සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ජීවන රටාව එහෙම පිටින් ම ගොඩනැගෙන්නේ ශරීරයට සම්බන්ධ ව… අපි හැමෝම බොහොම වෙහෙස මහන්සි වෙලා නහවන්නේ, කවන්නේ, පොවන්නේ, පිරිමදින්නේ, සතපවන්නේ, සරසවන්නේ, සනසවන්නේ අපට ලැබුණු මේ ශරීරය. හැබැයි, අපි කිසිම කෙනෙකුට මැරෙද්දි මේ ශරීරය ගෙනියන්න බැහැ. කාට කාටත් පරලොව යන්න සිද්ධ වෙන්නේ ශරීරය මෙහි තියෙද්දියි.
කෙනෙක් මරණයෙදි හැර දමා යන ඒ ශරීරයට ඤාති හිතමිත්‍රාදීන් එක්රැස් වෙලා ගරු බුහුමන් දක්වනවා. ජීවයක් නැති ඒ ශරීරය ගෞරවනීය ආකාරයෙන් බැහැර කරලන්න කටයුතු සම්පාදනය කරනවා. මව්පියන් නිසා හට ගන්න, ආහාරපානයන්ගෙන් පෝෂණය වෙන, ඉලීම් පිරිමැදීම් නැහැවීම්වලින් නඩත්තු වන – මරණයෙදි අත්හැර දාලා යන මේ ශරීරයට කියන නමක් තමයි, ‘කරජකාය’… කැඩීම් බිඳීම් ආදියෙන් විනාශ වෙලා යන ශරීරය මත සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතය ගොඩනැගෙනවා වුණත් අනාවරණ ප්‍රඥා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගමන ගැන කරන අපූරු හෙළිදරව්වේ දී මේ ජීවිත පැවැත්ම සකස් වෙන්නේ චිත්ත මාත්‍රයකින් කියලයි කියැවෙන්නේ.
“චිත්තන්තරෝ භික්ඛවේ මච්චෝ”
“පින්වත් මහණෙනි, මේ මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි.”
සාමාන්‍ය ලෝකයේ අපට හැම වෙලේම අරමුණු වන්නේ කායික ව පෙනී යන සත්වයෙක්. නමුත්, ජීවිතාවබෝධයේ පරිපූර්ණත්වයට පත්ව වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත හා බැඳී ගත් සසර ගමනේ යථා ස්වභාවය ඒ ආකාරයෙන් ම පෙන්වා දුන්නා.
“පින්වත් මහණෙනි, දැන දැන චේතනා පහළ කොට, දැනගෙන ම කරන ක්රියාවේ විපාක විඳින්නේ නැතිව අවසන් වෙන්නේ නැහැ. එක්කෝ ඒ විපාක මේ ජීවිතයේ දී විඳින්න වෙනවා. එක්කෝ ඊළඟ ආත්මයේ විඳින්න වෙනවා. එක්කෝ නිවන් දකිනා තුරු විඳින්න වෙනවා.”
මේ අසිරිමත් කර්ම – කර්ම ඵල විග්‍රහය සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට හැර කිසිදු සත්තාවාසයක අන් කිසිදු සත්වයෙකුට විස්තර කරන්නට බැහැ. මෙය සාමාන්‍ය ලෝකයාට ගෝචර නොවන ලෝක ධර්මතාවයක්. යම් කෙනෙක් චේතනා පහළ කොට, හිතා මතා යමක් කරනවා ද ඒවා විපාක නොදී අභාවයට යාමක් නැහැ. ඉතින්, අනන්ත සසර ගමනේ චේතනා පහළ කරමින් අප කළ කී මොනතරම් දේවල විපාක අපට මේ ජීවිතයේ දී විඳින්නට සිදුවේවි ද?
පින්දහම් කරමින්, සිල් රකිමින්, සත්පුරුෂයන්ගේ නින්දාවට ගැරහීමට ලක් නොවන යහපත් ජීවිතයක් පවත්වාගෙන යමින් ජීවත් ව සිටිය දීම කායික – මානසික පීඩා එළඹෙනවා නම්, කටුක දුක් පීඩා විඳින්නට සිදුව තිබෙනවා නම්, ‘ඇයි අපට මෙහෙම වුණේ?’ කියා නිතැතින් සිතට නැගෙන දුක් දොම්නස්වලින් ජීවිතය යට වී ගොස් තිබෙනවා නම්, මේ උත්තම ධර්ම පර්යාය ම සිහි කරන්න… චේතනා පහළ කොට සිදු කළ කර්මයේ විපාක සුදුසු කාලය එළැඹි විට විපාක දෙනවා ම යි…!
අපේ ජීවිතය කර්මයේ නිර්මාණයක්. එය කර්මයේ දායාදයක්. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන පැරණි කර්මයේ හැඩතලයන්. ඒවායේ ස්වභාවය ධර්මයේ විස්තර කෙරෙන්නේ මේ ආකාරයෙන්.
“අභිසංඛතං අභිසඤ්චේතයිතං වේදනීයං දට්ඨබ්බං”
“හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්.”
සිත පෙරටු කොටගෙන සිදු කරන කර්මයන් විපාක නොදී අවසන් නොවන බව දරා ගන්නා ආර්ය ශ්රාවකයා ‘එය සත්‍යයයි’ කියන නිෂ්ඨාවට එළඹෙනවා. ඒ කියන්නේ ඔහු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සත්‍යයි කියලා පිළිගන්නවා. ශ්රද්ධාවට පත් වෙනවා. ඒ ශ්‍රද්ධාවන්තයාගේ ස්වභාවය සම්බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් පෙන්වා දෙනවා.
“ඔහු අනුන්ගේ දෙයට ආශාකිරීම අත්හරියි. අනුන්ගේ දෙයට ආශා කිරීම අත්හැර වෛර කිරීම, ක්‍රෝධ කිරීම, තරහ ගැනීම, පළිගැනීම අත්හරියි. සිහි මුළා නොවී සිටියි. මනා නුවණින් යුතුව සිටියි. එළඹසිටි සිහි ඇතිව සිටියි.”
අකුසලයට යට වූ සිතක් කියන්නේම සිහි මුළා වූ සිතක්. සිතින් සිතා කරනා කියනා දෙයට විපාක සකස් වන බව පිළිගත් ශ්රද්ධාවන්ත ශ්රාවකයා අකුසලය බැහැර කරන්නට උත්සාහ කරනවා.
“ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. දෙවන දිශාව ද එසේ ය. තුන්වෙනි දිශාවද එසේ ය. සිව්වන දිශාව ද එසේ ය. මෙසේ උඩ යට සරස යන සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.”
මේ විදිහට සියලු දිශාවන් කෙරෙහි, සියලු සත්වයන් කෙරෙහි පතුරුවාලූ මෙත් සිතින් වාසය කරන ආර්ය ශ්රාවකයා තමා විසින් ම තමන්ගේ සිතේ ස්වභාවය දැනගන්නා ආකාරයත් සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.
“ඔහු මෙසේ දැනගනියි. ‘කලින් මෙත් සිත දියුණු නොකළ මාගේ සිත පටු වූයේ ය. එනමුදු දැන් වනාහී මෙත් සිත මැනැවින් දියුණු කළ මාගේ මේ සිත ප්‍රමාණ රහිතය. යම්කිසි කර්මයක් ප්‍රමාණ කොට කරන ලද්දේ ද එය මේ අප්‍රමාණ මෙත් සිත තුළ නොපිහිටන්නේ ය. එය එහි නොසිටින්නේ ය’ යනුවෙනි.”
බලන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නොවැඩූ, පටු වූ සිත අකුසලයට නැමී යන නමුත් වැඩූ සිත අකුසලයේ බැස නොගන්නා බවයි. වැඩූ සිතින් යුතු ආර්ය ශ්රාවකයා පෙර තමන් අතින් සිදු වූ වැරදි අඩුපාඩු පටුසිතෙහි දුර්විපාක ලෙස හඳුනාගන්නවා. ඒ වගේ ම, සිත වැඩූ නිසා තමන් දැන් එවැනි අකුසල් සිදු වීමේ අනතුරින් බැහැර වී සිටින බවත් හඳුනාගන්නවා.
යම් අයෙකු ළදරු වියේ පටන් තමා සේ ම අන් සියලු සත්වයෝ වෛර නැත්තෝ ව, තරහ නැත්තෝ ව, ඊර්ෂ්‍යා නැත්තෝ ව, දුක්පීඩා නැත්තෝ ව, සුවසේ ජීවත් වෙමින් ශාන්ත සුවයට පත් වෙත්වා කියා මෙත් සිත වඩමින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන්නේ නම් ඔහු පව්කමක් නොකරන බවත්, පව්කමක් නොකරන කල්හි දුක් විපාක ස්පර්ශ නොකරන බවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා. දුකට අකමැති – සැප කැමති කවරෙකු වූවත් මෙසේ සිත වැඩිය යුතු බව ද සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා.
“මහණෙනි, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා දියුණු කරගත යුතු ම ය. මහණෙනි, ස්ත්‍රියකගේ වේවා, පුරුෂයෙකුගේ වේවා මේ කය පරලොව ගෙන යා නොහැක්කේ ම ය. මහණෙනි, මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි. ඔහු මෙසේ දන්නේ ය. ‘මවිසින් මෙහි කලින් මේ කරජකයෙන් (කයෙන්) යම් පාපකර්මයක් කරන ලද්දේ ද ඒ සියල්ල මෙහි වින්ද යුත්තේ ය. එය අනුව යන්නක් (පසුපසින් පැමිණෙන්නක්) නොවන්නේ ය’ යනුවෙනි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද මෛත්‍රී චිත්ත විමුක්තිය මෙහි නැණවත් භික්ෂුවකට අරහත්වය සාක්ෂාත් කරගත නොහැකි වුවහොත් අනාගාමී බව පිණිස පවතින්නේ ය.”
ඒ විතරක් නෙවෙයි, කර්මය විපාක උපදවනා බව ශ්‍රද්ධාවෙන් දරා ගත්ත ආර්ය ශ්රාවකයා මේ ආකාරයට ම දස දිශාවට ම, සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරනවා. තමා මෙන් ම අන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! කියන කරුණා චිත්ත විමුක්තියෙන් වාසය කරද්දීත් ඔහුගේ සිත වැඩී යනවා. ඒ වැඩූ සිතෙහි අකුසල් උපදින්නේ නැහැ.
ඒ ආර්ය ශ්රාවකයා දස දිශාවන් කෙරෙහි ම, සෑම තැනක් කෙරෙහිම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරනවා.
තමන් සේ ම අන් සියලු සත්වයෝද සැපසේ වාසය කරත්වා! ඔවුන් තුළ සතුට රැඳේවා! ශ්‍රද්ධාවෙන් දියුණු වේවා! සීලයෙන් දියුණු වේවා! ශ්‍රැතයෙන් දියුණු වේවා! ත්‍යාගයෙන් දියුණු වේවා! ප්‍රඥාවෙන් දියුණු වේවා! ධනයෙන් දියුණු වේවා! ධාන්‍යයෙන් දියුණු වේවා! ගුණයෙන් දියුණු වේවා! නුවණින් දියුණු වේවා! සැපයෙන් දියුණු වේවා! සොම්නසින් දියුණු වේවා! කියන මුදිතා චිත්ත විමුක්තිය වඩද්දීත් ඔහුගේ සිත මහත් භාවයට පත් වනවා. පටු සිතෙහි උපදනා අකුසල ඔහු තුළ හටගන්නේ නැහැ.
මේ ආර්ය ශ්රාවකයා සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරනවා. තමන් සේම සියලු සත්වයන් කර්මය ස්වකීය දායාදය කරගෙන, කර්මය පිළිසරණ කරගෙන වාසය කරන බවත්, සිදු කරන කල්‍යාණ හෝ පාපී හෝ කර්මයන්ගේ විපාක එකිනෙකා කරා එළඹෙන බවත් සිහි කරමින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරද්දීත් ඔහුගේ සිත වැඩී යනවා. පෙර නොවැඩූ, පටු වූ සිතෙහි හටගත් අකුසල් මෙසේ වැඩුණු සිතෙහි හටගන්නේ නැහැ.
ධර්මයේ ආශ්චර්යය බලන්න, මේ විදිහට සතර බ්‍රහ්ම විහරණ වැඩීමෙන් සිත වඩනා ආර්ය ශ්රාවකයා කරජකාය (මේ කය) හැර දමන්නේ එක්කෝ රහතන් වහන්සේනමක් විදිහට; එහෙම නැතිනම් අනාගාමී ශ්‍රාවකයෙක් විදිහට.
බ්‍රහ්ම විහාර තුළ වාසය කරමින් පටු සිතේ අනතුරින් මිදී ගත්ත උත්තමයෙක් තමයි ගුරු පූජාවක් වෙනුවෙන් ඇඟිලි දහසක් ලබන්නට දහසකටත් වඩා මිනිසුන් මරා දැමූ අතිබිහිසුණු පාපයේ විපාක මේ ජීවිතයට පමණක් සීමා කොට, ‘අංගුලිමාල මුනිඳුන්’ නමින් අමනිවන් වැඩියේ. පටුසිත ඉක්මවූ ඒ විපුල වූ මෙත් සිතෙහි සත්‍යානුභාවය කල්පයක් පුරා කුස ඔත් දරුවන්වත්, ගැබිණි මාතාවන්වත්, සියලු සත්වයන්වත් සුවපත් කරලනවා. වැඩූ සිතක අසිරිය ගැන තවත් නම් කවර කථා ද…!
පටු සිතක් ඇත්තෙකු ව මේ කය හැර දමන්නට එපා. දුකට අකැමැති නම්, සැපය කැමති නම් අප සිත වැඩිය යුතු ම යි. පටු සිතක් තමන්ට ඇති බව නොදන්නවුන් එහි ගොදුරු බවට පත්වනවා. මොන තරම් අභියෝග එළඹුණත්, මොන තරම් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණත් මේ කය රකින්න වෙහෙසෙනවාට වඩා වැඩි කැමැත්තක්, උත්සාහයක්, වීර්යයක්, අධිෂ්ඨානයක් අප ඇති කර ගත යුත්තේ වැඩුණු සිතක් ඇත්තවුන් වීමට යි. එතැනට එළඹිය හැකි නම්, ඔබත් කෙලෙස් සටනේ දිනුම් කණුවට සමීප වූවෙක්…!
(ඇසුර – කරජකාය සූත්‍රය, අං. නි. 06)
සටහන – උදුලා පද්මාවතී
Recent Comments