පින්වත් යොවුන් දූ දරුවනේ,
අපේ ජීවිතේ කියන්නේ ම තෝරා ගැනීම් ගොඩක් කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ. කුඩා කාලේ ඉඳලාම අපි නොයෙක් දේ තෝරාගත්තා, ඇතැම් තෝරාගැනීම් පස්සේ ප්‍රතික්ෂේප කළා. තෝරාගැනීම් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. එකක් යහපත් තෝරාගැනීම්. අනෙක අයහපත් තෝරාගැනීම්. මේ දෙකෙන් අයහපත් තෝරාගැනීම් ජීවිතයක් විපත කරා අරගෙන යනවා. යහපත් තෝරාගැනීම් ජීවිතේ සුවපත් වෙන්න හේතු වෙනවා. ඉතින් මෙයින් අපිට තේරුම් ගන්න තියෙන්නේ තෝරාගැනීමක් ජීවිතේට මොනතරම් වැදගත් ද කියන එකයි. අපේ සාමාන්‍ය තෝරාගැනීමක් පවා අපි හොඳ කල්පනාවකින් ම කරන්න ඕනි.
අද මේ ලිපිගත ඔයාලා වෙනුවෙන් දිගහැරෙන්නේ හොඳ ම තෝරා ගැනීම සම්බන්ධයෙන් යම් අදහසක් ලබාදෙන්නයි. වෙනදා වගේම සෙනෙහසින් ආරාධනා කරනවා, ලිපිය අවසානය තෙක්ම ඉදිරියට යන්න. ඇත්තෙන්ම හොඳ ම තෝරාගැනීම් මොනවාද කියලා ඔබට තේරුම් ගන්න හැකි වේවි!
ප්‍රශ්න තුනක්…
එදා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩසිටියේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ. එක ආජීවකයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේට බොහොම වටිනා ප්‍රශ්න තුනක් ඉදිරිපත් කළා.
1. කේසං නෝ භන්තේ ආනන්ද ධම්මෝ ස්වාක්ඛාතෝ? – ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මේ ලෝකයේ හරියටම දේශනා කරලා තියෙන හොඳ ම ධර්මය මොකක්ද?
2. කේ ලෝකේ සුප්පටිපන්නා – මේ ලෝකයේ නිවැරැදිම වැඩපිළිවෙළක ගමන් කරන හොඳ ම පිරිස කවුද?
3. කේ ලෝකේ සුගතාති? – මේ හොඳ ම මාවතක ගමන් කරපු සුගත අය කවුද?
ඔබගෙන් ම අහන්නම්…
ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විදිහ හරිම ආකර්ෂණීයයි. උන්වහන්සේ වදාළා “හොඳයි පින්වත, මම ඔබගෙන් ම අහන්නම්. ඔබට මා අහන දේ ගැන තේරුම් යන්නේ යම් විදිහකට ද ඒ විදිහට පිළිතුරු දෙන්න. පින්වත, ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? යම් ධර්මයක් දේශනා කරලා තියෙන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස නම් ඒ ධර්මය මැනැවින් දේශනා කරපු හොඳ ම ධර්මය ද? නැද්ද? මොකක්ද ඔබට ඒ ගැන හිතෙන්නේ?”
“ස්වාමීනී, ඒ ධර්මය මැනැවින් දේශනා කළ හොඳ ම ධර්මයක් කියලයි මට හිතෙන්නේ.”
“හොඳයි පින්වත, මේ ගැන ඔබ මොකද හිතන්නේ? යම් පිරිසක් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඔවුන් ලෝකයේ සුපටිපන්න ද? නැද්ද?”
“ස්වාමීනී, එබඳු පිරිස නම් සුපටිපන්නයි කියලයි මට හිතෙන්නේ.”
“හොඳයි පින්වත, මේ ගැන මොකක්ද හිතන්නේ? යමෙකුගේ රාගය ද්වේෂය මෝහය ප්‍රහාණය වුණා නම්, මුලින් ම උදුරලා දාලා නම්, තල්ගසක කරටිය කැඩුවා වගේ කරලා නම්, අභාවයට පත් කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත් කරලා නම්, අන්න ඒ අය සුගත ද? නැද්ද?”
“ස්වාමීනී, ඒ අය ලෝකයෙහි සුගත ම යි.”
ඉතින් ඔබ ම විසඳුවානේ…
ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය විදිහට අහලා අවසානේ මෙහෙම පැවසුවා “ඉතින් පින්වත, ඔබ විසින් ම මේ ප්‍රශ්න විසඳුවා නෙව.”
ඒ මොහොතේ ඔහු ගොඩාක් සතුටු වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, පුදුම සහගතයි! ඔබවහන්සේ තමන්ගේ ධර්මය හුවාදැක්වීමත් කළෙත් නෑ. අනුන්ගේ ධර්මය හෙළා දැක්කෙත් නෑ. වුවමනා කරන කරුණු පිණිස ම ධර්මය දේශනා කළා. අර්ථයත් ප්‍රකාශ කළා. තමන්ව හුවා දැක්වුවෙත් නෑ.
ස්වාමීනී, ඉතාම සුන්දරයි! මට මේ ගැන හැඟෙන්නේ හරියට යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්නුවා වගෙයි. මංමුළා වූ කෙනෙකුට හරි පාර පෙන්වා දුන්නා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරෙහි තෙල් පහනක් දරාසිටිනවා වගෙයි. ඔය විදිහටයි අපගේ ආර්ය වූ ආනන්දයන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළේ.
ඉතින් ස්වාමීනී, ආනන්දයන් වහන්ස, මම අද පටන් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයත් සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා!”
අවංකව බලන්න තමා දෙස…
හොඳ ම තෝරාගැනීමක් පිණිස ඔහුට අවස්ථාවක් ලැබුණේ විවෘත මනසකින් ලෝකය බලන්න පුළුවන් විදිහේ ඇසුරක් ලැබුණ නිසා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔහුට කරපු උදව්ව ඒක. මනුස්සයෙක්ගේ ජීවිතේ දුක් උපද්දන දුර්වලතා තුනක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නුවා. ඒ තමයි රාගය ද්වේෂය මෝහය.
අපේ ජීවිතේ ගැන නුවණින් විමසද්දී අපට හොඳින්ම තේරෙනවා නේද සරාගී සිතුවිලිවලින් අපි මොනතරම් වෙහෙසක් විඳිනවා ද. කේන්තිය ක්‍රෝධය තරහා නිසා අපි මොන තරම් නම් ගින්නක් විඳෙව්වා ද කියලා අපි දන්නවා. මෝහය නිසාම අපේ ජීවිතවල මොන තරම් නම් වෙහෙස, පීඩාව උපදිනවා ද.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ජීවිතේ අනෙක් සියලු වෙහෙසකර දුර්වලතා ඔක්කොම ඇතිවෙන්නේ මේ රාග ද්වේෂ මෝහ මුල්වෙලා කියලයි.
ඒ නිසා අපේ ජීවිතේ පුද්ගලයෙක් විදිහට තෝරාගත යුතු හොඳ ම පුද්ගලයා ඒ දුර්වලතා නැති කෙනෙක් නේද?
බුද්ධං සරණං ගච්ඡාමි…!
ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් දහම් ඇසූ ඔහු ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ කෙබඳු ගුණයෙන් යුතු සේක ද?
ඉතිපි සෝ භගවා – ඒ භාග්‍යවතුන් වහන්සේ
1. අරහං – රාග ද්වේෂ මෝහ දුරුකොට වීතරාගී වීතදෝෂී වීතමෝහී බවට පැමිණ දෙව් මිනිසුන්ගේ පූජාවට සුදුසු වන තරම් පූජනීය වන සේක.
2. සම්මා සම්බුද්ධෝ – යම් ඒ මුළාවක් නිසා මේ සත්ව ප්‍රජාව සංසාරය නමැති බිහිසුණු ගමනේ අතරමංව සිටිත්, ඒ මුළාව දුරු කරවන අවබෝධය වන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ගුරුඋපදේශ රහිතව අවබෝධ කොට වදාළ සේක.
3. විජ්ජාචරණ සම්පන්නෝ – කෙලෙස්වලට අනුව දිවිගෙවන සත්වයන් මැද අසිරිමත් විද්‍යාවන්ගෙන් සහ පසලොස් චරණ ධර්මයන්ගෙන් යුතුව අවබෝධයට අනුවම ජීවිතය ගත කළ සේක.
4. සුගතෝ – ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර නිවන් මගේ වැඩම කොට සුන්දර නිවන සාක්ෂාත් කළ සේක.
5. ලෝකවිදූ – මේ සසරගත සත්වයෝ දුක් විඳින සියලු සුගති දුගති ලෝක ගැන මැනැවින් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ සේක.
6. අනුත්තරෝ පුරිසදම්මසාරථී – දහම තුළ දමනය වීමේ වාසනාව ඇති දෙවියන් මිනිසුන් බඹුන් ඉතා අසිරිමත් ලෙස දහම තුළ දමනය කරවූ සේක.
7. සත්ථා දේවමනුස්සානං දෙව් මිනිසුන්ට සසර දුකින් එතෙර වීමට මඟ පෙන්වා දෙන උතුම් ශාස්තෘන් වහන්සේ වන සේක.
8. බුද්ධෝ – තමන් වහන්සේ අසිරිමත් නුවණින් ගුරුඋපදෙස් නොමැතිව අවබෝධ කළ ධර්මය අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලිව නිවන් මඟ දේශනා කොට වදාළ සේක.
9. භගවා – මේ සියලු විශ්මිත ගුණ දරාගැනීමට තරම් අතිශයින්ම භාග්‍යවන්ත වන සේක.
මෙසේ අරහං ආදී නව ගුණයෙන් පෙන්වා දෙන මුත් පමණ කළ නොහැකි අචින්තනීය ගුණ කඳින් බබළන බුදුරජාණන් වහන්සේ ව තමන්ගේ දිවි ගමනට ආලෝකය දෙන නායකයා ලෙස තෝරාගන්නට ඔහු වාසනාවන්ත වුණා.
ධම්මං සරණං ගච්ඡාමි…!
ඔහු බුදුමුවින් වදාළ ශ්‍රී සද්ධර්මයත් සරණ ගියා. උතුම් ශ්‍රී සද්ධර්මය කෙබඳු ගුණයෙන් යුතු සේක ද?
1. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ – භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය හැම කෙලෙස් ගිනි නිවනා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මඟ පැහැදිලිව පෙන්වා දෙන නිසා ස්වාක්ඛාත වන සේක.
2. සන්දිට්ඨිකෝ – ධර්මය තුළට පිළිපන් සැණින් ප්‍රතිඵල උපදවා දෙන මේ ජීවිතයේ දී ම දැකිය හැකි දහමකි.
3. අකාලිකෝ – තුන් කාලයට ම වලංගු අකාලික දහමකි.
4. ඒහිපස්සිකෝ – එකිනෙකාට සඟවා ලබාදෙන උපදෙස් නැති ‘ඇවිත් බලන්න’ කියා විවෘතව පෙන්වා දිය හැකි දහමකි.
5. ඕපනයිකෝ – තමා තුළට පමුණුවා ගෙන දැක්ක යුතු දහමකි.
6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ති – තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අනුව අවබෝධ වන දහමකි.
එබඳු උතුම් ශ්‍රී සද්ධර්මය තමන්ගේ දිවි ගමනට ආලෝකය සලසාලන දහම ලෙස තෝරාගැනීමට ඔහු වාසනාවන්ත වුණා.
සංඝං සරණං ගච්ඡාමි…!
ඔහු ආර්ය මහා සංඝරත්නයත් සරණ ගියා. ඒ උතුම් සඟරුවන කෙබඳු ගුණයෙන් යුතු සේක ද?
1. සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වනාහී රාග ද්වේෂ මෝහ දුරු කිරීම පිණිස සීල සමාධි ප්‍රඥා දියුණු කරන නිසා සුපටිපන්න වන සේක.
2. උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ) – භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඍජු නිවන් මගේ හික්මෙන නිසා උජුපටිපන්න වන සේක.
3. ඤායටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් ආදී උතුම් මග ඵල නුවණ උපදවා ගැනීම පිණිස හික්මෙන නිසා ඤායපටිපන්න වන සේක.
4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ – භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තමන් වහන්සේලා ද දහමේ හික්මෙමින් ඒ උතුම් දහම අන් අයටත් කියා දෙන නිසා සාමීචිපටිපන්න වන සේක.
යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ – ඒ ශ්‍රාවක සංඝරත්නය පුද්ගල යුගල වශයෙන් ගත් විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ලෙස යුගල සතරකි. පුද්ගල වශයෙන් වෙන් වෙන්ව ගත් විට මාර්ගස්ථ ඵලස්ථ වශයෙන් අටදෙනෙකි.
5. ආහුනෙය්‍යෝ – ඉතා දුරසිට වුවත් දන්පැන් රැගෙන ගොස් පිදීමට සුදුසු වන සේක.
6. පාහුනෙය්‍යෝ – ආගන්තුකව වැඩම කළ කල්හී පිදීමට සුදුසු වන සේක.
7. දක්ඛිණෙය්‍යෝ – පින් සලකා දන්පැන් පිදීමට සුදුසු වන සේක.
8. අඤ්ජලිකරණීයෝ – දෑත් ඇඟිලි එක් කොට සාදරයෙන් වන්දනා කිරීමට සුදුසු වන සේක.
9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස – දෙව් මිනිසුන්ට උදාර පින්ඵල උපදවා දෙන අනුත්තරීය පින්කෙත වන සේක.
එබඳු උතුම් ආර්ය මහා සංඝරත්නය තමන්ගේ දිවි ගමනට ආලෝකය සලසාලන පිරිස ලෙස තෝරාගැනීමට ඔහු වාසනාවන්ත වුණා.
මේ ලිපියේ ආශීර්වාදයෙන් ඔබටත් දිවිගමනේ හොඳ ම තෝරාගැනීම් සිදුකොට ජීවිත සුවපත් කරගන්න වාසනාව ලැබේවා!
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments