පින්වත් යොවුන් දූ දරුවනේ,

‘අපිවත් රැකෙමු’ කියලා නම් ඔයාල අහලා තියෙන්න ඇති. නමුත් ‘අපිවත් රකිමු’ කියන එක ටිකක් නුපුරුදු ඇති. නමුත් අද මේ ලිපිය කියවන ඔයාලට හිතේවි ‘ඔව්! කවුරුවත් රකින්නේ නැතිනම්, අපිවත් රකිමු’ කියලා. ඉතිං ආරම්භයේ ලොකු විස්තරයක් නැතිවම අපි මේ ලිපිගත ආරම්භ කරමු. කවුරු රැක්කේ නැතත්, අපිවත් රකින හැටි තමයි අද ලිපියෙන් ඔයාල වෙනුවෙන් සෙනෙහසින් දිගහැරෙන්නේ. වෙනදා වගේම ආරාධනා කරනවා අවසානය තෙක්ම මේ ලිපියේ රැඳෙන්න කියලා.

නුඹ මාව රැකපං… මම නුඹව රකින්නං…

අතීතේ තිබුණා සුම්භ කියලා ජනපදයක්. එහි සේදක නමින් නියම්ගමක් තිබුණා. ඔය සේදක නියම්ගමේ චණ්ඩාල වංශිකයෝ දෙන්නෙක් ජීවත් වුණා. එක්කෙනෙක් ගුරුවරයා. අනිත් කෙනා ගෝලයා. ගෝලයාගේ නම මේදකථාලික. මේ දෙන්නා උණගසක් ඔසවා ඒ මත සිට ශිල්ප දක්වලා ධනය උපයනවා. මේ උණගසට කිව්වේ සැඩොල් උණගස කියලා.

දවසක් ගුරුවරයා සැඩොල් උණගස ඔසොවලා ඒ මතට නැගලා ශරීරේ සමබර කරගෙන ගෝලයාට මෙහෙම කිව්වා. “පුතේ මේදකථාලික, දැන් උණගසට නැගී මාගේ ශරීරේ මත සිටගන්න.”

ඉතිං මේදකථාලික ගුරුතුමා කිව්ව විදිහට උණගසට නැගලා සමබරව සිටගත්තා. එතකොට ගුරුතුමා කිව්වා “පුතේ මේදකථාලික, උඹ මාව රැකපං… මම උඹව රකින්නං… එතකොට අපිට එකිනෙකා රැකගෙන, එකිනෙකා ආරක්ෂා කරගෙන ශිල්පත් දක්වලා ලාභත් ලබලා සුවසේ සැඩොල් උණගසින් බහින්ට පුළුවන් වෙයි.”

ඔබ ඔබව රැකගන්න… මං මාව රැකගන්නම්…

එතකොට මේදකථාලික වෙනස්ම අදහසක් කිව්වා. “නෑ… ආචාරීනී, එසේ නොවේ. ඔබ තමාව රකිනු මැනැව. මම මාව රකින්නම්. එතකොට අපිට තමාව රකිමින් තමාව ආරක්ෂා කරගෙන ශිල්පත් දක්වලා, ලාභත් ලබලා, සුවසේ සැඩොල් උණගසින් බහින්ට පුළුවන් වෙයි.

සෝ තත්ථ ඤායෝති භගවා අවෝච: යථා මේදකථාලිකා අන්තේවාසී ආචරියං අවෝච.

මේදකථාලක නම් ගෝලයා ආචාරීන්ට යම් සේ පැවසුවේ ද එය එහි ඇති න්‍යාය යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ජීවිතේ සුවසේ ගත කිරීමට ඇති න්‍යාය (ක්‍රමය) මේකමයි. ඒත් අපි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ බාහිර හදන්නම විතරයි. වෙනත් කෙනෙක් හෝ පිරිසක් හදන්නම විතරයි. වෙනත් දෙයකට දොස් පවරන්නම විතරයි.

නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ව රැකගන්න කැමති කෙනාත්, අනුන්ව රකින්න කැමති කෙනාත් කළ යුත්තේ එක දෙයයි. ඒ තමයි තමන් සතිපට්ඨානයේ යෙදීම. තමන් ධර්මයේ හැසිරීම. ඉතිං ඔබවත් මෙයමයි හරිම න්‍යාය කියන දේ හිතට කාවද්දගන්න. මොකද අපි අපිව රැකගත්තොත් අනුන්වත් රැක්කා වෙනවා. අපිත් රැකුණ වෙනවා.

අපිවත් රකිමු මේ කරුණු හතර…

බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් ඉවසීම (ඛන්ත්‍යා), හිංසා නොකිරීම (අවිහිංසාය), මෙත්සිත (මෙත්ත චිත්තාය), කරුණාව (අනුද්දයතාය) කියන කරුණු හතර රකිනවා නම්, එයා අනිත් අයව රකින කෙනෙක්. ඒ තුළින් තමාත් රැකෙනවා.

නමුත් සාමාන්‍යයෙන් මේ සමාජයේ තියෙන්නේ අනුන්ගේ ඉවසීම බලාපොරොත්තු වීමයි. අනුන්ගෙන් මෛත්‍රිය බලාපොරොත්තු වීමයි. අනුන්ගෙන් හිංසා නොකිරීම බලාපොරොත්තු වීමයි. අනුන්ගෙන් කරුණාවන්තකම බලාපොරොත්තු වීමයි. මේ කරුණු තමන් විසින් ලෝකයට දිය යුතුයි කියලා මේ සමාජයේ මිනිස්සු කල්පනා කරන්නේ නෑ.

ඒ නිසා අපිවත් මේ ගැන හොඳ නුවණින් තේරුම් අරගෙන මේ කරුණු හතර රකිමු.

අපිවත් ඉවසමු.

“ඛන්ත්‍යා භිය්‍යෝ න විජ්ජති” ‘ඉවසීමට වැඩි තරම් වූ කිසිවක් නැත්තේය’ කියලයි ධර්මය තුළ ඉවසීම වර්ණනා කරන්නේ. ඒ වුණත් ගොඩාක් අපිට දකින්න ලැබෙන්නේම ඉවසීමට වඩා නොඉවසීම, කලබලය නේද? ඉවසීමක් නැති පිරිසක් මැද්දේ අපි විතරක් කොහොම නම් ඉවසන්න ද කියලත් ඇතැමුන් හිතනවා.

නමුත් නුවණ තියෙන කෙනෙක් කල්පනා කළ යුත්තේ ‘අනිත් අය ඉවසුවත් නැතත් මම ඉවසනවා’ කියලයි. අපි හිතමු ඉවසීමෙන් තොර කලබල කෙනෙක්, කලබලෙන් ඇවිස්සිලා අපිත් එක්ක යම් විරසක වීමකට, රණ්ඩුවකට සැරසෙනවා කියලා. අපි ඉවසීමෙන් කටයුතු කළොත් ඒ මොහොතට හරි ලොකු ප්‍රශ්නයක් නොවී එතන නිවෙනවා.

එතකොට අපි ඉවසීම රකිමින් අනිත් කෙනාව රැක්කා. රණ්ඩුවකින් දබරයකින් වෙන්න තිබුණු හානි, අර්බුද අපිට වෙන්නෙත් නෑ. අනිත් කෙනෙකුට වෙන්නෙත් නෑ. ඔය විදිහට තමන්ව රකිද්දී, අනුන්වත් රැකෙනවා. ඒ නිසා අනිත් අය ඉවසීම රකින්නේ නැතිනම් අපිවත් රකිමු.

අපිවත් හිංසා නොකර ඉමු.

ගොඩාක් දෙනෙක් කැමති තමාව රිද්දපු කෙනාට රිද්දලා සතුටු වෙන්න. පාරපු කෙනාව පාරවලා සතුටු වෙන්න. එකටෙක කිරීම, වෛර කිරීම, පළිගැනීම වගේ දේවල්වලින් තමයි බහුතරයක් ප්‍රශ්න විසඳගන්න හිතන්නේ.

නමුත් අපගේ සම්බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දී වදාළ මේ ගාථා බලන්න.

අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති

“අසවල් කෙනා මට බැණ්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා.” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.

අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති

“අසවල් කෙනා මට බැණ්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා.” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.

(ධම්මපදය – යමක වර්ගය)

ඒ නිසා සංසිඳීමකින් ජීවිතේ ගත කරන්න කැමති නුවණැත්තෙක් තෝරාගත යුත්තේ තරහා, අමනාපය, එකටෙක කිරීම, හිංසා කිරීම ආදිය නොවේ. සමාව දීමත්, හිංසා නොකිරීමත් කොයිතරම් සුන්දරයි ද. අපිට පුළුවන් නම් සමාව දීමකින්, හිංසා නොකිරීමකින් ප්‍රශ්නයක් සංසිඳෙන තැනට ගේන්න අපිත් රැකිලා. අන් අයත් රැකිලා.

ඉතින් ඒ නිසා ‘අනිත් අය හිංසා කළත් නැතත්, මම නම් හිංසා කරන්නේ නෑ’ කියලා අපිවත් හිංසා නොකර ඉමු.

අපිවත් මෛත්‍රියෙන් ඉමු.

ඒකම්පි චේ පාණමදුට්ඨචිත්තෝ – මෙත්තායති කුසලෝ තේන හෝති,
සබ්බේ ච පාණේ මනසානුකම්පං – පහූතමරියෝ පකරෝති පුඤ්ඤං

“එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහිම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම?”

(ඛුද්දක නිකාය – මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රය)

තරහා නිසා කොයිතරම් නම් ජීවිතවල වෙහෙස උපදිනවා ද? නමුත් බහුතරයක් වැළඳගන්නෙත් තරහා අමනාපයමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුන්දර අර්ථය යම් හිතක තැන්පත් කරගත්තොත් ඒ නුවණින් පුළුවන් තරහා ගන්න මිනිස්සු මැදත් තරහා නොගෙන මෙත් සිතින් ඉන්න. තරහා ඇවිස්සෙන සිදුවීමක් වෙන තැනක අපිට තරහා නොගෙන මෙත් සිතින් ඉන්න පුළුවන් වුණොත් ඒ තුළින් අපිත් රැකෙනවා. අන් අයත් රැකෙනවා. ඉතින් ඒ නිසා ‘අනිත් අය මෛත්‍රියෙන් හිටියත් නැතත් මම නම් මෛත්‍රියෙන් ඉන්නවා’ කියලා අපිවත් මෛත්‍රියෙන් ඉමු.

අපිවත් කරුණාවන්ත වෙමු.

කරුණාව කියන වචනේ පවා මොන තරම් සුන්දරයි ද. ගෙවෙන ජීවිතේ අපේ සිත් ඇතුළේ කරුණාවන්තකම දයාව පුරවාගෙන ගත කරන්න පුළුවන් නම් ඒක මොනතරම් පහසුවක් ද. බුදුරජාණන් වහන්සේ හිංසාවෙන් නික්මීම, හිංසාවෙන් වෙන් වීම ලෙස පෙන්වා වදාළේ කරුණා සමාධිය යි. ඒ නිසා උන්වහන්සේ කරුණාවන්තකම ගොඩාක් අගය කළා.

“පින්වත් මහණෙනි, ඔබ පවා අහිංසාවේම ඇලී සිටින්න. අහිංසාවේම රැඳී සිටින්න. පින්වත් මහණෙනි, ඒ විදිහට අහිංසාවේ ඇලී සිටිනකොට, අහිංසාවේ රැඳී සිටිනකොට ඔබ තුළත් මේ විතර්කය බහුලව පවතීවි. ‘තැති ගන්නා අය වේවා, තැති නොගන්නා අය වේවා කිසිම කෙනෙක්ව අප ගත කරන මේ ඉරියව්වලින් නොපෙළන්නෙමි’ කියලා.”

(ඛුද්දක නිකාය – විතක්ක සූත්‍රය)

ඉතිං අපිවත් රකිමු.

අකාරුණිකකම්වලින් අන් අයව පෙළුවොත් අපිටත් වෙන්නේ යම් දවසක හිත පෙළන වෙහෙසකර දේකට මුහුණ දෙන්නමයි. ඒ නිසා ‘අනිත් අය කරුණාවන්ත වුණත් නැතත් මම නම් කරුණාවන්ත වෙනවා’ කියලා අපිවත් කරුණාවන්ත වෙමු.

අපි වෛර කළොත් අපිටත් වෛරක්කාරයෙක්ම නිර්මාණය වෙනවා. අපි තරහා ගත්තොත් අපිටත් තරහකාරයෙක්ම නිර්මාණය වෙනවා. අපි අකාරුණික වුණොත් අපි ගැනත් අකාරුණිකව කටයුතු කරන පුද්ගලයෙක්ම නිර්මාණය වෙනවා. ඒ නිසා ගත කරන ජීවිතේ සුවසේ ගත කිරීමට නම්, අපි තමයි හැදෙන්න ඕන.

ඒ නිසා අඩු ගානේ ඉවසීම, අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව කියන මේ ගුණදම් සතර අපිවත් රකිමු. එවිට අන් අයත් රැකේවි! අපිත් රැකේවි!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.