පසුගිය ජූලි මස අග භාගයේ ලොව පුරා මාධ්‍ය අවධානය දිනාගත් පුවතකින් කියැවුණේ සවුදියේ නිදි කුමරා මරණයට පත් වූ බව ය. දශක දෙකකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු අල් වලීඩ් නම් සවුදි කුමරු මෙසේ මරණයට පත් විය.

සෞදියේ ප්‍රමුඛ රාජකීයයෙකු ද බිලියනපතියෙකු ද වන අල් වලීඩ් බින් තලාල් කුමරුගේ මුණුපුරෙකු වූ මෙම සවුදි කුමරා පහළොස් හැවිරිදි ව සිටිය දී ලන්ඩනයේ දී දරුණු මාර්ග අනතුරකට ලක් වූයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටිය දී ය. අනතුරෙන් ඔහුගේ මොළයට දැඩි හානි සිදු විය. හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර නොමඳ ව සිදු කෙරුණ ද ඔහු කිසිවිටකත් සිහිය ලැබුවේ නැත. ජීවිතාධාරක මත සම්පූර්ණයෙන් ම පවත්වා ගනු ලැබූ ඔහුගේ ඇඟිලිවල ඉඳහිටක සිදු වූ ස්වේච්ඡා චලනයක් හැරුණු කොට සුවපත් වීම පිළිබඳ අපේක්ෂා තැබිය හැකි කිසිදු වෙනසක් සිදු වූයේ නැත.

තම පුතු කවර හෝ දිනක පියවි සිහිය ලබනු ඇතැයි දැඩිව විශ්වාස කළ ඔහුගේ පියා වූ කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරු තම පුතුට සපයා තිබූ ජීවිතාධාරක ඉවත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කළේ ය. එනිසා විසි වසරක් ඉක්මවා ඔහු සිහිසුන් ව සිටි අතර අවසන තවදුරටත් බාහිර උපකාරයනට ඔහුගේ ජීවිතය පවත්වා ගැනීමට නොහැකි විය.

පූර්ණ කෝමා තත්ත්වයකට ලක්ව සිහිසුන් ව සිටිනා රෝගියෙකු විසි වසරකට ආසන්න කාලයක් පුරා ජීවිතාධාරක මත රැකගන්නවා යන්න කිසිසේත් ම පහසු කරුණක් නොවේ. ධනය ද බලය ද නොමඳ ව තිබූ නිසාවෙන් ම මෙය සිදු වූවා මිස අන් රටක අන් අයෙකුට නම් මෙවැනි සත්කාරයක් ලැබීම උගහට ය. විසි වසරක දීර්ඝ නින්දෙන් මිදී අල් වලීඩ් කුමරු පියවි සිහිය ලැබුවේ නම් එය නිසැක ව ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා ප්‍රාතිහාර්යයක් වනු ඇත. එහෙත්, ලෝකයේ දක්ෂතම වෛද්‍යවරුනට හෝ කවර ධන සම්පතකට හෝ කවර බලවත්කමකට හෝ මරණයට අභියෝග කළ නොහැකි බව යළිත් අපට සිහිපත් කර දෙමින් අල් වලීඩ් කුමරු ජීවිතයෙන් සමු ගත්තේ ය.

ශ්‍රද්ධාවෙන් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි ව උතුම් අරහත්වය සාක්ෂාත් කරමින් කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි රට්ඨපාල මහරහත් මුනිඳුන් දිනක් කෝරව්‍ය රජු හමුවේ ධර්ම කථාවක් වදාරමින් තමන් වහන්සේගේ පැවිද්ද පිණිස හේතු වූ ධර්ම මාතෘකාවන් සතරක් මෙසේ ප්‍රකට කළහ.

“උපනීයති ලෝකෝ අද්ධුවෝ’ති…”

ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිරයි.

“අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ති”

ලෝකය අනාරක්ෂිතයි. තමන්ගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැහැ.

“අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීය’න්ති”

ලෝකයා තමන්ගේ කියා යමක් ගන්නවා ද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි.

“ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ’ති”

ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ.

(රට්ඨපාල සූත්‍රය, ම. නි. 02)

අප කා හටත් උරුම ජීවිත ඉරණම මෙයයි. මනුෂ්‍ය වර්ගයාට පොදු වූ සම්පූර්ණ ආයුෂය ම අප කවුරුනුත් ලබන්නේ යැයි සිතුවහොත් නිසැකව ම මේ ජීවිතය මොහොතින් මොහොත ළං වෙමින් සිටින්නේ ජරා මරණ කරා ම ය. අන්‍ය ජීවිත සංසිද්ධි සියල්ල සිදු වන්නේ අප අඛණ්ඩ ව ජරා මරණ වෙත ළංවෙමින් සිටිය දී ය.

ධනය බලය නොඅඩු ව තිබුණේ වුව ද පුතුගේ ජීවිතය රැකගැනීම පිණිස බලවත් දාරක ස්නේහය නොසිඳී පැවතියේ වුව ද කලීඩ් තාත්තාට වලීඩ් පුතුව තමන් කැමති වූ පරිද්දෙන් යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි විය. කවරාකාරයකින්වත් ලෝකය අප වසඟයෙහි පැවැත්විය නොහැක්කේ ම ය. එය අනාරක්ෂිත ය.

තමන්ගේ යැයි සලකන සියල්ල ම පවා අත්හැර නිසැකව ම අප කවුරුනුත් මෙලොවින් යා යුත්තේ ය. චේතනාව මෙහෙයවා කළ හොඳ නරක කර්මයන්ගේ විපාක පමණක් පරලොව ගමනට පැමිණෙත්. අන් කිසිවෙක්, අන් කිසිවක් ඒ කරා නොපැමිණෙත්.

එසේ, ජරා මරණයෙන් බැට කන අනාරක්ෂිත ගමනක යෙදෙමින් – සියල්ල අහිමි වන ඉරණම නියතව ම උරුම කොටගෙන සිටිද්දී පවා කම් සැපයෙන් තෘප්තිමත් වීමක්, සන්සිඳීමට පත් වීමක් පුහුදුන් ලෝකයේ දැකිය නොහැක්කේ ය. තවදුරටත් සපුරා ගත යුතු ඉලක්ක ජීවිතයේ තිබිය දී ම ඔවුහු මෙලොවින් නික්මෙති.

ජීවිත යථාර්ථය මෙසේ ඇස් පනාපිට පෙනෙන කල්හි සංවේග උපදවාගෙන අපි, හටගත් සියල්ල නැසී යන ස්වභාවයෙන් යුතු බව අවබෝධ කරන්නට වීරිය කළ යුතු නොවෙමු ද!