ඒ ගිම්හාන කාලයයි. වලාකුළු රහිත නිල් අහස මැදට නැගී සූර්යයා මිහිතලය උණුසුම් කරමින් සිටියේ ය. සැවැත්නුවර සිට උත්තරාපථය දෙසට යන මාර්ගය කහ පැහැති පීත්ත පටියක් සේ දුර ඈතට විහිද යයි. ජනාකීර්ණ සැවැත් නගරය පසුකොට ක්‍රම ක්‍රමයෙන් ජනශූන්‍ය ප්‍රදේශ අතරින් වැටී ඇති දීර්ඝ මාවතේ හුදෙකලා ව ගමන් කරන තරුණයෙකි. රතු වැලි සහිත පාරේ ලී පාවහන් යුගලක් පැලඳ ගමන් කරමින් සිටින ඔහු හිසට තලප්පාවක් බැඳ තල් අත්තක් ඉහළා සිටිය ද සැඩ හිරු රශ්මියේ කර්කශ පහසින් මිදෙන්නට එය ප්‍රමාණවත් නොවීය. විඩාබර වූ තරුණයා මග දෙපස විපරම් කරමින් පැමිණියේ දැන් බොහෝ වෙලාවක සිට ය. එහෙත් පිපාසයට පැන් පොදක් ලබා ගැනීමට මිනිස් වාසයක් හෝ ඇළක් දොළක් ළිඳක් තබා අඩුම තරමේ සතුන් වතුර බීමට පැමිණෙන මඩ වතුර වළක් හෝ දැක ගන්නට තවමත් නොහැකි විය. පිළිස්සී ගිය හේනක් සේ මග දෙපස තිබූ කටු පඳුරු සහිත වියළි වනපෙත් අතරින් වරින් වර හමා ආ සුළඟ පවා කය අභ්‍යන්තරයේ ඉතිරිව ඇති තෙතමනයත් වියළා දමන තරම් උණුසුම් ය.
තව මොහොතකින් තමා ක්ලාන්තව ඇද වැටෙතැයි සිතෙන තරමටම දුර්වලව සිටි තරුණයා හදිසියේ ම යමක් දුටුවේ ය. මඳක් නුදුරින් විශාල වෘක්ෂයක් යට හිඳ සිටින තවත් මිනිසෙකි. සැනසුම් සුසුමක් හෙළූ තරුණයා පිපාසයට පැන් පොදක් ලැබේවි යන අපේක්ෂාවෙන් නව ජීවයක් ලැබුණෙකු සේ එදෙසට පය ඉක්මන් කළේ ය. ගස යට හුන් මිනිසාට මිත්‍රශීලී සිනාවක් පෑ තරුණයා තල් අත්ත හකුලා තබා පසෙකින් හිඳ ගත්තේ ය. කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අනෙකා සිටියේ බුලත් සපමිනි. “මිත්‍රයා සෑහෙන්න පිපාසයි. පැන් ටිකක් ගන්ට තියෙයි ද?” සුහදශීලී අනෙකාට ලැබුණේ අනපේක්ෂිත පිළිතුරකි.
“නෑ.” මේ මොහොතේ අහස මුදුනේ සිට තෙද පතුරන සැඩහිරු තරම් අකාරුණික බවක් අනෙකා තුළ දුටු නමුත් සිත විපිළිසර කර නොගත් තරුණයා පෙර සේ ම මුදු හඬින් යළි ඔහු ඇමතුවේ ය.
“ඒකට කමක් නෑ. බුලත් කොළයක්වත් ලැබුණොත් ඒත් ඇති. දිව ගිලෙන්න පිපාසයි.”
“බුලත් කොළයක් වුණත් මේ වෙලාවේ හැටියෙන් සෑහෙන්න වටිනවා නොවැ.
නිකං දෙන්ට බෑ.” යළිත් ලැබුණේ කර්කශ පිළිතුරකි. එහෙත් එයින් සෑහීමකට පත් තරුණයා වහා තම ඔලගුවට අත දමා පසුම්බියෙන් රන්මසු සතරක් ගෙන අනෙකාට දුන් විට පළමුවරට විස්මයෙන් සතුටක්, සුහද බවක් මුසු මඳ සිනාවක් පෑ මිනිසා වහා රන්මසු සතර ගෙන තමා සතුව තිබූ බුලත් මිටියෙන් එක කොළයක් තරුණයා අත තැබුවේ ය. වෙහෙසට පත්ව සිටි තරුණයා කෘතවේදී සිනාවක් පා එය පිළිගත්තේ ය. බුලත් විටක් කා එතන මඳක් සැතපී සිට විඩාව සංසිඳුවා ගත් තරුණයා අවදි ව නැගී සිටියේ ය. “එහෙනම් මිත්‍රයා අපි යන්නම්.” ආචාරශීලී ව මිනිසාට පවසා සුහද සිතින් සමුගත් තරුණයා යළිත් මාවතට බැස උත්තරාපථය දෙසට හැරී ගමන පිටත් විය.
තෙරක් නොපෙනෙන සාගරේ වෙළඳ නෞකාව යාත්‍රා කරමින් තිබුණේ දැන් දින කිහිපයක සිට ය. බොහෝ වෙළඳ බඩු බාහිරාදිය, ධනවත් වෙළෙන්දන් සහිත සිය ගණන් සේවක පිරිසක් රැගත් නෞකාවේ ප්‍රධාන නායකයා මහත් කැළඹීමට පත්ව සිටියේ ය. රුවල් අකුලන ලෙස මහ හඬින් කෑ ගසමින් තම අතවැසි නාවිකයන්ට කතා කළ ඔහු ක්‍රම ක්‍රමයෙන් චණ්ඩ වන සුළඟත්, උස්ව නැගෙන මුහුදු රළ පහරත් සමග පොරබදිමින් නෞකාව බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක් ම ගත්තේ ය.
චණ්ඩ සුළි කුණාටුවෙන් කැළඹුණු මහ සයුරටත් වඩා කැළඹී සිටි මිනිසුන්ගේ මහා කෑකෝ ගැසීම් ඈත වෙරළ පැත්තට සුළඟේ ගසාගෙන ගියේ ය. එහෙත් නැවේ වෙළඳ බඩු සමඟ සියගණන් ජීවිත මුහුදුබත් වන්නට වැඩි වෙලාවක් ගත වුණේ නැත. මුහුදු දියට වැටුණු සමහරු පීනන්නට පටන් ගත් නමුත් ඔවුන් ඒ වනවිටත් එතැනට එක් රොක්ව සිටි මෝරු ආදී බිහිසුණු මසුන්ට ගොදුරු විය. මේ අතර ඉපිළුණු ලෑලි පුවරුවක් මත දිගා වී වේගයෙන් සයුරු රළ මත පිහිනා යන ජවසම්පන්න තරුණයෙකි. නැව මුහුදුබත් වූ තැන් පටන් බොහෝ දුරක් ඔහු පිහිනා තිබුණේ ලෑලි පුවරුවේ පිහිටෙනි.
තමන් සිටි තැනට නුදුරේම සයුරු දියේ සෙමින් මතුවෙමින් පාවෙන යමක් දුටු විට ඔහු ඒ ගැන විමසිලිමත් විය. ඒ මිනිසෙකි. තරුණයා පුදුමයට පත් විය. ලෑලි පුවරුවේ ම තල්ලු වී ඔහු වෙත ළං වූ තරුණයා තවත් පුදුමයට පත් වූයේ ඒ වෙන කවරෙකුවත් නොව, මීට වසර කීපයකට පෙර පිපාසයෙන් පීඩිත ව අසරණ ව සිටි මොහොතක තමාට බුලත් කොළයක් දුන් මිනිසා බව හඳුනාගත් නිසා ය. රන්මසු ගෙවූ නමුත් එදා ඒ මිනිසා බුලත් කොළයක්වත් නොදුන්නා නම් තමන් පිපාසිතව වියළී මියැදෙන්නට වුවත් ඉඩ තිබුණා නොවේ ද?
“අහෝ..! මාගේ මිත්‍රයා” සැඩ රළ පහරේ පිහිනා යන්නට තරම් ශක්තියක් තවදුරටත් ඉතිරිව නොතිබුණු මේ දුර්වල මිනිසා දැක හද කම්පා වූ තරුණයා තමාට එදා කළ උපකාරය සිහිකොට තම දිවි නොතකා තෙරක් නොපෙනෙන විසල් සයුර මැද සැඩදියෙන් පහර කමින් සිටි මිනිසාට තම ලෑලි පුවරුව දුන්නේ ය. කැළඹෙමින් තිබූ මුහුදු දිය මතුපිට එහෙ මෙහෙ විසිවෙමින් ම ලෑලි පුවරුව අල්ලා ගන්නට ද ඒ මිනිසාට උදව් විය. එයින් තවදුරටත් වෙහෙසට පත් වූ තරුණයා බලාපොරොත්තු රහිතව නමුත් පිහිනන්නට උත්සාහ කළේ ය. පුවරුවට නැග ගත් මිනිසා තරුණයා ගැන නොතකා ඔහු පසුකොට පිහිනා ගියේ ය. පුදුමය නම් මේ තරුණයා එය දුටු නමුත් මොහොතකටවත් සිතෙහි අමනාපයක් ඇති නොවීම ය.
මේ සොඳුරු මිනිසාගේ අපූරු ගුණ සම්පත්තියට ස්වභාධර්මය සංවේදී විය.
මහ සයුරට අධිපති මණිමේඛලා දෙවඟන මේ අසිරිමත් සිදුවීම දිවැසින් දුටු අතර ඇගේ හද කම්පිත විය. මේ සා ගුණ ඇති සත්පුරුෂයකු අසරණව මුහුදේ ගිලෙන්නට ඉඩ දිය යුතු නැත. මුහුදු රළ සමග පොරබදමින් සිටි තරුණයාට එක්වරම තමාව වෙරළට ගසා ආවේ කෙසේ දැයි සිතාගත නොහැකි ව වටපිට බැලුවේ විශ්මයෙනි.
ඈතින් වෙරළ දෙසට පාවෙමින් එන යමක් ඔහු දුටුවේ ඒ මොහොතේ ය. වෙනෙකෙක් නොවේ, ඒ ඔහුගේ ලෑලි පුවරුව ලබා ගත් මිනිසා ය. මඳ වේලාවකින් වෙරළට ළඟා වූ මිනිසා මහත් පුදුමයෙන් වැල්ලේ හිඳ සිටි තරුණයා දෙස බැලී ය.
“ඔබ මටත් කලින් මෙහි පැමිණියේ කෙසේ ද?” “මිත්‍රයා මටත් එය සිතා ගත නොහැකියි.” යයි විඩාබර වුව ද මඳ සිනාවකින් යුතුව තරුණයා කිවූ පිළිතුරු වදන් අවසන් වීමටත් කලින් සාගරයට ඉහළ ආකාශය ඒකාලෝක කරමින් රන් කඳක් සේ බබළමින් මණිමේඛලා දිව්‍යාංගනාව පෙනී සිටියා ය. මිහිරි හඬින් ඔවුන් ව ඇමතුවා ය.
“පුත්‍රය, යමෙක් තම මව්පියන් ධාර්මිකව පෝෂණය කරයි ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය සරණ යයි ද පන්සිල් අටසිල් ආදී ප්රාතිමෝක්ෂ සංවර සීලය රකියි ද කයින් වචනයෙන් මනසින් සුචරිතයෙහි හැසිරෙයි ද දුකට පත් වූවන්ට පිහිට වෙයි ද කෙළෙහිගුණ දන්නේ වෙයි ද සත්පුරුෂයා මහා සාගර මධ්‍යයට පැමිණිය ද වනගහන මධ්‍යයට පැමිණිය ද ඒ හැම කල්හිම දෙවියන්ගේ රැකවරණය ලබයි.”
දේවානුභාවයෙන් තමාට පිහිට ලැබුණු බව ඔහුට මොහොතකින් වැටහුණි. ඒ තරම් ගුණ සම්පත්තියක් තමා තුළ තිබේදැයි අවංකව ඇති වූ සිතිවිල්ල නිසා ම ඔහු ඒ ගැන විමසුවේ ය.
“පින්වත් දෙව්දුව, මහණ බමුණු ආදී කිසි කෙනෙකුන්ට මා දුන් දානයක් ද නැත. නුඹ කී ලෙසින් පන්සිල් අටසිල් ආදී මා රකින සීලයක් ද නැත. එසේ හෙයින් කවර කුසලයක් හේතුවෙන් දෙවියන් විසින් මාව රකී ද?”“සත්පුරුෂය, එතෙර මෙතෙර නොපෙනෙන බිහිසුණු ගැඹුරු සයුර මැද නුඹ තමා හට පෙර කළ අල්ප උපකාරය සිහි කොට මේ මිනිසාට තම දිවි නොතකා ලෑලි පුවරුව දී පිහිට විය. කෙළෙහිගුණ දන්නා සත්පුරුෂයන්ගේ ඒ මිත්‍ර ධර්මයත්, පුවරු කඩ දානයත් යන කුසල ධර්මයන්ගේ බලයෙන් මා විසින් නුඹ ව ගැඹුරු සයුරින් ගොඩ කරලූ බව දැනගත මැනව.”
මිත්‍රත්වය වනාහි දහමකි. මායාවෙන්, කපටිකමින්, මූනිච්චාවෙන්, අගතිගාමී ක්ලේශයකින් කිලිටි නොවූ පවිත්‍ර මිත්‍රත්වය වනාහි කෙළෙහිගුණ දන්නා දකිනා සත් පුරුෂයන්ගේ ලෝකයට අයත් දෙයකි. තමාට අල්ප වූ හෝ උපකාරයක් කළ මිත්‍රයාට ද්‍රෝහී නොවන්න. තමාව තිසරණයෙහි, සීලයෙහි, ධර්මයෙහි සමාදන් කරවා සියලු යහපත රැකවරණය සලසන මිත්‍රයන් කෙරෙහි කෙසේ නම් ද්‍රෝහි වන්න ද? මිත්රධර්මයෙන් යුතු එවන් වූ සත්පුරුෂයන් ලෝකයේ අතිශයින් ම දුර්ලභ යැයි පැවසුවේ සියල්ල දන්නා දකින බුදුරජාණන් වහන්සේ ය. යම් කෙනෙකු එසේ දුලබ වූ මිත්රධර්මය පණ මෙන් සුරකියි ද ඒකාන්තයෙන්ම ඒ සත්පුරුෂ උත්තමයාට සුගති සැපත්, නිවන් සැපත් බොහෝ දුර නොවනු ඇත.
සද්ධර්මාලංකාරය ඇසුරෙනි.
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි
Recent Comments