පෙබරවාරිය අප වැඩියෙන් ම නිදහස ගැන කථා කරන මාසය. නිදහසේ නාමයෙන් අහසට එසැවුණු සිංහ ධජ නිදහසේ සුළඟේ ලෙලදෙමින් මෙවරත් අපට ඒ අතීතය සිහිපත් කළා. තවත් එක් නිදහසක් අප එසේ සැමරුවා. ඒ තමයි, යටත් ජාතියක් ව හිඳීමෙන් ලැබූ නිදහස…
ඔය විදිහට නිදහස නොයෙක් පර්යායන්ගෙන් අර්ථ දක්වන්න පුළුවන්…
එතැනත් නිදහස – මෙතැනත් නිදහස
පණුවෙක් විදිහට කොළ දලු රිකිලි කමින් ඉන්න අතරේ කෝෂයක හිර වෙන දළඹුවා යම් කාලයකට පස්සේ රූපාන්තරණය වෙමින් සමනළයෙකු බවට පත් වෙලා නිදහසේ පියඹා යනවා… වේ තුඹසක සිර වෙන වේයෝ මෙරුවන් බවට පත් වෙලා නිදහසේ ඉගිලෙනවා… බිත්තරයක් ඇතුළේ උපන්න සතුන් බිත්තරය ඇතුළෙ ම මෝරලා ගිහින් සුදුසු කාලය ආවට පස්සේ බිත්තරය බිඳගෙන එයින් නිදහස් වෙලා එළියට එනවා… හැබැයි තවම අත්තටු මෝරලා නැහැ. කටුව බිඳී ගිය කැදැල්ලේ ම මාපියන්ගෙන් පෝෂණය වෙවී තවත් කාලයක් ගෙවනවා. යම් දවසක පියාපත් විහිදලා ඉගිලිලා යන්න පුළුවන්කම ලබනවා. ඔය විදිහට තිරිසන් සතුන් අතරේත් ‘නිදහස’ හැඟවෙන සිද්ධි දකින්නට පුළුවන්…
මව්කුසක පිළිසිඳ ගන්න සත්වයොත් ඇස කන නාසය දිව කය මනස මව්කුස ඇතුළේ මෝරා යාමට පත් වෙලා යම් කාලයක දී මව්කුසින් නිදහස් වෙනවා… තව සමහරු හිරේවිලංගුවේ වැටෙනවා. යම් කාලයකට පස්සෙ සමහර උදවිය නිදහස් වෙනවා. සත්තු වුණත් එහෙමයි… සිරකාරයෝ වගේ ඉන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. හැබැයි, යම් කාලයකදී නිදහසක් ලැබෙන්නත් ඉඩ තියෙනවා…
නිදහසට සීමා…
ඒ කොහොම වුණත් ඔය කිසිම තැනක ඒ ලැබූ නිදහසින් පස්සේ නැවත සිරගත වෙන්නේ නැහැ කියා, ඒ ලැබූ නිදහස අහිමි නොවනවා කියා තහවුරුවක් නැහැ. උපන් කැදැල්ලෙන් මිදිලා නිදහසේ පියාඹා යන කුරුල්ලෝ ම තමයි දැල්වල පැටලිලා ආයෙමත් කූඩු වෙන්නේ. සමනලයෙකුට, මෙරුවෙකුට වුණත් තවත් සතෙකුගේ ගොදුරක් බවට පත් නොවී මුළු ආයු කාලය ම ගෙවා දමන්න තිබෙන ඉඩකඩ බොහොම සීමිතයි…
මනුස්ස ලෝකයේත් ඔය ගැටළුව ඔය විදිහට ම තියෙනවා. අපේ ජීවිතවල අප අත්දකින නිදහස බොහොම සීමා සහිත දෙයක්. කොයි වෙලාවේ, මොන දේ හින්දා ඒ නිදහස අහිමි වෙයි ද කියන එක අපි කවුරුවත් ම දන්නේ නැහැ. කුරුල්ලෙක් වගේ නිදහසේ ජීවත් වෙනවා කියලා කට වචනයට කිව්වට අපි හැමෝමත් සීමා මායිම් අතරේ හිර වෙච්ච ජීවිත ඇතිවයි ඉන්නේ. සමාජ නීති රීති පද්ධතීන්, ආගමික හා සංස්කෘතික පැනවීම්, සමාජ පිළිගැනීම් ආදී පටු සීමාවන් ගැන නෙමෙයි අප මේ කියන්නේ; ආයෙමත්, ආයෙ ආයෙමත් පටු තැන්වල සිරවෙන්න තියෙන අවදානම ගැනයි මේ කියන්නේ…
මොනවද මේ පටු තැන්…
හොඳට අතපය දිගහැරලා හිතුමතේ ඇවිද යන්න පුළුවන්කම තිබුණ කෙනෙක් හිටිහැටියේ අනතුරක් වෙලා ඇඳට වැටුනා කියලා හිතන්න. ඒක ඒ කෙනාගේ ජීවි- තයේ ලොකු කඩාවැටීමක්. සමහර උදවියට සිද්ධ වෙනවා මුළු ජීවිත කාලය ම ඒ විදිහට ඔත්පල වෙලා ඇඳක් උඩ ගෙවලා දාන්න. ඒ වගේ වෙලාවටත් ‘ජීවිතය පටු වුණා’ කියලා කියන්න බැරි නැහැ. හැබැයි, ජීවිතය ඊටත් වඩා කෝටි ප්‍රකෝටි වාර ගණනින් පටු වෙන සිර වෙන තැන් ලෝකයේ තියෙනවා…
මනුස්ස ලෝකයේ ඉපදිච්ච උදවිය මියපරලොව ගියාට පස්සේ ආයෙමත් මිනිස් මව්කුසකට එනවා නම් ඒ එන්නේ නිය සිළට ගත්ත පස් ටික වගේ බොහෝම ටික දෙනෙක් බවත්, මහපොළොවේ පස් හා සමාන වූ අති බහුතරයක් දුගතියේ උපදින බවත් සම්බුදුරජාණන් වහන්සේ වදාළා. මනුස්ස ලෝකයෙන් චුත වෙද්දි නිරයේ, අසුර යෝනියේ, ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් අපායේ ඒ සත්වයා උපන්නොත් ඒ වගේ තැනකින් ආයේ නිදහස් වෙනවා කියන එක අතිශයින් දුර්ලභයි.
සිර වෙන්නට ඇති ඉඩ…
නිරයේ, ප්‍රේත ලෝකයේ උපන්න සත්වයන් කර්මානුරූපව විඳින විපාකයන් අවසන් වන්නේ විපාක දීමෙන් ම යි. කර්ම විපාකයක දුක යටපත් වන බලගතු පුණ්‍යකර්මයන් රැස් කරන්නට අවස්ථාවක් එවැනි උපතක නැහැ. සිත සිතා පින්දහම් රැස් කරමින් පිනෙන් රැකවරණයක් සලසා ගන්නවා කියා න්‍යායක් ඒ උපත්වල නැහැ, තිරිසන් අසුර යෝනීන්ගේත් නැහැ… සමහර ප්‍රේත කොට්ඨාසවලට පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙන නිසා යම් සැපයකට පත් වෙන්න බොහොම පොඩි අවස්ථාවක්වත් තියෙනවා, නිරි තිරිසන් අසුර ලෝකවලට එහෙම අවස්ථාවකුත් නැහැ. ප්‍රේත ලෝකයේදීත් ඒක ‘පොඩි අවස්ථාවක්’ වෙන්නේ, අනන්ත අප්‍රමාණ ප්‍රේත උපත් අතරින් පින් අනුමෝදන් විය හැක්කේ දෙකොටසකට පමණක් වීම නිසත්, ඒ පිරිසට පින් අනුමෝදන් කරන පිරිසක් සිටිය යුතු වීම නිසත්… බෞද්ධ පිළිවෙත් තුළ නම් මළවුන්ට පින් අනුමෝදන් කිරීම දකින්න ලැබෙනවා, හැබැයි මිනිස් ලෝකයේ අති බහුතරයක් එවැනි පිළිගැනීමක නැහැ…
ඒ ලෝකවලින් අත්මිදිලා මනුස්ස ලෝකයේ උපන්නා වුණත් අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් යට වෙවී යන මිනිස් ලෝකයෙනුත් කුසල් – අකුසල් පිළිබඳ පිළිගැනීම් බැහැර වෙවී යන නිසා වැඩි ම ඉඩක් තියෙන්නේ නොයෙක් දෘෂ්ටිවල, මතවාදවල සිර වෙන්න ම යි… බෞද්ධ නාමයෙන් පෙනී සිටින ගිහි පැවිදි සමාජයේ වුණත් අද පැතිර යන ඇදහිලි, විශ්වාසවල තියෙන්නේ පටු දෘෂ්ටිගතික වීම්. සම්බුදු රජුන්ගේ භාෂිතය බැහැර කරලා පටු දෘෂ්ටියකට බැසගත්තට පස්සේ ඒ උදවියට සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ව හඳුනාගන්න නොහැකි වෙනවා. ආර්ය ධර්මයේ, විනයේ හික්මෙන්න උපකාර නැතිව යනවා. ‘බෞද්ධ’ නාමය ම පමණක් දරාගෙන, බෞද්ධ ප්‍රතිපදාවෙහි කිසිම අර්ථයක් නොදැක – නොලැබ, මියපරලොව ගිහින් දුගතිවල හිර වෙනවා.
පැවැත්මෙහි සිර වීම…
දිව්‍ය බ්‍රහ්මතලයක උපන්නා වුණත් දෘෂ්ටිගතික වීම්වලට හසු නොවී ඉන්නවා කියා සහතිකයක් නැහැ. ‘බක’ නම් වූ මහා බ්‍රහ්මයාත් දෘෂ්ටිගතික ව සිටි ආකාරය පෙළදහමේ දැක්වෙනවා. හැබැයි, දීර්ඝ ආයුෂ ඇති ඒ දිව්‍ය බ්‍රහ්ම පිරිස් අතරේ මාර්ග ඵලලාභී ආර්ය ශ්‍රාවකයන් සිටින නිසා අදටත් පිරිසිදු ව ධර්මය අසන්න, පුරුදු කරන්න ඉඩකඩක් ඒ ලෝකවල තිබෙනවා.
සත්ව සන්නිවාසයන්හි ඉහළටත්, බොහෝ කොට පහළටත් දෝලනය වෙමින් අප කවුරුත් යෙදී සිටින මේ සංසාර ගමනේ දෘෂ්ටි මතවාදවල නොයෙක් අයුරින් සිර වෙවී සිටීම විසින් ම තමයි මේ ගමන මේ සා දීර්ඝ කරන ලද්දේ. ඉදිරියටත්, සිර වන තාක් කල් මෙහි නැවැත්මක් නම් නැහැ. පැවැත්මක් පමණමයි තිබෙන්නේ…
නවතින්න වුවමනා නම්, සිර නොවීම ඉලක්ක කරගන්න ඕනි. ඒක කරන්න උපාධියක් නැහැ, ඒකට මිලකුත් නැහැ. ධනබලයෙන්, නිලයෙන්, උගත්කමින් මේ සම්බන්ධයෙන් කළ හැකි කිසිම දෙයක් නැහැ. ධනබලයෙන්, නිලයෙන්, උගත්කමින් ‘අනතුරක් වෙලා අතපය කැඩෙන එක, මියැදෙන එකවත්’ වළක්වන්න බැරි කොට සාංසාරික ගමනක් කොහොම වළක්වන්න ද… මේ දේ කළ හැක්කේ ප්‍රතිපදාවෙන් ම යි. කල්‍යාණමිත්‍රයන් ඇසුරේ, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින්, යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධම්මානු ධම්ම පටිපදාවේ යෙදීම ම තමයි එක ම මාර්ගය. ඒකට දක්ෂ වෙන උදවියට තමයි ‘ලෝකයෙන් නිදහස් වීම’ කියන ශ්‍රේෂ්ඨ ඉලක්කය කරා ළඟා විය හැක්කේ…!
අහිමි නොවන නිදහස කරා…
ලෝකයෙන් නිදහස් වුණ ඒ උතුමන් නගන මේ උදානයන් බලන්න…
“මං නම් මේ දිරා යන ජීවිතෙන් නිදහස් වෙලා නොදිරන නිවන කරා ම යනවා. තැවි තැවී ඉන්න ජීවිතෙන් නිදහස් වෙලා නිවීම කරා ම යනවා. පරම ශාන්තිය වූ අනුත්තර වූ ඒ අමා නිවන ම සොයාගෙන යනවා.”
(සුප්පිය රහත් මුනිඳුන් වදාළ ගාථාව)
“ඒයි සිත! ඇත් රජෙක් ව යකඩ දම්වැල්වලින් කණුවක බඳිනවා වගේ මං නුඹව භාවනා අරමුණේ බැඳලයි තියෙන්නේ. ඉතා හොඳට සිහිය පිහිටුවාගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරුවලා මේ සිත හදාගත්ත නිසා හැම භවයෙන් ම නිදහස් වුණා.”
(තාලපුට රහත් මුනිඳුන් වදාළ ගාථා)
යළි කිසිදු භවයකට නොපැමිණෙන පරිදි ඒ උතුමන් වහන්සේලා සියලු ලෝකයන්ගෙන් මැනැවින් නිදහස් වුණා. ඒ නිදහසට කිසිදු සීමාවක් පැනවෙන්නේ නැහැ.
ආචාර වෙඩි මුර පවත්වලා, ආචාර සමාචාර මධ්‍යයේ ධජ අහසට ඔසවලා නිදහස ගැන උදම් අනනා ස්වභාවයක් එතැන නැහැ. එතැන තිබෙන්නේ නිදහසම පමණයි. එතැන කියැවෙනා සෑම වචනයක් ම නිදහසේ ගීතයක් බවට පත් වෙන්නෙත් ඒ නිසා ම යි…
කිසිවකින් සීමා නොවනා නිදහසේ ගීතය ගයන්න… ධර්ම මාර්ගයේ පිහිටි අයෙකු වන්න…!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments