පින්වත් යොවුන් දූ දරුවනේ,

වත්මන් තාක්ෂණික දියුණුව නිසා ලෝකයේ තොරතුරු අපිට හරි ඉක්මනින් දැනගන්න ලැබෙනවා. ඔබ දන්නවා, මේ කාල වකවානුව ලෝකයේ යම් යුදමය වාතාවරණයක් සහිතව ගෙවී යන කාලයක්. යුද්ධයේ රුදුරු පුවත් ඔබටත් අසන්ටත්, දකින්ටත් ලැබෙන්න ඇති.

අපි වගේම මිනිසුන් කොටසක් මේ මොහොතේ පවා යුද්ධයක වෙහෙසකර බවින් පීඩිතව සිටිද්දී තමයි මෙබඳු දහම් ඇසුරක් ලබන්න අපි වාසනාවන්ත වෙලා තියෙන්නේ. ඔබට සිතෙන්නේ නැද්ද ‘අපි දැන් ලබා තිබෙන මේ වාසනාව හදිසියේම නැති වෙන්නත් පුළුවන්’ කියලා?

එහෙම නොහිතුණත් ඇතැම් විට ඔබට හිතිලා ඇති ‘ඇයි මේ කාලෙ මේ තරම් ලෝකයේ ප්‍රශ්න..? මේවා ඉවරයක් වෙන්නේ කවද්ද..?’ කියලා. ඒත් අපි නොසිතන තරම් ගෙවී ගිය සහ උරුම වන ඉරණමක කථාවක් මේ ජීවිතේ තිබෙනවා.

අද මේ ලිපියෙන් මතු කරලා පෙන්වන්න උත්සහ කරන්නේ අන්න ඒ ඉරණමේ කථාව. මෙය හොඳ බුද්ධිමත් විවෘත මනසකින් ඔබ කියවද්දී යම් පුළුල් දැක්මකින් ලෝකය දෙස බැලීමට හැකියාවක් ඔබට ලැබේවි! ඉතිං වෙනදා වගේම කරුණාවෙන් සෙත් පතනවා ඔබට, මේ ලිපිගතේ අවසානය තෙක් කියවා ‘ගෙවී ගිය ඉරණමේ කථාවෙන්, උරුම වන ඉරණම ගැන නුවණින් තේරුම් ගන්න ඔබට වාසනාව ලැබේවා!’ මොහොතක් යමු අතීතයට…!

ඔව්! අපි මොහොතක් හිතමු වර්ෂ 1901 – 2000 අතර කාලය වන 20 වන ශතවර්ෂය ගැන. ඒ ශතවර්ෂය ආරම්භයේ 1901 වර්ෂයේ උපන් කෙනෙක් ටිකෙන් ටික වැඩෙද්දී එයාගේ ජීවිතේට මොන වගේ දේවලට මුහුණ දෙන්න ලැබෙන්න ඇතිද?

ඔහු ඉපදී යාන්තමට අවුරුදු 13 වෙනකොටම ලෝකයේ හටගත්තා පළමු ලෝක යුද්ධය. 1914 සිට 1918 අතර කාලය පළමු ලෝක යුද සමය. පළමු ලෝක යුද්ධයෙන් මිලියන 22කට වැඩි මිනිස් ජීවිත බිලිගත්තා. ඒ යුදමය පසුබිමට මැදි වෙලා හෝ ඒ ගැන අසමින්, දකිමින් හෝ, යුද්ධයේ අතුරු විපාක ලෙස පැමිණෙන නොයෙක් අපහසුතාවලින් හෝ අවුරුදු 13ක් තරම් කුඩා වයසේදීම ඔහුට පීඩා විඳින්න සිදුවුණා.

නව යොවුන් වියේ…

ඒ යුද්ධය අවසන් වෙලා උණුසුම යන්නත් පෙර ඉතා දරුණු වසංගතයක් ඇති වුණා. වර්ෂ 1918 සිට 1920 අතර කාලේ ප්‍රංශ ලෝක වසංගතය (spanish flu) ඇති වුණා. ඒ වසංගතයෙන් මිනිස් ජීවිත මිලියන 50කට වඩා බිලිගෙන තිබෙනවා.

ඒ කියන්නේ ඔහු යුද්ධයක අත්දැකීම් වලින් ගැලවෙන්නත් පෙරම අවුරුදු 17 ක තරම් නව යොවුන් වියේදී අති භයංකාර වසංගතයකින් පීඩාවට පත් වෙන්නට ඔහුට සිදුවුණා.

සුන්දර තරුණ කාලේ…

ලෝකයේ ඇති වුණ මහා යුද්ධය, භයංකාර වසංගත තත්ත්වය නිසා ඒ කාලේ කොතරම් පසුබෑමක් ඇති වුණාද කියන්නේ වර්ෂ 1929 වෙද්දී ලෝකයේ දරුණු ආර්ථික පසුබෑමක් හටගත්තා. විරැකියාව බහුල වුණා. ජනයා මහත් සේ අසරණ වුණා.

සුන්දර තරුණ කාලය කියා අපි හඳුන්වන අවුරුදු 28ක වයස වෙද්දී දෛනික අවශ්‍යතා යාන්තමින් සපුරාගෙන, අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න ඔහුට සිදුවෙනවා. සුන්දර තරුණ කාලයක් වෙනුවට තරුණ ජීවිතයක විඳිය හැකි සුන්දරත්වයට ළං වෙන්නවත් බැරි අසුන්දර ජීවන රටාවකට මැදිවෙන්න ඔහුට සිදුවුණා.

ආයෙත් මහා යුද්ධයක්…

යාන්තමට ආර්ථික පසුබෑම්වලින් ලෝකය නැඟිටින්න පටන් ගද්දී, තරුණ වයස මහා දුෂ්කරතා මැදම ගෙවී ගිහින් ඔහුගේ වයස අවුරුදු 39 වෙද්දී ආයෙමත් මහා යුද්ධයක්. ඒ දෙවැනි ලෝක යුද්ධය.

වර්ෂ 1939 සිට 1945 අතර කාලය පුරාම පැවති දෙවනි ලෝක යුද්ධයෙන් මිලියන 60කටත් වැඩි මිනිස් ජීවිත ප්‍රමාණයක් වැනසුණා. ජීවිතේ මැදි වයසේදීවත් කෝ සැනසීමක්.

එතනිනුත් අවසන් නෑ. වර්ෂ 1950 සිට 1953 අතර කාලයේ යළි හටගත්තා කොරියන් යුද්ධය. ඔහුගේ වයස අවුරුදු 50ක් වෙද්දිත් යුද බිය ම යි. මොනවායින් මොනවා වේවිද කියන අවිනිශ්චිත භාවය ම යි.

අවසාන කාලේවත් නැද්ද සැනසීමක්…

යළි වර්ෂ 1964 සහ 1975 අතර කාලය පුරා වියට්නාම් යුද්ධය පැවතුණා. යුද්ධ, වසංගත, ආර්ථික අපහසුතා ආදියට මැදි වෙලා කුඩා කල පටන් ගෙවපු ජීවිතේ අවසාන සමයේවත් නැහැනේ සැනසීමක්. ඔහුගේ වයස අවුරුදු හැට හැත්තෑව වෙනකොටත් යුද බියමයි.

අපිට මෙයින් තේරෙනවා ගත වූ 20 වෙනි ශතවර්ෂය මහා කරදර, ඛේදවාචක ගොඩක් මැදයි ගෙවී ගොස් තිබෙන්නේ. ඇත්තෙන්ම අපගේ සම්බුදුරජාණන් වහන්සේ වදාළේ කොයි තරම් සත්‍යයක් ද?

යේන යේන හි මඤ්ඤන්ති – තතෝ තං හෝති අඤ්ඤථා
ඒතාදිසෝ විනාභාවෝ – පස්ස ලෝකස්ස පරියායං

සිටිය ද සිතාගෙන ඒ ඒ දෙය යසට
සිදුවන්නේම වෙනෙකකි නොසිතූ ලෙසට
පවතී වෙනස් වීමම මේ විලසකට
දැන ගත යුතුය මෙය ලෝ දහමක් ලෙසට

(සල්ල සූත්‍රය – සුත්ත නිපාතය)

‘මේ යුද්ධ කවදා ඉවර වෙයිද? මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද? මේ අපහසුතා කවදා අවසන් වෙයිද?’ කියා හිතමින්ම ඒ කාලේ මිනිස්සුත් ජීවත් වෙන්න ඇති.

හැබැයි, අවුරුදු සියයක් වගේ ඇතුළත ඒ හැමෝම මිය ගියා.

ආයේ උපන්නා නම්…

අපි හිතමු එසේ සියක් අවුරුදු ගෙවා දාලා 20 වෙනි ශතවර්ෂයේ අගභාගේ මියගිය කෙනෙක් යළිත් වතාවක් මේ වර්තමානයේ මනුස්ස ලෝකයේ උපන්නා කියලා. ඉතිං ඒත් පෙර පරිදිමයි නේද?

යුද්ධ, කෝලාහල, අන්තවාදය, ත්‍රස්තවාදය, වසංගත, ආර්ථික අපහසුතා, සමාජ අරගල, දෛනික ජීවිතේ බිඳවැටීම් මේ හැමදේම නේද යළි යළිත්? එකම බිහිසුණු බව නැවත නැවතත් ලැබෙනවා.

“ඒතදේව භික්ඛවේ බහුතරං යං වෝ ඉමිනා දීඝේන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයෝගා මනාප විප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං, න ත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”

මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී අමනාප දේ සමඟ එක්වෙන්නට සිදු වීමෙනුත්, මනාප දෙයින් වෙන්වෙන්නට සිදු වීමෙනුත් ඔබගේ නෙතින් වෑහුන, වැගිරුන යම් කඳුළක් වේ නම් ඒ කඳුළු ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.”

(අස්සු සූත්‍රය – සංයුත්ත නිකාය)

“ඒවං දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං, තිබ්බං පච්චනුභූතං, ව්‍යසනං පච්චනුභූතං, කටසි වඩ්ඪිතා. යාවඤ්චිදං භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.”

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් අනේක දුක් අනුභව කරල තියෙනවා. තියුණු දුක් විඳල තියෙනවා. මහා විපත්වලට භාජනය වෙලා තියෙනවා. මේ මහා පොළොව නම් වූ සොහොන් පිටිය පුරවලා තියෙනවා. එම නිසා පින්වත් මහණෙනි, මේ හැම සංස්කාරයක් ගැන ම අවබෝධයෙන් යුතුව කලකිරෙන්නට ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.

(අනමතග්ග සංයුත්තය – සංයුත්ත නිකාය)

මොහොතක් හිතන්න…!

දැන් ගෙවී ගිය ඉරණම් කථාවත් අප දැනගත්තා. උරුම වෙන ඉරණම් කථාවත් අප දැනගත්තා. දුක් විඳිමින් යන සසර ගමනක නිමාව වෙනුවෙන් යම් සැනසිලිදායක
පියවරක් තැබීම පිණිසමයි අප හැමට උතුම් සම්බුදු සසුන මුණගැසී තිබෙන්නේ. සම්මා සම්බුදුරජුන්ගේ අවවාදයේ පිහිටා බුදුසසුන තුළ පින් පුරන, කුසල් වඩන අයට මේ බිහිසුණු සසර ඉරණමේ කථාවට නිමාවක් තබන්න පුළුවන්.

රහතුන්ගේ බණ…

මේ ගැන මුළු ජීවිතයම අවබෝධ කළ, බියකරු සසරින් නිදහස් වූ සිරිමන්ද මහරහත් මුනිඳුන් පැවසූ මේ ගාථාවන් කොයි තරම් අර්ථවත් ද කියා බලන්න.

“මේ ලෝක සත්වයාට පහර දෙන්නෙ මරණය විසිනුයි. වට කරල තියෙන්නෙ ජරාවෙනුයි. දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සෙම අසරණ වෙලා දුක් විඳිනවා.

මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත්, ජීවිතය කරා එන්නෙ මහා ගිනිකඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්ට බලයක් නෑ. පලායන්ට ජවයකුත් නෑ.

ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්ට හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින්ම මේ ජීවිතේ කෙටි වෙලා යනවා.

ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවන්. ඒ නිසා පමා නොවීමට මේ කාලයයි!”

හිතන්න…!
ජීවිතේ ගෙවා ආපු දුර –
ගත වූ කාලය ඔබ දන්නවා.
ඒත් ජීවිතේ ගෙවා යා යුතු දුර
තව ඉතිරි වෙලා තියෙන කාලය
අපි කවුරුවත් දන්නේ නෑ.

ජීවිතේ අවිනිශ්චිතයි !
අවසන් මොහොත
අද ද හෙට ද කියන්න බෑ.
ඉතිං පමා නොවී පින – කුසලය
සුචරිතය – යහපත – ධර්මය
ජීවිතේට ළං කරගන්න.
ඔබ ඔබට ආරක්ෂාවක් හදාගන්න.
පමා වෙන්න තරම් කාලයක් තියෙයි ද දන්නේ නෑ.
ඒ නිසා ඔබ නම්
පමා වෙන්න එපා !

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.