මොනතරම් සැලසුම් කරලා දවසේ වැඩකටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න හැදුවත් අප බොහෝ දෙනෙකුට ඒ ඒ දවසේ යම් යම් වැඩකොටසක් අත්හැර දමන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි කාලය මදි වීම.
අත්හැරෙන දේවල්…
කනබොන එක, නාලා කියලා පිරිසිදු වෙන එක, රැකීරක්ෂා කටයුතු ආදිය නම් කොහොම නමුත් කර ගන්න ම සිද්ධ වෙනවා. නින්දත් ටිකක් නමුත් වුවමනා වෙනවා. ඒ කටයුතුවලට දවසේ අනිවාර්ය කාලයක් වෙන් කර ගත්තට පස්සේ, කාලය මදිකම නිසා අප අත්හැර දමන වැඩ කොටසට අයිති වෙන්නේ මෙන්න මේ වගේ දේවල්.
ගෙවල්දොරවල් දිනපතා අස්පස් කරන එක, අතුපතු ගාන එක… පවුලේ උදවිය එක්ක එකට සුහද කථාබහක යෙදෙන එක… අසනීප වුණ උදවිය ව, මාපිය වැඩිහිටියන් ව බලන්න – සුවදුක් විමසන්න යන එක… මලක් පහනක් පූජා කරලා බුද්ධ වන්දනාවන් සිදු කරලා පිරිත් ටිකක් සජ්ඣායනා කරන එක… කොහොම බැලුවත් අපි කොයිකවුරුත් කරන්නේ කාලයත් එක්ක පොරබැදීමක්…
කාලය මදි නැති තැන්…
කාර්යබහුල ජීවන රටාවන් දිහා බලද්දි මිනිස්සුන්ට කාලයේ මදිකමක් දැනෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. හැබැයි, එවැනි කාර්යබහුලතා අතරේ වුණත් ඔය කොයිකාගෙත් කාලය කොහොමහරි වැය කෙරෙන සමහර කරුණු කාරණා ගැන නම් පුදුම නොවීත් බැහැ. මොනතරම් කාර්යබහුල වුණත් අපට අන් අය ගැන, අන් දේවල් ගැන සිතන්න, විමස විමසා බලන්න කාලයේ මදිපාඩුවක් නැහැ. ඉතින් පුදුම නැද්ද?
මොනතරම් කාලය හිඟපාඩු වුණත් අද බොහෝ දෙනෙකුට ෆේස්බුක් ගිණුම සමඟ යාවත්කාලීන වෙන්න, යූ ටියුබ් චැනලවල නිත්‍ය සාමාජිකයන් ව ඒ වෙනුවෙන් දවස ගානේ වෙන් කරන්න කාලය තියෙනවා. අනෙක් සමාජ මාධ්‍ය භාවිතයත් එහෙමයි. ඒ දේවල් වෙනුවෙන් කොහොම නමුත් කාලය වෙන් කරගන්න තියෙන හැකියාව ගැන පුදුම නැද්ද…! ඒ වෙන් වෙන්නෙත් “මදි, මදි” කියන කාලයමනේ…
කාලය හා පොරබැදීම
බොහෝ අයට පින්දහම් කරන්න, බණක් භාවනාවක් කරන්න, සංඝයා කරා එළඹෙන්න, පුණ්‍යභූමියකට පැමිණ වන්දනාමාන කරන්න වුවමනා කරන්නේ නිවීසැනසිල්ලේ ඉන්න පුළුවන් කාලයක්. හැබැයි, ඒ උදවිය ම නිවීසැනසිල්ලේ හිඳීමක් ගැන කිසිම උනන්දුවක් නැතිව රාගයෙන් ඇලෙනවා, ද්වේෂයෙන් ගැටෙනවා, මෝහයෙන් මුළා වෙනවා, සිතින් කයෙන් වචනයෙන් නොයෙක් අපිරිසිදු දේවල් කරනවා. ඒ දේවල් වෙනුවෙන් කිසිම මහන්සියක් නොවී, කිසිම පෙරසූදානමක් නැතිව ඇසිල්ලකින් කාලය වෙන් වෙනවා. යම් දෙයකට කාලය වෙන් කරගැනීම කියන දේ තීරණය වෙන්නේ අපි ඒ දෙයට දෙන ප්‍රමුඛතාවය අනුවයි. ඒ ප්‍රමුඛතාවය අප එයට ලබා දෙන වටිනාකම මත පමණක් තීරණය වන්නේ නැහැ. ඒ කෙරෙහි අප තබන බර, අපේ වුවමනා එපාකම් මතත්, අප ඇසුරු කරන පිරිසේ අවශ්‍යතා මතත්, සමාජ බලපෑම් මතත්, පාරිසරික සාධක මතත් වෙනස් වනවා. ඔය විදිහට අප නිසාත්, අන් අය නිසාත්, අව්වැසි ආදිය නිසාත් දවස ගානේ අපේ කාලරාමුවේ බෙදී යාම විෂමරූපී වනවා සහ දවස ගානේ ම අපට යම් වැඩ කොටසක් නිසැකව ම මගහැරෙනවා. කාලය මදි වෙලා හරි, කාලයත් එක්ක පොරබැදීමෙන් ඇති වුණු කායමානසික වෙහෙස නිසා හරි ඒ විදිහට අප දවසින් අත්හැර දමන වැඩ කොටසේ බොහෝවිට අන්තර්ගත වෙන්නේ කායචිත්ත විවේකය පිණිස උපකාරක වන කාරණා ම තමයි…
පිනටත් කාලයක්…!
මේ ලිපිය කියවන ඔබට ඔබේ කාර්යබහුල ජීවන රටාවේ අවිවේකී ස්වභාවයන් නිසා ම මෙහෙම හිතෙන්නත් පුළුවන්… ‘ඔය කිව්වට අපිනෙ දන්නේ දවසේ කටයුතු සැලසුම් කරගන්න කොච්චර අපහසු ද කියලා…’ ඔබත් සමඟ අප එකඟයි. කාලය ගත වෙන්නේ බොහොම වේගයෙන්. අපට වෙහෙසයි, අප සිටින්නේ පීඩාවෙන් කියලා කාලය මොහොතක්වත් නැවතී සිටින්නේ නැහැ. පෙරදිගින් හිරු උදා වෙලා නොනැවතී ම අවරට යන ආකාරයෙන් ම කාලය නොනැවතී ම ගෙවී යනවා. ඒ ගෙවී යන්නේ අපේ ජීවිත කාලය කියලත් මතකයේ තබා ගනිමු…
කාමභෝගී ගිහි ජීවිතේ – අර්බුදකාරී සමාජ ආර්ථික වටපිටාවක අතිශයින් කාර්යබහුල වී සිටිද්දී ඊට අදාළ ව දවසේ කටයුතුවත් නිම කරගන්න හැකියාවක් නැති කොට කාය චිත්ත විවේකය උපදවන, නිවීම සන්සිඳවීම ඇති කරවන පින්දහම් වෙනුවෙන් වෙන් කරන්න කාලය කොහෙන් හොයන්න ද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි, අප එයට නම් එකඟ වන්නේ නැහැ. දවසේ වැඩපළ අත්හැරලා හරි පින්දහම් කරන්න කාලය හොයාගන්න බැරිකමක් නැහැ කියලා නෙමෙයි අප මේ කියන්නේ; ඔය වැඩපළ අතරේ ම පින්දහම් කරන්න බැරිකමක් නැහැ කියලයි…!
මේ සසර ගමන පුණ්‍ය විපාකයෙන් බොහෝ සෙයින් ශක්තිමත් වූවක්වත්, සම්මා ප්‍රතිපදාවකින් තොරව නුවණ වැඩෙන්නක්වත් නෙමෙයි. එය අබල දුබල ගමනක්. පුණ්‍ය බලයෙන්, ඤාණ බලයෙන් අප ශක්තිවන්තයන් වූවා නම් අද අප මෙතැන නැහැ. කාලයේ මානය බාධාවක් ලෙස නොගෙන, ගෙවී යන කාලය ධර්මයෙන් රැකවල් ලබන්නක් කරගන්නා ආකාරය ගැනයි අප සිතිය යුත්තේ.
කෙලෙස්වලට යට වෙන හැටි…
කෙලෙස් සහිත ව කල්පනාවට වැටෙන පුද්ගලයන් ව ඒ කෙලෙස්වලින් යටපත් කරන ආකාරය, සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ – මහා කච්චාන රහත් මුනිඳුන්ගේ උතුම් භාෂිතයක මෙසේ කියැවෙනවා.
“ප්‍රිය ආයුෂ්මතුනි, ඇසත් රූපත් හේතු කොටගෙනයි චක්ඛු විඤ්ඤාණය උපදින්නේ. ඒ තුනේ එකතු වීම තමයි ස්පර්ශය. ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම් ඇතිවෙන්නෙ. විඳින්නෙ යමක්ද, ඒක තමයි හඳුනගන්නෙ. හඳුනගන්නේ යමක්ද, ඒ ගැන තමයි විතර්ක කරන්නෙ. විතර්ක කරන්නේ යමක් ද, ඒ ගැන තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නෙ. කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ යමක්ද, එය මුල් කරගෙනයි අතීත, අනාගත, වර්තමානයට අයත් ඇසින් දකින රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා, විපරීත වූ සඤ්ඤා ආදිය පුරුෂයාව යටකර දමන්නේ.”
(මධුපිණ්ඩික සූත්‍රය, ම. නි. 01)
අනෙක් ආයතනයන්ටත් අදාළ සකස් වීම සිදුවන්නේ මේ ආකාරයෙන් ම යි. ඒ ආයතන ඔස්සේත් විඳින්නේ යමක්ද, අන්න ඒක තමයි හඳුනගන්නේ. හඳුනගන්න දේ ගැන (විතර්ක) කල්පනා කරන්න පටන් ගන්නවා. චේතනාවකින් තමයි මේක කරන්නෙ. හදුනාගන්න දේ ගැන චේතනාවකින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ චේතනාවකින් විතර්ක කරන්න පටන් ගන්න කොට ඒ විතර්කය කිරීම තමයි ප්‍රපඤ්චය වෙන්නේ. (යං විතක්කේති තං පපඤ්චේති) යමක් විතර්ක කරනවාද, අන්න ඒක තමයි ප්‍රපඤ්ච වෙන්නේ. මේ ආකාරයෙන් අවිද්‍යා සහගතව සිද්ධ වෙන වැඩපිළිවෙලක් තුළ අවබෝධයකින් තොරව කල්පනා කර කර සිටීම නිසා, ඒක මුල් කරගෙන, ඒ කල්පනා කර කර සිටිය දේවල්, ඒ හඳුනගන්න දේවල් සම්පූර්ණයෙන්ම හිතේ වැඩ කරන්න පටන් ගන්නවා, හිත ඇතුළේ (සමුදාචරන්ති) හොල්මන් කරනවා. ඒ හේතුවෙන් රාගය හටගන්නවා. නැතිනම් ද්වේෂය හටගන්නවා. නැතිනම් මතවාද (දිට්ඨි) හටගන්නවා. ඔය ආකාරයට අනුසය සියල්ලම හටගන්නවා. මේ අවිද්‍යා සහගත වැඩපිළිවෙල හේතුවෙන් අප කෙලෙස්වලට යට වී ගිය සිත් ඇතිව යි වාසය කරන්නේ.
රැකෙන්නට එක ම මඟ…
ඉතින් සිතින් අප තනියම පවා හිනා වෙනවා. තනියම කෝප වෙනවා. බණිනවා. කැමති කෙනෙක් ව කසාද බඳිනවා. කැමති කෑමක් කනවා. කැමති විදිහට අඳිනවා. දරුමල්ලො, ගෙවල් දොරවල් හදනවා. යාන වාහනවල යනවා එනවා. හටගෙන, නැති වී ගිය සිතිවිලි අරබයා අපි මොනතරම් දේවල් කරනවා ද…! මේක නතර කරන්න ඕනි නේද…? මේක නතර කරන්නේ කොහොමද…?
එයට පැහැදිලි උත්තරයත් ධර්මයේ තියෙනවා. ඒ තමයි, ඒකායන නිවන් මඟ වුණ සතර සතිපට්ඨානය. ඒ නිසයි, සතිපට්ඨානයේ සෑම භාවනාවකදීම සම්බුදුරජාණන් වහන්සේ ‘කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙස් තවන නුවණින් යුතුව, සිහියෙන් යුතුව සිටින ඒ ශ්රාවකයා හටගැනීමත්, නැතිවීමත් දකිමින් වාසය කරන බව’ පෙන්වා වදාළේ. ඒ දේ පුරුදු කරන්න නිවීසැනසිල්ලේ ඉන්න කාලයක් හොයන්න එපා. ඒ ඒ තැනයි අප එය දැකිය යුත්තේ…
බලාපොරොත්තු ගොඩාක් හිතේ පුරවාගෙන නව ව්‍යවහාරික වර්ෂයකට පියනගලා දැන් මාස කීපයක් ගෙවී ගිහින්. ඉතින්, පරණ මිනිස්සු විදිහට ම ජීවත් වෙන්න එපා. කෙලෙස් හටගන්නා අයුරත්, කෙලෙස් හටනොගන්නා අයුරත් මැනවින් පෙන්වා වදාළ මේ ධර්මවිනයේ ම හැසිරෙන්න. කෙලෙස් අරමුණුවලට යට නොවී හැම මොහොතක ම නිවී සැනසිල්ලේ ජීවත් වන්න. ඔබට එය කළ හැකියි. මේ ධර්මය සන්දිට්ඨිකයි…!
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments