දවසක් ගානේ… දවසක් නෑර… කොහෙන් හරි, කාගේ හරි, එක මරණයක් ගැන හරි අපට අහන්න දකින්න ලැබෙනවා… රූපවාහිනියේ, ගුවන්විදුලියේ ප්‍රවෘත්තිවලත් මොනයම් ම හරි මරණයක් ගැන ප්‍රවෘත්තියක් අහන්න නොලැබෙන්නේ බොහෝම කලාතුරකින්.

ගිහින් නොඑන උදවිය…

උදේ ගෙදරින් පිටත් වෙලා යන ස්වාමිපුරුෂයා, බිරිඳ, දුව, පුතා, සහෝදරයා, සහෝදරිය, අම්මා, තාත්තා හවස ආයෙමත් ගෙදර ඒවි කියන විශ්වාසය අපි දවසක් ගානේ කටින් නොකීවට අපේ හිත්වල ඒ අපේක්ෂාව තියෙනවා. හැබැයි, එවැනි ම අපේක්ෂා සහිත වූ උදවිය ම යි කොස් නැටිවත් නොපෙනෙන හිමිදිරි පාන්දර ම තමන් ගමන් ගත්තු බස් රථයේ තවත් බස් රථයක් හැපීම නිසා ඒ මොහොතෙ ම එතැන ම මිය ගියේ… එහෙම උදවිය තමයි පය පැකිළිලා ඇද වැටිලා, ගේදොර අඹුදරුවො දකින්නට යෑම පිණිස නගින්න ගියපු දුම්රියට ම යට වෙලා මිය ගියේ. සෙල්ලම් කර කර හිටපු තැනට ම කඩන් වැටුනු ගස් අත්තකට යට වෙලා මිය ගියේ. පාර පනිද්දී ඒ සුදු ඉර මත ම වාහනයකට යට වෙලා මිය ගියේ. දරුවන්ට යෝගට් ගෙනෙන්නට ගොස් එද්දී සාහසික වෙඩි පහරින් දරුවන් සමඟ ම මිය ගියේ. අධිකරණ ශාලාවක විත්ති කූඩුවේ සිටිය දී ම වෙඩි පහරට ලක්ව මිය ගියේ. වන්දනාවේ ගිය බස් රථය ගිනි ඇවිළී පූජාභූමියේ ම මිය ගියේ… අපි තවම ඉන්නවා තමයි, හැබැයි ඒ කවදා වෙනකල් ද කියන්න අපි කාටවත් ම බෑ…!

කවදත් පොදු වූ ඉරණම

මේ ලෝකයේ නොයෙක් නොයෙක් උපත් අපි දකිනවා. මිනිස්සු වගේ ම සත්තුත් උපදිනවා අපට පේනවා. ඒ වගේ ම, මිනිස්සු වගේ ම සත්තුත් ජීවත් වෙනවා කියලත් අපට පේනවා. ඉපදිලා, ජීවත් වෙලා මිනිස්සු වගේ ම සත්තුත් මියපරලොව යන බවත් අපට පේනවා. ජීවිතය හෝ ජීවත් වීම හෝ මරණය හෝ අරුමයක් නොවන බවත්, උරුමයක් ම බවත් තේරුම් ගන්න ඒ දකින දෙය ම ඇති නේද…

අද ඊයේ විතරක් නෙමෙයි; මුළුමහත් අතීතයක් පුරා සිදු වුණේ ඒ දේ ම යි. අනාගතයේ සිදු වෙන්නේත් ඒ දේ ම යි. අද වගේ ම ඒ හැම කාලෙකමත් බොහොම ඛේදනීය මරණ දකින්න ලැබෙනවා. සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය දී ම, සම්බුදුරජාණන් වහන්සේට පළමු ආරාම පූජාව සිදු කළ බිම්බිසාර නිරිඳු සිය පුතු විසින් ම සිපිරිගෙයිලා, යටිපතුල් පළා, ලුණු දමා, ගිනි අඟුරු මත ඇවිද්දවා, සාපිපාසාවෙන් පෙළෙන්නට සලස්වා මරා දමනු ලැබුවා. සතුරන්ගේ කේළාම් බසට රැවටුනු ස්වකීය පුතුගේ අණින් ම යි ලක්දිව කිරීටය හෙබවූ ධාතුසේන නිරිඳුන් තමන් විසින් ම කරවන ලද කලා වැවේ ඉවුරේ දී නිරුවත් කොට සිටුවා පස්ගස්වා මරා දමන ලද්දේ. රටක් රාජ්‍යයක් කරවූ මහා රජවරුන් පවා එවැනි ඛේදවාචකයන්ට මුහුණ පෑවා…

ගෞතම සම්බුදු සසුනේ අග්‍ර දායක තනතුරු ඉසිලූ අනේපිඬු සිටුතුමා මරණාසන්න මොහොතේ හිස තදින් වරපටකින් තද කරන්නාක් බඳු වූ දරුණු වේදනා ලැබුවා.

සාමාවතිය ඇතුළු පන්සියයක් බිසෝවරු හිඳගෙන සිටි ඉරියව්වේ ම ගිනිගෙන දැවෙමින් මරණයට පත් වුණා.

ඡත්ත මානවක සොරුන්ගෙන් දරුණු සේ පහර කා එයින් ම මරණයට පත් වුණා.

මාගන්දියා බිසව හිස පමණක් පස්වලින් උඩට සිටින පරිදි වළලනු ලැබ, ඒ බිම නගුල්වලින් සී සානු ලැබ ගිනි තබනු ලැබීමෙන් මරණයට පත් වුණා.

අද අපට හදිසි අනතුරක දී සිරුර කැබලිවල වෙන් වී මිය ගියා යැයි අසද්දී අරුමයක් සේ සිතුණාට අතීතයේ සිදු වූවා යැයි අපට අසන්නට ලැබෙන මේ මරණයන් ගැන විස්තර හා සසඳා බලද්දී නම් මේක අද ඊයෙකට විශේෂ දෙයක් නොවන බව පැහැදිලි වෙනවා.

මැරෙන විදිය වැදගත් ද?

කාගේ නමුත් මරණය සිදු වූ ආකාරය ගැන අප සැලකිලිමත් තමයි, හැබැයි මරණය මොනතරම් කුරිරු ආකාරයකින් මේ ජීවිතය අවසන් කරනවා ද කියන එක ඇත්තට ම කොහෙත් ම වැදගත් නෑ. එය අපේ පරලොවට කරන බලපෑමකුත් නෑ…! අතිශය කුරිරු, වේදනාකාරී මරණයකට මුහුණ පෑ බිම්බිසාර නිරිඳු මිනිස් සිරුර අත්හරිද්දී ම දෙව්ලොව උපන්නා. ‘ජනවසභ’ නමින් සෙත්පති දෙවි කෙනෙකු ව සම්බුදුරජාණන් වහන්සේ ව වන්දනා කරන්නට පැමිණුනා.

සිටුවා පස්ගස්වා මරා දැමූ ධාතුසේන රජු ගැන මහාවංශයේ ලියැවෙන්නේ මේ විදිහට…

‘ඒ ධාතුසේන නිරිඳාණෝ සිය පුත්‍රයා විසින් ඝාතනය කරන ලද්දාහු ය. ස්වකීය රාජ්‍ය පාලනයේ දහ අට වන වසරෙහි දී ධාතුසේන රජු සක් දෙවිඳු හා එක් වීම පිණිස තව්තිසාවට ගියේ ය.’

අනේපිඬු සිටුතුමා මරණින් මතු තුසිත දෙව්ලොව උපන්නා.

සාමාවතිය ඇතුළු පන්සියයක් කතුන් අනාගාමී බඹලොව උපන්නා.

ඡත්ත මානවක දෙව්ලොව උපන්නා.

මාගන්දියා අවීචි මහා නරකාදියේ උපන්නා.

පරලොව තීරණය කෙරෙන කරුණ

මේ හැම කෙනෙක්ගේ ම පරලොව ගතිය තීරණය වුණේ ඔවුනොවුන් තුළ තිබුණු කුසලාකුසල ධර්මයන්ගේ ස්වභාවය අනුව… ඔවුන් මොනතරම් දුරට සිත වැඩුවා ද කියන කාරණය අනුව. මරණ මොහොතේ ඔවුන් සිත රැකගන්න දක්ෂ වූ ආකාරය අනුව. මේ සසර ගනුදෙනුවේ බිහිසුණු භාවය මැඬලන්න පුළුවන් සිතේ දක්ෂකමින් ම විතරයි. අනිත් හැම බලපුළුවන්කාරකමක් ම මේ ගමනේ දී වඳ බහිනවා… සිතේ ඒ දක්ෂතාවය උපදින්නේ සරණ පිහිටීමෙන් ම යි. ලෝකයේ පරම දුර්ලභ ව පහළ වන්නා වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ යන්න, ඒ තථාගත ශ්‍රී සද්ධර්මය සරණ යන්න, ඒ අමා නිවන් මඟේ වැඩම කළ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය සරණ යන්න කවුරුන් හෝ දක්ෂ වුණා නම් ඒ උදවිය සිතෙහි බලවත් භාවය ඇති උදවිය යි. අන්න ඒ උදවියගේ මරණය කවර ආකාරයකින් සිදු වුණත් පරලොව සුගතිය වැළකෙන්නේ නැහැ… ඒ ස්වභාවය මැනැවින් දන්නා අනාගාමී බ්‍රහ්මරාජයෙක්, පන්සියයක් වූ රහතන් වහන්සේලා පිරිවරාගෙන, මහා දේව සමාගමයක් ද සහිත ව වැඩ සිටියා වූ සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹ කපිලවස්තු මහා වනයේ දී මේ ගාථාව පැවසුවා.

“යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්තී’ති”

“බුදු සමිඳුගෙ සරණ ලැබූ කෙනෙක්
සිටිත් නම් මෙලොවේ
සතර අපායට නොවැටෙති ගිය විට
ඒ අය එලොවේ
මිනිස් සිරුර අත්හළ විට ඔවුන්
පිරෙත් ම ය දෙව්ලොව”

(මහා සමය සූත්‍රය)

මරණයට පෙර රැකවරණ සදාගන්න

මරණයේ දී අපට රැකවරණයට තිබෙන්නේ එපමණයි. මරණය කිසිසේත් අරුමයක් නොවුණ, උපන් සෑම සත්වයාට ම පොදු උරුමයක් ම වුණ ජීවිතයක් ම වුණත් මේ ජීවිතය ඔබට අපට ලැබුණේ ඒ තථාගතයන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඉඩහසර විවර වුණු අසිරිමත් යුගයක. තථාගත ශ්‍රී සද්ධර්මය නිර්මල ව, පැහැදිලි ව අදටත් අපට අසන්නට ලැබෙනවා. ලෝසත සසර දුකින් එතෙර කරලන ඒ උතුම් ධර්මය වදාළ ශාස්තෘන් වහන්සේ ව ගුණ වශයෙන් දනිමින්, දකිමින් සරණ යන්න – සරණේ මැනැවින් පිහිටි බව සිහි කරමින් සතුටු වෙන්න තවත් දවසක් වුවමනා නෑ. අද තමයි දවස! පිදිය යුතු වූ තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අදටත් මේ පින්බිමේ තැන්හි තැන්හි වැඩසිටිනවා. දිවමන් මුනිඳු වැනි යැයි සිත පහදවාගෙන ඒ ධාතු සෑය වඳින්න අද තමයි දවස! සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ සෙවණ සලසාලූ – අභිනීල සම්බුදු නේත්‍ර යුග්මය නොසෙල්වී සතියක් පුරා යොමු වී තිබූ ඒ උත්තම බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේගේ මුල් මේ ලක්බිමේ බැස තිබෙනවා. ඒ බෝධීන් වහන්සේ ව වන්දනා කරන්නට, බෝධි උපස්ථානයට අද තමයි දවස!

පින් කරන්න අද තමයි දවස! දන් දෙන්න අද තමයි දවස! බණභාවනා කරන්න අද තමයි දවස! අප ආදරයෙන් සරණ ගිය ඒ දසබලධාරීන් වහන්සේ ව ම, උන්වහන්සේගේ සරණ ම සිහි කරමින් සිටින්න අද තමයි දවස! මොකද, අද අපි මැරෙන දවස වෙන්නත් පුළුවන්. මේ විදිහට පිනෙන් ජීවිතයට රැකවරණයක් හදාගන්න හෙට වෙනකල් අප නොඉඳින්න පුළුවන්.

ඒ නිසා… අද කළ යුතු දෙය අද ම කරන්න!

උදුලා පද්මාවතී.