පින්වත් යොවුන් දූ දරුවනේ,

මේ අදහස හිතක කාවද්දගන්න වටිනවා. ‘මෛත්‍රියේ වටිනාකම හිතාගන්නත් බෑ!’ කියන අදහස අපට ඇත්තෙන්ම හිතාගන්න බැරි තරම් ආරක්ෂාවක්. මෛත්‍රිය කියන්නේ හිතක් ලස්සන කරන ලස්සන ම ලස්සන ගුණයක්. මෛත්‍රිය හිතේ තියෙන හැම මොහොතක්ම අපේ ජීවිතේ නැකැත් මොහොතක් කීවොත් වරදක් නෑ. අද මේ ලිපිය හිතාගන්නත් බැරි තරම් වටින මෛත්‍රිය ගැනයි.

ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා “අවසානය තෙක්ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබටත් මෛත්‍රිය කියන ලස්සන ම ලස්සන ගුණයේ වටිනාකම දැනේවි!

ගෙයක් පාසා මෙත් වඩන භික්ෂුවක්…

බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ ගෙයක් ගෙයක් පාසා මෛත්‍රී ධ්‍යානයට සමවැදෙමින් පිණ්ඩපාතේ වඩින රහතන් වහන්සේනමක් වැඩ හිටියා. ඒ තමයි සුභූති මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ එහෙම කළේ පිණ්ඩපාතේ බෙදන මිනිස්සු ගැන අනුකම්පාවෙන්. ‘මේ සැදැහැවතුන් අප උදෙසා පුදන පිණ්ඩපාතය තවත් බොහෝ මහත්ඵල වේවා!’ කියන හැඟීමෙන් රහතන් වහන්සේ පිණ්ඩපාතය පිණිස එළඹෙන ගෙයක් ගෙයක් පාසා බලවත් මෛත්‍රී සිතක් ඇති කරගෙන ධ්‍යානයට සමවැදී ඉන් නැඟී හිටිනවා. ඉන්පස්සේ තමයි දන් පිළිගන්නේ. ඒ රහත් මුනිඳුන්ගේ මේ ක්‍රියාව නිසාම අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා සඟපිරිස මැද සුභූති මහරහතන් වහන්සේට අග තනතුරක් පිරිනැමුවා.

“ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං දක්ඛිණෙය්‍යානං යදිදං සුභූති,”

“පින්වත් මහණෙනි, මේ පින්වත් සුභූති වනාහී දක්ෂිණාවන්ට සුදුසු භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වන්නේ ය.”

(අංගුත්තර නිකාය – ඒතදග්ගපාළි)

ඇත්තෙන්ම උන්වහන්සේ අරහත්වයට පත් වුණෙත් මෛත්‍රී ධ්‍යාන පාදක කරගෙනයි. ඒ අසිරිමත් මෛත්‍රිය මොන තරම් ආනුභාව සම්පන්න වුණා ද කියන්නේ සුභූති මහරහතන් වහන්සේට දෙවිවරු ගොඩාක් ආදර ගෞරව දැක්වූවා.

මොකෝ මේ වැහි නැත්තේ…?

එක කාලෙක මෙහෙම සිදුවීමක් වුණා. සුභූති මහරහතන් වහන්සේ වස් කාලේ ළං වෙලා තියෙද්දී රජගහනුවරට වැඩම කළා. ඒ වෙද්දී රජගහනුවර පාලනය කළ සේනිය බිම්බිසාර රජුට ආරංචි වුණා උන්වහන්සේගේ වැඩමවීම. ඉතින් රජ්ජුරුවෝ ඉතාම ගෞරයෙන් උන්වහන්සේව වන්දනා කරගන්න ගියා. වස් කාලේ ළඟ නිසා සුභූති මහරහතන් වහන්සේට “ස්වාමීනී, මේ රජගහනුවර වනයේම වස් වසනා සේක්වා! මම ඔබවහන්සේ වෙනුවෙන් සියලු ප්‍රත්‍ය පහසුකම් බලන්නම්!” කියලා බිම්බිසාර රජු උන්වහන්සේට වස් ආරාධනා කළා. සුභූති මහරහතන් වහන්සේත් ඒ ආරාධනාව නිහඬවම පිළිගෙන වදාළා.

නමුත් රජ්ජුරුවන්ට මේක අමතක වුණා. ඔන්න වස් කාලේ පැමිණුනා. සාමාන්‍යයෙන් වස් කාලේ කියන්නේ ඉන්දියාවට අනිවාර්යෙන්ම වහිනවා. ඒ නිසා වැහි දියෙන් කුඹුරු කරන ගොවියෝ භූමි සකස් කරගෙන බලාගෙන ඉන්නවා වැස්ස පටන් ගන්නකං. නමුත් මේ වතාවේ බලාපොරොත්තු වෙන විදිහට වැස්ස පටන් ගත්තේ නෑ.

මොකද හේතුව: ‘මෛත්‍රියෙන් පිරුණු හිතකින් වැඩඉන්න සුභූති මුනිඳුන්ට පීඩාවක් නොවේවා!’ කියන අදහස නිසා කුටියක් නැති රහතන් වහන්සේ තෙමේවි! කියන බයෙන් දෙවියෝ වැහි ඇද හැළීම නැවැත්තුවා. “මොකෝ මේ වැහි නැත්තේ…?” කියලා හිතාගන්න බැරිව මිනිස්සු මේ ගැන රජුටත් දැනුම් දුන්නා. බිම්බිසාර රජු කල්පනා කරද්දී තමයි එකපාර මතක් වුණේ. ‘මම ඒ උතුම් සුභූති මුනිඳුන්ට වස් ආරාධනා කළාට කුටියක් සෙනසුනක් කරවා දුන්නේ නෑනේ’ කියලා. රජු ඉක්මනින් තෙරුන් වහන්සේ ළඟට ගිහින් සමාව ගත්තා. සේවක පිරිසට අණ කරලා ඉක්මනින්ම කුටියක් කරවලා සුභූති රහත් මුනිඳුන්ට පූජා කළා.

උන්වහන්සේ කුටියට පිවිසුණු මොහොතේම දෙවියෝ සතුටු වෙලා රජගහනුවරට වැහි වැටෙන්න සැලැස්සුවා. මෛත්‍රිය මොනතරම් පුදුම දෙයක් ද!

ආනිශංස එකොළහක්…

අපේ සිත තුළ මෛත්‍රිය තිබුණොත් එයින් අපේ ජීවිතේට ලැබෙන පහසුව, ආරක්ෂාව ආනිශංස එකොළහකින් අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.

1. සුඛං සුපති – සුව සේ නින්ද යනවා.

මේකත් ජීවිතේකට මොනතරම් පහසුවක් ද! තමන්ට නිදි සුවය අවශ්‍ය වෙලාවේ පහසුවෙන් නින්දට යන්න ලැබීමත් එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීමට මොනතරම් සහනයක් වෙනව ද.

2. සුඛං පටිබුජ්ඣති – සුව සේ අවදි වෙනවා.

ඇතැම් අයගේ නින්දෙන් අවදි වීම වෙහෙසකර බර දෙයක්. නිදාගෙන අවදිවෙද්දී ගුටි කාලා නැඟිට්ටා වගේ ඇඟ රිදෙනවා. අවදිවෙද්දී ඔළුව බරයි. ඔය වගේ අපහසුතා දවස පටන් ගද්දිම තිබුණොත් ඒකත් ඇති ජීවිතේ සහනයක් නැති වෙන්න. ඒ මෛත්‍රියෙන් ලැබෙන ඒ ආනිශංසයත් කොතරම් වටිනව ද.

3. න පාපකං සුපිනං පස්සති – පාපී සිහින පේන්නේ නෑ.

නින්ද අතරතුර භයජනක, අප්‍රසන්න හීන පේන්න ගත්තොත් නිදාගෙන ඉන්න හෝරා කීපෙත් පීඩාවක් වෙනවනේ. මෛත්‍රිය මොනතරම් සහනයක් ද! එබඳු සිහින ආදියෙන් ඇතිවෙන වෙහෙසත් මෛත්‍රියෙන් දුරු වෙලා යනවා.

4. මනුස්සානං පියෝ හෝති – මිනිස්සුන්ට ප්‍රිය වෙනවා.

එකට ඉන්න මිනිස්සුන්ට තමන් ව ප්‍රිය වේවා! කියන කාරණේ පතලා යැදලා ඉල්ලලා ගන්න පුළුවන් එකක් නෙවෙයිනෙ. ධනයකින් බලයකින් දක්ෂතාවයකින් ගන්නත් බෑ. නමුත් මෛත්‍රිය අපට ඒ පහසුවත් උපදවා දෙනවා.

5. අමනුස්සානං පියෝ හෝති – අමනුස්සයන් හට ප්‍රියමනාප වෙනවා.

මිනිසුන්ගෙන් වෙන උවදුරු වගේමයි මේ ජීවිතේට නොමිනිස් අමනුස්සයන්ගෙන් උවදුරු තිබෙනවා. මෛත්‍රියේ ආනිශංසයක් විදිහට නොමිනිස් උවදුරු වළකිනවා කියන්නේ ඒක ජීවිතේකට මොන තරම් වටිනව ද.

6. දේවතා රක්ඛන්ති – දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා.

මේ ලෝකෙ බෞද්ධ අබෞද්ධ කවුරුත් පාහේ දෙවියන්ගේ රැකවරණය ගැන හිතනවා. දෙවියන් පිළිගන්නේ නෑ කියමින් තර්ක කරන අය පවා ජීවිතේට විසඳගන්න අමාරු ප්‍රශ්න ආපු වෙලාවට දෙවියන්ගෙන් ආරක්ෂාව පතනවා. නමුත් අපි විශේෂයෙන් දෙවියන්ගෙන් ආරක්ෂාවක් නොපැතුවත් මෛත්‍රිය පුරුදු කළොත් එහි ආනිශංසයක් විදිහට දෙවියෝ අපව රක්ෂා කරනවා. බලන්න! මෛත්‍රියේ වටිනාකම හිතාගන්නත් බැරි තරම් නේද!

7. නාස්ස අග්ගී වා විසං වා සත්ථං වා කමති – ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ අනතුරක් වෙන්නේ නෑ.

ජීවිතේක වළක්වන්න අමාරු අනපේක්ෂිත ගිනි අනතුරු, අවි ආයුධවලින් වෙන අනතුරු, වස විසෙන් වන අනතුරු පවා වළකිනවා කියන්නේ මෛත්‍රිය හරියට අද්භූත ආරක්ෂක යන්තරයක් වගේ දෙයක්නෙ. ඉතින් බුද්ධිමත් කෙනෙක් මොන තරම් නම් මෛත්‍රියට ආසා කළ යුතුයි ද.

8. තුවටං චිත්තං සමාධියති – වහා සිත සමාධිමත් වෙනවා.

සිතක තියෙන ඒකාග්‍ර බව ජීවිතේකට විශාල පහසුවක්. ඒක නොතේරුණත්, හිතක ඇවිස්සුණු බව ජීවිතේ එදිනෙදා කටයුතුවලට පවා මොන තරම් අපහසුවක් ද කියන එක අපි ඕන කෙනෙක්ට තේරෙනවනේ. එහෙමනම් නුවණින් තේරුම් ගන්න පුළුවන් සිත තැන්පත් නම් ඒක එදිනෙදා ජීවිතේට පවා විශාල පහසුවක් බව. මෛත්‍රිය අපේ සිත පහසුවෙන් ම තැන්පත් කරවනවා.

9. මුඛවණ්ණෝ විප්පසීදති – මුහුණේ පෙනුම පැහැපත් වෙනවා.

හිතක තියෙන වේදනාව මුහුණෙන් පේනවා වගේ, හිතක තියෙන පීඩාව මුහුණෙන් පේනවා වගේ, හිතක අසහනකාරී බව මුහුණෙන් පේනවා වගේ තමයි හිතක මෛත්‍රිය තිබුණොත් ඒකත් මුහුණෙන් පේන්න ගන්නවා. මෛත්‍රිය තියෙන කෙනාගෙ මුහුණ දකිද්දිත් සැනසුමක් ලැබෙන තරම් පියකරු වෙනවා.

10. අසම්මූළ්හෝ කාලං කරෝති – සිහි මුළා නොවී කළුරිය කරනවා.

මේ ලොවෙන් සමුගත යුතු යම් මොහොතක් අපි හැම දෙනාටම එනවා. ඒ මොහොතේ කිසිම ධනයකින්, බලයකින්, උගත්කමකින්, දක්ෂකමකින්, ප්‍රසිද්ධියකින් අපිට සැනසුමක් ලැබෙන්නේ නෑ. නමුත් මෛත්‍රියට පුළුවන් ජීවිතේ අවසන් මොහොතේ පවා අපිට මිතුරෙක් වගේ මුළා නොවුණ හොඳ සිහියකින් මරණය සමීප කරවා දෙන්න.

11. උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති – උත්තරීතර මාර්ගඵල අවබෝධයක් ලබා නොතිබුණත් මරණින් මත්තේ බඹලොවේ උපත ලබනවා.

බලන්න! මෛත්‍රියෙන් ලැබෙන මෙලොව ආනිශංස ගැන කවර කතා ද. මෛත්‍රිය අපේ පරලොවත් රකිනවා. ධනයනට බලයකට කුලයකට උගත්කමට නෑ මිතුරෙකුට ලැබ දිය නොහැකි පරලොව ආරක්ෂාව පවා මෛත්‍රියෙන් උපදවා දෙනවා.

මට නම් වටින්නේ මෛත්‍රිය ම යි!

ඇත්තෙන්ම මෙතරම් කරුණු දැනගත්තාට පස්සේ ඔබට හිතෙන්නම ඕන ඒක. ‘මට නම් වටින්නේ මෛත්‍රිය’ කියලා. ඉතින් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක්පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා! ආදී වශයෙන් නිතර මෛත්‍රී සහගත සිතකින් ම වාසය කරන්න. තව තවත් බුද්ධ දේශනා තුළ මෛත්‍රිය ගැන කරුණු හොයන්න.

මෛත්‍රිය නමැති ලස්සන ම ලස්සන ගුණයෙන් හැම දෙනාගේ සිත් සතන් ලස්සන කරගන්න වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.