මොහොතින් මොහොත, දවසින් දවස ලෝකයේ නිමැවෙන දේවල් දිහා මොහොතක් අවධානයෙන් සිටින්නෙකුට වර්තමාන මානුෂීය චින්තන රටාවන්, චින්තන පරාසයන් ගැන ඉක්මනින් – පහසුවෙන් යම් අදහසක් ගන්නට පුළුවනි. නිරන්තරයෙන් අලුත් අලුත්, විස්මිත, පුදුමාකාර දේ ලෝකයේ මැවෙනවා පේනවා.
බොහෝ දේ කලාවන් බවට පත් වෙලා. ගායනය, වාදනය, නර්තනය, සිතුවම් රචනා නිර්මාණ පමණක් නොව, කන – බොන, අඳින – පලඳින, ඇවිදින විදිහ පවා කලාවක් වෙලා. ‘අසවල් කෙනාගේ, අසවල් ප්‍රදේශයේ, අසවල් රටේ මෙහෙමයි’ කියලා ඒවා ඉගෙන ගන්න, හදාරන්න, අත්හදා බලන්න වගේ ම, ඒවාම තමන්ගේ ජීවිතය කරගෙන වාසය කරන්නත් ලෝකය දැන් හැඩගැහිල ඉවරයි.
‘හිතෙන හිතෙන විදිහට, අලුත් අලුත්, වෙනස් වෙනස් ක්‍රමවලට, කරන දෙයකට කලාව කියන ගෞරව නාමය දීමක් ද මේ’ කියලත් හිතෙනවා. යමක ඇති අර්ථවත්, යහපත්, සාරවත් බවක් විමසන්න උවමනාවක්වත් නැතිව පේන පාරේ යෑමක් හැම තැනම පෙනෙන්නට තියෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ, මේ ලෝකයේ නිර්මාණය කරන ඕනෑම දෙයක් පළමුවෙන්ම තනන්නේ මනුස්සයාගේ සිත තුළ බවයි. බලවත්ම, විස්මිත ම, ප්‍රබල ම දේ බාහිර නිර්මාණය කරන ලද දෑ නොවෙයි. බලවත් ම, විස්මිත ම, ප්‍රබල ම දේ මේ සිතයි. බලවත් ම, ප්‍රබල ම, විස්මිත ම දේ සිතිවිලි ධාරාව, සිතිවිලි රටාව වුවත් එය හැසිරවිය යුතු කලාව මනා කොට නොදන්නා කෙනා තියුණු අසිපතක් දරනා වානරයෙකු වගෙයි.
හොඳින් බලන්න ලෝකය දෙස… අද මිනිස්සු ගොඩාක් හිතනවා… අතොරක් නැතිව හිතනවා. අරමුණ, අලුත් දෙයක්, නව නිපැයුමක් ලෝකයට මුදාහැරීමට සීමා වෙලා, අවසාන ඉලක්කය වෙලා. බොහෝ විට එය ද ප්‍රයෝජනවත් නොවන, සත්වයාට සුවය පිණිස නොපවතින, ලෝකය විනාශය කරා පමුණුවන දෙයක්.
තියුණු කඩුව භාවිත කළ යුතු වැදගත් කටයුත්ත නොදන්නා කෙනා තමා වටේ පේන පේන දේට කොට කොටා ඉන්නවා වගේ, තමන්ට අවිද්‍යාමාන ජීවිතයේ ප්‍රබල ගැටළුව – බියකරු සසරේ වැටුන අර්බුදය නොදන්නා කෙනා, තමන්ව ඉන් ගොඩදමා ගැනීමට ඇති චින්තන හැකියාව මනාකොට හසුරුවා නොගෙන ඒ හැකියාවෙන් ලෝකයේ අසීමිත අවශ්‍යතාවන්, ඉල්ලුමට සැපයීම සපුරමින් සිටිනවා.
‘ජීවිතයේ යථාර්ථය විමසීම’ වැනි ගැඹුරු ශ්‍රේෂ්ඨ කල්පනා රටාවක් ගැන නොව අඩුම තරමින් එදිනෙදා සතුටෙන්, සැහැල්ලුවෙන් වාසය කරන්න උපකාර වන කල්පනා රටාවක්වත් ඇතිකර ගන්නට පුළුවන් නම් එය කොයි තරම් වටිනව ද?
දවසක් මනුස්සයෙක් හිතවතෙකුගේ නිවසකට ගියා… සතුටු කතා බහේ යෙදුණා… ගෙහිමියා තමන්ට බීමට සුදුසු යමක් ගෙන එනු දුටු අමුත්තාගේ මුවේ මඳ සිනාවක් නැගී සැඟව ගියා… රැගෙන ආ බඳුන ආගන්තුකයාට මඳ සිනාවක් සමගින් පිළිගන්වා නැවත මොහොතකට නිවැසියා එතැනින් ඉවත් වුණා…
අපි කියමු ඒ බඳුනේ තිබුණේ කිරි තේ කියලා. ප්‍රශ්නය එය නොවේ. මග් එකක් වැනි උස බඳුනේ තිබුණේ කිරි බාගයයි.
කිරි භාගයක් පුරවා තිබෙන ඒ බඳුන දැන් තිබෙන්නේ ඔබේ අතේ. ඔබ වෙහෙසට පත් වෙලා ඉන්නේ. නිවසට ගිය අමුත්තා ඔබයි. දැන් මොකද හිතෙන්නේ ඔබට පිළිගැන්වූ කිරි තේ බඳුන ගැන…
‘හෑ… මේ මිනිහගෙ තියෙන කුණු ලෝභකම.. දෙන එක පුරවලා දීපන්… මෙහෙම කරනව ද ගෙදරට ආපු මනුස්සයෙකුට.. කෝප්පෙ පුරවලා දෙන්න හිත නැමුනේ නැති හැටි… භාගයක් දාලා කොහොම දුන්නද මන්දා?’
එහෙමද හිතෙන්නේ?
‘අනේ මේ මනුස්සයා කොච්චර හොඳ ද? මට මොකුත් නොදී ඇරියේ නෑනේ… තියෙන විදිහට කෝප්පයෙන් භාගයක් හරි දුන්නනේ…’ කියල ද හිතන්නේ….
අඩුව හොයනවට වඩා ගුණය හිතන එක හිතට සැප නැද්ද? පුංචි කතාවක් වුණත් අපේ දවස කියන්නේ මේ වගේ පුංචි පුංචි කතා ගොඩක්. හිතන විදිහත් කලාවක් නෙමෙයි.., හිතන විදිහ මේ ලෝකයේ තියෙන සුන්දරතම කලාව. හැබැයි හොඳ විදියට. “හොඳ විදිහට හිතන කෙනෙක් වෙන්න පුතේ.” කියල පුංචි කාලේ මේ කතාව මට කෙනෙක් කියලා දුන්නා මතකයි.
ජීවිතය දිනන විදිහට හිතන්නත් පුළුවන්… කැමති නම් හිතලා හිතලා පරදින්නත් පුළුවන්
හිතන්න ඕන කලාව නොදන්න නිසා, ඕන ඕන විදිහට හිතන නිසා, අපිට වැටිලා තියෙන මානසික ආගාධයෙන් ගොඩ එන එක මේ කාලෙ හරිම අමාරුයි. අපිට ලෝකයෙන් පලා යන්නට බැහැ. විෂම ලෝකයේ අපිටත් අකමැත්තෙන් වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අනපේක්ෂිත ප්‍රශ්න අර්බුද නැත්තේ කාටද? කවදා ද? කළු වලාකුළෙත් රිදී රේඛාව දකිනවා වගේ තමන්ගේ අසරණකම් හිත්තැවුල් අස්සේ තමන්ට සැනසෙන්න වුවමනා දේ, වුවමනා ක්‍රමය හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තමන් අසරණ වෙන තැනේදී හිතන කලාව අල්ලගන්න දක්ෂ නොවුණොත් අර්බුදයෙන් අර්බුදයට යනවා. වළකින් තවත් වළකට වැටෙනවා. විපතෙන් විපතට පත් වෙනවා.
හිතන රටාව ලස්සන නම් අර්බුද පටලැවිලි වියවුල් ලිහෙනවා මිසක් අවුලෙන් අවුලට යන්නේ නැහැ. එය සියලු අවිද්‍යා වැරහැලි ඉරා දමා සියල්ල විනිවිද සත්‍යය දකින්නට, අවබෝධය කරා පමුණුවන්නට හැකි අතිශයින් ම සියුම් වූ චින්තන කලාවයි.
අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කියන්නේ සුන්දරව හිතන කලාව තුළ හිත හසුරුවලා, දියුණු කරලා ශ්‍රේෂ්ඨතම තැනට තමන් වහන්සේගේ ජීවිතය රැගෙන ගිය මහෝත්තමයන් වහන්සේ. ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත්කරවන ශ්‍රේෂ්ඨතම සුන්දර ම චින්තන කලාව පළමුවෙන්ම පහළ වුණේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬල තුළයි. සුන්දරතම චින්තන කලාව වනාහි ධර්ම චින්තාවයි.
සතර අපායෙනුත් නිදහස් කරනවා නම්, සසර දුකින් නිදහස් කරනවා නම් ධර්ම චින්තාවටත් වඩා තවත් ලස්සන සිතීමේ කලාවක් තියේවි ද?
කෙසොල් මහරජතුමාට ඇමතියෙක් හිටියා. හරිම දක්ෂයි. කඩිසරයි. බොහෝම හිතවත් රජුට. මහත් ගෞරවයෙන්, කැපවීමෙන් අවංකවම සේවා කටයුතු කරනවා. අනෙක් සියලු ඇමතිවරු අතරේ මොහු තුළ ඇති විශේෂ ගුණ නිසා රජු බොහොම ප්‍රසාද සිතින් තෑගි බෝග වටිනා වස්තුව ඇමතියාට ප්‍රදානය කළා. එය ඔහුගේ අවංක රාජ උපස්ථානට, ගුණයට කළ ස්තූති සංග්‍රහයක්. මේ සිදුවීම නිසා ඉරිසියා සිතින් අනෙක් ……ඇමතියන් කිපුණා. ඔහුට විරුද්ධව අභූතයෙන් වැරදි කියලා, කේළාම් කියලා රජුගේ හිත බිඳෙව්වා. රජෙක් කිපී, කෙනෙක් සිරගත කළොත්, ‘නැවතත් අනතුරක් නැතිව නිදහස් වෙනවා’ යන සිතින් කිසිවෙකු සිරගෙට යනවා නම් එවැන්නක් රජවරුන්ගේ ස්වභාවය දන්නා කිසිවෙක් අපේක්ෂා නොකරන දෙයක්. තමන්ට කුමන ඉරණමක් අත් වේ ද යන සිතින් ඇමතියා සිරගෙට යන්නට ඇති. සිරභාරයට පත්වන ඕනෑම කෙනෙකුගේ හිතට අනාගතය ගැන අවදානමක්, අනපේක්ෂිත බවක් කොහොම නොදැනෙන්න ද?
නමුත් ඔහුගේ වෙනස නම්, අද මරාවිදෝ හෙට මරාවිදෝ යන සිතිවිල්ලෙන් – මරණ භීතියෙන් ප්‍රකම්පනයට පත් නිවටයෙක් වුණේ නෑ. වැටුණ තැනේදී කවුරුහරි අත දීලා නැගිට්ටුවාවි හිතන පරපෝෂිතයෙක් වුණේ නෑ. පිහිටට කවුරුවත් නැති තැන ඔහු පිහිට කරගත්තේ සුන්දරව හිතන කලාවයි. හේතුව, සැප සේ වසන, සිතීමේ කලාව ඔහු දැන සිටිය නිසා. ඔහුගේ සිතීමේ කලාව කොයිතරම් ද යත් රාජ උදහසට ලක්ව සිරගත කිරීමෙන්වත් අඩපණ කළ නොහැකි තරම් අග්‍රගණ්‍ය දෙයක් වුණා. ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඔහුගේ සිත ධර්ම චින්තාවෙන් පිරි ගොස් තිබුණා.
ප්‍රශ්නය තමා කරා නොඑන තාක් විසඳුම දාර්ශනික ය කියන්නා සේ තමන්ට අත්විඳීමට ඇති ප්‍රශ්නය අන් අයට සරල සේ පෙනිය හැකියි. එහිදී අමිහිරි කොටස භුක්ති විඳින්නා ප්‍රශ්නයේ හිමිකරුවායි. ප්‍රශ්නයක දිග පළල බර සෙවීම සාර්ථක විසඳුමක් කරා යෑමට තීරණාත්මක සාධකයක් නොවෙයි. එයට බලපාන දෙය නම් ඔහු හිතන රටාවයි.
ප්‍රශ්න ඉදිරියේ අසරණව කඩාගෙන වැටෙන මිනිසුන් අතරේ මේ ඇමතියා නම් බලවත් මානසික වීර්යයෙන් යුතු ශ්‍රේෂ්ඨ මිනිසෙක් වුණා. සිරකුටියේ හිටියත්, මරණය පෙනි පෙනී සිටියත් කිරීමට අවශ්‍ය දේ සිදු කරන්නට යෙදුණා. අප්‍රමාදීව ධර්මයේ හැසිරුණා.
සත් දිනක් ගෙවෙන තැනදී රජතුමාට සියලු සත්‍ය හෙළිදරව් වී තිබුණා. රජතුමා විසින් ඔහු නිදහස් කරනු ලැබුවා. පුදුමයකි..! ඇමතියෙක් විදිහට සිරගෙදරට ගිය, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට සිරබත් කාපු මොහු දින හතකට පසුව යකඩ කූරු අතරින් නිදහස්ව එළියට පැමිණියේ…, සතර අපායෙන් සදහටම නිදහස් වුණ සෝතාපන්න ශ්‍රාවකයෙක් විදිහටයි.
අතට ලැබෙන්නේ සුන්දර මලක් නොව කළු ගලක් වෙන්නට පුළුවනි. ‘නොවටිනා කළුගලක් ලැබුණා නෙව’ කියලා හිතනවට වඩා ‘කළුගලකින් ගහලත් මිනිස්සු ගහක තියෙන ගෙඩියක් හරි කඩාගන්නවනේ’ කියලා හිතලා, එන විපත – කරදරය තුළින් වුණත් ලාභයක් උපදවා ගන්න දක්ෂ වෙනවා නම්… හරියට ඇමතියා හිරකුටිය භාවනා කුටිය කරගත්තා වගේ, ගැටළු තවදුරටත් ගැටළු කර නොගෙන සුන්දරව හිතෙන කලාවෙන් පිළිතුරක් සොයා ගන්නවා නම්… කොතරම් අගනේ ද…!
‘සිතන කලාව’ වනාහි බුද්ධිමත්, දියුණු, ප්‍රඥාවන්ත, ගුණවන්ත මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් නෙවෙයි – බුද්ධිමතුන්ගේ ජීවිතේ ම වනාහි සිතීමේ කලාවයි. එනම් සුන්දර වූ ධර්ම චින්තාවයි!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments