සසරේ යන සත්වයා වනාහී කර්මයේ නිර්මාණයකි. කර්මය වනාහී සියල්ලන්ගේ උපතේ ස්වභාවය තීරණය කරන ඒකාධිකාරය ලත් බලවතා සේ ම, එහි ආඥාවට යටත් බව කොතරම් සියුම් ද යත් ශරීරයෙක පැතිරගත් ලෝම කූපයන්ගේ ස්වභාවය පවා එහි නියමයකි. නා නා ලෝකවල, දේශවල වසන නා නා වර්ගික සත්වයන්ගේ සැප සතුට දුක් සන්තාපයන්හි විෂම බවේ එක් තීරකයකු වන්නේ ද කර්මයයි.

එය මඟහැර යා හැකි සසරක්… උපතක්… ගත කළ හැකි ජීවිතයක්… අප කිසිවෙකුටවත් නොමැත්තේ ය. එතරම් ම සත්වයෝ කර්මයෙන් සිර කරන ලද්දෝ ය.

විවිධාකාර සමාජ තලයන් තුළ විවිධාකාර හේතු මූලයෙන් හටගත් ප්‍රශ්න හමුවේ බොහෝ විට කෙනෙකුගේ ජීවන රටාවේ, කායික මානසික ස්ථාවරත්වයේ කඩා වැටීම්, බිඳ වැටීම් සිදුවන්නට පුළුවන. ප්‍රශ්නවලට මුහුණ නොදී ගත කළ හැකි ජීවිතයක් තිබේ නම් ඇත්තෙන්ම එය අසිරියකි. ඇතැම් ප්‍රශ්න හමුවේ විසඳුමක් කරා යාම කෙසේ වෙතත් එය නිවැරදි ලෙස විග්‍රහ කරගැනීමට සුදුසු වටපිටාවක්, මනා අවබෝධයක් බොහෝ දෙනෙකුට නැත.

කර්ම විෂය අචින්ත්‍යය යි බුදුරජාණන් වහන්සේ වදාළේ එය සාමාන්‍ය මනසකට ගෝචර නොවන දෙයක් නිසාවෙනි.

කර්ම විපාක හේතුවෙන් වෙහෙසට, ව්‍යාකූල බවට පත්ව නොසන්සුන්ව, විඩාබරව ජීවිත ගෙවන අය ඔබ දැක තිබේ ද? දරුණු කර්ම විපාකවල බලපෑම හේතුවෙන් බලවත් රෝගවලින් පීඩා විඳින්නෝ බොහෝ ය. මහා ධනවතුන්ව සිට අහසින් පොළොවට වැටෙන්නා සේ නිර්ධනයන්ව මහ පාරට ඇදගෙන වැටුණවුන්, ප්‍රශංසාවෙන් තෙමි තෙමී සිට නින්දා කුණු රැල්ලට යටව ගසාගෙන ගියවුන්, වරදක් නොමැතිමුත් – බලන්නවුන්ට ‘මෙවන් පාපියෝ තවත් නැත්තාහ’ සේ ම පෙනෙනවුන්, අන් අය කළ අපරාධ උගුලට නිවැරැද්දෝ ව චූදිතයන් වන්නවුන්, තමාගේ ම පාපී ක්‍රියාවේ කම්මුල් පහරින් රිදී විඳවන්නන් නම් කොතෙකුත් ද?

චේතනා පහල කොට සිතින්, කයින්, වචනයෙන් කළ පවේ විපාක ඔවුන් ම විඳවිය යුතුය. එනමුදු ‘කර්ම විපාක වෙනස් කළ නොහැක්කේ ම ය’ යන අදහස වැරදිය. සමහර කර්ම විපාක වෙනස් කළ නොහැකි බව සත්‍යයකි… සම්බුදුවරයන් වහන්සේනමකටවත් එය වෙනස් කළ නොහැක්කේ ම ය. නමුත් යම් යම් පිළියම් යෙදීම තුළින් කර්ම විපාකය ගෙවී යාම හෝ සැහැල්ලු වීම නිසා යම් සහනයක්, සැනසිල්ලක්, ලබාදීමට ඉඩප්‍රස්ථාව ඇත්තේය.

කර්ම විපාකයන්ගේ බල සීමාවන් ඉක්මවා යා නොහැකි බව සැබෑ නමුදු, කර්ම විපාකවලින් විඳවන අසරණයන් “කර්ම විපාක!” යන වදනින් ම මඩිමින් නිර්දය ලෙස හෙළාදැකීම, කොන් කිරීම වෙනුවට… ළෙංගතු බවින්, ළතෙත් කරුණා දයා පිරි වදනින්, සිසිල් මෙත් බැල්මෙන්, මුදු මොළොක් උපකාරයෙන්, සුවපත් කළ හැකි නම් එය කොතරම් අගනේද?

පීඩාවෙන් දැවි දැවී රත් වුණු වැලිකතරක ගමන් කරන්නාට, හමන පවනක් මොහොතකට වුව සුවයක් දෙන්නා සේ නියම වූ කර්මයේ ඉරණම් වෙනස් කළ නොහැකි මුත්, ‘මොහොතකුදු ඒ මුවඟට සිනාවක් හෝ දෙන්නට නොහැකි දැ?’ යි කෙනෙකුට සිතේ නම්… දාහය සදහට ම සන්සිඳුවන්නට අපට බැරි වේවි. නමුත් අපට දාහය නිවා හමනා පවනක් වෙන්නට හැකි නම්…

අති දීර්ඝ සසරේ අවසන් දිනය උදා වුණි… අයෙමත් කවරදාකවත්, කවරාකාරයෙන් හෝ කිසිම තැනක උපතක් කරා නොයන, සියලු කෙලෙස් ප්‍රහාණය කළ, බුදු සසුනක කළ යුතු සියලු බඹසර කිස නිම කළ ඒ උතුම් රහතන් වහන්සේගේ අවසන් දින අන්තිම උදෑසනේ… ප්‍රඥාවේ සාගරයක්, කරුණාවේ සාගරයක් බඳු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ දැක වදාළ සේක. ‘මේ ලෝසකයන් අද ම පිරිනිවනට වඩිනවා නොවේ ද? සසරේ කළ මහත් පාපයක විපාක හේතුවෙන් පැවිදි වීත්, අරහත්වයට පත් වීත් මේ තාක් කුස පුරා දාන වේලක් වළඳන්නට නොහැකි වුණා නොවේ ද? මේ අයුෂ්මතුන් කෙලෙස් දුරුකර ගත්තා සේ ම අවසාන දවසේ හෝ කුස පුරා වළඳවා මා විසින් කුසගින්න දුරුකරවා සුව සේ පිරිනිවීමට පහසුව සැලසිය යුත්තේ ය’ මෙසේ සිතා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් කැටුව පිණ්ඩපාතයට වැඩම කළහ.

කරුණාව වනාහී සත්පුරුෂ ප්‍රඥාවන්තයින්ගේ ජීවිතයේ දිස්නයයි. අසත්පුරුෂ දුෂ්ප්‍රාඥයින්ගේ හදවත් අකාරුණික බවින් වියළී පවතී. අනුන්ගේ දුකෙහි දී හද උණුසුම් වන්නේ ප්‍රඥාවන්තයින්ගේ ය.

ගොළුවකු අත්විඳිනා දෙය වචනයෙන් කියා ගත නොහැක්කා සේ ම, කර්ම විෂය ගැන අනවබෝධය නැමැති නොහැකියාව නිසා ම අප්‍රකට ව ම සැඟවී පවතින කර්ම හේතුවෙන් අසරණ වූවන්ගේ හැඟීම්බර මිමිණිල්ල, කෙඳිරිය සත්පුරුෂයන්ගේ හදවතට ම පමණක් ස්පර්ශ වන්නේ ය. අනෙකෙකුට එය තවත් එක්තරා සිදුවීමක් පමණි. සමනය කොටගත නොහෙනා වේදනාව, වෙහෙස ප්‍රඥාවන්තයින්ගේ කරුණා දෙනෙතට ම ගෝචර වන්නේ ය. කර්ම විපාක ඉදිරියේ දිනවිය නොහැකි ජීවිත, ප්‍රඥාවන්ත උත්තමයෝ නිර්ව්‍යාජ ව දැහැමි කථාවෙන් හෝ ඒ සිත්හි උපේක්ෂාව උපදවා නිවා දමන්නෝ ය.

“කර්ම විපාක වෙනස් කළ නොහැක්කේ ය.” යන වදන් තුළ ම සිර නොවී, උදාසීන නොවී සිට කරුණාව නම් විජිනිපත මෙහෙයවා, සලා, සිහිල් පවනකින් මොහොතකට හෝ සනසවන්නේ යම් සේ ද… මේද පිඬක් බඳු සත්පුරුෂෝත්තමයන්ගේ සිත් කරුණාවෙන් උණුසුම් ව කළ හැකි උපකාරයක්, පහසුවක් හෝ සලසන්නේ ම ය.

කර්ම විපාකයක මහත… ලෝසක තෙරුන් කැටුව වැඩි නිසා ප්‍රඥාවෙන් අග්‍ර වූ දුටු දුටු නෙත් නිවන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රයටවත් දන් පිඬකින්වත් සංග්‍රහයක් නොලැබුණි… නැවත විහාරයට වැඩම කොට ලෝසක තෙරුන් රඳවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට වැඩම කළ සේක. තනිවම වැඩි වාරයේ සැණෙකින් පාත්‍රය පිරුණු පිණ්ඩපාතය කෙනෙකු අත “ලෝසකයන්ට දෙන්නැ.” යි පිටත් කළ ද කර්ම විපාකයක මහත් බව… පාත්‍රය රැගෙන යන්නාට එය කන්නට සිතී මඟ දී ම ඔහු එය අනුභව කළේ ය.

පිණ්ඩපාතය කොට පෙරළා පැමිණි සාරිපුත්ත මහරහතන් වහන්සේ තවමත් දාන ශාලාවේ ලෝසක තෙරුන් වැඩ සිටිනවා දැක “දන් වැළඳුවේදැ?” යි විමසූ කල්හී උන්වහන්සේ වදාළේ, “ස්වාමීනී අපට ලැබුණා නම් දන් වළඳන්න තිබුණා.” කියා ය.

එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා, දහවල මධ්‍යහන කාලය ඉක්ම ගොස් ය… නැවතත් ආයේ කවදාවත් බත් දානයක් වළඳන්න, ආහාර දානයක් වළඳන්න ලෝසක තෙරුන්ට ඉඩක් නැත. අද අවසාන දවසයි. “කර්මයක තරම. ඔබ වහන්සේමනේ ඕවා කරගත්තේ, දැන් විඳවන්න ම එපැයි.” නොකියා, ඉවත නොබලා… “මෙහි ම වැඩ සිටින්න.” පවසා කොසොල් රාජමාලිගයෙන් චතුමධුරයෙන් පිරවූ පාත්‍රයක් ලබා ගෙනැවිත් තම දෑත් අතරේ හොඳින් රඳවා තබාගෙන, “ලෝසක, හොඳයි දැන් වළඳන්න.” කියා සිටගෙන ම සිටි සේක.

කරුණාවේ සිසිලස… සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා! කරුණාබර සිතින් දුකට පත් සිත් නිවන සත්පුරුෂෝත්තමයන්ට නමස්කාර වේවා! ගුරුදේවයන් වහන්සේ තමන් වෙනුවෙන් පාත්‍රය දරා සිටීම නොඉවසූ ලෝසක තෙරුන් පාත්‍රයට අත යොමු නොකළහ. “ලෝසක, මේ පාත්‍රය ඔබ අතට දුන්නොත් වෙන තැනක හෝ තැබුවොත් මෙහි කිසිවක් ම ඉතිරි නොවේවි! ඒ නිසා වළඳන්න!” සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඍද්ධි බලය නිසා චතුමධුර අතුරුදන් නොවී තිබුණි… ගුරු වදනට කීකරුව ලෝසක තෙරුන් එදා පළමු වතාවට කුස පිරෙන තෙක් චතුමධුර වැළඳූ සේක… එදා ම පිරිනිවන් පා වදාළ සේක…

කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් ව සිට රහතන් වහන්සේනමකගේ ලාභයට අනතුරු කිරීමේ විපාකය නිසා, මරණින් මතු හේ නිරයේ උපන… යක්ෂ යෝනිවල, සුනඛ යෝනිවල ඉපදෙමින් පැමිණියේ ය… මනුලොවට ආව ද අන්ත දිළිඳු ව උපන්නේ ය… එදා සිට මේ දක්වා කුස පිරෙන්නට ආහාරයක් ලැබී තිබුණේ අවස්ථා තුනක දී පමණි…

වෙනස් කළ නොහැකි පරිච්ඡේද අප කාගෙ කාගේත් ජීවිතවල තියෙන්නට පුළුවන… පරිච්ඡේදයක් අවසානයේත් නැවතීමේ ලකුණක්, විරාමයක් ඇති බව මතක තියාගන්නට වටී… සක්‍රීය කර්ම විපාකය නැමැති පරිච්ඡේද අතරේ නැවතීමේ ලකුණු නම් සැනසිල්ලකුත් තිබිය නොහැක්කේ ද?

එනිසා වේගෙන් දුවන්නෙකු සමඟ අත්බැඳ දුවනවාට වඩා මොහොතකට නැවතී බිම ඇද වැටුනවුන්ට පානා දෑත වටින්නේ ය. මන්දයත් වේගෙන් යා ගත හැකි ගමනේ අන් අය වෙනුවෙන් නතර වන්නට කැමැත්තෝ කවරහු ද? වේගය මඳකට අඩුකර ගතහැකි වුවහොත් උපකාර ඉල්ලා කරනා සුහද ඉල්ලීම්වල සිහින් හඬ ඔබටත් ඇසේවි! නෑසුණා සේ, නොදැක්කා සේ නම් යන්නට නොසිතේවා! දැවෙන දුක්ගිනි සිසිල් කළ හැකි සොඳුරු ගුණය වූ කරුණාවෙන් උණු වන සිතැත්තෙක් වන්නට ඔබටත් වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.