දීර්ඝ සංසාරයක් පුරා එන සත්වයන් විදිහට මේ ජීවිතයේ අපේ නවාතැන්පළ වුණේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකේ ගත කරන අපට අතිශය දුර්ලභ බුද්ධ ශාසනයක් මුණගැසුනා. ඒ නිසාම අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ගොඩක් වටිනවා. මේ කාලේ තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත්, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවාට පසු ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය ශාස්තෘන් වහන්සේ විදිහට මේ කාලයේත් විරාජමානව වැඩ සිටිනවා. ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතය වටිනවා.
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලටත් ජීවමාන කරගන්න නම් අපි සත්පුරුෂයන් වෙන්න ඕන. සත්පුරුෂ උතුමන්ට අයිති ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයෙකුට ම විතරයි. අසත්පුරුෂයෙකුට බෑ. එහෙනම් මේ ලෝකේ සත්පුරුෂයොත් ඉන්නවා, අසත්පුරුෂයොත් ඉන්නවා.
භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දී දේශනා කරනවා අසත්පුරුෂ භූමිය ගැන. එතනදී භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අකෘතඥයි. කෙළෙහිගුණ සිහිකිරීමට නොදනියි. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහිගුණ නොදන්නා බවක් ඇද්ද කෙළෙහිගුණ සිහි කිරීමට නොතේරෙන බවක් ඇද්ද මෙය පසසන්නේ අසත්පුරුෂයින් විසින්මයි. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහිගුණ නොදන්නා බවක් ඇද්ද, කෙළෙහිගුණ සිහිකිරීමට නොතේරෙන බවක් ඇද්ද මෙය වනාහී සම්පූර්ණ අසත්පුරුෂ භූමියයි.”
(අං. නි., සමචිත්ත වග්ගය)
මේ බුද්ධ ශාසනයේ සිටි පරම අසත්පුරුෂයා තමයි දේවදත්ත. දේවදත්ත ‘භාග්‍යවතුන් වහන්සේ තමන්ට ධර්මයෙන් අනුග්‍රහ කළේ නෑ. තමන් තනියම මේ ධර්මය තේරුම් ගත්තේ’ කියලා භාග්‍යවතුන් වහන්සේ ව ප්‍රතික්ෂේප කළා. කළගුණ සිහිකර ගන්න බැරි වුණා. කළ උපකාරය මතකයට ආවේ නෑ. එහෙනම් අසත්පුරුෂයෙකුගේ ලක්ෂණයක්, කෙළෙහිගුණ නොදන්නා බව.
සත්පුරුෂයාගේ ලක්ෂණය ගැනත් භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් මහණෙනි, සත්පුරුෂ භූමිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා කෘතඥයි. කෙළෙහිගුණ සිහිකිරීමට දනී. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහිගුණ දන්නා බවක් ඇද්ද, කෙළෙහිගුණ සිහිකිරීමට තේරෙන බවක් ඇද්ද මෙය පසසන්නේ සත්පුරුෂයින් විසින් ම යි. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහිගුණ දන්නා බවක් ඇද්ද, කෙළෙහිගුණ සිහිකිරීමට තේරෙන බවක් ඇද්ද මෙය වනාහී සම්පූර්ණ සත්පුරුෂ භූමියයි.”
(අං. නි., සමචිත්ත වර්ගය)
එහෙනම් සත්පුරුෂයනට කළගුණ සිහිවෙනවා. කළ උපකාර මතක් වෙනවා. මේ කාරණය අතිශය දුර්ලභයි. ඒ වගේ මනුෂ්‍යයන් දුර්ලභයි.
මේ සිදුවීම සිදුවුණේ දඹදිව, මණ්ඩල කියන ගමේ. එක්තරා පුරුෂයෙක් රටින් රටට, ජනපදයෙන් ජනපදයට, ගමින් ගමට ඇවිදගෙන ගියා. ගඟෙන් එතෙර වෙන්න නැවක් තිබ්බා. මේ පුරුෂයත් අනිත් මිනිසුන් සමඟ නැවට නැගලා එතෙර බලා පිටත් වුණා. ඒ නැවේ ම පිරිපුන් දරුගැබක් ඇති කාන්තාවක් ද ගමන් කළා. මේ විදිහට හැමදෙනාම නැවේ ගමන් කරනකොට ගඟ මැදදී අර ගර්භිණී කාන්තාවට දරුවා ලැබෙන්න නිමිති පහළ වුණා. එතකොට දරුවා බිහි කරගන්න බැරුව අමාරුවෙන් මහා දුකක් මේ කාන්තාව වින්දා.
මේ අතර ම කාන්තාවට තදබල පිපාසයක් ඇති වුණා. මේ කාන්තාවට ඉවසා ගන්න බැරුව වටේ හිටිය මිනිස්සුන්ගෙන් වතුර ටිකක් ඉල්ලුවා. නමුත් ඒ නැවේ හිටිය මිනිස්සුන්ට මේ ගැන කිසිම හැඟීමක් නැතිව තම තමන්ගේ වැඩවල යෙදිලා හිටියා.
ඔය අතරේ නැවට නැග්ග පුරුෂයාට මේ කාන්තාවගේ බැගෑපත් වචන අහන්න ලැබුණා. ඇහිලා හිතේ මහා කරුණාවක් ඇති වුණා. අර කාන්තාව ළඟට පැන් අරගෙන ගිහිල්ලා පොවල මුහුණට පැන් ඉස්සා. ඒත් එක්කම අර කාන්තාවට මහා සහනයක් ඇති වුණා. ඒ වෙලාවෙ පහසුවෙන් ම දරුව ව වැදුවා. කාන්තාව සුවපත් වුණා.
කලක් ගියාට පස්සේ අර පුරුෂයා යම් කටයුත්තක් පිණිස නැවේ හමු වූ ඒ කාන්තාව සිටි නගරයට ආවා. ඇවිත් නවාතැනක් සොයා ගන්න නැතිව නුවර ප්‍රධාන දොරටුව ළඟ ශාලාවක රෑ හුදෙකලාවේ ම රැඳී සිටියා. එදා රෑ ම සොරු නුවරට ඇවිත් රාජමාලිගාවේ උමං බිඳලා රන් රිදී මුතු මැණික් ආදී නොයෙක් වටිනා වස්තු අරගෙන උමඟින් පිටතට දුවනකොට රාජපුරුෂයන් දැකලා සොරුන් ව ලුහුබඳින්න පටන් ගත්තා. මරණ භයින් බයට පත් වූ සොරු ‘මේ රාජ වස්තුව නිසා අපේ ජීවිත විපතට පත් වෙනවා.’ කියා සිතා, ඒ ඒ වස්තුව ප්‍රධාන දොරටුව අසල ශාලාවේ දමා පලා ගියා.
සොරුන් ලුහුබැඳ ආපු රාජපුරුෂයෝ ශාලාවේ තියෙන රාජ වස්තුව දැක සොරා කොහාට ද ගියේ කියලා පරික්ෂා කරනකොට ශාලාවේ නිදා සිටිය අර පුරුෂයා දැකලා ‘මේ තමයි සොරා.’ කියල ඔහුව අල්ලාගෙන අත් පිටුපසට කරලා බැඳලා රාජ වස්තුව සමඟ රජ මාලිගාවට අරගෙන ගියා.
පහුවදා උදේ රජතුමා ඉදිරියට අරගෙන ගියා. රජතුමා “එම්බල සොර, කොහොමද මෙච්චර බයක් නැතිව නිර්භීතව මගේ රාජ මාලිගාවේ උමං බිඳල වස්තුව පැහැරගෙන ගියේ? මොන හේතුවක් නිසා ද එහෙම කළේ?” කියලා ඇහුවා. එවිට පුරුෂයා “ස්වාමීනි, මා සොරෙක් නෙවෙයි. මේ නගරයට මං ආගන්තුක ව ආවේ. ඊයේ රෑ මට ඉන්න තැනක් හමුවුණේ නැති නිසා ප්‍රධාන දොරටුව ළඟ ශාලාවේ නැවතුණා. මම සොරකම් කළේ නෑ.” කියා පැවසුවා.
රජතුමා ආයෙත් නුවර පරික්ෂා කරලා සොරු හමු වුණේ නැති නිසා ‘මේ මිනිහමයි සොරා’ කියල බොහෝ සේ කෝපයට පත් වෙලා ආයෙ මෙවැනි දෙයක් වෙන කවුරුත් නොකරන්ට කටයුතු කරමියි සිතා “මේ සොරා දැන්ම ම ගිහින් මරා දමන්න.” කියලා රාජ නියෝගයක් නිකුත් කළා.
රජතුමාගේ නියෝගයට අනුව රාජපුරුෂයන් ඔහුගේ දෑත් පිටුපසට කරලා බැඳලා නොයෙක් වද දිදී මරන්න අරගෙන යනකොට එවේලේ අර කලින් කී කාන්තාවට මේ කෝලාහලය ඇසී ගෙදරින් එළියට ඇවිත් බැලුවා. එතකොට මරන්ට ගෙන යන පුරුෂයා ව දැකලා හඳුනාගෙන තමන්ට කළ උපකාරය මතක් වෙලා හදවතේ ශෝකය පුරවාගෙන ‘දැන් මේ පුරුෂයාට මගේ උපකාර අත්‍යවශ්‍ය වෙලාවයි. ජීවිතය ආරක්ෂා කර දිය යුතුයි.’ සිතා රාජ මාලිගාවට දිව ගියා.
“ස්වාමිනී අර මරන්න අරගෙන යන පුරුෂයා සොරෙක් නෙවෙයි. මේ නුවරට ආගන්තුක ව ආව කෙනෙක්. ඔහු කිසිම අපරාධයක් කරන්නේ නැති සත්පුරුෂයෙක්. එනිසා මරන්න එපා.” කියල ඉල්ලා හිටියා.
රජතුමා මේ කථාව විශ්වාස නොකර “එම්බල කෙල්ල, මේ පුරුෂයා ව මරණයෙන් නිදහස් කරන්න නම් වටිනා වස්තුවක් දීලා බේරා ගන්න.” යැයි පැවසුවා. “අනේ රජතුමනි, මට ඒ වගේ වටිනා වස්තුවක් නෑ. මාත්, මගෙ දරුවො හත් දෙනත් දාස භාවයට පත් කර ඔහු ව නිදහස් කරන සේක්වා!” කියා ඈ ඉල්ලා සිටියා.
රජතුමා කියනවා, “එම්බල කෙල්ල නුඹ දැන් මේ මොකක්ද කියන්නේ? මේ පුරුෂයා ආගන්තුකයි කියලා, දැන් ඔහු නිසා තමනුත් දරුවො හත් දෙනාත් සමඟ දාස භාවයට පත් වෙන්නම් කියලා කියනවා. මොකද්ද මේ කථාවෙ තේරුම? මේ කථාව නිසා මට සැකයක් ඇති වුණා. ඇත්ත කියපං මේ නුඹේ පියා ද? බාප්පා ද? සහෝදරයෙක් ද? නැතිනම් කලින් කසාදේ සැමිය ද? නැතිනම් කලින් නුඹට උදව් කරපු කෙනෙක් ද? මොන හේතුවක් නිසා ද තමන් දරුවො හත් දෙනාත් සමඟ දාස වෙලා මේ පුරුෂයා ව බේරා ගන්න උත්සාහ කරන්නේ..?”
කාන්තාව කියනවා “කලින් මම ගැබ්බර ව ඉන්නකොට නැවක නැගලා ගමනක් ගියා. එදා මට දරු ප්‍රසූතිය නැවේදි සිදු වුණා. ඒ වෙලාවෙ මං මහා දුකට පත් වෙලා හිටියෙ. මරණාසන්න ව සිටි මට අධික පිපාසයක් ඇති වුණා. මං පැන් ටිකක් ඉල්ලා විලාප තිබ්බා. එතන හිටිය මිනිස්සුන්ට ඒ ගැන කිසිම හැඟීමක් නැතිව හිටියා. මේ පුරුෂයා මං ගැන කරුණාවෙන් මට පැන් ටිකක් පොවලා මගේ මූණට පැන් ඉස්සා. මට මහා පහසුවක් ආවා. මං සුවසේ දරු ප්‍රසූතිය සිදු කළා. ඒ නිසා මේ පුරුෂයා මට බොහෝ උපකාරී වුණා.
මේ ලෝකේ හැම මනුස්සයාට ම ඒ විදිහේ ගුණ පිහිටන්නේ නෑ. හරියට මහා සාගරය ලස්සනට දිය රැලි නංව නංවා නිල් කැටේට වතුර තිබ්බත් පිපාසයක් ආවට ඒකෙන් කාටවත් පිපාසය සංසිඳුවා ගන්න බෑ. පිපාසය සංසිඳුවා ගන්නට පිරිසිදු පැන් ඇති ළිඳක් ළඟට ම යන්න ඕන. ඒ වගේ මේ ලෝකේ බොහෝ හිස් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අතර ඉතා ම ස්වල්ප දෙනෙක් අතර විතරයි හදවතේ සත්පුරුෂ ගුණ දහම් පිහිටන්නේ. දුක් කරදර ආවාම ඒ දුකින් මුදවන්නේ සත්පුරුෂයෝ විතරයි.
ඒ වගේම රජතුමනි, මේ ලෝකේ කොච්චර මනුස්සසෝ හිටියත් තමන්ට කරපු උපකාරය සිහි කරන්නේ සත්පුරුෂ ගුණ තියෙන පින්වන්ත මිනිසුන් විතරයි. ඒ නිසා රජතුමනි, මේ පුරුෂයා මට කරපු උපකාරය සිහි කරලා සත්පුරුෂ ධර්මයේ පිහිටියා. දැන් මාත්, දරුවොත් සුවපත් ව සිටිනවා. නමුත් මේ පුරුෂයා දැන් දුකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මමත්, දරුවොත් දාසභාවයට පත් වෙලා මේ පුරුෂයාගේ ජීවිතය බේරා දෙන මෙන් ඉල්ලා සිටිමි රජතුමනි.”
එතකොට රජතුමා ප්‍රධාන දොරටු පාලකයා කැඳවා විස්තර අසා මේ පුරුෂයා ආගන්තුක ව නගරයට පැමිණි බව දැනගෙන පුරුෂයා ව නිදහස් කළා. කාන්තාවගේ සත්පුරුෂ ගුණය ගැන ගොඩක් පැහැදුණ රජතුමා බොහෝ ධනය දුන්නා. පුරුෂයාටත් ධනය දුන්නා. දෙදෙනා ම සුවසේ පින් දහම් කර සුගතියේ ඉපදුණා.
එසේ නම් මේ සත්පුරුෂ ගුණධර්ම හැම දෙනා තුළ ම පිහිටන දෙයක් නෙමෙයි.
දුර්ලභ ව පිහිටන අසිරිමත් ගුණයක්. මේ කාලේ අපේ ම පිනකට, වාසනාවකට ඒ බුද්ධ දේශනා තුළ තිබෙන අසිරිමත් ගුණ ගැන කියා දෙන්න සත්පුරුෂ වූ පින්බර ගුරුදේවයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා ගුණයෙන් පිරිහෙන අසත්පුරුෂ ගති වැඩි මේ කාලේ ටිකෙන් ටික අසත්පුරුෂ ගති බැහැර කරමින් සත්පුරුෂ ගුණයේ පිහිටා කළගුණ දන්නා, කළගුණ සිහි කරනා කෙනෙක් වෙලා සත්පුරුෂ ගුරු සෙවණේ සදා සුරැකෙන්නත්, සත්පුරුෂ ධර්මය හිතට ළං කරගෙන ඒ අනුව නුවණ මෙහෙයවා සසර දුකින් නිදහස් වෙන්නත් වාසනාව උදා වේවා!
(ඇසුර – සද්ධර්මාලංකාරය)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments