කිසිලෙසකින්වත් වළකාලිය නොහැකි පරිදි පෙරළී එන අති දැවැන්ත ගල් පර්වත සෙයින්, සෑම නිමේෂයකම දස දිසාවෙන්ම ජරා මරණ පර්වත නොනැවතී ම අප කරා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටී. කොයි මොහොතක හෝ ඒ ජරා මරණ විසින් අපව යටකර දමනු නියත ය. එවන් වූ බිහිසුණු ජරා මරණ අප කරා එළඹි කල්හි කවර නම් යුද්ධයකින් ජීවිතය දිනා ගන්න ද?

දිනක් අප තථාගතයාණෝ විමසූ පැනයකට පිළිතුරු සපයන කොසොල් මහරජු පැවසුවේ තමා සතුව යුද්ධ දිනවා දීමට සමත් බලවත් ඇත් සේනා, අශ්ව සේනා, බල සේනා, මහා ධන සම්පත්, දක්ෂ කුමන්ත්‍රණකරුවන් සිටිය ද ජරා මරණ යුද්ධය හමුවේ ඒ කිසිවකින් පිහිටක් නැති බවත් – ධර්මයේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර අන් පිහිටක් නොමැති බවත් ය. පෘථිවි මණ්ඩලය දිනූ බලවත් රජෙකුටත් එය එසේ නම් ධර්මයේ පිහිට හැර ජරා මරණ අබියස අපගේ ධනය බලය රූපය උගත්කම් ඤාති පිරිවර… කුමක් කරන්න ද?

එවන් වූ බිහිසුණු මරණය ඊළඟ මොහොතේ අප කරා පැමිණියහොත් එයට මුහුණ දීමට අප සූදානම් ද? සැබවින්ම “මරණය” අපගේ ජීවිතයේ නොවරදින ඒකාන්ත සිදුවීම වන නිසා ගත වන සෑම මොහොතක ම අප එයට සූදානම්ව සිටිය යුතු ය.

නිරයේ නිරාගිනි ජාලාවන්ට මැදිව අනිර්වචනීය දුක් කන්දරාවක් විඳින නිරිසතා පවා මරණයට බිය වන්නේ මරණයේ ඇති ආනුභාවය නිසාම බව වරෙක තම සොඳුරු ප්‍රතිභානය විදහා දක්වමින් නාගසේන මහරහතන් වහන්සේ වදාළ සේක. පරලොව පෙනි පෙනී මරණය අබියස සිටින අයෙකුට ‘ධර්මය’ හැර වෙන පිහිටක්, අස්වැසිල්ලක් කොයින් ලබන්නට ද?

මරණය අභිමුව පවා සනසවන, සුවපත් කරවන ඒ ධර්මය ජීවත්ව සිටින කාලයේ පුරුදු කොට තිබිය යුතු දෙයක් මිස මරණාසන්න මොහොතේ කෙසේ නම් සන්ත්‍රාසයට පත් වූ සිතින් ඒ දහම සිතේ උපදවා ගන්න ද? ඒ මොහොතේ එය කළ නොහැකි බව සිහි තබා ගත යුත්තේ ම ය.

මරණාසන්න මොහොතේ අප කරා පැමිණෙන අයෙකු අපේ සිත සනසවා ධර්මය ම සිහිපත් කොට සිත සුගතියේ පිහිටුවාවි යැයි සුභ සිහිනයක් දැකීම ඒකාන්ත අනුවණකමකි. කිසිවක් තමා වසඟයේ පැවැත්විය නොහැකි ලොවක එවැන්නක් කෙසේ ලබන්න ද? එසේ සිදුවේ නම් මැනවි… එසේ නොවුවහොත්… තමා රැක ගත යුත්තේ තමා විසින් ම නොවේ ද?

තමා බොහෝ කලක සිට පුරුදු කළ උත්තම දහම විසින් ඒකාන්තයෙන් ම එය ඉටු කර දෙනු ඇත. සෝතානුධත නම් උතුම් දහම් පරියාය තුළ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“භික්ෂුවක් සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධම්ම, වේදල්ල ආදී වන නවාංග ශාස්තෘ ශාසනය හදාරයි ද ඔහු ඒ ධර්මය අසා දරාගෙන වචනයෙන් පුරුදු කරගෙන සිතින් විමසා නුවණින් අවබෝධ කර ගනී. හෙතෙම සිහි මුළා ව මරණයට පත් වුව ද දෙව්ලොව උපදියි. ඒ දෙව්ලොව දී සිහි උපදවාගෙන දහමේ හැසිර ධර්මාවබෝධ කර ගනී.”

එයටත් වඩා වෙනත් උතුම් රැකවරණයක් ඇත්ද?

බුද්ධ ශාසනයක් තුළ ලැබිය හැකි රැකවරණය විස්මිත ය. ආශ්චර්ය ය. උත්තරීතර ය. ගෙවූ සසරේ අපි උපනුපන් සෑම දිවියක ම මරණය අබියස කොතරම් සැලෙන්නට ඇද්ද? කී වතාවක් නම් රාග සිතින්, ද්වේෂ සිතින් මරු වැළඳ නිරය කරා යන්නට ඇති ද? මුළා සිතින් මරණයට පත්ව සතර අපා දුකට කොපමණ නම් වැටෙන්නට ඇති ද? එනමුදු, දෙව් මිනිසුන්ගේ උත්තම ගැලවුම්කරුවාණෝ සුගතියට යන්නට සැලසුම අප කෙරෙහි දයා සිතින් වදාළ සේක. “යම් භික්ෂුවක් ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන උතුම් සේඛ බලයන් උපදවා ගනී. ඔහු මරණින් මතු උතුම් සුගතියක උපත පිණිස අදහසක් ඇති කර ගනී. හෙතෙමේ ඒ අරමුණෙහි සිත තබයි. ඒ අරමුණ ම සිතින් අධිෂ්ඨාන කර ගනී. එයට ම සිත ප්‍රගුණ කරයි. එවිට ඔහුගේ ඒ සංස්කාර ද, ඒ පැවැත්ම ද, ඔය අයුරින් ප්‍රගුණ කිරීමෙන්, බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් දෙව්ලොව ඉපදීම පිණිස හේතු වේ.”

(සංඛාරුප්පත්ති සූත්‍රය – ම. නි. 03)

එනිසා අප්‍රමාදී ව සේඛ බල උපදවා ගනිත්වා! සත්පුරුෂ දෙවියන්ගේ නොමඳ ඇසුර ඇති දෙව්ලොවක සිත පිහිටුවා නිතර නිතර ඒ සිත පුරුදු කරත්වා! නොපමාව දහමේ ම හැසිරෙත්වා! තථාගතයන් වහන්සේගේ වචනයක් කිසි කලෙකත් දෙවිදියකින් සිදු නොවන්නේ ම ය. නිසැකවම ඔබට සුගති රැකවරණය පිණිස ඒ මාර්ගය, ඒ ප්‍රතිපදාව හේතුවනු නියත ය. සැබැවින්ම අපගේ මරණාසන්න මොහොත කෙබඳු වේදැයි අපට කිසිසේත්ම කල් ඇතිව සැලසුම් කළ නොහැකි ය. රෑ නිදියහනේ හෝ මරු වැළඳ ගත හැකි ය. රෝහල් ඇඳක් මත තියුණු කායික මානසික වේදනා විඳිමින් නොදන්නා පිරිසක් මැද අතරමං ව, අපගේ අවශ්‍යතා තේරුම් ගත නොහැකි පරිසරයක, අදහස් හුවමාරු කර ගත නොහැකිව, අසරණ ව, වෙහෙසකර වෛද්‍ය ප්‍රතිකාර මැද මරණය සිදුවිය හැකි ය. සතුරන්ගෙන් එල්ල වන තාඩන පීඩන නින්දා අපහාස හිංසා මැද අපගේ මරණය සිදුවිය හැකි ය.

අප විසින් පෙර නොසිතූ නොපැතූ යම්කිසි ක්‍රමයකට ඒකාන්තයෙන් ම අපගේ මරණය සිදුවනු ඇත. කොටින්ම අපගේ මරණාසන්න මොහොතේ බාහිරින් නම් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක්කේ ම ය. තමාට තමා සාධාරණයක් නොකර ගත් කල්හි අන් අයගෙන් කවර සාධාරණයක් බලාපොරොත්තු වන්න ද? නමුත් තමා, තමා කෙරෙහි හිතවත්ව තමාට සාධාරණයක් ඉටු කර ගනී නම් අන් අයගෙන් වන අසාධාරණය අපට කුමක් කරන්න ද?

මේ පුවත අසනු මැන.

ඒ ලක්දිව ධාතුසේන නම් දැහැමි නිරිඳාණෝ රාජ්‍ය පාලනයේ යෙදෙන යුගයයි. එක්තරා කරුණක් මත රජු කෙරෙහි වෛර බැඳගත් මිගාර නම් සෙනෙවියා කාශ්‍යප පුත් කුමරුගේ සිත සිය පියරජුන් කෙරෙහි බිඳවී ය. පියරජු සිරගත කරවා කාශ්‍යප කුමරු ලක්දිව රජ විය. තවදුරටත් ධාතුසේන රජු ව වෙහෙසවනු කැමති මිගාර සෙනවියා, පියරජු විසින් සැඟවූ නිධාන තිබෙන බව පවසමින් අනුවණ කාශ්‍යප රජු උසිගැන්වීය. අවසානයේ ධාතුසේන රජු මැරවීමට රාජ අණ ලබාගත් මිගාර සෙනෙවි වෛරී සිතින් රජුගේ සිත පෙළනු කැමතිව, සර්වාලංකාරයෙන් සැරසී ධාතුසේන රජු දෙස බලමින් අවඥා සහගත සිනහ බස් නගමින් ඔබමොබ සක්මන් කරන්නට පටන් ගත්තේ ය. මේ දුටු පිනෙන්, නැණින් පිරි නිරිඳාණෝ තමාගේ අවසාන මොහොත ළං වූ බව දැන මෙසේ සිතූහ. ‘මේ පවිටු තැනැත්තා දැන් මාගේ සිතත් කය සෙයින්ම පෙළා මාව නිරයට යවනු කැමති ව සිටී. මොහු කෙරෙහි ද්වේෂය උපදවා ගැනීමෙන් මා කවර වූ මනෝරථයක් මුදුන්පත් කරගන්නට ද?’ ඒ උතුම් නිරිඳාණෝ මෙලොව සියලු යහපත නැසූ සතුරන්ට තමාගේ පරලොව යහපත නැසීමට කිසිදු අවකාශයක් නොදුන්නෝ ය. දහමේ දක්ෂ රජු, සෙනෙවියා කෙරෙහි මෙත් සිත පතුරවමින් නිරය ගමනින් තමාව රැක ගැනීමට සමත් විය. පාපී සෙනෙවියා මහා බල ඇතිව සිටි රජුව නිරුවත් කරවා, දෑත් පිටුපසට කොට මාංචු දමා, කලා වැවේ බිත්තියට හේත්තු කොට මැටිගස්සවා මැරවීය. රජුට ඒ සා අසාධාරණයක් වූ බව පෙනී ගිය ද සැබැවින්ම රජුට අසාධාරණයක් කරන්නට ඒ කිසිවෙකු සමත් නොවීය. තම සිත රැකගත් ධාතුසේන නරපතියාණන් මරණින් මතු තව්තිසා දෙව්ලොව දෙවියන් හා එක් විය. අනාවරණ ප්‍රඥා ඇති මහා කාරුණිකයාණෝ පමා වූවන්ගේ අප්‍රමාදී බව පිණිස ම මරණයේ යථා තතු විවරණය කළ සේක. මරණයට කැප වූ ගව දෙනක සේ, තණ අග රැඳි පිනි බිඳුවක් සේ, වේගයෙන් කඩා හැළෙනා දිය දහරක් සේ ගතවන සෑම මොහොතක ම ජීවිතය අවසන් වෙමින් යන බව… මරණය කරා ම ළං වන බව… ඒ භගවතාණෝ පෙන්වා දුන් සේක. පය පැටලී වැටී හෝ සතෙක් සර්පයෙක් දෂ්ට කිරීමෙන් හෝ ආහාරයක් විෂ වීමෙන් හෝ සතුරු ප්‍රහාරයකින් හෝ අමනුෂ්‍ය උවදුරකින් හෝ හදිසි රෝගාබාධයක් උත්සන්න වීමෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට හෝ ඉහළ ගත් හුස්ම පොද පහළ හෙළීමට පෙර… පහළ හෙළුෑ හුස්ම පොද ඉහළ ගැනීමට පෙර… මරණය සිදුවිය හැකි බව පෙන්වා දුන් සේක්, තුන්ලොව දක්නා කරුණා නෙතැති මහා මුනිවරයාණෝ මැ යි… එමතුදු නොව උදාවන සෑම රාත්‍රියක ම, සෑම දහවලක ම මෙසේ මරණය ගැන සිහිකරමින් නුවණින් සැලකිය යුතු ආකාරය ද තිලොවග ගුරු දෙවිඳාණෝ පෙන්වා දුන් සේක.

“භික්ෂුව නුවණින් සලකා බලද්දී මෙසේ දකී නම්, එනම් රාතියෙහි හෝ දහවලෙහි මරණයට පත් වන මා හට අන්තරායකර වූ පාපී අකුසල ධර්මයන් මා තුළ අප්‍රහීණ ව ඇත්තේ ය. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත් නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය.”

(දුතිය මරණසති සූත්‍රය, අං. නි. 05)

ඇඳිවත හෝ හිස ගිනි ගත්තෙකු ඒ ගින්න නිවීම පිණිස බලවත් ව උත්සාහ කරන සෙයින් ම අකුසල් ප්‍රහාණයට උත්සාහ කළ යුතු බව ද සුගත තථාගතයාණෝ පෙන්වා දුන් සේක. සැබැවින්ම අප බිය විය යුත්තේ මරණයට නොව මරණයට පත්වන මොහොතේ සිත අකුසල්වලට යට වී තිබීම ගැන ය. එසේ නම් අප්‍රමාදී විය යුතුමය. එළඹෙන ඕනෑම මොහොතක අපගේ මරණයට අවකාශ තිබේ නම් ඒ මොහොතේ අපේ සිත සරාගී වී තිබුණොත්, ද්වේෂ සහගත වී තිබුණොත්, බලවත් අකුසලයක හිරවී තිබුණොත්… කෙතරම් බිහිසුණු අනතුරක් ද? එසේ නම්, ජීවත් වන සෑම මොහොතකම සිත ගැන අවධානයෙන් සිටීමට සිදු වේ. මොහොතින් මොහොත වෙනස් වන මේ මායාකාරී සිත පිරිසුදුව තබා ගැනීමට වීරිය කිරීමට සිදු වේ. උපනූපන් අකුසල් දුරු කරමින් සිටීමට සිදු වේ. එවන් වීරියවන්තයෙකු, එවන් ශ්‍රද්ධාවන්තයෙකු, එවන් ප්‍රඥාවන්තයෙකු මරණය අබියස කුමට නම් සැලෙන්නට ද? ඒ මහා විදුදරයාණෝ දේශනා කළේ යමෙකු තුළ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව මැනවින් පුරුදු කළ සිතක් ඇත්නම් මේ කුණු කය සතුන් විසින් කා දැමුවත් ඒ දහම තුළ මැනවින් පුරුදු කළ සිත උඩු අතට යන බවයි. විශේෂගාමී වන බවයි.

“යම් දිශාවකට බර වී ඇති රුකක් මුලින් ම සින්ද විට ඒ රුක යම් දෙසකට නැමී තිබුණේ ද යම් දෙසකට යොමුවී තිබුණේ ද යම් දෙසකට බර වී තිබුණේ ද ඒ දෙසට ම වැටෙන සෙයින් තුනුරුවන කෙරෙහි නොසැලෙන පැහැදීමත්, ආර්යකාන්ත සීලයත් යුක්ත ශ්‍රාවකයා නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට යොමු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.”

එලෙසින්ම ඔබේ සිත ද නැමී ඇති දෙසට ම, යොමු වී ඇති දෙසට ම, බර වී ඇති දෙසට ම මරණින් මතු උපත කරා යනු ඇත. එය මරණාසන්න මොහොතේ තීරණය කළ නොහැක්කේ ම ය. ඒ නිසා, ඔබේ ජීවිතයේ වැරදුන තැන් – නොමග ගිය තැන්, කිලිටි පාපී ක්ලේෂයෝ, බුද්ධ ශාසන පාරිශුද්ධ දියදහරේ සෝදා හරිත්වා…! තිසරණය පිහිට කොට ගනිත්වා…! මහා ගලක් වුව නැවක තැබූ විට නොගිලෙන්නා සේ, තිසරණය පිහිට කොට ගනිමින් කුසල් නෞකාවට නැග, සතර අපා දුක් පිරි සසරේ නොගිලී සුගති රැකවරණ ලබමින් අමා නිවන් පුරයට පිවිසෙත්වා…!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.