උදෑසනින් නැග එන හිරු නොනවත්වා ගමන් කරනවා වගේ අපේ ජීවිතවලත් නොනවත්වා ගෙවී යන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේත්, මගේත් ආයුෂය. සම්බුදු මුවමඬලින් දුර්ලභ යැයි වදාළ උතුම් මනුස්ස ජීවිතය, බුද්ධ ශාසනය, ක්ෂණ සම්පත්තිය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ආදී මේ සියලු දේත් අහිමි කරගෙනයි අපේ ආයුෂය ගෙවිලා යන්නේ. ඒ නිසා සංසාරේ අපි මෙතෙක් ලැබූ මනුස්ස ජීවිතවලට වැඩිය මේ මනුස්ස ජීවිතය ගොඩක් වටිනවා. එවැනි වටිනා ජීවිතයක් ලැබුණු කෙනෙකුට සතුටින් මැරෙන්නට තියෙනවා නම් කොයිතරම් හොඳ ද?

මත් වීම

මේ ලෝකයේ මේ තාක් නොමැරී සිටිය කෙනෙක් ගැන අහලා නැති නිසාම කොයිතරම් අකැමැත්තෙන් වුණත් කවදා හරි දවසක මැරෙන බව අපි හැමෝටම පිළිගන්න වෙනවා. ඒත් අපි හැමෝගෙම සිත්වල මෙවැනි සිතිවිල්ලක් තියෙනවා. ‘කවදා හරි දවසක මැරෙනවා තමයි, හැබැයි දැන්ම මැරෙන්නේ නෑ.’ වයස අවුරුදු සීයක්, එකසිය දහයක් වුණු සීයාට හිතෙන්නෙත් ‘දැන්ම මැරෙන්නෑ.’ කියලයි. ඔන්න ඔය සිතුවිල්ලෙන් ප්‍රමාද වෙන එකට කියනවා ‘ජීවිත මදය’ කියලා. ඔය ජීවිත මදයෙන් මත් වුණාම සිතින්, කයින්, වචනයෙන් ගොඩක් පව් කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

මොහොතක් කල්පනා කරලා බලන්න මේ ලෝකේ යුද ගැටුම්, කලකෝලාහල, මිනීමැරුම්, හොරකම්, එකට එක කිරීම් ආදී මේ හැම පාපී ක්‍රියාවක්ම කරමින් තම තමන්ගේ අවශ්‍යතාවයන්, ආශාවල් ඉෂ්ට කර ගැනීමට හිතෙන්නේ ඊළඟ මොහොතේ මැරෙයි කියලා හිතන්නේ නැති නිසා නේද? ජීවිත මදයෙන් මත් වෙලා පටු උනාම නිතර පව් කරන්නට එයා පෙළඹෙනවා. ඔහු පින් කරන්නට, ධර්මයේ හැසිරෙන්නට කාලය යොදන්නේ නෑ. නොමැරෙන කෙනෙක් විදියට ජීවත් වෙලා අවසානයේ පසුතැවෙන්නට, බයවෙන්නට හේතු වෙන පව් ගොඩක්ම රැස්කර ගන්නවා. එහෙම කෙනෙක් කෙසේ නම් සතුටින් මැරෙන්න ද?

පවෙන් මිදෙන්නට උපක්‍රමයක්

භාග්‍යවතුන් වහන්සේ වදාළා දුසිරිතයට තමාව යොදවන ජීවිත මදය දුරුකර ගන්න මේ විදිහට හිතන්න කියලා.

“මරණධම්මොම්හි මරණං අනතීතෝ’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වා.”

“මරණයට පත්වන ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණය නොඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේය.” කියලා.

(ඨාන සූත්‍රය, අං. නි. 3)

ඔන්න ඔය විදිහට නිතර හිතනකොට ජීවිත මදය දුරු වෙනවා, එහෙමත් නැතිනම් තුනී වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉහළට ගත්ත හුස්ම රැල්ල පහළට හෙළන තරම් කාලයක්වත් අපිට ජීවත් වෙන්ට පුළුවන් කියලා කියන්නට පුළුවන් කාට ද? මේ ජීවිතය එතරම් ම අස්ථිර වූ දෙයක්. ඒ අස්ථිර බව නිතර හිතන, මරණ සතිය වඩන කෙනාට පින කුසලය කල් දාන්ට හිතෙන්නේ නෑ. පාපී දේවල් කරන්නට හිතෙන්නෙත් නෑ. ‘මැරෙන්ට කලින් මං මට පිළිසරණක් හදාගන්නට ඕන.’ කියල අප්‍රමාදී වෙනවා. අන්න එයාට නම් සතුටින් මැරෙන්නට පුළුවන්.

මරණ භය නසන ක්‍රමයක්

මරණය කියන වචනය පවා සත්වයාගේ සිත සලිත කරවනවා. තැති ගන්වනවා. ලොමුඩැහැ ගන්වනවා. බිය උපදවනවා. ඒත් මරණයට කොයිතරම් අකමැති වුණත් එයින් පැනලා යන්ට කාටවත් බෑ. මේ අති දීර්ඝ සංසාරේ අපි කොයිතරම් වාර ගණනක් මරණයට මුහුණ දීලා තියෙනවා ද?

ඒත් අපි මරණය මුණගැසෙන වාරයක් පාසා තැති අරගෙන කම්පා වෙනවා. හරියට විෂඝෝර සර්පයෙක් දුටු කෙනෙක් වගේ කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. දඬුමුගුරක්වත් ළඟ නැති කෙනෙක් විෂඝෝර සර්පයෙක් දැක්කොත් ඔහු භය බිරාන්ත වෙනවා. කෑ ගසනවා. අන්න ඒ වගේමයි මරණසතිය නොවැඩූ කෙනා මරණය ඉදිරියේ හැසිරෙන්නේ.

නමුත් හොඳට මරණසතිය වැඩුවහොත් ඈත දී ම භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට වීසි කරනවා වගේ කිසි බියක්, තැතිගැනීමක් නැතිව සතුටින් මරණයට මුහුණ දෙනවා. ඇත්තටම සම්බුදු වදන් කොයිතරම් ආශ්චර්යවත් ද? මරණයට ඇති බිය, මැරෙන බව සිහි කිරීමෙන් ම දුරු වෙනවා.

ප්‍රඥාව වැඩෙන මාවතක්

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කරනකොට ප්‍රඥාව වැඩෙනවා කියලා. අදට වුණත් කෙනෙක් ටික ටික හරි යම් දහම් කරුණක් ආයේ ආයේ හිතනවා නම්, කල්පනා කරනවා නම් ප්‍රඥාව වැඩෙනවා ම යි. ඔය විදිහට අත්නොහැර මරණය ගැන මෙනෙහි කරමින් මරණ සතිය වඩපු දහසය හැවිරිදි දුවක් හිටියා. ඈ සිටියේ අලව්නුවර. දවසක් භාග්‍යවතුන් වහන්සේ අලව්නුවරට වැඩම කළා. එදා භාග්‍යවතුන් වහන්සේ දානෙ වළඳලා අනුමෝදනා බණ හැටියට වදාළේ මරණසතිය වැඩීම ගැනයි.

“පින්වත්නි, ඔබ මෙසේ සිහි කළ යුතුයි. ‘අනිවාර්යයෙන් ම මම මරණයට පත් වෙනවා. මාගේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා. මේ ජීවිතය අනියතයි. මරණය නියතයි.’ කියලා.” අවුරුදු දහසයේ පේෂකාර දියණිය මේ බණ පදය හිතට ගත්තා. ‘අද ඉඳලා මමත් මරණ සතිය වඩනවා.’ කියලා හිතුවා. බණ අහපු අනිත් පිරිස සාමාන්‍ය විදිහට වැඩ කටයුතුවල යෙදෙමින් වාසය කළා. නමුත් අර දියණිය දිනපතා දිවා රාත්‍රී නිතර නිතර මරණය මෙනෙහි කළා. ඔය විදිහට අවුරුදු තුනක් ගෙවී ගියා. දවසක් භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය දිහා බලනකොට මරණසතිය වැඩීම නිසා අර දියණිය තුළ ප්‍රඥාව වැඩිලා තියෙනවා දැක්කා. ඇයට පිහිට වීමේ අදහසින් භාග්‍යවතුන් වහන්සේ නැවතත් අලව්නුවරට වැඩම කළා. එදා භාග්‍යවතුන් වහන්සේ දානය වළඳලා ධර්මය දේශනා කරන්ට සූදානම් වුණා. ඒත් අර දියණිය පේන්ට හිටියේ නෑ. ඈ වෙනුවෙන් ම වැඩිය භාග්‍යවතුන් වහන්සේ ඇය එනතුරු නිහඬව වැඩසිටියා. ඒ වෙද්දේ රෙදි වියන්ට නූල් අරගෙන පේෂකාර ශාලාවට යමින් සිටිය ඇය බණ ඇසීමේ ආශාවෙන් ඇවිත් පිරිස කෙළවරේ වාඩි වුණා. අන්න ඒ මොහොතේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කුරවීක නදින් යුතු බ්‍රහ්ම ස්වර ඇති සම්බුදු මුව මඬල විවර කරමින් මෙසේ වදාළා.

“පින්වත් දුවේ, කොහේ ඉඳලා ද එන්නේ?”

“ස්වාමීනී, ඒ ගැන මං දන්නේ නෑ.”

“කොහේද යන්නේ?”

“ස්වාමීනි ඒ ගැනත් මම දන්නේ නෑ.”

“දන්නෙම නැද්ද?”

“ස්වාමීනි දන්නවා.”

“දන්නව නේද?”

“ස්වාමීනි දන්නේ නෑ.”

භාග්‍යවතුන් වහන්සේ ඇසූ මේ ප්‍රශ්න හතරට ඇය දුන්න උත්තර අහලා පැමිණ සිටි පිරිසට තරහා ගියා.

මොකද ඒ පිළිතුරු තේරුම් ගන්න ඔවුන් තුළ ප්‍රඥාව වැඩිල තිබුණෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිතුරුවල අර්ථය ඇගෙන් ම විමසුවා.

“දුවේ, කොහේ ඉඳලද ආවේ කියලා ඇහුවාම දන්නේ නෑ කිව්වේ ඇයි?”

“ස්වාමීනි මං ගෙදර ඉඳලා ආවේ කියන්ට භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඇහුවේ කොයි ලෝකෙන් චුත වෙලා ද මේ ලෝකයේ ඉපදුණේ කියලයි. ඒ ගැන නොදන්නා නිසයි දන්නෙ නෑ කිව්වේ.”

“කොහෙද යන්නේ කියලා ඇහුවම ඇයි දන්නෙ නෑ කිව්වේ?”

“ස්වාමීනී, මම නූල් අරගෙන පේෂකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. ඒත් මෙලොවින් චුතවෙලා ආයෙ උපදින්නේ කොහෙද කියලයි ඇහුවේ. ඒ ගැන මං දන්නේ නැති නිසයි දන්නෙ නෑ කිව්වේ.”

“පින්වත් දුවේ, දන්නෙ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මැරෙන්ට සිදුවෙන බව දන්නෙ නැද්ද කියලයි භාග්‍යවතුන් වහන්සේ මගෙන් ඇහුවේ. මම මරණසතිය වඩමින් ඉන්නේ. ඒකාන්තයෙන් ම මැරෙන බව දන්නවා. ඒ නිසයි ස්වාමීනි මං දන්නවා කිව්වේ.”

“දන්නවා නේද කියලා ඇහුවාම දන්නේ නෑ කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මං මැරෙන බව දන්නවා. කොයි වෙලාවේ කොතනක දී මැරෙයි ද කියලා දන්නේ නෑ. ඒ නිසයි ස්වාමීනි දන්නේ නැහැ කිව්වේ.”

මේ ප්‍රශ්න හතරට ඇය පිළිතුරු දුන් වාරයක් පාසා භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දෙමින් එය අනුමෝදන් වුණා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේ ධර්මය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ දියණිය සෝවාන් ඵලයට පත් වුණා. සදහටම සතර අපායෙන් නිදහස් වුණා. මරණය මුණගැසීම සත් වතාවකට සීමා වුණා. මේ සියලු යහපත ඇයට උදාවුණේ අත්නොහැර මරණසතිය වැඩූ නිසයි. වසර තුනක් ගෙවන විට ඈ තුළ ප්‍රඥාව වැඩුනේ තමාවත් නොදැනමයි. සැබැවින්ම සම්බුදු වදන් කොයිතරම් ආශ්චර්යවත් ද!

මේ උතුම් ධර්මය, මරණය සිහිකරන ශ්‍රාවකයා ව මරණයෙන් ම නිදහස් කරවනවා. ඒ නිසා ඔබටත් අපටත් මේ සා අනුසස් ඇති මරණසතිය පුරුදු කරගන්ට වාසනාව උදාවේවා!

– ඇසුර –
ඨාන සූත්‍රය (අං. නි. 3)
සිතට සුව දෙන භාවනා
විස්තරාර්ථ ධම්මපදය

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.