උපන්දිනවලට අහස්යානා, දූපත්, රන් රුවන් මිලදී ගන්න තරම් ධනවත් අය ලෝකෙ ඉන්නවා. ධනවතුන්ට මිල අධික ප්‍රණීත ආහාර, විසිතුරු ඇඳුම්, ආභරණ, සුඛෝපභෝගී භාණ්ඩ තියෙන වෙනම කඩවල් තියෙනවා. ඒ අතරෙ ම එදා වේල නැති මිනිස්සු ඉන්නවා. කෑලි මූට්ටු කරලා ඇඳුම් මහනවා. වේලක් ඇර වේලක් කනවා. වට්ටම් තියෙන, ලාබෙට බඩු දෙන කඩවල් ඒ අය වෙනුවෙන් තියෙනවා. දුප්පත් ම අයත්, මධ්‍යම පන්තිකයනුත්, පොහොසත් අයත් කියනවා, “අනේ අපි කාටවත් කරදරයක් කරන්නෑනෙ. ඒ නිසා අමුතුවෙන් පින් කරන්න ඕන නෑ” කියලා.
ඒත් ඒ හැමෝම අර ධනවත් ම මිනිස්සු අතරේ සැප විඳින්නයි ආසා. සැප ලැබෙන්නේ පිනෙන් කියලා දන්නෙ නෑ. තමන්ට නැති සැප විඳින අනෙක් අය දැක හූල්ල හූල්ල ඉන්නවා. සැපයට හේතු වූ රහස නොදන්න නිසා ඉරිසියාව, අභිජ්ඣාව (අනුන් සතු දෙයට ආශා කිරීම), දොම්නස උපදිනවා.
දෙවිවරු අතරත් තියෙනවා ආයුෂයේ, ලස්සනේ, සැප සම්පත්වල, අධිපති බවේ, නුවණේ පවා වෙනස්කම්. අපට වගේ නෙමේ දෙවිවරුන්ට ඒ වෙනස්කම්වලට හේතු පේනවා. ‘සිල්වත් ශ්‍රමණයන් දැක සිත පහදවා ගැනීම’ දෙවියන් අතර ඉපදීමට හේතුවක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙම උපන් දෙවිවරු ගැන කතාවක් මේ…
සැප සලසන වන්දනාව
විශාල දෙව් පිරිසක් ඇවිත් බුදු සිරිපා වැඳලා මෙහෙම කීවා.
“අනේ ස්වාමීනි, මනුස්ස ලෝකෙ ඉද්දි අපේ ගෙවල්වලටත් සංඝයා වැඩියා. අපි ආසනයෙන් නැගිටලා ගරු කළා. හැබැයි ස්වාමීනි, අපි ස්වාමීන් වහන්සේලාට වැන්දෙ නෑ. මාන්නෙ නිසා, නොතේරුම්කම නිසා කතාබස් කරලා පිටත් කරලා ඇරියා. බිම දණ ගහන්න ලැජ්ජා වුණා. හැබැයි ස්වාමීනි, සංඝයාට වැඳපු දෙවිවරු අපිට වඩා ලස්සනයි. බලසම්පන්නයි. අපි පහත දිව්‍ය ලෝකෙක ඉපදිලා දැන් පසුතැවෙනවා.”
ආසන පූජාව
ඊළඟ දෙව් පිරිස කියනවා, “ස්වාමීනි, අනේ අපි නම් සංඝයා වැඩියම ආසනවලින් නැගිටලා වන්දනා කර ගත්තා. හැබැයි වැඩඉන්න ආසනයක් පිදුවේ නෑ නෙව. පෙර ජීවිතේ සංඝයාට ආසන පූජා කරපු දෙවිවරු අපිට වඩා උසස් දෙවිවරු අතර ඉපදිලා ඉද්දි අපිට පසුතැවීමක්මයි එන්නෙ.” කියලා..
හුනස්නෙන් නැගිටීම, සකසා වැඳීම, ආසන දීම තමයි උසස් කුලයේ උපදින ප්‍රතිපදාව. ඔය පින්කම්වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස තමා සමාජවල තරාතිරම නිර්මාණය කළේ. ධනවත් බලවත් පවුල්වල ඉපදීමෙන් ලැබෙන සැප බලෙන් ගන්න බෑ… පෙර පින් නැතුව සැපක් විඳින සතෙක්වත් නෑ නෙව.
දාන බලය
ඊට උසස් දෙවිවරු, “ස්වාමීනි, අපි සංඝයා වැඩියම නැගිටලා, වන්දනා කරලා, ආසන පූජා කළා. හැබැයි පුළුවන් තරමින් දානෙ දෙන්න බැරි වුණා. අපරාදේ…! ස්වාමීනි, දානය දුන්න දෙවිවරු… හරී බලවත්. ගොඩාක් ලස්සනයි. අපිමයි ප්‍රමාද උනේ කියලා අපි දුක්
වෙනවා.” කිව්වා.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මසුරුකම සිතින් දුරු කිරීම පමණකින් ම මහේශාක්‍ය වෙනවා කියලයි. දානෙ දීම නිසා මහා භෝග සම්පත් ලැබෙනවා. නැණැත්තනි, සමාජයේ බලවත් චරිත වෙලා බබළන්න, සැප සම්පත් දෝර ගලන්න ආසාව තිබ්බට… මේවා ධාර්මිකව ලබන්න ලොකු පිනක් ඕන.
කන බොන දේ අසූචි බවට හැරෙනවා. අඳින ඇඳුම් කිලිටි වෙනවා. වාහන පරණ වෙනවා. ගෙවල් කඩා වැටෙනවා. ඤාතී හිතමිතුරන් නොසිතූ මොහොතක මනුලොවින් ම යනවා. කොච්චර දේවල් රැස් කළත් ඒවා ගෙවිලා නැසිලා යනවා.
යමක් අතෑරියොත්… ආත්මභාව සියදහස් ගණනකට… දුන් දේ ආපහු ලැබෙනවා. අගහිඟකම් නැතිවෙන වෙන ක්‍රමයක් නෑ.
සවණානුත්තරීය
ඊටත් ඉහළ දෙවිවරු මෙහෙම කිව්වා.
“ස්වාමීනි, අපි නම් ඔය පින්කම් ඔක්කොම කළා. හැබැයි ස්වාමීනි, අපිට ගෙවල්වල, රස්සාවල්වල වැඩ තමයි වැදගත් විදිහට හිතුණෙ. විනාඩි පහ දහයක් ඉවසගන්න බැරුව… අපි බණ අහන්නැතුව දානේ දීලා පිටත් වුණා. ඒත්… බණ අහපු දෙවිවරු ඉන්නවා. හරී බලසම්පන්නයි. අපිට ළං වෙන්නත් බෑ. ලස්සනයි. දීර්ඝ ආයුෂයෙන් යුක්තයි. අපි දැන් පසුතැවෙනවා, එදා වටිනා දේ අඳුරගන්න බැරිවුණානෙ කියලා.”
බණ තේරුණත් නැතත් බණ අසන්න වාඩි වීම ම පිනක්…! ලෞකික දේවල්වලට ම දවස ගෙවලා බණ පදයක් ඇසීම මඟහැර ගත්තොත් පාඩුව තමන්ට ම යි… දානපතිවරුනි… පාඩු ලබා පසුතැවෙන්න ද හදන්නේ?
දුවන සිත මොහොතකට නවත්තන්න
ඊළඟට ඉහළ දෙව් පිරිස මෙහෙම කිව්වා.
“අනේ ස්වාමීනි, අපි ඔය හැම පිනක් ම කළා. හැබැයි… අපි අනුමෝදනාව අහන්න වාඩි වුණාට කන් යොමු කරගෙන, හිත යොමු කරගෙන බණ අහන්න බැරි වුණා.
ගෙවල්වල ප්‍රශ්න හිතට ආවා. එක්කෝ නින්ද ගියා. හිත විසිරුණා. දරුවෝ කෑගහද්දි, අඬද්දි නළවන්න ගියා. දානෙට වුණු අඩුපාඩු මතක් වුණා. ස්වාමීනි, ඒ නිසා අපි අඩු කුලයේ උපන් අය වගේ. බලවත්, ලස්සන දෙවිවරු ඉන්නවා එයාලා හොඳට බණ අහපු අය.”
සවන් ඇත්තනි… මේ කන් දෙක සදාකාලික නෑ. ධර්මය අහන අවස්ථාව අතිශය දුර්ලභයි. කොයිතරම් ඔබ ඕපාදූප අහනවා ද? ටීවි, ෆෝන් බල බල ඉන්නව ද? ඒවට සමවැදිලා නේද අහන්නේ? මොනවද ඔබට එයින් ලැබෙන්නේ? පිරිහීම විතරයි නේද? සමවදින්න බණ පදයට. අනිත් ප්‍රශ්න අමතක කරන්න. ධර්ම ශ්‍රවණය මඟහැරුණොත්, මඟහැරෙන්නේ ‘වාසනාව’.
අමතක කරන්න එපා…!
ඊටත් ඉහළ දෙවිවරු කිව්වේ මෙහෙම.
“ස්වාමීනි, අපි ඔය කියූ පින්කම් සේරම කරලා බණත් ඇහුවා… ඒත් අපේ ම අවාසනාව බණ පද මතක තියාගන්න අපි දක්ෂ වුණේ නෑ. පුදුමයි ස්වාමීනි, බණ මතක තියාගත්ත දෙවිවරු අපිට වඩා උසස්. අපි දැන් පසුතැවෙනවා.”
සිත් ඇත්තනි, මුළු ලෝකේ ම සියලු විස්තර මතකයේ දැරුවත්… ලෞකික විෂයන්ගේ පරතෙරට ගියත්… ඒ මතකය මෙලොවට විතරයි! ඇඳට වැටුණ ගමන් ඔක්කොම ශිල්ප ඉවරයි! මතකයන් ඉවරයි! පරලොව ගැන කවර කතා ද?
ධර්මය මතක තිබ්බොත්, මෙලොව හැම අසරණකමක දී ම… මරණය ළඟ පවා… පිහිටයි! පරලොව සුගතියටත් හේතු වෙනවා!
මතකයෙන් ඔබ්බට
ඊළඟ දෙව් පිරිස, “ස්වාමීනි, අපිත් ඔය හැම පිනක් ම කරලා බණත් මතක තියා ගත්තා. අනිත් අයටත් ලස්සනට බණ කීවා. ඒත් දහම් අර්ථ නුවණින් විමසලා තේරුම් ගන්න මහන්සි උනේ නෑ. එදිනෙදා වැඩවලට කොටු වුණා. දැන් අපි ධර්මය නුවණින් විමසපු දෙවිවරුන්ට වැඳගෙන ඉන්නවා.” කියලා පසුතැවුණා.
සදහම් අසන්නෙනි…, ධර්මය නවකතා – කෙටිකතා කියවා මතකයෙන් බැහැර කරනවා සේ නොකොට ජීවිතයට ගළපා බලන්න. බුද්ධ වචනය යළි විමසන්න. මේ කියන්නේ අපගේ ම ජීවිතයේ සැබෑ කතාව නෙව.
ජීවිත පරිවර්තනයකට…
ඊටත් ඉහළ දෙවිවරු, “ස්වාමීනි, අපි නම් ඔය හැම පිනක් ම සම්පූර්ණ කළා. ධර්මයත් නුවණින් විමසුවා. හැබැයි ඒ ධර්මයේ කියපු විදිහට ජීවිතය වෙනස් කර ගත්තේ නෑ. ධර්මය පුරුදු කළේ නෑ. අපි තව උසස් – උසස් සිල් රැක්කා නම්… සමාධිය වඩන්න, විදර්ශනා වඩන්න මහන්සි වුණා නම්… අප්පේ… අර උත්තම දෙවිවරු… බබළන ලස්සන… අපිටත් ඒ අය අතරට යන්න තිබ්බා.” කියලා එයාලත් දුක් වුණා.
පිරිපුන් පිනක සහන් සුව
ඉන්පස්සෙ, මහේශාක්‍ය ම දෙවිවරු ඇවිත් බුදු සිරිපා ළඟ තෘප්තියෙන් පිරුණු සිතින් සතුටු වුණා.
“ස්වාමීනි, අපි නම් පසුතැවෙන්න තියාගත්තෙ නෑ. මනුසත් බවේ ඵල නෙළුවා. උතුම් නැණ සම්පතින් ප්‍රයෝජන ගත්තා. අපි නම් ඔය එක පිනක්වත් මඟඇරියේ නෑ. ධර්මයේ හැසිරීම ජීවිතේ පළමුවෙනි තැනට ගත්තා. ධර්මයේ හැසිරීමේ ආනුභාවය බලනු මැනැවි… ස්වාමීනි… අපි සියලු දෙවිවරු අභිබවා බබළනවා. පින සම්පූර්ණ කළ නිසා පසුතැවෙන්න දෙයක් නෑ.”
භාග්‍යවතුන් වහන්සේ වදාළා, බණ ඇසීම, නුවණින් විමසීම මහා ප්‍රඥාව පිණිස හේතු වෙනවා කියලා. මෙබඳු අය යි මග ඵල ලබා සසුනේ ස්ථිර පිහිට ලබන්නේ. ධනයෙන්, යසසින්, අධිපති බවින්, ලස්සනෙන්, බුද්ධියෙන් බබළන්න බෑ, ප්‍රාර්ථනා කරලා! පිනෙන් ලැබෙන දේ බලෙන් ලබන්න බෑ, බෑ, බෑ ම යි. ඒ නිසා… පින් මඟහරින්න එපා!
ගිය හකුරට නාඬන්නේ…
කොරෝනා නිසා සංඝයා නොදැක හිටපු කාලෙ සිහි කරන්න. ඊට වඩා බරපතළ කාල ඉස්සරහට එනවා. ඒ නිසා සංඝයා ඇසුරු කරන්න ලැබීම අතිශයෙන්ම දුර්ලභයි… පින් නොකර හෝ බාගෙට පින්කම් කර හෝ පසුතැවෙන්න එපා! බණ පද අහක දාන්න එපා! ජීවිතේ ගුණවත් කරගන්න.
ඔය දෙවිවරු මනුස්ස ලෝකෙට ආවොත් මහා ධන කුවේරයන් වෙන්නේ කවුද, සාමාන්‍ය පවුල්වල උපදින්නෙ කවුද කියලා හිතන්න. පින් නොකළොත් සැපක් නම් ලැබෙන්නේ නෑ. දැන් මේ ධර්මය ජීවිතයට ගළපා බලන්න. ජීවිතේ වෙනස් කරගන්න. අද ලැබිලා තියෙන තත්ත්වය වෙනස් කරන්න බැරි වුණාට, අනාගත ජීවිත වෙනස් කරන්න පුළුවන්.
ධර්මයේ හැසිරීම – පින් කිරීම ම යි සැපය. පින් කරන ඔබත්, ප්‍රමාද වී පසුතැවෙන්න එපා…!
“පුඤ්ඤානි පරලෝකස්මිං – පතිට්ඨා හොන්ති පාණිනං
සත්වයාට පරලොව යද්දී පිහිට පිණිස පවතින්නේ පින ම යි.”
සියලු සත්වයෝ සියලු සැපයෙන් සමෘද්ධ වෙත්වා!
(ඇසුර – කුල සූත්‍රය, අං. නි. 3, දේවතා සූත්‍රය, අං. නි. 5)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි
🙏🙏🙏