පින්වත් යොවුන් දූ දරුවනේ,

‘වාසනාව’ කියන වචනේ ජීවිතේක අපි කොයිතරම් නම් හිතලා ඇද්ද. මොකක් හෝ දෙයක් අපි බලාපොරොත්තු වුණ විදිහටම වෙනකොට අපිටම හිතෙනවා ‘හප්පේ! ඒක නම් මගේ වාසනාව’ කියලා. පොඩ්ඩක් හරි අනපේක්ෂිත සිදුවීමක් වෙනවා නම් අපිට අනායාසෙන් ම හිතෙනවා ‘මේක නම් මහා අවාසනාවක්. මට වාසනාවක් නැද්ද?’ කියලා. ඉතින් ඔය විදිහට නිතර කථා කරන වාසනාව ගැන අද ලිපියෙන් කථා කරන්න කල්පනා කළා.

ඇතැම් උදවියට වාසනාව තියෙනවා. නමුත් එයාලා කටයුතු කරන පිළිවෙළ නිසා වාසනාව පැනලා යනවා. ඇතැම් උදවියට වාසනාව ඇත්තෙත් නෑ. එයාලා කටයුතු කරන පිළිවෙළ නිසා වාසනාව කිට්ටු වෙන්නේ ම නැතිව පැනලා යනවා. ඒ නිසාමයි මේ ලිපියට ‘වාසනාවට පැනලා යන්න දෙන්න එපා!’ කියන නම යෙදුවේ.

ඉතින් මේ වෙනකම් ලිපිය කියවන්ට වාසනාවන්ත වුණ ඔයාලට වෙනදා වගේ ම සෙනෙහසින් සිහිපත් කරනවා අවසානය තෙක් මේ ලිපිය කියවන්න. ලිපිය අවසන් වෙද්දී ‘මේ ලිපිය කියවන්න ලැබීම නම් මට ඇත්තෙන්ම වාසනාවක්’ කියලා ඔයාලට හිතේවි!

වාසනාව රෑ ද? දවල් ද?

ඔව්! එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවානේ. සමහරු කියන්නේ වාසනාව රෑ කියලා. සමහරු කියන්නේ වාසනාව දවල් කියලා. තරු බල බලා වාසනාව හොයන්න ගිහින් මිනිස්සුන්ට තරු පෙණුනේ අද විතරක් නෙවෙයි. ඕක අතීතෙත් වුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ග්‍රහ තාරකා නැකැත් කේන්දර පොරොන්දම්වලින් වාසනාව හොයන අයට වටිනා උත්තරයක් දුන්නා.

නක්ඛත්තං පතිමානෙන්තං – අත්ථෝ බාලස්ස උපච්චගා
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං – කිං කරිස්සන්ති තාරකා

නැකැත් බලන්නට යෑමෙන් මෝඩයන්ට වටිනා දේ නැතිවෙන්නේ. කරන දේ හොඳින් කිරීම ම යි නැකැත. අහසෙ තියෙන තාරකා කුමක් කරන්ට ද අප හට.

(නක්ඛත්ත ජාතකය)

ඒ නිසා හොඳින් තේරුම් ගන්න තමන්ගේ වාසනාව බාහිර වෙලාවක, තරුවක, නිමිති ඵලාඵලයක, කේන්දර කොපියක නෙවෙයි තියෙන්නේ. තමන්ගේ වාසනාව තියෙන්නේ තමන් වාසනාව උපදින විදිහට කටයුතු කරනවා ද කියන එක මතයි. තමන් වාසනාවට කොපමණ ආසා කළත් වාසනාව ලැබෙන විදිහට නොවෙයි නම් කටයුතු කරන්නේ කොහොම නම් වාසනාව ලැබෙන්ට ද? ඔබේ වාසනාවටත්, ඔබේ අවාසනාවටත් වගකිව යුත්තා ඔබමයි!

කොහොමද වාසනාව රැකගන්නේ…?

අතීතේ සරභංග නමින් මහා ඍෂිවරයෙක් හිටියා. ඒ ඍෂිවරයාගෙන් සක්දෙව් රජුන් තමයි මේ ප්‍රශ්නේ විමසුවේ.

“වාසනා ශ්‍රී සම්පත්තිය පලා යන්ට නොදී රැකගන්නේ කොහොමද?”

ඒ ඍෂිවරයා වාසනාව රැකගන්න ක්‍රමය කියා දුන්නා.

යමෙක් ළඟ සිල්වත්කම තිබේ නම්,
සත්පුරුෂකමත් තිබේ නම්,
ප්‍රඥාවන්තකමත් තිබේ නම්,
ඔය ගුණදම් සියල්ලම තිබෙනා කෙනා
හිතේ පැහැදීමෙන් මුදු මොළොක් සිතින් දන් දෙයි නම්
අනුන්ගේ අවශ්‍යතා හැඳින සංග්‍රහ කරන
හිත සැනසෙන මිහිරි වචන කථා කරන
ආන්න එබඳු කෙනාගේ වාසනා ශ්‍රී සම්පත්තිය පලා යන්නේ නෑ

සිල්වත්කම

මේ දීපු පිළිතුරෙන් තේරෙනවා වාසනාව රැකගන්න නම් සිල්වත්කම හදාගන්න වෙනවා. සිල්වත් වුණොත් වාසනාව තියෙයි. දුස්සීල වුණොත් වාසනාව පලා යයි.

“ඉතිං කොහොමද සිල්වත් වෙන්නේ?

සිල්වතා කියන්නේ මොන වගේ ගති ලක්ෂණ තියෙන කෙනාට ද?”

තමන්ට තමන් ගැනම ‘මම සිල්වතෙක්’ කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ තමන්වම කොයි විදිහට පේනකොට ද කියන එක ගොඩාක් වැදගත්. මේ පිළිතුරෙන් කෙනෙකුට පුළුවන් තමන්ව දැකීමට කැඩපතක් හදාගන්න.

යමෙක්ගේ කය හා වචනය හොඳින්
සංවරයි නම්
සිතිනුත් කිසිම පවක් කරන්නේ නැති නම්
තම ජීවිතේ නිසාවත් වංචාකාරීව
බොරුවක් කරන්නේ නැති නම්
අන්න එබඳු තැනැත්තාටයි සිල්වතා
කියන්නේ

ප්‍රාණඝාතය කියන්නේ කයේ අසංවරකමක්. සොරකම කයේ අසංවරකමක්. වැරදි කාමසේවනය කයේ අසංවරකමක්. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයත් කයේ අසංවරකමක්. ඒ අසංවරකම් නැති කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකුණොත්, සොරකමින් වැළකුණොත්, වැරදි කාම සේවනයෙන් වැළකුණොත්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණොත් ඒක සිල්වතෙකුගේ ලක්ෂණයක්.

බොරු කීම වචනයේ අසංවරකමක්. කේළාම් කීම වචනයේ අසංවරකමක්. හිස් වචන කථා කිරීම වචනයේ අසංවරකමක්. ඵරුෂ වචන කථා කිරීමත් වචනයේ අසංවරකමක්. ඒ අසංවරකම් නැති කරගෙන සත්‍යයෙන් සත්‍යය ම ගළපා කථා කරන, සමඟිය ඇති වෙන දෙයක් ම කථා කරන, වැදගත් වටිනා වචන කථා කරන, මිහිරි වචන කථා කරන දක්ෂතාවක් හදාගත්තොත් ඒකත් සිල්වතෙකුගේ ලක්ෂණයක්.

කොටින්ම තමන් තමන්ටම අවංක වෙලා ජීවිතේ නිසාවත් බොරුවක් නොකියන නොකරන ස්වභාවයක් තමයි සිල්වතාගේ ලක්ෂණය.

ඉතින් ඒ වගේ සිල්වතෙක් වුණොත් නම් අනිවාර්යෙන්ම වාසනාව ඔබේ ළඟ ම සිටීවි! කවදාවත් වාසනාව පලා යන්නේ නෑ. නමුත් දුස්සීල වුණ ගමන් වාසනාව පලා යනවාමයි!

නැති වාසනාව ඇති කරගැනීම පිණිසත්, තිබෙන වාසනාව රැකගැනීම පිණිසත් සිල්වත්කම ඇති කරගන්න ඔබට වාසනාව ලැබේවා!

සත්පුරුෂකම

ජීවිතේට වාසනාව කැන්දන සත්පුරුෂකම කියන්නේ මොකක්ද? සත්පුරුෂයා කියන්නේ මොන වගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක් ද?

තමාට යමෙක් උපකාරයක් කළා නම්
එය හොඳින් මතකයේ තබාගෙන යළි යළිත් සිහි කරයි නම්
තමාට උදව් කළ කෙනාට කලණමිතුරෙක් වී
තමාට උදව් කළ කෙනා ගැන බැති සිතින් යුතු වී
ඔහු යම් දුකකට පත් වුණොත්,
තම වීරියෙන් සහ නුවණින් යහපත සලසයි
නම්
අන්න එබඳු කෙනාටයි සත්පුරුෂයා
කියන්නේ

කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සිහිකරනා මිත්‍රද්‍රෝහී නැති සත්පුරුෂයා හට ඒ සත්පුරුෂකමේ ම ආනිශංස විදිහට

■ නිවසින් පිටතට ගිය විට දී පවා බොහෝ සැලකිලි ලැබෙනවා.
■ ඔහුව සිහි කිරීමෙන් පවා බොහෝ දෙනෙක් සතුටු වෙනවා.
■ හැම තැන දී ම පුද සත්කාර ලබන්නෙක් වෙනවා.
■ සොරසතුරු උවදුරු ඔහුට ළං වන්නේ නෑ.
■ ඔහු කොයියම් තැනකට ගියත් සාදරයෙන් පිළිගන්නා කෙනෙක් වෙනවා.
■ කළගුණ සිහිකොට අනුන් හට සැලකිලි කිරීම නිසා ම තමාට සැලකිලි ලැබෙනවා.
■ කළගුණ සිහිකොට අනුන් හට බැති සිතින් ගරු කළ නිසා ම තමාට ගරුසරු ලැබෙනවා.
■ හොඳ නමත්, ප්‍රසාදජනක බවත් පැතිරෙනවා.
■ යසස, කීර්තිය පැතිරෙනවා.
■ ඉසුරු සම්පත්වලින් වැඩෙනවා.
■ පිරිස් අතරේ බබළන කෙනෙක් වෙනවා.
■ ඔහු ආරම්භ කරන වගාවන් ආදියත් සරුසාර වෙනවා.
■ ඔහුගේ දූ දරුවන් පවා සුවසේ වාසය කරනවා.
■ අනපේක්ෂිත අනතුරු විපත්වල දී පිහිට සැලසෙනවා.
■ හරියට අතුපතර විහිදා වැඩුණු නුගයක් සුළඟින් බිම හෙළන්ට බෑ වගේ ඔහුව සතුරු විපත්වලින් යට කරන්ට බෑ.

ඉතින් ඔබට තේරෙනවා ඇති කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සිහිකරනා සත්පුරුෂයෙක් වුණොත් නම් අනිවාර්යෙන්ම වාසනාව ඔබේ ළඟම සිටීවි! කවදාවත් වාසනාව පලා යන්නේ නෑ. නමුත් අසත්පුරුෂ වුණොත් නම් වාසනාව පලා යනවාමයි! ඒ නිසා නැති වාසනාව ඇති කරගැනීම පිණිසත්, තිබෙන වාසනාව රැකගැනීම පිණිසත් සත්පුරුෂකම ඇති කරගන්න ඔබට වාසනාව ලැබේවා!

ප්‍රඥාවන්තකම

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සත්වයාට තියෙන වටිනා ම දේ ප්‍රඥාව කියලයි. ප්‍රඥාවන්තයා කියන්නේ මොන වගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක් ද?

ජීවිතේ ගැන බොළඳ විදිහට නොසිතා
ගැඹුරු වූ ජීවිතාර්ථයන් ගැන සිතින් විමසන
දරුණු වූ පව්කම් කිසිවිටකත් නොකරන
කළ යුතු යහපතෙහි කිසිවිටෙකත් පමා නොවන
නොපමාව යහපතේ හැසිරෙන කෙනාටයි ප්‍රඥාවන්තයා කියන්නේ
ඒ ප්‍රඥාව ලබන්නේ කොහොමද?
අමා නිවන් සුව කැඳවන උතුම් සම්බුදු බණ පද
හොඳින් සවන් යොමා ආසාවෙන් අසයි නම්
අහන බණපද පමා නොවී නුවණින් විමසයි
නම්
ඒ තුළින්මයි ප්‍රඥාව ලැබෙන්නේ.

ඉතින් ප්‍රඥාවන්තකම ජීවිතේ ඇති කරගත්තොත් නම් අනිවාර්යෙන්ම වාසනාව ඔබේ ළඟ ම සිටීවි! කවදාවත් වාසනාව පලා යන්නේ නෑ. නමුත් මෝඩ විදිහට කටයුතු කළොත් නම් වාසනාව පලා යනවාමයි! ඒ නිසා නැති වාසනාව ඇති කරගැනීම පිණිසත්, තිබෙන වාසනාව රැකගැනීම පිණිසත් ප්‍රඥාවන්තකම ඇති කරගන්න ඔබට වාසනාව ලැබේවා!

වාසනාවට පැනලා යන්න දෙන්න එපා!

ඉතින් හොඳ නුවණින් මේ සමාජය දෙස හැරී බලන්න. දුස්සීලයෝ වාසනාව වනසාගෙන ඉන්න හැටි ඔබට පෙනේවි. අසත්පුරුෂයෝත් වාසනාව වනසා ගත් අය නේද කියලා ඔබට පෙනේවි. සත්පුරුෂ ඇසුර නසා ගත් අනුවණයෝත් වාසනාව වනසා ගත් අය නේද කියලා ඔබට පෙනේවි.

ඔබ ඔබේ වාසනාව රැකගන්න. නූපන් වාසනාව ඇති කරගැනීම පිණිසත්, උපන් වාසනාව රැකගැනීම පිණිසත් නිතර නිතර සත්පුරුෂයන්ගේ නිමල බුදුබණ අහන්න, කියවන්න, ඉගෙනගන්න. ඒ තුළින් ඔබේ මෝඩකම් දුරුවෙලා ප්‍රඥාවන්තකම උපදීවි!

ඒ දහම්පදවලට අනුව සීලවන්තකම සත්පුරුෂකම හදාගන්න මහන්සි වෙද්දී, දුස්සීලකම් අසත්පුරුෂකම් දුරුවෙලා යාවි! ඔබේ වාසනාව රැකගන්න ඔබට පුළුවන් වේවි!

මේ ලිපිය කියවීමට වාසනාවන්ත වූ ඔබ හැමට වාසනාවන්ත ජීවිත උපදවා ගන්න වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.