඟ ලිපියෙන්….
Recent Comments