ලෝකයේ සැබෑ සුන්දරත්වය ඉස්මතු වන්නේ මිනිසාගේ රූපයෙන්වත්, කටහඬින්වත්, ධන බලයෙන්වත් නොවේ. සිතක ඇතිවන සොඳුරු ගුණධර්මයන් නිසයි.
දීර්ඝ සසර ගමනේ දුක්ඛිත කථාන්දරය අප අසා ඇත්තේ, මවගේ පියාගේ වියෝවෙන් අප හැඬූ කඳුළු සතර මහා සාගර ජලය පරදවන බවයි. තිරිසන් සතුන් අතර ඉපිද බෙලි කැපුම් පාර කද්දී ගලා ගිය ලේ සතර මහා සාගර ජලය පරදවන බවයි. එපමණක් ද… ඒ සසර ගමන තුළ ජරාවෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන් විඳි දුක… අප්‍රියයන් හා එක් වී, ප්‍රියයන්ගෙන් වෙන් වී විඳි දුක අපමණයි. අප අතින් ම සිදු වූ කර්ම විපාකවල දෝෂ නිසා නිරය, තිරිසන්, ප්‍රේත, අසුර ලෝකවල ඉපිද විඳි දුකත් අපමණයි. නොයෙක් මිථ්‍යාදෘෂ්ටීන් හේතුවෙන් තම දෘෂ්ටිය ම සාර ලෙස ගැනීම නිසා මිනිසාගේ කෘරත්වය ඉස්මතු වී බොහෝ මිනිසුන් පව් කර ගනියි. දුකට පත් වෙයි. එපමණක් නොව, රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් මිනිසා අන්ධ කරයි. එවිට ඔහු යහපත අයහපත නොහඳුනයි. පින පව නොහඳුනයි. දෙමව්පියන් සොහොයුරන් නොහඳුනයි. දුකෙන් දුකට ම වැටෙයි. ඒ අයුරින් බලන විට මේ ඝෝර සසරේ කථාන්දරය ලියැවී ඇත්තේ දුකෙන් ම පමණයි.
එවන් සසර ගමන තුළ සැනසිලිදායක, සිතට සුවය ගෙනෙන යුගයන් ගැන කථා කරනවා නම්, ඒ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වූ යුගයි. පසේබුදුරජාණන් වහන්සේලා, බෝසතාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වූ යුගයි.
යුගපුරුෂයන් වහන්සේලා මේ ලෝකයට පහළ වූ යුගයි. සිතක ඇති වූ පරම පාරිශුද්ධත්වය නිසා ම ඒ යුගයන් ගොඩක් සුන්දර වුණා. එකම කෙනෙකුගේ සිතක ඇති වූ උදාර බව මුළු ලෝකයක් ම සුවපත් කළා. එවන් පරම නික්ලේෂී පාරිශුද්ධ චිත්ත සන්තාන ඇති මුනිවරයන් වහන්සේලා නිසා ලෝකයේ ඇතිවන සුවපත් භාවය ගැන කවර කතා ද…
එක ම එක ගුණධර්මයක් පවා දියුණු කළ සිල්වත් භික්ෂූන්ගේ දර්ශනය මේ ලෝකෙට මහා සැපතක් උදා කළා.
ඵුස්සදේව මහරහතන් වහන්සේගේ මෛත්‍රී සිත නිසා හිත පහදවා ගත් ගවයන් 500ක් මරණයට පත්ව සුගතියේ ගිය බව ඔබ අසා ඇති. මෛත්‍රී සිතින් වාසය කළ එක් රහතන් වහන්සේනමක් නිසා ඒ වනයේ අමනුෂ්‍යයන් අතර තිබූ ගැටුම් කලකෝලාහල සන්සිඳී දෙවිවරු අතර සමඟිය ඇති වුණා. සාරාණීය ධර්ම, නොයෙක් ගුණධර්ම දියුණු කළ ඇතැම් උතුමන් වහන්සේලා නිසා බොහෝ දෙවි මිනිසුන් දන් පැන් පුදා, හිත පහදවා, වන්දනා කොට බොහෝ පින් රැස්කොට සුගති සැප ලබා ගත්තා.
ඒ වගේ මුළු ලෝකයක් සුවපත් කරන්න පුළුවන්, සැනසීම සතුට ළං කරලා දෙන්න පුළුවන් සොඳුරු ගුණයක් තමයි මිතුරන්ට ද්‍රෝහී නොවීම, මිත්‍රධර්මය රැකීම.
සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ස්වභාවය තමයි, කළ උපකාර අමතක කිරීම. මුහුණට සිනාසී කථා කොට නැති තැන නින්දා අපහාස කිරීම. සුළු සුළු කාරණා මුල් කරගෙන මිතුරාට එරෙහි වීම. පිරිස් මැද මිතුරා හෙළා දැකීම. නමුත් අප මහා බෝසතාණන් වහන්සේ මිත්‍රධර්මය රැකි ආකාරය හරි පුදුම සහගතයි.
කසීරට එක් බමුණෙක්, නැති වූ ගවයන් සෙවීමට වනයකට ඇතුළු වුණා. ඔහුත් නොදැනී ම හිමාල වනයට ම ගියා. තමන් මුළා වූ බව දැනගත් ඔහුට සිතේ කලබලය නිසා පාර සොයමින් එහෙ මෙහෙ ගොසින් සත් දවසක් නිරාහාරව වනයෙන් පිටතට ඒගන්න නොහැකිව ඇවිදිමින් සිටියා.
තිඹිරි ගසක් දැක එම රුකට නැග ඵල කමින් සිටිද්දී අත්තෙන් ලෙස්සා ගොස් සැටරියන් පමණ ගැඹුරු වළකට වැටුනා. එහි වතුර තිබුණු නිසා අතපය කැඩුනේ නැතත් ඉතා දුක සේ දින 10ක් එම වළ තුළ ගත කරන්නට සිදු වුණා.
වඳුරු යෝනියේ ඉපිද සිටි අප මහා බෝධිසත්වයෝ මේ අසරණව සිටින මිනිසා දැක හිතේ ඇති වූ අප්‍රමාණ කරුණාවෙන්, ගල් යොදා උපක්‍රම කරමින් බොහෝ වෙහෙස ගෙන මිනිසා ගොඩ ගත්තා.
අධික වෙහෙසට පත් අප මහා බෝධිසත්වයෝ ඒ මිනිසා අසල සිටිද්දී ඔහු කෙරෙහි බලවත් විශ්වාසයෙන් වහා නින්දට වැටුණා. අසත්පුරුෂ පාපී පුද්ගලයාට කළ උපකාරය අමතක වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඔහුගෙන් ලැබුණු ආදරය, සෙනෙහස, කරුණාව, පිහිට, රැකවරණයට ඔහු පයට පෑගෙන වැලිකැටයකට තරම්වත් වටිනාකමක් දුන්නේ නෑ. දැඩි කුසගින්නෙන් පෙළුණ ඔහු වඳුරා මරා කෑමට කල්පනා කළා. ළඟ තිබුණු ගලක් ගෙන වඳුරාගේ හිසට වැරෙන් පහර දුන්නා. වහා නැගිට ගසකට ගොඩ වූ වඳුරා අසරණව අතරමංව සිට තමන්ට ද්‍රෝහී වූ කෙනා දෙස කරුණාවෙන් බලා, “මිතුර උඹ නැවත ගමට පලයං, අතරමං නොවෙන්න මම පාර පෙන්නන්නම්.” යයි පවසා වනයෙන් එළියට එන්නටත් උදව් කොට නැවත වනයට ම ගියා.
තමන්ට එරෙහි වූ, තමන්ට සතුරු වූ, තමාගේ විනාශය කැමති වූ සතුරාට බෝසත් වඳුරා දැක්වූ මිත්‍රධර්මය ඒ වගේ එකක්. ඒ අසත්පුරුෂ පාපී කෙනා ගැන පෙරලා එකට එක කිරීමක්, ශාප කිරීමක්, ඇති වූ කරුණාවේ වෙනසක් බෝසත් සිතේ ඇති වුණේ නෑ. බෝසත් වඳුරාට එරෙහි වූ ඒ අසත්පුරුෂයා කාලයාගේ ඇවෑමෙන් මිහිපිට ප්‍රේතයකු වී දුක් විඳ මරණයට පත් වුණා. බලන්න මේ කථාව. තවත් එක ජීවිතයක අප මහා බෝධිසත්වයන් මගධ රටේ රජගහනුවර අසූකෝටියක මහා ධනස්කන්ධයකට හිමිකම් කියමින් ‘සංඛ සිටුතුමා’ නමින් ප්‍රසිද්ධව සිටියා. ඔය කාලෙම බරණැස නගරයේ ‘පලිය සිටුතුමා’ නමින් අසූකෝටියක මහා ධනයකට හිමිකම් කියමින් තවත් සිටුවරයෙක් හිටියා. මේ දෙන්නා හොඳ යාළුවෝ. කාලයක් යනකොට බරණැස හිටපු පලිය සිටුතුමාට කරදර ආවා. ඒ හේතුවෙන් ඔහුගේ සියලු ධනස්කන්ධය ඔහුට අහිමි වුණා. ඉතාමත් දිළිඳු වී කාගෙන්වත් පිහිටක් නොලැබෙද්දී රජගහ නුවර සංඛ සිටුතුමා මතක් වුණා. පා ගමනින්ම රජගහනුවරට ගිය පලිය සිටුතුමා ව සංඛ සිටුතුමා සාදරයෙන් පිළිගෙන බොහෝ සත්කාර සම්මාන දැක්වුවා. කරදරයට පත් සිටුතුමාගේ සියලු බය සැක දුරු කොට ඔහු අස්වසා ගබඩාව හැර හතලිස් කෝටියක ධනයත්, පණ ඇති පණ නැති සියලු වස්තූන් රැස්කොට එය දෙකට බෙදා කොටසක්මත් පලිය සිටුතුමාට දුන්නා. ඔහු ධනය රැගෙන බරණැසට ගොස් නැවතත් දියුණු වුණා.
කල්යාමේ දී රජගහනුවර සිටි සංඛ සිටුතුමාට එක දිගට කරදර ආවා. හැමදේම නැති වුණා. තමාගේ මිත්‍ර පලිය සිටුතුමා මතක් වී උපකාරයක් බලාපොරොත්තුවෙන් බරණැසට ආවා. නමුත් කලින් වගේ ඔහු සංඛ සිටුතුමා ව පිළිගත්තේ නෑ. පැමිණි බව දැනගත් පලිය සිටුතුමා සේවකයෙකුට කථා කොට මිත්‍රයාගේ කරේ ඇති වස්ත්‍රයේ පොට්ටනියක් කොට ගසාගෙන යන්ට වී නැලි 4ක් දෙන්න අණ කළා. සංඛ සිටුතුමාගෙන් තමා අසරණ වූ වෙලාවේ සතලිස් කෝටියක ධනය රැගෙන ආ, මේ කළ උපකාරය වහා අමතක කළ අසත්පුරුෂ මහ සොරා එතරම් උපකාරී වූ මිත්‍රයට සිව් නැලියක වී ලාස්සක් දුන්නා.
බෝධිසත්වයෝ මෙහෙම හිතුවා, ‘මේ අසත්පුරුෂයා මගෙන් හතලිස් කෝටියක ධනයත් ලබාගෙන ඇවිත් දියුණු වෙලා දැන් මට වී ලාස්සක් ලැබෙන්න සැලැස්සුවා. මොකද මම කරන්නේ. ගන්නවා ද නැද්ද?
නෑ… මේකා කෙළෙහිගුණ නොදත් මිත්‍රද්‍රෝහියෙක් වෙලා කළ නීච වැඩේ නිසා මා සමග වූ මිතුදම බිඳගත්තා. ඉදින් මම මේකා දීපු වී ලාස්ස නොගත්තොත් මෙවැනි සුළු දේකට මාත් මිත්‍රධර්මය බිඳගත්තා වෙනවා. අඥාන පුද්ගලයෝ තමන් ලද ඉතා සුළු දෙය භාර නොගැනීම නිසා මිත්‍ර භාවය විනාශ කරගන්නවා. එහෙම කරන්ට හොඳ නෑ. මට කරන්න තියෙන්නේ මේකා දීපු වී ලාස්ස භාරගෙන මගේ හිතේ මිත්‍රභාවය පිහිටුවා ගන්න එක.’ ඉතින් බෝධිසත්වයෝ එදා ඒ වී ලාස්ස භාරගත්තා. තමන්ගේ පැත්තෙන් මිත්‍රධර්මය බිඳෙන්න දුන්නේ නෑ.
ලෝකයේ බොහෝ දෙනා සතුටු වෙන්නේ එකට එක කිරීමෙන්, පෙරලා නින්දා අපහාස කිරීමෙන්, ඔහුට බැණ බැණ ඔහුගේ විනාශය ම පැතීමෙන්. නමුත් අප මහා බෝධිසත්වයෝ තමා කෙතරම් නින්දා අපහාසයට බඳුන් වුවත්, කොතරම් දුකට පීඩාවට පත් වුණත්, තම සිතේ මිත්‍රධර්මය රැකගත්තා. මිත්‍රධර්මය රැකි අප මහා බෝධිසත්වයන් වහන්සේ සත්පුරුෂයකුගේ මැදිහත් වීමෙන් නැවතත් පසුව දියුණුවට පත් වුණා.
බොහෝ විට බිරිඳ හා ස්වාමියා අතර, දෙමව්පියන් දූ දරුවන් අතර, ගුරුවරු ශිෂ්‍යයන් අතර, සහෝදර, සහෝදරියන් අතර, යහළු හිතමිතුරන් අතර ඇති වන ප්‍රශ්නවල දී සුළු කාරණා මුල් කරගෙන සිත් දූෂිත කරගන්නවා. එයින් මේ ජීවිතය ම අඳුරු වෙනවා. තමන් ඇසුරු කරන පුද්ගලයන්ටත් බලපානවා. මරණින් මතු දුගතියේත් උපදිනවා.
කෙනෙකුට පුළුවන් නම්, අපට එරෙහි වූ, ද්‍රෝහී වූ කෙනා දෙස ඍජුව මුහුණ දෙස බලා සිනහසෙන්න, පෙර පරිදිම සුහදව කථා කරන්න, ඒ දෙක ම කරන්න පරිසරය නැති නම් හදවතින් ඔහුගේ දියුණුව පතන්න, දියුණුව බලා සතුටු වෙන්න, නින්දා අපහාස නොකරන්න…, ඇත්තටම සිතින් ඔහු ගොඩක් දියුණු කෙනෙක්. මිතුරන්ට ද්‍රෝහී නොවන කෙනාගේ ජීවිතය සුන්දර වෙනවා. එය ඔහු ඇසුරු කරන අයටත් බලපානවා. ඔහුව සිහි කරන ගමේ, රටේ, ලෝකයේ, බොහෝ දෙනාට යහපත උදාවෙනවා. ඔහු මරණින් මතු සුගතියේ උපදිනවා.
මිතුරන්ට ද්‍රෝහී නොවන කෙනාට මේ ජීවිතයේ දී ම ලැබෙන ආනිශංස බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.
යමෙක් මිතුරන් හට ද්‍රෝහි – නැතිනම් කිසි විට
ගෙයින් පිට ගිය විට – බොහෝ සැලකිලි ලැබෙයි ඔහු හට
ඔහු නිසා බොහෝ දෙනෙක් – සුවසේ දිවි ගෙවත් ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
යම් කිසි නුවරකට – වෙනත් රටකට ගිය විට
හැම තැන දී ම ඔහු හට – පුද සත්කාර ලැබෙන්නේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
සොර-සතුරෝ ද ඔහු හට – ළං නොවී සිටිත් ම ය
රජතුමා ඔහු ගැන – අවමනක් නොකෙරේ ම ය
ඔහු සියලු සතුරන්ගෙන් – ඈත් වී සිටින්නේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
කෝපයක් නැති සිතින් – එන්නේ ය තම නිවසට
සභා මැදකට ගිය විට – පිළිගන්නේ ය සතුටින්
නෑයන් වෙතට ගිය විට – ඔහු උතුම් නෑයෙක් ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
අනුන් හට සැලකිලි කොට – තමා සැලකිලි ලබන්නේ ම ය
අනුන් හට ගරු සරු කොට – තමා ගරු සරු ලබන්නේ ම ය
හොඳ නමත් පැහැපත්කමත් – දරාගෙන සිටින්නේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
පිදිය යුත්තන් පුදමින – තමා පිදවිලි ලබන්නේ ම ය
වැඳිය යුත්තන් වැඳ පුදා – තමා වැඳුමන් ලබන්නේ ම ය
පැතිරුණ කිත් යසස – ඔහු සොයා පැමිණේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
ගිනි සිළුවක් ලෙසට – ඉසුරෙන් දිලෙන්නේ ම ය
දෙවි කෙනෙක් විලසට – ආනුභාව ලබන්නේ ම ය
සිරියාව හැම විට – ඔහු කෙරෙන් පහ නොවන්නේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
තමාගේ ගව සම්පත – දියුණු වී යන්නේ ම ය
කුඹුරෙහි වගාව ද – සරුසාර වන්නේ ම ය
දූ දරුවන් ද ඔහු හට – සුවසේ සිටින්නේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
කන්දකින් බෑවුමකින් – ගහකින් ද වැටෙනා විට
ඔහු හට හැම විට ම – පිහිට සැලසෙන්නේ ම ය
යමෙක් මිතුරන් හට – ද්‍රෝහි නැතිනම් කිසි විට
වැඩී ගිය මුල් ඇති – අතුපතර විහිදා සිටි
මහා නුගයක් සුළඟින් – නොවැටී සිටින විලසින්
සතුරන්ට කිසි විට – ඔහුව යට කළ නොහැක්කේ ම ය”
– මිත්තානිසංස සූත්‍රය –
ඒ නිසා, අපි පුරුදු වෙන්න ඕන ‘මම නම් මගේ සිත වෙනස් කරගන්නෙ නෑ. දූෂිත සිතක් ඇතිකර ගන්නෙ නෑ. මෙත් සිතින් ම වාසය කරනවා.’ කියලයි.
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments